වසර 3කට පසු පාස්කු ප්‍රහාරය ගැන රහස් පොලිසිය වසන් කළ රහසක් හෙළිවෙයි

4188

● මාවනැල්ල බුදුපිළිමය කැඩීමට අදාළ සංවිධානය ගැන රහස් පොලිසිය ඉන්ටර්පෝල් සංවිධානයෙන් විමසා නැහැ.

● ජාත්‍යන්තර සංවිධානයක් ගැන කෑගල්ල පොලිස් අධිකාරි එවූ වාර්තාව කුණු බක්කියට.

පාස්කු ප්‍රහාරය සිදුවී අප්‍රේල් 21වැනි දිනට වසර 3ක් ගතවිය. එක් දිනක් තුළ සිදු වූ විශාලත ම සමූල ඝාතනය මෙයයි. 2019 අප්‍රේල් 21 වැනි දින සිදුවූ මෙම අමානුෂික ප්‍රහාරයෙන් 269ක් මියගිය අතර 500කට අධික සංඛ්‍යාවක් බරපතළ තුවාල ලැබූහ. මෙය අයි එස් අයි ත්‍රස්ත සංවිධානයේ සහයෙන් මෙරට සිටි අයි එස් ක්‍රියාකාරීන් සිදුකළත් සිරියාවේ අයි එස් අයි ත්‍රස්තයන් බේරාගැනීමට මුස්ලිම් දේශපාලකයන් දැඩි උත්සාහයක් ගනු ලැබීය.

මුලින්ම පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් කළ මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් නැමැත්තා පාස්කු ප්‍රහාරය ඊශ්‍රායල් මොසාඩ් බුද්ධි සේවාවේ මෙහෙයුමක් බවත් සහරාන් මොසාඩ් ඒජන්තවරයකු බවත් දක්වමින් සැබෑ අපරාධකරුවන් වසන් කිරීමට උත්සාහ කළේය.

වසර 3කට පසු පාස්කු ප්‍රහාරය ගැන රහස් පොලිසිය වසන් කළ රහසක් හෙළිවෙයි

ඉන්පසු මුජබිර් රහ්මන් නැමැති දේශපාලකයාද ජාවුඩ් යූසුප් ද පාස්කු ප්‍රහාරයට අයි එස් සංවිධානය සම්බන්ධ නැතැයි කියා සිටියේය.

අනතුරුව රහස් පොලිසියේ හිටපු ප්‍රධාන ශානි අබේසේකර ද පරීක්‍ෂණයකින් තොරව පැවසුවේ අයිසිස් සංවිධානය ඊට සම්බන්ධ නැති බවයි. මෙවැනි පසුබිමක් මැද පාස්කු ප්‍රහාරයේ පරීක්‍ෂණ නොමඟ යැවීමේ අරමුණින් මඩ වෙබ් අඩවි සාවද්‍ය පුවත් තොග ගණනේ විකාශනය කරනු ලැබීය. ඊට හොඳම නිදසුන 2018 නොවැම්බර් 30 වැනිදා වවුනතිව් පොලිස් මුරපළේ සිටි ඉන්දික ප්‍රසන්න නිරෝෂන් සහ දිනේෂ් ගනේෂ් නැමැති පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය හමුදා බුද්ධි සේවයේ ප්‍රධානියාව සිටි සුරේෂ් සැලේ, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ අගමැති මහින්ද රාජපක්‍ෂ සිදුකළ අපරාධයක් බවට ලන්ඩනයේ සිට ක්‍රියාත්මකවන මඩ වෙබ් අඩවියක් බොරු පුවතක් විකාශය කිරීමයි. එහෙත් 2018 ජුනි 21වැනි දා යූරෝපොල් පොලිසිය ලොව රටවල්වලට අනතුරු අඟවමින් ඉස්ලාමීය අයි එස් අයි ත්‍රස්තයෝ තම රටවලට පැමිණ ඇතැයි දක්වනු ලැබීය. එහෙත් ශානි අබේසේකර මෙහෙයවූ රහස් පොලිසිය එම අනතුරු ඇඟවීම තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැත.

