කුමාර වෙල්ගම, ටියුඩර් ගුණසේකර සහ එච්. නන්දසේන අභාවයන් ගැන මැති සබයේ සොව පළවෙයි
තමන්ට පහරදුන් අයටත් කුමාර මෛත්‍රී කළා – අජිත් පී. පෙරේරා
තමන්ටම අනන්‍ය වූ ආකාරයට දේශපාලනය කළ සුවිශේෂී චරිතයක් – ඇමැති නලින්ද ජයතිස්ස
නන්දසේන හම්බ කළේ පොදු ජනතාවයි – මන්ත්‍රී රෝහණ බංඩාර
කුමාර වෙල්ගම මැදිහත්ව ඇරැඹූ කුකුළේ ගඟ විදුලි යෝජනා ක්‍රමය කැපී පෙනෙන ව්‍යාපෘතියක් පළාතේ දියුණුවට ටියුඩර් ගුණසේකර පෞද්ගලික ඉඩම් පවා පරිත්‍යාග කළා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස
මානව හිතවාදී දේශපාලනඥයෙක් – විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක
අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, ටියුඩර් ගුණසේකර හා ඒ. නන්දසේන යන මහත්වරු පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා පළකිරීම ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී සිදුවිය.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වූ අතර කතානායකවරයාගේ නිවේදන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශෝක ප්‍රකාශ යෝජනාව සභානායක ඇමැති බිමල් රත්නායක මහතා විසින් ඉදිරිපත් කරනු ලැබීය.
සභානායක ඇමැති බිමල් රත්නායක
ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රකට ව්‍යාපාරිකයකු වූ එස්.ඒ. වෙල්ගම මහතාගේ හා බියටි්‍රස් හිදැල්ලආරච්චි මහත්මියට දාව කුමාර වෙල්ගම මහතා 1950දී ජන්ම ලාභය ලැබුවා. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු ව්‍යාපාරික ක්ෂේත්‍රයට එක්වූවා. පාරම්පරික ව්‍යාපාරික පවුලක සාමාජිකයකු වූ ඒ මහතා සිය දේශපාලන ජීවිතය අගලවත්ත ආසනයේ ශ්‍රීලනිප සංවිධායකවරයා ලෙස ඇරඹුවා. 1994 මහ මැතිවරණයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පත් වූ එතුමා 2024 වසරේ පාර්ලිමේන්තුව විසුරුවාහරින තුරුම අඛණ්ඩව සෑම මැතිවරණයකින්ම ජය ලබමින් මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළා. ජනතාව විසින් ඔහුව කළුගංතොට සිංහයා යන ආදර නාමයෙන් ද හඳුන්වනු ලැබූ බව ද දැනගන්නට ලැබුණා. වසර 42ක දේශපාලන දිවියේදී ඔහු 1994දී ශ්‍රීලනිපයෙනුත්, 2004දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, 2005දී එක්සත් ජනතා නිදහස් සන්ධානය හා 2020දී සමගි ජන බලවේගය යන පක්ෂ හා සන්ධාන සමග එක්ව සිය දේශපාලන දිවිය පොදු ජනතාව වෙනුවෙන් කැප කළා. පසුව 2021 එතුමාගේම නායකත්වය යටතේ නව ලංකා නිදහස් පෙරමුණ ආරම්භ කිරීමට කටයුතු කළා. ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති, විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය ඇමැති, කර්මාන්ත ඇමැති, ත්‍රිවිධ හමුදා සුබසාධන ඇමැති හා ප්‍රවාහන ඇමැති යන තනතුරු දැරූ ඒ මහතා තම මතය වෙනුවෙන් පෙනී සිටි ඍජු දේශපාලනඥයකු ලෙස ප්‍රකටය.
