වසර සියයකට පෙර මුලින්ම ජාතික ඇඳුම ඇඳ පාසල් ගිය ගුරුවරයා, පී. ද. ඇස්. කුලරත්න

302

මෙරට ජාතික ඇඳුම ලෙස රෙද්ද බැනියම අඳින යුගය නිර්මාණය වූයේ 1921 වසරේ සිටය. එම සිදුවීමට දැනට වසර සියයකි. ඒ සඳහා මුල් ආරම්භය සනිටුහන් කළේ පාසල් ගුරුවරයෙකු හා විදුහල්පතිවරයෙකු වූ .පී.ද. ඇස්. කුලරත්න මහතාය. එතුමා ආරම්භ කළ මෙම ජාතික ඇඳුම එදිනම ඇඳගෙන පාසල් පැමිණි අනෙක් ගුරුවරයා වූයේ. මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාය. පසුව අප රටේ දේශපාලනඥයන්වූ ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර, ජේ. ආර්.ජයවර්ධන, ඇස්. ඒ. වික‍්‍රමසිංහ, පිලිප් ගුණවර්ධන, සෝමවීර චන්ද්‍රසිරි, ආදීන්ද ජාතික ඇඳුමෙන් සැරසී මැති සබයට පිවිසීමට පුරුදු විය. එදා සියලූ පාසල් ගුරුවරු රෙදි බැනියම් ඇඳ පාසලට පැමිණියේ ඉතා ගරු ගාම්භීරපූර්වකය.

 මෙම ජාතික ව්‍යායාමයට අඩිතාලම දැමූ පාසල් ගුරු ප‍්‍රධානියා වූ කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ විදුහල්පති පී.ද .ඇස් කුලරත්න මහතා දැයෙන් සමුගෙන මෙම 16 වෙනි දිනට වසර 35ක් සපිරේ. මෙවන් මොහොතක එම ශ්‍රේෂ්ඨ ගුරුවරයා පිළිබඳ සිහිපත් කිරීම කෘතගුණ දත් සියලූ දෙනාගේ යුතුකමකි.

 වර්ෂ 1893 මාර්තු මස 31 වෙනි දින ගාලූ දිසාවේ අම්බලන්ගොඩ විලේගොඩ  ගම්මානයේ උපත ලද පී.ද.ඇස්. කුලරත්තයන්ගේ සම්පූර්ණ නම වූයේ පැටි‍්‍රක් ද සිල්වා කුලරත්නය. මොහු උපත ලබා දෙවසරකින් මව්තුමිය අභාවප‍්‍රාප්ත වූවාය. කුඩා පැට‍්‍රික් හැදී වැඩුණේ තම මවගේ සොහොයුරියක් ළඟය. පාසල් යන වියට පත්වූ පසු පාසල් අධ්‍යාපනයට යොමු වූ කුඩා කුලරත්න ගමේ සිංහල පාසලෙන් මූලික අධ්‍යාපනය ලද පසුව අම්බලන්ගොඩ ඉංග‍්‍රීසි පාසලට ඇතුළත් වී අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය සඳහා ගාල්ලේ රිච්මන්ඞ් විද්‍යාලයට ඇතුළත් විය. රිච්මන්ඞ් විද්‍යාලයේදී ක‍්‍රිස්තු ධර්මය හොඳින් උගත් කුලරත්න සිසුවාට එම විෂය සම්බන්ධව පිරිනමන පාර්ක් නම් ශිෂ්‍යත්වය හිමි විය. පාසල් අධ්‍යාපනය ලබන සමයේ ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ ප‍්‍රධාන ශිෂ්‍ය නායකය වූ කුලරත්න සිසුවා වැඩි දස්කම් පෑවේ ගණිතය විෂයටය. ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයෙන් සමුගෙන කොළඹ වෙස්ලි විද්‍යාලයට ඇතුළත් වූ කුලරත්න 1913 වසරේදී එංගලන්තය බලා පිටත් වූයේ සරසවි අධ්‍යාපනය ලැබීමටය.

 එයින් වසර දෙකකට පසු බී.ඒ. උපාධිය සමත්වූ කුලරත්න මහතා නීති අධ්‍යාපනයද ලබන්නට උනන්දු විය. 1917 දී නීතිය පිළිබදව එල්. එල්. බී. උපාධිය ලබාගෙන ආපසු ලංකාවට පැමිණි කුලරත්න මහතා 1918 වසරේදි කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති පදවිය භාරගත්තේ රුපියල් 350ක මාසික වැටුපක් ලබමිනි.