මේ අතර රුසියානු ආරක්‍ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම් යූරි කොකෝව් පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු හෙළිකරමින් ශ්‍රී ලංකාවෙන් සිරියාවට ගිය අයිසිස් හිතවාදීන් පිරිසක් ආපසු පැමිණ එම ප්‍රහාරය එල්ලකර ඇතැයි අනාවරණය කළේය. එහෙත් මෙරට රහස් පොලිසිය එම තොරතුරු ගැන රුසියානු එෆ් එස් බී බුද්ධි සේවාවෙන් තොරතුරු විමසීමට ක්‍රියාකළේ නැත. ඇමරිකානු බුද්ධි සේවාවට මෙන් රුසියානු එෆ් එස් බී බුද්ධි සේවාවට ද ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවූවිට චන්ද්‍රිකා ඡායාරූප ලබාගැනීමේ හැකියාවක් ඇත. එහෙත් ශ්‍රී ලංකා පොලිසිය හෝ රහස් පොලිසිය රුසියාව – සිරියාව සහ තුර්කිය යන රටවල බුද්ධි සේවාවල සහාය ලබා ගැනීමට ක්‍රියාකළේ නැත.

මේ තත්ත්වය මත රහස් පොලිසිය පාස්කු ප්‍රහාරය ගැන වසන් කළ කරුණු තිබේ. මෙහි දැක්වෙන්නේ එම කරුණුයි.