අගලවත්ත ආසනයේ ඉදි කළ කුකුලේ ගඟ ජල විදුලි යෝජනා ක්‍රමය එතුමාගේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කළ අතර දුෂ්කර ගම්මානවලට විදුලිය, මංමාවත් මෙන්ම ප්‍රවාහන පහසුකම් ලබාදීමට ද ඔහු මූලික වී කටයුතු කළා. කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසල් 24කට පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් බස් රථ පරිත්‍යාග කර ඇති වෙල්ගම මහතා මතුගම රෝහල සඳහා මාතෘ හා ළමා වාට්ටුවක් ලබාදීමටත් මුල් වී ක්‍රියා කළා. 1981දී තේජා හේමමාලා වෙල්ගම මහත්මිය සමග විවාහ වූ ඒ මහතා පුතුන් දෙදෙනකුගේ හා දියණියන් දෙදෙනකුගේ දයාබර පියෙකි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස වසර 30ක් නියෝජනය කරමින් කෘතහස්ථ දේශපාලනඥයකු ලෙස තම පාක්ෂිකයන්ටත් පොදු ජනතාවටත් මෙහෙයක් ඉටු කළ එතුමා වසර 74ක් පමණ ආයු වළඳා 2024 සැප්තැම්බර් මස 28 දින සදහටම සමුගත්තා. වසර 42ක් පමණ ක්‍රියාකාරි දේශපාලනයේ යෙදුණු කුමාර වෙල්ගම මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
එතුමාගේ බිරිඳ දූ දරුවන් ඇතුළු ඥාතීන් වෙත මෙම උත්තරීතර සභාවේ ශෝකය දන්වා යවන ලෙස ඉල්ලා සිටිමි.
ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ආසනය නියෝජනය කරමින් එජාපය යටතේ 1977 වසරේදී පාර්ලිමේන්තුවට තේරී පත්ව වසර 6කට ආසන්න කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තම දිස්ත්‍රික්කයට මෙන්ම ජනතාවට සේවයක් ඉටු කළ ටියුඩර් ගුණසේකර මහතාගේ ශෝකය පළ කිරීමේ යෝජනාව ඉදිරිපත් කරමි.
කොළඹ ආනන්ද විiාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකි. 1960දී එජාප මහර ආසන සංවිධායක ලෙස සක්‍රිය දේශපාලනයට පිවිසි ඒ මහතා 1977 සිට 1983 වසර දක්වා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අතර එම කාලය තුළ දිසා ඇමැති ලෙස ද කටයුතු කළා. එමෙන්ම පෝලන්තය, බල්ගිරියාව, රුමේනියාව හා හංගේරියාව යන රටවල තානාපතිවරයකු ලෙස ද එතුමා කටයුතු කළා. ප්‍රදේශයේ බෞද්ධ සිද්ධස්ථාන උන්නතිය උදෙසා කටයුතු කළ අයෙකි. අවුරුදු 86ක් ආයු වළඳමින් පොදු ජනතාවට මෙහෙයක් ඉටු කළා. එතුමා 2021 අගෝස්තු මස 29 වන දින අප අතරින් සමුගත්තා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් 2020දී පාර්ලිමේන්තුවට තේරීපත්ව තම දිස්ත්‍රික්කයට මෙන්ම ජනතාවට සේවාවක් ඉටු කළ එච්. නන්දසේන මහතාගේ ශෝක යෝජනාව ඉදිරිපත් කරමි.
1991දී පළමුව පදවිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී එහි විපක්ෂ නායක ලෙස තේරීපත් වුණා. 1988 උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස පත්ව සමුපකාර ඇමැති ලෙස පත්වුණා. 2002 උතුරු මැද පළාත් සභාවේ සභාපති ලෙසත් 2010දී පළාත් කෘෂිකර්ම ඇමැති ලෙසත් පත් වුණා. 2019දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. එම කාලය තුළ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ලෙසත් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු කිහිපයකගේ සභාපති ලෙසත් කටයුතු කළා. වසර 72ක් ආයුවළඳා අප අතරින් සමුගත්තා.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති නලින්ද ජයතිස්ස,
කුමාර වෙල්ගම මහතාගේ අභාවය පිළිබඳව එතුමාගේ බිරිඳට, සෙනල් වෙල්ගම ඇතුළු දරුවන්ට, නිමල් වෙල්ගම ඇතුළු සහෝදර සහෝදරියන්ට ආණ්ඩු පක්ෂයේ සිය ශෝකය පළකර සිටිනවා.