 ටියුඩර් රාජපක්ෂ වාසල මහමුදලිතුමන් තමන්ට අයත් අක්කර තුනහමාරක භුමි භාගය තුළ තමා විසින් ගොඩනැගිල්ලක් තනවා විවෘත කර ආනන්ද විදුහල කොළඹ මරදානේ පිහිටුවා මේ වනවිට ගෙවී තිබුණේ දශක දෙක තුනක් තරම් කෙටි කාලයකි. මේ කාලයේ පාසලට තිබුණු විශාල අඩුවක් වූයේ ළමුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ගොඩනැඟිලි මදිකමය.

 මේ තත්ත්වය මත නව ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා දුටුගැමුණු අරමුදල නමින් මුදල් භාරයක් ඇතිකර නව ගොඩනැගිලි ඉදිකිරීමට මුදල් ප‍්‍රතිපාදන සොයාගත්තේ කුලරත්න මහතාගේ අප‍්‍රතිහත ධෛර්යය නිසාය. ඒ සමගම ආනන්ද විදුහලට සිසුවන් බඳවා ගෙන ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය කර ගැනීමට කුලරත්න මහතා විවිධ උපායන් යෙදුවේය. පුවත්පත්වල දැන්වීම් දමා පිටපළාත්වලින් දක්ෂ ශිෂ්‍යයන් පාසලට ඇතුළත් කර ගත්තේය. එමෙන්ම ශිෂ්‍යයන් අතර විභාග පවත්වා ඒවායින් සමත්වන දරුවන් ආනන්ද විදුහලට යොමු කර ගත්තේ පාසල තුළින් දක්ෂ පිරිසක් රටට උරුම කර දෙන්නටය මෙම ක‍්‍රියා මාර්ග නිසා ආනන්ද විදුහල දිනෙන් දිනම පෙරටම පැමිණියේ මිගෙට්ටුවත්තේ ශ‍්‍රී ගුණානන්ද, හික්කඩුවේ ශී‍්‍ර සුමංගල, සර්. හෙන්රි ස්ටිල් ඔල්කට්තුමන්, ආදි ආනන්ද විදුහලේ අතීත නිර්මාතෘවරුන්ගේ අරමුණු සාක්ෂාත් කරමිනි. මේ අනුව ආනන්ද මහා විදුහලේ ඉතිහාසයත් කුලරත්න මහතාගේ ඉතිහාසයත් දෙකක් නොවන ලෙස බද්ධ වී ඇති අයුරු අපට පෙනී යයි.

 දෙවනුව 1925 වසරේදී ආනන්ද විදුහලේ තවත් ශාඛාවක් නාලන්ද විදුහල ලෙස කුලරත්න මහතා ආරම්භ කළේ දුර දක්නා නුවණින් යුතුවය. 1932 සිට 1936 දක්වා මහනුවර ධර්මරාජ විදුහල් විදුහල්පති පදවිය භාරගෙන නඟා සිටවූ කුලරත්න මහතා පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලය බිහි කිරීමට ද මුල්විය. බළපිටිය රාජ්‍ය මන්ත‍්‍රීවරයා වශයෙන් පසු කලෙක පත්වූ කුලරත්න මහතා කන්නන්ගර මහතාගේ මධ්‍ය මහ විද්‍යාල සංකල්පය යටතේ බළපිටිය ආසනයට ලැබුණ මධ්‍ය මහා විද්‍යාලය, කරන්දෙණිය ප‍්‍රදේශයට ලබා දී කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය පිහිටුවීමට මූලික විය. ඊට අමතරව පානදුර ශ‍්‍රී සුමංගල බාලිකා විද්‍යාලය පිහිටුවීමටද මෙතුමා මුල් වූ අතර තම බිරිඳ වූ හිල්ඩා කුලරත්න මහත්මිය මෙම කටයුතුවලදී විශාල වශයෙන් කැපවෙමින් කටයුතුවලට සහාය ලබා දුන්නාය.