  1. හරීන් ප්‍රනාන්දු නැමැති නවක දේශපාලඥයාගේ පියා රෝහලේ සිටිය දී ප්‍රහාරය ගැන තොරතුරු ඔහුට හෙළිකර ඇත. එම තොරතුරු පියාට ලබා දී ඇත්තේ රහස් පොලිසියේ සැරයවරන්වරයෙකි. මේ සැරයන් රහස් පොලිසියේ සේවය කරන සමයේ එහි ප්‍රධානියා ශානි අබේසේකරයි. එහෙත් පරීක්‍ෂණ සිදුවී නැත.
  2. සහරාන් නැමැති ඉස්ලාමීය ත්‍රස්තවාදියාගේ ජංගම දුරකථනවල මදර් බෝඩ් ඇමරිකානු එෆ් බී අයි සහ ඔස්ටේ්‍රලියාවේ ඒ එෆ් පී පොලිසිවලට ලබාදී ඇත්තේ ශානි අබේසේකරයි. ඒ සඳහා ආරක්‍ෂක ලේකම් සහ අධිකරණයේ අවසර ගෙන නැත.
  3. පාස්කු ප්‍රහාරය සිදුවී වසර 2කට පසු පාස්කු ප්‍රහාරයට සොනික් නැමැති බුද්ධි ක්‍රියාකාරියකු සම්බන්ධ යැයි ශානි ගේ දිවුරුම් ප්‍රකාශයක සඳහන් කිරීම.
  4. පාස්කු ප්‍රහාරය ගැන දැනසිටි සාරා නැමැත්තිය පසුපස පොලිස් පරීක්‍ෂක අර්ජුන් මහින්කන්ද හඹාගියවිට ඔහුව මාරු කිරීම. මේ සමයේ පැවැතියේ යහපාලන රජයයි.
  5. වසර 2කට පසු රහස් පොලිසියේ හිටපු ප්‍රධානි ශානි අබේසේකර වවුනතිව් පොලිස් ඝාතනය නොමඟ යැවීම සඳහා හමුදා බුද්ධි අංශය ජැකට්ටුවක් පාලම යට දමා ඇති බව සැකකරන බවට පැවැසීම.
  6. 2019 අප්‍රේල් 21 සහරාන් හෂීම් ඇතුළු කණ්ඩාමක් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබුණත් රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියාව සිටි නිලන්ත ජයවර්ධන එම තොරතුරු පොලිස් විශේෂ කාර්ය බළකායට නොදීම.
  7. විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ ජාතික ආරක්‍ෂාව ගැන තොරතුරු සොයන්නේ නැති බව එහි හිටපු ප්‍රධානි ලතින් පැවැසීම.
  8. 2017 පෙබරවාරි සිට 2018 ඔක්තෝබර් අතර කාලයේ ආරුමුගම්බේ විශේෂ කාර්ය බළකායේ සිටි බුද්ධි නිලධාරීන් පස්දෙනෙක් මාරු කිරීම.
  9. 2019 අප්‍රේල් 21 ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට තානාපති බලධාරීන් කළ දැනුම්දීම මත මහකොමසාරිස් කාර්යාලයට එස් ටී එෆ් ආරක්‍ෂාව ලබාදීම.
  10. එහෙත් විශේෂ කාර්ය බළකා ප්‍රධානියා කොළඹට ආරක්‍ෂාව ලබානොදීම.
  11. පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් බව කාදිනල් විසින් පැවසුවත් එම කුමන්ත්‍රණකරුවන් කවුදැයි හෙළි නොකිරීම.
  12. මෙරටින් ඇමරිකාවට ස්විට්සර්ලන්තයට සහ ජර්මනියට පැනගිය හිටපු කැරලිකරුවකු ඇතුළු තිදෙනෙක් පාස්කු ප්‍රහාරය සොනික් නැමැත්තකු කළ බවට ප්‍රකාශ කිරීම.
  13. ඉන්පසු එම ප්‍රකාශයම හරීන් ප්‍රනාන්දු – මනුෂ නානායක්කාර සහ කාදිනල් හිමිපාණන් විසින් පැවැසීම.
  14. සිංහල බෞද්ධයකු ජනපති කිරීමට ඉස්ලාමීය අන්තවාදීන් දිවිපුදා ඇති බව තහවුරු කිරීමේ පරීක්‍ෂණ පවත්වා නැත.
  15. කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගත් අල්කයිඩා ක්‍රියාකාරියකු නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නියෝග මත මුදාහැරීම.
  16. මෙම අල්කයිඩා ක්‍රියාකාරියාගේ වගතුග අද වනතුරු විමර්ශනය කිරීමට ත්‍රස්ත මර්දන ඒකකය සහ රහස් පොලිසිය ක්‍රියාකර නැත.
  17. මාවනැල්ල බුදු පිළිමය කඩා දැමීමට සම්බන්ධ ඉස්ලාමීය අන්තවාදීන් දෙදෙනකු ශානි අබේසේකරගේ නියෝග මත නිදහස් වීම.
  18. මාවනැල්ල බුදුපිළිමය කඩාදැමීමට අදාළ පරීක්‍ෂණ පැවැත්වීමට හමුදා බුද්ධි නිලධාරීන් ගම්පොළට පැමිණ අවස්ථාවේ ගම්පොළ පොලිසිය ඔවුන්ව පලවා හැරීම.
  19. හමුදාව විසින් තොරතුරු ලබාදුන් බවත් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර රහස් පොලිසියේ රවි සෙනවිරත්න ත්‍රස්ත මර්දන ඒකකයේ ප්‍රධානි නාලක සිල්වා, වරුණ ජයසුන්දර, නිලන්ත ජයවර්ධන, සිසිර මෙන්ඩිස් යන නිලධාරීන් එම තොරතුරු ගැන ක්‍රියා නොකළ බව හිටපු හමුදාපති මහේෂ් සේනානායක ප්‍රකාශ කිරීම.
  20. හමුදාවේ විමර්ශනවලට රහස් පොලිසිය ප්‍රශ්න ඇතිකළ බව හිටපු හමුදාපති තවදුරටත් හෙළි කිරීම.
  21. සහරාන් ඇතුළු කල්ලියට අදාළ තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුවේ මලික් නැමැති නිලධාරියා ලාච්චුවේ දමාගෙන සිටීම (මොහු පිළිබඳව අද වනතුරු ක්‍රියාකර නැත.)
  22. වගකීම පැහැර හැරී උසස් පොලිස් නිලධාරීන් 9ක් ගැන වත්මන් රජය ද කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගැනීම.
  23. පාස්කු ප්‍රහාරයට අදාළ අනතුරු ඇඟවීම ඇමැති ආරක්‍ෂක අංශයේ අවධානයට යොමු නොවීම.
  24. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පස්දෙනෙක් හමුදා බුද්ධි තොරතුරු අවතක්සේරුවකට ලක්කිරීම.
  25. සහරාන් සමග සමීප සබඳතා පැවැත්වූ ආමි මොහිදින් සැඟ වී සිටින ස්ථානය බුද්ධි සේවාව විසින් සී අයි ඩී යේ ඩයස් නැමැති නිලධාරියාට දැනුම් දී තිබියදී සැකකරු අත්අඩංගුවට නොගැනීම.
  26. ආමි මොහිදින් අත්අඩංගුවට නොගැනීම නිසා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට නොහැකිවීම.
  27. මොහුව අත්අඩංගුවට ගැනීමවළකා ඇත්තේ ශානි අබේසේකර බව හෙළිවීම.
  28. 2016 දී නොවැම්බර් 16 වැනි දා පාර්ලිමේන්තුව ඇමතූ විජයදාස රාජපක්‍ෂ මන්ත්‍රීවරයා තව්හිද් ජමාත් කල්ලිය ගැන හෙළිකිරීම.
  29. මුස්ලිම් කවුන්සිලයේ එම්. එන්. අමින් නැමැත්තා සහ රාජිත සේනාරත්න, මුජබිර් රහ්මාන් සහ හිස්බුල්ලා අයිසිස් ක්‍රියාකාරීන් නැති බවට ප්‍රකාශ කිරීම.
  30. බුද්ධි ක්‍රියාකාරීන් 44 ක් සිරගතව සිටීම.
වසර 3කට පසු පාස්කු ප්‍රහාරය ගැන රහස් පොලිසිය වසන් කළ රහසක් හෙළිවෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මතු වූ මෙම කරුණු ගැන එම ප්‍රහාරයට තෙවසරක් සපිරි අවස්ථාවේ දී විමර්ශනයට ලක්වී නැත. ඊට හේතුව එදා සිටි රහස් පොලිසියට ප්‍රධානීන් මාරුවූවත් එලෙසම ක්‍රියාත්මක වීමයි.

එසේම 2016 අගෝස්තු 24 වැනි දා මෙරට තුර්කි තානාපති මුක්තා මස් කියුගාදර් ශ්‍රී ලංකා රජයට රහස් ලිපියක් භාරදුන්නේය. එහි සඳහන් වූයේ ෆෝටෝ ත්‍රස්ත සංවිධානයේ 500ක් කණ්ඩායමක් මෙරටට පැමිණි බවයි. එහි ගමන් බලපත්‍ර අංක සහ නම් ද සඳහන් විය. එහෙත් යහපාලන රජය ඒ ගැන පරීක්‍ෂණ පැවැත්වූයේ නැත. 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු අප්‍රේල් 30 වැනි දා එම ලිපිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ත්‍රස්ත මර්දන ඒකකයට යොමුවිය.

2016 වසරේ දී තුර්කි තානාපති ලබාදුන් ලිපිය ගැන 2019 අප්‍රේල් 21 වැනි දා පාස්කු ප්‍රහාරය වනතුරු පියවරක් නොගැනීම තුළින් මෙරට ජාතික ආරක්‍ෂාවට හෙණ ගසා තිබූ බව සනාථ වී ඇත. මෙයට හේතුවූයේ ෆෝටෝ සංවිධානය ගැන විමර්ශන සිදුකිරීම මෙරට මුස්ලිම් දේශපාලකයන් දෙදෙනකු ව්‍යාර්ථ කිරීමයි. මෙම පසුබිම මැද පාස්කු ප්‍රහාරයේ අලුත්ම සුලමුල නම් සාක්ෂිකරුවන් නැතිව එය කුමන්ත්‍රණයක් බවට ප්‍රකාශ කිරීමයි.

එහෙත් මේ කුමන්ත්‍රණකරුවෝ කවුරුන් ද?

කාදිනල් මැල්කම් රංජිත් ජර්මනියට ද ගොස් පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් බව කියා සිටියේය. එසේ වුවත් කුමන්ත්‍රණකරුවන් කවුද? සහරාන් සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් අටදෙනා මෙහෙයවූයේ කවුරුන්ද යැයි තහවුරු කිරීමේ සාක්‍ෂි අද වනතුරු ඉදිරිපත් වූයේනැත. ඉහළ පෙළේ හමුදා ආරංචි මාර්ග හෙළි කළේ පාස්ක ප්‍රහාරය සිදුවන සමයේ හමුදා බුද්ධි නිලධාරීන් 300ක් රහස් පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීම්වලට ලක්කර ඇති බවයි. කෙසේ වෙතත් මේ වනවිට දැඩි දේශපාලන බලපෑම් මැද පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පොලිස් නිලධාරීන් 9ක් ඇඟ බේරාගෙන ඇත.

වත්මන් රජය ද මොවුන්ට එරෙහිව ක්‍රියා නොකරයි.

වසර 3කට පසු පාස්කු ප්‍රහාරය ගැන රහස් පොලිසිය වසන් කළ රහසක් හෙළිවෙයි

හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නැමැත්තා පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු ලැබුණ නමුත් මෙපමණ දෙයක් සිදුවනු ඇතැයි සිතුවේ නැහැ යැයි පැවසුයත් අධිකරණය විසින් නිදහස් කෙරුණි.

මේ පසුබිම මැද නොමඟ ගිය මුස්ලිම් තරුණ කණ්ඩායමක් මෙම ප්‍රහාරය කළ බව කිවහැකි ද? බංග්ලාදේශයේ ඩකා නුවර පිපිරීම් සිදුකළේ අයිසිස් හිතවාදී කෝටිපති මුස්ලිම් තරුණ පිරිසකි. මෙරට පාස්කු ප්‍රහාරය දියත් කළේ කුළුබඩු වෙළෙඳාමේ යෙදුණ කෝටිපති පවුලක පිරිසයි. මේ අතර පාස්කු ප්‍රහාරයෙන් පසු ත්‍රස්ත මර්දන ඒකකය කළ විමර්ශනවල දී ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන් 702ක් ඉරාකය සහ සිරියාව යන රටවල අයිසිස් ක්‍රියාකාරීන්ට සම්බන්ධ බව අනාවරණය වී ඇත. මෙවන් තොරතුරු අනාවරණයවන අවස්ථාවේ නවසීලන්ත රජය පාස්කු බෝම්බ ප්‍රහාරයට අරමුදල් සැපයූ බව කියන ශ්‍රී ලාංකිකයකුට දේශපාලන රැකවරණ ලබාදී ඇති බව හෙළි විය. එහෙත් ශ්‍රී ලංකාවේ රහස් පොලිසිය මේ ගැන නවසීලන්ත බුද්ධි අංශයෙන් තොරතුරු විමසීමට ක්‍රියාකළේ නැත.

මේ හැර නවසීලන්ත පොලිසිය විසින් වෙඩිතබා මරා දැමූ නැඟෙනහිර ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ අහ්මද් ආදිල් සම්සුදීන් නැමැත්තා ගැන ද තොරතුරු රැසක් හෙළිවූවත් ඒ ගැන ද මෙරට රහස් පොලිසිය නවසීන්ත රහස් පොලිසිය අමතා වැඩිදුර විස්තර විමසීමට ක්‍රියාකළේ නැත.

මෙවන් පසුබිමක් මැද විශ්‍රාමික ශානි අබේසේකර සහ රවි සෙනවිරත්නට රජය හිංසා කරන බව මඩ වෙබ් අඩවිකරුවෝ ප්‍රචාරයක් දියත් කරනු ලැබීය. එහෙත් කෑගල්ල පොලිස් අධිකාරි චාමික වික්‍රමසිංහ, මාවනැල්ල බුදුපිළිමය කැඩීමේ සිද්ධිය ගැන තොරතුරු හෙළිකරමින් සැකකරුවන් හත්දෙනෙක් අත්අඩංගුවේ පසුවන බවත් ඔවුන් පිළිබඳ වැඩිදුරටත් කරන ලද විමර්ශනයේ දී ජාත්‍යන්තර සංවිධානයක් ශ්‍රී ලංකාවේ විවිධ ජන සමූහය අතර අසමගිය ඇතිකිරීමට උත්සාහ කරන බවත් ඒ පිළිබඳව ඉන්ටර්පෝල් (ජාත්‍යන්තර පොලිසිය) වෙතින් තොරතුරු ලබාගන්නා ලෙසත් ශානි අබේසේකර වෙතින් ඉල්ලීමක් කර තිබුණි. චාමික වික්‍රමසිංහ කළ ඉල්ලීමට ශානි අබේසේකර අපූරු ප්‍රතිචාරයක් දක්වා ඇත. “ඉන්ටර්පෝල් පොලිසියේ සහාය ලබාගැනීමේ තත්ත්වයක අප නැත. එවු පණිවුඩයේ රටක් නම්කර නැත. එකී පණිවුඩයේ පුද්ගලයන් හෝ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ගැන කරුණු හෙළිකර නැත.”

ඉන්ටර්පෝල් පොලිසියෙන් බැරිනම් යූරෝපෝල් පොලිසියෙන් තොරතුරු ලබාගැනීමට ශානි අබේසේකර ක්‍රියාකළ යුතුව තිබුණත් ඔහු ඒ සඳහා ක්‍රියාකළේ නැත. අඩු වශයෙන් යූරෝපෝල් පොලිසිය 2018 ජුනි මස එල්ල කළ අනතුරු ඇඟවීම කෙරේ ශානි අබේසේකර නිරීක්‍ෂණය කළ යුතුව තිබුණත් එවැන්නක් සිදුවී නොමැත. මෙහිදී නැඟෙන බරපතළ ප්‍රශ්නය නම් ශානි අබේසේකර ඉන්ටර්පෝල් පොලිසියෙන් මේ බව විමසීමට ක්‍රියා නොකළේ සත්‍ය තොරතුරු හෙළිවන නිසා ද?

වසර 3කට පසු පාස්කු ප්‍රහාරය ගැන රහස් පොලිසිය වසන් කළ රහසක් හෙළිවෙයි

අන්තර් ජාතික සංවිධානයක් මෙරට ජන සමූහය අතර අසමගිය ඇතිකිරීමේ මෙහෙයුමක් දියත්කර ඇතැයි පොලිස් අධිකාරි චාමික වික්‍රමසිංහ ලබාදුන් පණිවුඩය ගැන කාදිනල් මැල්කම් රංජිත් ප්‍රශ්න නොකරන්නේ මන්ද?

කෑගල්ල පොලිස් අධිකාරිවරයා මේ බව හෙළිකර ඇත්තේ පාස්කු ප්‍රහාරයට පෙර එනම් 2018 දෙසැම්බර් 28දා යි.

යූරෝපෝල් සහ ඉන්ටර්පෝල් පොලිසිවලින් මෙම තොරතුරු ලබාගැනීමට ක්‍රියාකළේ නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ඉඩ තිබුණි. එහෙත් වත්මන් ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න ද චාමික වික්‍රමසිංහගේ පණිවුඩය ගැන අවධානය යොමුකර නැත.

(Kegalle police suprintendent wrote CID said that Further Investigation carried out. It Appears that an intetnational organisation is trying to create dishamony among different Communites)

මේ තත්ත්වය මත ඉන්ටර්පෝල් පොලිසියෙන් තොරතුරු ලබාගැනීමට ශානි අබේසේකර ප්‍රකාශ කිරීමෙන් සනාථ වන්නේ ඔහු මාවනැල්ල බුදුපිළිමය කැඩීමේ සිද්ධිය වසන් කිරීමට උත්සාහ කළ බව නොවේ ද?

එසේම අම්පාර ප්‍රදේශය භාර බුද්ධි ප්‍රධානියා 2020 ජූලි 22 වැනි දා ජනාධිපති කොමිසම හමුවේ මෙලෙස ප්‍රකාශ කර තිබුණි.

“සහරාන් කල්ලියේ ප්‍රබල ක්‍රියාකාරීන්වූ ආමි මොහිදීන් මොහමඩ් රිල්වාන් සහ මොහමඩ් සයිනි සැඟවී සිටින ස්ථාන හරියට ම දැනුම් දුන්නා. එහෙත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකළේ නැහැ. පොලිස් පරීක්‍ෂක මාරසිංහ නැමැති නිලධාරියා සමග කණ්ඩායමක් එන බව පැවැසුවා. ඒත් පසුව ආවේ උප පොලිස් පරීක්‍ෂක ඩයස් ඇතුළු කණ්ඩායමක් ඔවුන් පැමිණියේ 2019 මාර්තු 7 වැනි දා යි. මගේ යටතේ සිටින නිලධාරීන් දෙදෙනෙක් එම කණ්ඩායමට යොමු කළා. ඔවුන් පාසිකුඩාවලට ගොස් ආමි මොහිදින් සිටින තැන පෙන්නුවා. අනික් සැකකරුවන් සිටින තැන් බැලීමට අපේ නිලධාරීන් සමග ගියේ නැහැ. ඔවුන් එම තැන් පිළිබඳ විස්තර ලබාගෙන සිතියම් ගතකර තිබුණා. පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවන තුරු ඔවුන්ව අත්අඩංගුවට ගත්තේ නැහැ. අප්‍රේල් 24 වැනි දා ඔවුන් නැවත පැමිණ ආමි මොහිදීන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළත් එම නිවසේ ඔහු සිටියේ නැහැ. ඔහු පැනගොස් සිටියා. පසුව ඔට්ටමාඩුවල සැඟවී සිටියදී අත්අඩංගුවට ගත්තා.

එම අම්පාර බුද්ධි ප්‍රධානියා තවදුරටත් මෙලෙස ප්‍රකාශ කර තිබුණි. 2017 දී අපි සහරාන්ගේ කල්ලියේ 94කගේ නාම ලේඛනයක් සකස් කර පොලිස්පතිට ඉදිරිපත් කළා. 2019 දී තවත් 129කගේ ලැයිස්තුවක් යොමුකළා.

මෙම සාක්කියෙන් තහවුරු වූයේ ශානි අබේසේකගේ රහස් පොලිසිය සහරාන්ගේ ප්‍රබලයන් තිදෙනකු අත්අඩංගුවට නොගැනීම පසුබිමේ යම් අබිරහසක් ඇති බවයි. එහෙත් පසුගිය පෙබරවාරි 25 වැනි දා එකවර ම රැඩිකල් මැද යනුවෙන් අටවාගත් සංවිධානයක් බිහි වීය. ජයනි අබේසේකර – හරේන්ද්‍රන් ක්‍රිෂාන්සාමි, කෙශාල් ජයසිංහ, සී එස්. කොඩිකාර සහ සීරෝ පාරුක් නමින් ජීවිතේටවත් අසානැති කල්ලියක් ප්‍රකාශයක් කරමින් ශානි අබේසේකරට අත නොතබනු යැයි පවසනු ලැබීය. ශානි අබේසේකරට චරිත සහතික දීමට මේ කල්ලිය ඉදිරිපත්වූවත් ශානිගේ ක්‍රියාදාමයන් රැසක් මේ වනවිට හෙළිවී ඇත. මාවනැල්ල බුදුපිළිමය කැඩීමට අදාළ විමර්ශනය මාවනැල්ල ප්‍රදේශය භාරව සිටි පොලිස් අධිකාරිවරයා දිගට ම කරගෙන යන අවස්ථාවේ විමර්ශන කටයුතු රහස් පොලිසිය පවරනු ලැබීය. ඒ අනුව වනාතවිල්ලුව ලැට්කොස්ට් වත්තෙන් අවි හා පුපුරණ ද්‍රව්‍ය සොයාගත් රහස් පොලිසිය සිය පරීක්‍ෂණ ඉදිරියට ගෙන ගියේ නැත. එසේම මාවනැල්ල සිද්ධිය ගැන කෑගල්ල පොලිස් අධිකාරිවරයා කළ අනතුරු ඇඟවීම හෙවත් ජාත්‍යන්තර සංවිධානයක් ඇති බව කළ ප්‍රකාශය ශානි ප්‍රතික්‍ෂේප කළේ මන්ද?