කුමාර වෙල්ගම යනු තමන්ටම අනන්‍ය ආකාරයට දේශපාලනය කළ සුවිශේෂි චරිතයක්. අපේ දිස්ත්‍රික්කයේ දේශපාලනයේදී කුමාර වෙල්ගම වැනි කෙනෙක් ආයේ හැදෙන්නේ නෑ. කොපි කරන්නත් බැහැ. මගේ මතකයේ හැටියට පැරණිම දේශපාලන නායකයන්ගෙන් කෙනෙක් එතුමා. 1982 අගලවත්ත ආසන සංවිධායක ලෙස දේශපාලනය ඇරඹුවා. එදා නොබියව අසාධාරණයට එරෙහිව හඬනඟපු කටයුතු කරපු තරුණ සංවිධායකවරයෙක් වුණා. එදා අධිකාරිවාදි දේශපාලනයක් තිබුණේ. ඒ නිසා ඉතිරි වූ ශ්‍රීලනිප පාක්ෂිකයන්ට කුමාර වෙල්ගම වගේ චරිතයක් එදා අවශ්‍ය වුණා.
1994න් පස්සේ පාලන බලය ලබා ගත්තා. නියෝජ්‍ය ඇමැති කැබිනට් ඇමැතිකම් දැරුවා. ඒ හැම ඇමැති ධුරයත් සමගම දිස්ත්‍රික්කයේ විවිධ සංවර්ධන කටයුතුවලට දායකත්වය ලබා දුන්නා. දුෂ්කරම ආසනය වන අගලවත්ත, මතුගම සංවිධායක ධුර දරමින් තම අමාත්‍යාංශවලට ලැබුණු ප්‍රතිපාදන යොදාගෙන සේවය කළා. ඔහු සරල දේශපාලනඥයෙක්. රටේ ආරක්ෂාව මොනවා වුණත් මම කවදාවත් ඔහු ආරක්ෂක නිලධාරීන් පිරිවරා යනවා දැකලා නෑ. ඕන රැයක, මළ ගෙදරක කුමාර වෙල්ගම හිටියා. දේශපාලන තීන්දු ගැනීමේදී නොබියව ක්‍රියා කළා. ඒ චරිතය අනන්‍යයයි. කාටවත් කොපි කරන්න බැහැ.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක,
කුමාර වෙල්ගමගේ පියා ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් වුණා. වෙල්ගම මහතා ඉඩම් හිමි වැවිලිකරුවෙක්. ව්‍යාපාරිකයෙක් මෙන්ම මානව හිතවාදි දේශපාලනඥයකු ලෙස විශිෂ්ට මෙහෙවරක් කළා.
කුමන පක්ෂයකින් තරග කළත් කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව ඉහළම මනාපයකින් ඔහු පාර්ලිමේන්තුවට එව්වා. නියෝජ්‍ය ඇමැතිවරයෙක්, ඇමැතිවරයෙක් ලෙස විශාල සේවාවක් කළුතර දිස්ත්‍රික්කයට සිදු කළා. ඕනම අවස්ථාවකදී සිනහමුසු මුහුණින් ක්‍රියා කළා. ආචාර්ය මහාචාර්ය තනතුරු නොතිබුණාට ලැබූ දේශපාලන පන්නරය, අත්දැකීම් නිසා රටේ අනාගතය ගැන කියන්න පුදුම හැකියාවක් තිබුණා. ප්‍රවාහන ඇමැති ලෙස අත්දැකීම් තුළින් රටට විශාල සේවයක් කළා. කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවාව නැංවීමට විශාල සේවයක් ඉටු කළා.
නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ,
මහර ආසනය නියෝජනය කරමින් ටියුඩර් ගුණසේකර මහතා දේශපාලනය කළා. වසර 06ක් පාර්ලිමේන්තුවේ කටයුතු කළා. ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථම දිසා ඇමැතිවරයා ලෙස කටයුතු කළා.
