වසර 2100 ක් පැරණි ඇන්ටිකිතෙරා පරිගණකය

225

ඇන්ටිකිතේරා යන්ත‍්‍රයට සමාන  ලී ආකෘතියක්

1900 වසරේ එක් දිනෙක ග‍්‍රීසියේ ඇන්ටිකිතේරා දූපත අසල කිමිදෙමින් සිටි කිමිදුම්කරුවන් පිරිසක් විසින් මීටර් 40 ත් 50 ත් අතර ගැඹුරකදී විශාල සුන්බුන් ප‍්‍රමාණයක් දක්නා ලද අතර වැඩිදුර විපරම්කර බැලීමේදී ඒවා ගිලීගිය නොෟකාවක සුන්බුන් බව නිරීක්‍ෂණය විය. අදාළ සුන්බුන්වල ඇති පෞරාණික වටිනාකම වටහා ගත් කිමිදුම් කණ්ඩායම ඒ පිළිබඳව ග‍්‍රීක රජයට දැනුම්දෙන ලදුව 1902 වසරේදී එම ස්ථානයේ ගවේෂණ ව්‍යාපෘතියක් දියත් කළේය. එම ගවේෂණය මගින් හෙළි කරගන්නා ලද තොරතුරු විශ්මයජනක වූ අතර ලෝක ඉතිහාසයේ නව මානයකට දොරටු විවර කළේය.

 ගිලීගිය නෞකාවේ සුන්බුන් අතර තිබී ජීව ප‍්‍රමාණයේ කිරිගරුඬ අශ්ව ප‍්‍රතිමා තුනක්, ස්වර්ණාභරණ, කාසි, වීදුරු භාණ්ඩ ඇතුළු කෞතුක භාණ්ඩ සිය ගණනක් සොයාගත් අතර අඩි 7 ක් උස ”කොලසස් හෙරකල්” ප‍්‍රතිමාවක්ද එයට ඇතුළත් විය. මෙම කෞතුක භාණ්ඩ ඇතෑන්ස්හි ”ජාතික පුරාවිද්‍යා කෞතුකාගාරයේ” තැන්පත් කරන ලද අතර එහිදී වැඩි අවධානයට ලක් නොවූ අංක 15087 ලෙස නම් කරන ලද ලෝකඩ උපකරණයක් පසුකාලීනව විශ්මයජනක නිර්මාණයක් බව අනාවරණය කරගන්නා ලදි. එම උපකරණය සූර්යයා, චන්ද්‍රයා සහ ග‍්‍රහලෝකවල චලනය මෙන්ම වේලාවද පුරෝකථනය කළ හැකි සංකීර්ණ උපකරණයක් බවත් එය භාවිතයෙන් සූර්යග‍්‍රහණ, චන්ද්‍රග‍්‍රහණ මෙන්ම ක‍්‍රීඩා උත්සව සහ කෘෂිකාර්මික කටයුතු වසර ගණනාවක් අනාගතයට සැලසුම් කිරීම සිදුකරන්නට ඇති බවත් අනුමාන කෙරේ. ”ඇන්ටිකිතේරා යාන්ත‍්‍රණය” ලෙස හැඳින්වෙන මෙම උපකරණය නිසැක වශයෙන්ම වසර 2100 අතීතයට දිවයන මිනිසාගේ මුල්ම පරිගණකය වන්නට ඇති බව විශ්වාස කෙරේ.

වසර 2100 ක් පැරණි ඇන්ටිකිතෙරා පරිගණකය
ඇන්ටිකිතේරා යන්ත‍්‍රයේ  ඉදිරිපස කොටස


ඇන්ටිකිතෙරා යන්ත‍්‍රයේ එකිනෙකට සම්බන්ධිත යාන්ත‍්‍රික රෝද 30 ක් සහ තහඩු 30 ක් දකින්නට ඇත. එහි සාමාන්‍ය ක‍්‍රියාකාරීත්වය පැරණි ඔරලෝසුවක ඇතුළත කොටසට සමානය. මෙය සූර්යයාගේ සහ චන්ද්‍රයාගේ චලිතයන් ගණනය කිරීමේ උපකරණයක් බව මහාචාර්ය ”ඩෙරෙක් සොල්ලා ප‍්‍රයිස්” විසින් 1974 දී කරන ලද පර්යේෂණයන් මගින් හෙළිිදරව් කර ඇති අතර එය මේ සම්බන්ධයෙන් වන මත ගණනාවක් අතරින් වඩාත් පුළුල් පිළිගැනීමක් ඇති අර්ථ නිරූපනයයි. පසුකාලීනව ඇන්ටිකිතෙරා යාන්ත‍්‍රණය පිළිබද පර්යේෂණ ව්‍යාපෘතියේ විශේෂඥ මයිකල් රයිට් විසින් කරන ලද අධ්‍යයනයන් මගින් ප‍්‍රයිස්ගේ මතය තහවුරු කරනු ලැබ තිබේ. යන්ත‍්‍රයේ දකින්නට ලැබෙන සලකුණක් මගින් එය බෙහෝ විට පුරාණ ග‍්‍රීක නගරයක් වන ”රෝඞ්ස්” හි ”පොසිඩෝනියස් පාසලේ” ඉංජිනේරුවරයකු විසින් නිපදවා ඇති බවට සැලකෙන අතර එය