(It Appears that an International Organisation is try to Create Disharmony)

මේ හැර 2020 ජූලි 2 වැනි දා ජනපති විමර්ශන කොමිසමට හමුවේ සාක්කි දුන් යුද හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අනාවරණය කළේ පාස්කු ප්‍රහාරයට පෙර මෙරට සිදුවූ දරුණු අන්තවාදී ක්‍රියා පහක් ගැන ශානි අබේසේකරට දැනුම් දුන්නත් ඒ ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවයි. එසේ වුවත් වත්මන් රජය යටතේ රහස් පොලිසියේ ප්‍රධානීන් ලෙස පත්වූ කිසිම නිලධාරියෙක් ශානි

අබේසේකරගෙන් මේ ක්‍රියා ගැන ප්‍රකාශයක් ගත්තේ නැත. ඒ වනවිට ශානි අබේසේකර මුළුමනින්ම දේශපාලනීය කරණය වී හමාරය. රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් සහ දේශපාලකයන්ද ඔහුව බේරාගැනීමට දැඩි උත්සාහයක් ගැනීමේ ප්‍රතිඵලය වූයේ ශානි වසන් කළ තොරතුරු ද යටපත් වීමයි.

මේ අතර 2019 අප්‍රේල් 22 වැනි දා ජාත්‍යන්තර පොලිසියේ නිලධාරීහු මෙරටට පැමිණියහ. ඒ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පැය 48කට පසුවය. ඔවුන්ගේ පැමිණීමෙන් පසු රහස් පොලිසියේ ප්‍රධානියා වූ ශානි අබේසේකර අයිසිස් ත්‍රස්ත සංවිධානය ගැන විමසිය යුතුව තිබුණි. එහෙත් ඔහු පොලිස් අධිකාරි චාමික වික්‍රමසිංහගේ ලිපියේ තිබූ එක්තරා සංවිධානයක් මාවනැල්ල බුදුපිළිමය කැඩීමට සම්බන්ධ බව දැක්වෙන තොරතුරු ගැන විමසා නැත.

මේ පසුබිම මැද ගුවන් හමුදාවේ හිටපු භටයෙක් ද පාස්කු ප්‍රහාරය ගැන සාවද්‍ය තොරතුරු විකාශය කර ඇත. ඔහු එම ප්‍රහාරයට ගෝඨාභය සහ ශවේන්ද්‍ර සිල්වා පැටල වීමට ක්‍රියාකළේය. මේ වසරේ මාර්තු මස කාදිනල් මැල්කම් රංජිත් වතිකානුවට ගොස් එතැනින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ද එතැනින් ජර්මනියට ද ගියේය. ජර්මනියේ කාදිනල් බරපතළ ප්‍රකාශයක් කළ අතර එය වතිකානු ප්‍රවෘත්තිවල පළ විය. මේ ප්‍රහාරය සිදුවනු දැකීමට බලධාරීන්ට අවශ්‍ය වුණා යැයි හෙතෙම කියා සිටියේය. 2019 අප්‍රේල් 21 වැනි දා මෙරට පැවැතියේ යහපාලන රජයයි. එසේ නම් ප්‍රහාරය අවශ්‍ය වුණේ ඔවුන්ට ද? මෙවන් තොරතුරු හෙළිවන අවස්ථාවේ පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයට යුක්තිය ඉටුවී නැත.

advertistmentadvertistment
advertistmentadvertistment