ඉහළ පැලැන්තියක පවුලක ඉපදුන ඔහු ගමේ සාමාන්‍ය ජනතාවත් සමග දුක සැප බෙදාගනිමින් කටයුතු කළා. මන්ත්‍රීවරයකු ලෙස ජනතාව සමග ජීවත් වූ, හැසිරුණ විදිහ බලද්දී අද සමහර දේශපාලනඥයන්ට ආදර්ශයක්. ඔහුගේ මුණුපුරා වූ හසිත ගුණසේකර අද දේශපාලනයට පැමිණ තිබෙනවා. ඒ ඔස්සේ ප්‍රදේශයේ ජනතාව සමග කටයුතු කරනවා.
කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන (ප්‍රජාපෙ)
කුමාර වෙල්ගම මහතා ඉතා සරල ගති පැවතුම් ඇති දේශපාලනඥයෙක්. 1977 සිට 94 දක්වා එජාප පාලන කාලයේ අපේ කඳවුරේ සිංහයෙක් විදිහට අපි දැක්කේ. ඒ නිසයි ජනතාව කළුගංතොට සිංහයා ලෙස හැඳින් වූයේ. තම ජනතාවට වගකීම් ඉටු කළා.
දුෂ්කරම අගලවත්ත ආසනය අද විදුලිය, මාර්ග සංවර්ධනය වී ඇත්තේ වෙල්ගම මහතා නිසයි. ඒ ප්‍රදේශවල තරුණ තරුණියන් රැසකට රජයේ රැකියා ලැබුණේ කුමාර වෙල්ගම නිසයි. පාසල් සංවර්ධනයට විශාල සේවයක් කළා. මේ වගේ ආදර්ශවත් දේශපාලනඥයකු අපේ දිස්ත්‍රික්කයෙන් බිහිවීම සතුටට කරුණක්.
ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධවයි වෙල්ගම මහතා හිටියේ. ඒත් මනුෂ්‍යයෙක්ගේ වටිනාකම නොදන්නා අරගලයේ සිටි පිරිසක් ඔහුට පහර දුන්නා. මෙය ම්ලෙච්ඡයි. එතුමාව මරන්න හදපු අයට නිදහස දෙන්න කියා ඔහු කිව්වා. ඒ තරම්ම මානව හිතවාදී මිනිහෙක් ඔහු.
කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා (සජබ)
කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ අඩුපාඩු, වුවමනා එපාකම් හැමවිටම සපුරාලීමට කටයුතු කළා. ඔහු නොගිය මළ ගෙදරක් නෑ. දේශපාලන පක්ෂ භේද තිබුණෙ නෑ.
ඔහු එදා අරගලකරුවන්ගේ මතයේමයි හිටියේ. අරගලකරුවන්ටත් කලින් ඒ අදහස රටට ප්‍රකාශ කළා. අවාසනාවකට අරගලකරුවන්ගේ පීඩාව නිසා කායිකව මානසිකව පීඩා වින්දා. තමන්ට පහර දුන් අයට පවා මෛත්‍රී කළා. ඔවුන්ට එරෙහිව ක්‍රියා කරන්න එපා කිව්වා.
අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බංඩාර (සජබ)
එච්. නන්දසේන මහතා පදවිය වැනි දුෂ්කර ප්‍රදේශයක ජීවත්වෙලා අධ්‍යාපනය ලැබුවා. ඔහු උතුරු මැද පළාත් සභාවේ තනතුරු රැසක් දැරුවා. මැදවච්චිය ජනතාවට විශාල සේවයක් කළා. යහපාලන රජයන් සමග ඔහු පළාත් සභාවේ ඉතා සුහදව කටයුතු කළා. 2020දී පාර්ලිමේන්තුවට පැමිණ එකම ආසනය නියෝජනය කළා.