 ”ආකිමිඩස්ගේ ග‍්‍රහලෝකාගාරයේ” සිද්ධාන්තයන් අනුගමනය කර ඇති බව කියැවේ. සුන්බුන් අතරින් හමුවූ මැටි බඳුන් කොටස් රෝඞ්ස් සම්ප‍්‍රදායන්ට අයත් බවට සැලකිය යුතු සමානකම් දකින්නට ලැබුණ අතර එය මෙම යන්ත‍්‍රය රෝඞ්ස්හි නිර්මාණය වී ඇති බව සැලකීමට එක් ප‍්‍රබල හේතුවක් විය. කි‍්‍රස්තු පූර්ව පළමු සියවසේ අගභාගයේ හෝ ක‍්‍රිස්තු පූර්ව දෙවන සියවසේ මුල්භාගයේ පුරාණ ග‍්‍රීක තාරකා විද්‍යාඥයන් විසින් දියුණු කරන ලද තාරකා විද්‍යාවේ සහ ගණිතයේ න්‍යායන් මත පදනම්ව නිර්මාණය කර ඇති ඇන්ටිකිතේරා යන්ත‍්‍රය සැලකෙන්නේ මිනිසා විසින් නිර්මාණය කරන ලද පළමු ඇනලොග් පරිගණකය ලෙසටය. කෙසේ වෙතත් මෙවැනි සංකීර්ණ තාක්‍ෂණික උපකරණ ”බයිසැන්තියානු” හා පුරාණ අරාබි ශිෂ්ටාචාරයන්හිදීද හමුවී ඇති නමුත් මුල් කාල සීමාවන්ගෙන් පසු වසර දහසක් පමණ ගතවන තෙක් නැතහොත් 14 වන සියවසේ යුරෝපයේ යාන්ත‍්‍රික තාරකා විද්‍යාත්මක උපකරණ නිෂ්පාදනය වන තෙක් එවැනි සමාන උපකරණ දකින්නට නොලැබීම මගින් මෙම තාක්‍ෂණයේ වර්ධනය පිළිබද දැනුම් රික්තකයක් ඇතිකර තිබේ.

 තඹ වැඩි ප‍්‍රමාණයක් සහ ටින් ලෝහය සුළු ප‍්‍රමාණයක් මිශ‍්‍ර කරමින් සාදා ඇති මෙම යන්ත‍්‍රය මුහුදු පතුලෙන් සොයාගන්නා විට එක් කැබැල්ලක් ලෙසට තිබුණ නමුත් ගොඩට ගෙන ටික කලකින් එය කැබලි තුනකට කැඞී ගොස් තිබේ. පිරිසිදු කිරීමේදී හා පරීක්‍ෂණවලදී එහි පැරණි බව නිසාම එය තවත් කුඩා කොටස්වලට කැඞී ගොස් ඇති අතර පසුව කළ සාගර ගවේෂණයන්

 මගින් සොයාගත් ඊට අදාළ කුඩා කොටස්ද සහිතව කැබලි 82 ක් සංරක්‍ෂණය කර තිබේ. මෙම කොටස් 82 න් 7 කම යාන්ත‍්‍රික කොටස් සහ අක්‍ෂර අඩංගු වී ඇත. ඇමෙරිකාවේ ”යේල් විශ්වවිද්‍යාලයේ” මහාචාර්ය ඩෙරෙක් ජේ. ද සොල්ලා ප‍්‍රයිස් විසින් ඇන්ටිකිතේරා යන්ත‍්‍රයේ ආකෘතියක් නිර්මාණය කරන ලද අතර එය පැරණි ඇන්ටිකිතේරා යන්ත‍්‍රයේ ක‍්‍රියාකාරීත්වය පැහැදිලිව අවබෝධ කරගැනීමට උපකාර වී තිබේ. මෙම සුන්බුන් ඇන්ටිකිතේරා දූපත ආසන්නයට පැමිණීම පිළිබඳව විවිධ මත ඉදිරිපත්ව ඇති අතර එයින් එක් අදහසකින් කියැවෙන්නේ ”ජූලියස් සීසර්” විසින් සංවිධානය කරන ලද පෙළපාලියකට සහභාගීවීම සදහා රෝඞ්ස්හි සිට රෝමයට ගමන් කරන අතරතුර නෞකාව කිසියම් අනතුරක් හේතුවෙන් මුහුදුබත්වන්නට ඇති බවයි. ඇන්ටිකිතේරා සුන්බුන්වල මිල කළ නොහැකි ඓතිහාසික වටිනාකමක් ඇතත් එය පිහිටා ඇති ස්ථානයේ කිමිදුම් කටයුතු කිරීමේදී මුහුණදීමට සිදුවන දුෂ්කරතා හේතුවෙන් එහි ගවේෂණ කටයුතු සිදුවන්නේ ඉතා සෙමිනි. එහි ඇති සාපේක්‍ෂ නොගැඹුරු බව හේතුවෙන් එම ස්ථානයට විශාල නැවක් ගමන් කළ නොහැකි අතර එම නිසා මුහුදු පතුල ගවේෂණ නෞකාවක සිට රොබෝ යන්ත‍්‍රයක් දිය යටට යැවීමෙන් ගවේෂණ කටයුතු කිරීමට නොහැකි වී තිබේ. සාමාන්‍ය ස්කුබා කිමිදුම්කරුවන්ට එය ගැඹුරු වැඩිය. සුන්බුන් දිය යට බෑවුම් සහිත සහ බාධක සහිත භූමියක විසිරී ඇති බැවින් දුරස්ථ පාලක දියයට ගමන් කරන වාහනයක් ඒ වෙත යැවීමද දුෂ්කරය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පර්යේෂණ අඛණ්ඩව සිදු කෙරෙන අතර 2014 වසරේදී ආරම්භ වූ පස් අවුරුදු පර්යේෂණ ව්‍යාපෘතිය 2019 වසරේදී අවසන් වූ අතර එහි ඊළඟ පස් අවුරුදු පර්යේෂණ ව්‍යාපෘතිය 2020 වසරේ සිට ක‍්‍රියාත්මකය.

 *  නන්දජීව සූරියබණ්ඩාර

advertistmentadvertistment