 ගුරු සේවයෙන් විශ‍්‍රාම ගිය පසු කුලරත්න මහතා ඉදිරිපත් වූයේ දේශපාලනයටය. 1942 වසරේ ජුනි 13 වෙනි දින රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ බලපිටිය අසුන සඳහා අතුරු මැතිවරණයක් පවත්වන ලද්දේ බළපිටිය රාජ්‍ය මන්තී‍්‍රවරයා වූ රාජනීතිඥ ශී‍්‍රමත් ප‍්‍රැන්සිස් ද සොයිසා මහතාගේ අභාවයෙන් හිස්වූ මන්ත‍්‍රී පදවිය සඳහාය. මෙම මැතිවරණයට ඉදිරිපත් වූ කුලරත්න මහතා ඡුන්ද 17260ක් ලබාගෙන බලපිටියේ රාජ්‍ය මන්තී‍්‍රිවරයා බවට පත්විය. 1946 වසරේ දී එක්සත් ජාතික පක්ෂය පිහිටුවන විටදී එහි ආරම්භක සාමාජිකයකු වූ කුලරත්න මහතා 1960 මාර්තු මහා මැතිවරණයේදී අම්බලන්ගොඩ ආසනය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදී පරාජයට පත්විය.

 එම වසරේම ජූලි මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් අම්බලන්ගොඩට තරඟ කළ කුලරත්න මහතා ඇමතිවරයෙකු වශයෙන් කලක් කටයුතු කළේය. පි.එච්. විලියම් ද සිල්වා මහතා පරදවා ඡුන්ද 10034ක් ලබා ගනිමින් අම්බලන්ගොඩ මන්ත‍්‍රීවරයා වශයෙන් මැති සබයට පිවිසුනි. 1965 වන විට එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් අම්බලන්ගොඩට තරඟ වැදුණු මෙතුමා පරාජයට පත්විය. එයින් පසු දේශපාලනයෙන් සමුගත් කුලරත්න මහතා මැතිවරණවලට තරඟ වැදුණේ නැත.

 කුලරත්න මහතා ග‍්‍රන්ථකරණයේද යෙදිනි. එතුමා පාසල් ළමුන්ට ගණිතය උගෙනුම සඳහා ලියූ රත්න ගණිතය පොත් පෙළ එකළ අප රටේ පළවූ වැදගත්ම අධ්‍යාපනික ග‍්‍රන්ථ සමූහයක් විය.

 මෙතුමා සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ ද සභාපති පදවිය දැරූ අතර ඊට පෙර කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සංගමයේ පාඨශාලා සමාන්‍යධිකාරි පදවිය හෙබවූයේය. ලංකා ජාතික සංගමයේද 1942 සභාපති පදවියට පත්වූ මෙතුමා නිදහස් අධ්‍යාපන පනත ජය ගැනීමට උදව් උපකාර කළ අයෙක් විය. 1920 දී සුදු ජාතික කාන්තාවක් වූ හිල්ඩා මියුරියල් වෙස්ට්බ‍්‍රැක් මෙනවිය සමග විවාහ විය. මෙතුමිය කොළඹ උසස් බාලිකා විද්‍යාලයේ විදුහල්පති ධුරයද දරා ඇත.

 මේ අයුරින් මෙරට අධ්‍යාපන ක්ෂේත‍්‍රයටත් දේශපාලන ක්ෂේත‍්‍රයටත් නොමැකෙන සේවයක් කළ මෙතුමා පුවත්පත්වලට ලිපි ලියමින් තම දැනුමද නව අදහස් ද රටට පිරිනැමුවේ බුද්ධිමත් අයෙකු ලෙසය. 1962 පැවති අසාර්ථක දේශපාලන කුමන්ත‍්‍රණයේදි සිරිමා බණඩාරනායක මැතිනියගේ ජිවිතය බේරාගෙන මිලිටරි පාලනයකින් ලංකාව මුදා ගැනීමට ක‍්‍රියා කළ පුද්ගලයන් කිහිප දෙනා අතරින් කුලරත්න මහතාද එක් අයෙකි. මෙලෙස අනභිභවනීය මෙහෙවරක් රටට දැයට සිදුකළ මෙම මානවවාදී අධ්‍යාපඥනයෙක,ු දේශපාලනඥයකු වූ ඒ මහතා 1976 නොවැම්බර් 16 වෙනි දින දැයෙන් සමුගත්තේ අමරණීය සේවයක් සිදුකර අමරණීය නාමයක් ඉතිරි කරමිනි.

වසර සියයකට පෙර මුලින්ම ජාතික ඇඳුම ඇඳ පාසල් ගිය ගුරුවරයා, පී. ද. ඇස්. කුලරත්න


වජිර අබේවර්ධන,
 සභාපති
 එස්සත් ජාතික පක්ෂය

advertistmentadvertistment
advertistmentadvertistment