එතුමා හරි හම්බ කළේ මුදල් වලට වඩා ජනතාවයි. ජනතාව වෙනුවෙන් කළ හැකි උපරිම මෙහෙය කරන්න කටයුතු කළා. කෘෂි කර්මාන්තයට විසඳුම් දෙන්න කැප වුණා. කෘෂි සංවර්ධන සමුපකාර සමිති පිහිටුවන්න ක්‍රියා කළා. ත්‍රස්තවාදයෙන් බැටකාපු ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙක් ලෙස ජනතාවගේ ගැටලු වෙනුවෙන් පෙනී සිටියා.
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා –
1994 දී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පත්වී 2000 සිට ප්‍රවාහන නියෝජ්‍ය ඇමැතිවරයා වුවත්, ඉන්පසු විදුලිබල නියෝජ්‍ය, කර්මාන්ත ඇමැති, ත්‍රිවිධ හමුදා සුබසාධන ඇමැති, ප්‍රවාහන ඇමැති ලෙස සිය සේවාව ඉෂ්ට කළා.
එතුමාගේ මැදිහත් වීමෙන් ආරම්භ කළ කුකුළේ ගඟ විදුලි යෝජනා ක්‍රමය කැපී පෙනෙන ව්‍යාපෘතියක්. මතුගම පාසල් 3කට පිහිනුම් තටාක ලබාදී තිබෙනවා. පානදුර මහ රෝහලට අංගසම්පූර්ණ භික්‍ෂු වාට්ටුවක්ද ලබාදීමට මූලික වුණා. වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් 500 දෙනකුට සතිපතා රුපියල් 500 බැගින් ලබාදී යම් සුබසාධනයක් කළ මහජන නියෝජිතයෙක්. 2021 දී නව පක්‍ෂයක් නිර්මාණය කළා. සමගි ජන බලවේගය සමග ඒකාබද්ධව ක්‍රියාකළා. කුරිරු ම්ලේච්ඡ ප්‍රහාරයකට මුහුණ දෙන්න වුණා. ඉන්පසුව සෞඛ්‍ය සම්පන්න භාවය පළුදු වුණා. ඒ සමග ගිලන් වුණා. ඔහු කළ මහජන සේවාව මතක් කළ යුතුයි.
ඔහු හදවතේතිබූ හැමදේම එළිපිටම සංස්කරණයෙන් තොරව ප්‍රකාශ කළ මහජන නියෝජිතයෙක්. එතුමා කියපු දේ නිර්භීතව කිව්වා. හදිසි වියෝව පිළිබඳ අපගේ ශෝකය ප්‍රකාශ කරනවා.
1997 වසරේදී පදවිය ප්‍රාදේශීය සභාවට මන්ත්‍රීවරයෙක් ලෙස පත්වූ නන්දසේන මහතා විපක්‍ෂ නායක ලෙසත් කටයුතු කළා. පසුව උතුරු මැද පළාත් සභාවට තේරීපත් වී තනතුරු දැරුවා. 2020 දී පාර්ලිමේන්තුවට පත්වුණා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු ආසාදනයෙන් පෙළෙන ජනතාව වෙනුවෙන් හඬක් නැගුවා. ඔවුන්ට උපරිම සෞඛ්‍ය මැදිහත්වීම ඉටු කරන්න මැදිහත් වුණා. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පොහොර සහනාධාරයට වැඩි උනන්දුවක් දැක්වූවා.
ටියුඩර් ගුණසේකර මහතා ප්‍රථම දිසා ඇමැති ලෙස ගම්පහ දිස්ත්‍රික්කයෙන් පත්වුණා. එමෙන්ම තානාපති ධුර දැරුවා. ගම්පහ දිස්ත්‍රික්කයේ අලුතින් පාසල් රැසක් ආරම්භ කළා. පාසල් සංවර්ධනයට ලොකු උනන්දුවක් දැක්වූවා. රෝහල් වැඩි දියුණු කිරීමට පෞද්ගලික ඉඩම් පවා පරිත්‍යාග කළා. ටියුඩර් ගුණසේකර මහතා වෙනුවෙන් ශෝකය පළ කරනවා.
අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන