වසර දහයක ආදර කතාව ඒ ගින්නත් සමග කෙළවර විය…

747

විටෙක ජීවිතය සිසිලසින් සනහාලන ආදරය තවත් විටෙක ගින්නක් සේ ඇවිලී සියල්ල අළු දූලි බවට පත් කරන්නේය. පේ‍්‍රමය ආදරය ලොව ඇති උතුම්ම ධර්මතා ලෙස සඳහන් කළත් ඒ පේ‍්‍රමය ඒ ආදරය වෛරයක් බවට පත්වන්නට අහි පිල්ලමක් වදින නිමේෂයක් ප‍්‍රමාණවත්ය. ඒ තරමටම පේ‍්‍රමය හා වෛරය අතර ඇත්තේ කෙස් ගසක තරම් වෙනසකි. ඒ බවට හොඳම සාක්ෂිය ඉකුත් විසිහතර වැනිදා මහනුවර කටුගස්තොට නිවසක ඇතිවූ ගින්නට හේතුවූ කතාන්දරය තුළින් දැක්විය හැකිය.

එදා අළුයම කටුගස්තොට කුඩා නිවසක ගින්නකින් තිදෙනෙක් මිය ගිය බවට පුවත ප‍්‍රදේශය පුරා පැතිර යද්දී යුහුසුළුව සියල්ලෝම සොයා බැලූවේ මෙයද තවත් ගෑස් සිලින්ඩරයක් ආශ‍්‍රිත පුපුරා යෑමකින් සිදුවූවක් දැයි කියාය. නමුත් මෙය ගිනි ගැනීමක් නොව, ගිනි තැබීමක් බව දැනගන්නට ලැබුණේ ය. සිද්ධිය සිදුව තිබුණේ ඉකුත් බ‍්‍රහස්පතින්දා (24) පෙරවරු 6.40 ට පමණ ය.

පියා සහ දියණියත් දියණියගේ පෙම්වතාත් ගින්නෙන් දැවී මෙලොව හැර ගිය බවට සාක්ෂි සහිතව සනාථ වූයේ මහනුවර රෝහලට ඇතුළත් කළ රාණිඅම්මා නමැති කාන්තාව ඉතා අසීරුවෙන් ලබාදුන් කටඋත්තරය නිසාය. ඇය මිය ගිය දියණියගේ මවය. ගින්නෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලද හැට හැවිරිදි ඇය ප‍්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි. එහිදී පොලිසියට ප‍්‍රකාශයක් කරමින් ඇය සිදුවීම කියා තිබිණි.

ඒ තොරතුරු ඔස්සේ මේ වන විට, මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ විමර්ශනයක්ද පැවැත්වෙයි. රාණි අම්මා පවසා ඇති පරිදි, දියණිය වන තිස් එක් හැවිරිදි ඊස්වරදේවන් මේනකා සහ ත්‍යාගරාජා නොහොත් බාබු යන අය අතර වසර දහයකට ආසන්න කාලයක සිට පේ‍්‍රම සම්බන්ධයක් පැවතී ඇත. නමුත් මාස කිහිපයකට පෙර සිට මේනකා මෙම සම්බන්ධයට අකැමැත්ත පළ කරමින් මෙම පුද්ගලයාව ප‍්‍රතික්ෂේප කර තිබේ. ඊට උරණ වූ බාබු නිතර පැමිණ මේනකාට තර්ජනය කර ඇත. පෙම්වතා යැයි කියන පුද්ගලයා පෙරේදා (23දා) රාත‍්‍රියේ පැමිණ නිවැසියන්ට තර්ජනය කර ගිය බවද, ඔහු හා දියණිය අතර දිගින් දිගටම ගැටුම් පැවැති බවද රාණි පොලිසියට කියා තිබිණි. අළුයම දොරට ගසා ඇතුළු වූ බාබු අත කෑන් එකක් තිබූ බවත්, නිවසට ඇතුළු වී එහි තිබූ මොනවදෝ ඇඟට වත්කර ගිනි තබා ගත් බවත් රාණි කියා ඇත. දියණිය ඒ දෙසට යද්දි බාබු ඇයව දෑතින් තුරුළු කර ගත් බව ද ඇය කියා තිබිණි.

මේ ගිනි ගැනීම සිදුව තිබුණේ, කටුගස්තොට මැණික්කුඹුර වත්තේ ළඟ ළඟ නිවෙස් පිහිටි ජනාධික ඉසව්වක පිළිවෙළට තනා ඇති කුඩා නිවසකය. පේලි ගෙයකට සමාන එම නිවස ගිනි ගැනීමෙන් එහි සිටි පියා, දියණිය හා ඇගේ පෙම්වතා බව කියන අයෙකු නිවස තුළම පිළිස්සී මියගොස් සිටියහ. පිළිස්සී මියගිය දියණියව හරි හැටි හඳුනා ගත්තේ මවය. ඇගේ පෙම්වතා බව බාබුද ගින්නෙන් මරණයට පත්විය.

සිද්ධියෙන් මියගිය ඊෂ්වරදේවන් නමැති පියාගේ රැකියාව කටුගස්තොට නගරයේ රණවන මාර්ගයේ බුලත් විට අලෙවි කිරීමයි. අවිහිංසක ලෙස ජීවිකාව කරගෙන ගිය මේ මිනිසා කිසිවකුටත් කරදරයක් නොමැති අයෙකු ලෙස ප‍්‍රකටය. තහඩු වලින් ආවරණය කළ ඉතා කුඩා නිවස මෙම පිරිසගේ නවාතැන විය.

වසර දහයක ආදර කතාව ඒ ගින්නත් සමග කෙළවර විය…

උදේ පාන්දර මේ ගින්න පැතිර යනු මුලින්ම දැක ඇත්තේ අවට ප‍්‍රදේශවාසීන්ය. වහා ක‍්‍රියාත්මක වී නිවසේ දොරක් කඩා විවෘත කර රාණිඅම්මා නමැති මව බේරාගෙන රෝහල්ගත කළත් අන් තිදෙනා ළඟට කිට්ටු වන්නටවත් කිසිවකුට නොහැකි වූහ. රාණි අම්මා වහා ගෙයින් ඈත් නොකරන්නට ඇයද පිළිස්සී මිය යන්නේය.

‘‘මෙම සිදුවීම වටා මෙයට වඩා සැඟවුණු කතා තිබෙන්නට පුළුවන්. ගිනිගෙන දැවුන නිවස පරීක්ෂා කිරීමේදී පොහොර උර වැනි කුඩා උරවල දමා තිබූ රුපියල් විස්සේ, පනහේ, සීයේ, පන්සීයේ මුදල් නෝට්ටු මිටි සොයා ගන්න පුළුවන් වුණා. උර හතරක මේ මුදල් දමා තිබුණා. සම්පූර්ණ මුදල ගණන් බලන්න තරමක් අපහසු තත්ත්වයේ තිබුණේ. මොකද ඒවා ගින්නට හසුවෙලා කළු ගැහිලා. නමුත් රුපියල් ලක්ෂයක් පමණ මුදලක් වෙන්නත් පුළුවන්. ඒ මුදල් සියල්ල ජීවත්වෙලා සිටින එකම පුතා භාරයේ තබා හඳුනාගෙන, නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට ඉදිරිපත් කරන්න කටයුතු කරල තිබෙනවා. මේ පිළිබඳව අපි පුළුල් පරීක්ෂණයක් පවත්වනවා’’ යැයි මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රත්නායක මහතා කියා සිටියේය.

මෙය සැබැවින්ම ආවේගය පාලනය කර ගත නොහැකිව සිදුවූ දරුණු චිත්තාවේගයක් හා බැඳි සිදුවීමකි. එය මනෝ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්. ඒ. එල්. වික‍්‍රමසිංහ මහතා විසින් හඳුන්වනු ලබන්නේ, මානසික රෝග තත්ත්වයක් ලෙසය. එය එක් සැණකින් ඇති වන්නක් නොවෙයි. කාලයක් තමන් ආදරය කරපු තරුණිය තමන්ට අකැමැති වීම මත සිත පාලනය කර ගත නොහැකි වීමක් නිසා සිදුවූවක් විය හැකියි. නමුත්, ආවේගය මත ජීවිත රැසක් මරණය කරා ගෙන යෑම සුළු කොට තැකිය හැකි නොවේ.

‘‘වර්තමානයේ සෑම අයෙකුම පාහේ විවිධ පීඩනයන්ට ගොදුරුව ඉන්නවා. විශේෂයෙන් තරුණියන් තරුණයන් ඉතා හොඳ අවබෝධයක ආදර සම්බන්ධතාවන් පවත්වාගෙන යන්නේ නැහැ. ඔවුන් අනෙකා තමන් සතු කරගන්නට උත්සාහ කරන්නේ, කෝපය, වෛරය කියන හැඟීම් සමග. මේ අය ආදරය කියන්නේ පරිත්‍යාගයක් කියන කාරණාව තේරුම්

ගන්නේ නැහැ. ඒ ඔවුන් ලබා තිබෙන අත්දැකීම් අනුව. ඉවසීම, බලාපොරොත්තු අපේක්ෂා කියන හැඟීම් දැන් තරුණ පිරිස් අතර හරිම දුර්ලභයි. මේ එවන් අවස්ථාවක්. හරිහැටි තේරුම් ගෙන ආදරය කළ දෙදෙනකු නම් වෙන්වීම දකින්නේ දුක කියන හැඟීම සමග මිස වෛරය කියන ප‍්‍රකෝපකාරී ආවේගය සමග නොවෙයි. මේවා වැරදි ආදර්ශ. විශේෂයෙන්ම මෙවන් සිදුවීම් ඔස්සේ වත්මන් තරුණ පරපුර ආදර ගනුදෙනු පිළිබඳව ගැඹුරින් අවධානය යොමු කළ යුතු වෙනවා. සියල්ලටම වඩා ජීවිතයක වටිනාකම තේරුම් ගත යුතු වෙනවා. හදිසි කෝපය කියන්නේ සුදුසු දෙයක් නොවන බව තේරුම් ගත යුතු වෙනවා. …” විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේය.

මියගිය තරුණියගේ පෙම්වතා නිවසට පැමිණ මෙම ගිනි තැබීම සිදුකර ඇති බවට ලද තොරතුරු ඔස්සේ කටුගස්තොට පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂණ පවත්වනු ලබති.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment