වසවිස නැති පොහොරින් සරුසාර කුඹුරු යායක්…

89

බස්නාහිර පළාතේ හොඳම ගොවියාගේ විශ්මකර්ම වැඩක්

මහ පැරකුම් රජ දවස මවුබිම සහලින් ස්වයංපෝෂණ වූ බව අප ඉතිහාසය විසින් මනාව වටහා ගෙන තිබුණි. වැවයි දාගැබයි ගමයි පන්සලයි මිනිසාගේ භෞතික සංවර්ධනය මෙන්ම අධ්‍යාත්මික සංවර්ධනය ද ගොඩනැඟූ සංකල්පයම විය. එදවස අප බුද්ධ භෝග වශයෙන් ද සැලකූ මේ උතුම් භවභෝග සංකීර්ණ සමාජය දක්වා ආ මේ ගමනේදී සියල් උඩු යටිකුරු කරමින් සම්පූර්ණයෙන්ම වෙනත් වැඩපිළිවෙළක් යටතේ ඉදිරියට යන්නට විය. කෙතේ කමතේ බැතේ කාර්යයන් ආගමික දර්ශනයට ආගමික ඇදහිල්ලට මුල්තැන දෙමින් හිරු සඳුට වන්දනා කරමින් මහ පොළොවට කෙතට කමතට භක්තියෙන් පැළ කළ බීජයන් ක‍්‍රමයෙන් විද්‍යාත්මක ක‍්‍රමවේදයන් සමග යන්ත‍්‍ර සූත‍්‍රවලින් කරනා යුගයක් නිර්මාණය විය. සොබා දහමෙන් ලද දිරාගිය අපද්‍රව්‍ය, සත්ත්ව අපද්‍රව්‍ය හා වෙනත් මහ පෙළොවට හිතකර දේ වෙනුවට මහ පොළොවට අහිතකර රසායනික ද්‍රව්‍ය එකතු වන්නට විය.

එහි ප‍්‍රතිඵලයක් ලෙස වර්තමානය වනවිට ගොවියා යනු සම්පූර්ණයෙන්ම රෝගී සත්ත්වයෙක් ලෙස ඉතාමත් දුක්ඛිත ඉරණමක් ලද පුද්ගලයෙක් බවට පත් වී හමාරය.

ඉතිහාසය පුරා ම අප ලද අත්දැකීම් වර්තමානයට ගළපාගෙන යළිත් යහපත් පොළොවක් නිර්මාණය කර ගැනීමේ අත්‍යවශ්‍ය කාරණයට ඉතා ඉක්මණින් අප පිවිසිය යුතුය යන මතය කෘෂිකර්මාන්තය විෂය පිළිබඳ ප‍්‍රාමාණික විද්වත්හුගේ ම මහ පෙළොවට ආදරය කරන සෑම මිනිසකුගේ ම ප‍්‍රාර්ථනාව හා බලාපොරොත්තුව වේ.

වර්තමානයේ අප රට මුහුණ දී ඇති මේ සියලූ කෘෂිකාර්මික විෂමතාවලට පිළිතුරක් සොයා ගැනීමේ අරමුණින් ඒ පිළිබඳව දැනුම් සම්භාරයක් ඇති ප‍්‍රායෝගික මිනිසෙක් සොයා අපි ගියෙමු.

ඔහු ගම්පහ දිස්ති‍්‍රක්කයේ 2011 වර්ෂයේ සිට එක දිගට වසර 5ක් ශූර ගොවි සම්මානය සහ බස්නාහිර පළාතේ හොඳම ගොවි සම්මානය ලබාගත් සුනිල් රත්නායක නම් ගොවි මහතා ය. ඔහු අපට මුණගැසුණේ කුරුල්ලන්ගේ කිචි බිචි නාදයත් සමගින් පිනි වැටෙනා සීතල හිමිදිරියේ මීරිගම ප‍්‍රදේශයේ කිරිමැටිඋල්ල වෙල්යායේදී ය.

රන්වන් කරලින් බර වී ඇති රන් අස්වැන්න ළා හිරු එළියේ දිලිසෙමින් තිබිණ. සෑම ගොවි මහතෙක් සේම රත්නායක ගොවි මහතා ද උදාර ගොවියෙක් ලෙසින් තම අස්වැන්නෙන් කොටසක් කරල් රැගෙන යන්නට එන පක්ෂීන්ට වෙන්කර ඇති අයුරු දක්නට ලැබිණි.

වේගයෙන් ආ කුරුලූ රංචුවක් ක්‍ෂණිකව පැසුණු වී කරල් රැගෙන යන ආකාරය අපට මනරම් දර්ශනයක් විය. දවස සුබ වෙන්නට ප‍්‍රාර්ථනා කරමින් අපි අපගේ අරමුණ පැහැදිලි කර ගැනීම ආරම්භ කළෙමු.

ඔබ බොහෝ කලක සිට කාබනික පොහොර යොදාගෙන වගාවන් කරන බව බොහෝ දෙනෙක් දන්නා කරුණක්. නමුත් මේ කාබනික පොහොර රසායනික පොහොර පිළිබඳ ලොකු අර්බුදයක් ඇති වෙලා තිබෙන අවධියක්. මේ පිළිබඳ කුමන මතයකද ඔබ ඉන්නේ;

රටක් විදිහට වැටිලා ඉන්න තැනින් ගොඩ ගන්න නම් සාම්ප‍්‍රදායිකත්වයෙන් බැහැර වෙලා විද්‍යාත්මක කෘෂිකර්මාන්තය තෝරාගත යුතුයි. එය ගුණාත්මක විය යුතුයි.එයට අවශ්‍ය පොහොරත් ගුණාත්මක පොහොරක් විය යුතුයි.

ඒ වගේම මේ කන්නෙට මම හොඳ පර්යේෂණයක් කළා. මඩ තැටියට කරදහයියා කලවම් කරලා කාබනික සහ රසායනික පොහොර දෙකම කලවම් කරලා වී ඇට ඉහිනවා. වී ඇට දාලා දින 14ක් තිස්සේ හොඳින් දරුවෙක් වගේ බලාගන්නවා. මේ වපරිසරියට පොහොර කිසිම දෙයක් යොදන්නේ නැහැ. ඒ අතර කුඹුර සකස් කරගෙන දින 14 පහුවෙන කොට මෙවන් එක එක ගොයම් පැළ කුඹුරට විසි කරනවා. මේකට කියන්නේ පැරෂුට් ක‍්‍රමය කියලා. වී ඇට 4කින් ගොයම් පඳුරක් හදාගන්න පුළුවන්. කෘෂිකර්මාන්තයෙන් ලෝකේ දියුණු රටවල් ගොඩක් ඉස්සරහට ගිහිල්ලා ඉන්නකොට අපේ රටට මේවා හඳුන්වා දෙනකොට ගොඩක් පස්සට ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා මම යෝජනා කරනවා අපේ රටේ ඉන්න ගොවි මහත්වරුන්ට මෙන්න මේ පැරෂුට් තැටි ක‍්‍රමය සියලූම දෙනාට හඳුන්වා දෙන්න කියලා. වල් මර්දනය කර ගන්නත් පුළුවන්. පැළ ගොඩක් හදාගන්නත් පුළුවන්. එයින් විශාල අස්වැන්නක් ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. පහත් බිම්, තෙත් බිම් කඳුකර ප‍්‍රදේශවලට මේ ක‍්‍රමය ප‍්‍රචලිත කරන්න පුළුවන් නම් ගොඩක් ප‍්‍රයෝජනවත් වේවි.

ඒ වගේම වී පඳුරක් සරුවට වැවෙන්න කොළපාටට පැහැදිලිව පේන්න ස්වභාවික නයිටි‍්‍රජන් අවශ්‍යයි. ස්වභාවික නයිටි‍්‍රජන් වැසි වහිනකොට ලැබෙනවා. නමුත් ලෙහෙසියෙන් ලබා ගන්න බැහැ. එයට අවශ්‍ය ජීවීන් කොටසක් ඉන්නවා. මූල මණ්ඩලයේ ඉන්න ක්‍ෂුද්‍රජීවීන්ට පුළුවන්කම තිබෙනව මේ නයිටි‍්‍රජන් ගහට අරන් දෙන්න. ඒ තරම් සරුසාරව වැඩුණු පුරෂුට් ක‍්‍රමයට හදපු මේ වී පඳුරේ වී කරල් 40ක් පමණ තිබෙනවා. එම සාර්ථක එක වී කරලක වී ඇට 150ක් 200ක් අතර ප‍්‍රමාණයක් හැදෙනවා. මේ වී පඳුර සම්පූර්ණයෙන්ම එයට අවශ්‍ය පෝෂණය ලැබුණානම් වී කිලෝ දෙක හමරක් පමණ ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. නමුත් මේ තිබෙන පොහොර අර්බුදය හමුවේ මහන්සියේ ප‍්‍රතිඵල ලබා ගැනීමට බැරිවුණේ.

වසවිස නැති පොහොරින් සරුසාර කුඹුරු යායක්…

වර්තමානයේ ගොවියන් තුළ හා සාමාන්‍ය මිනිසුන් අතර පවා තිබෙන්නේ දැන් ඉතින් මේ පොළොවේ වගාවන් සඳහා රසායනික පොහොර භාවිත නොකොට කිසිම සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට නො හැකි බවයි. මේ පිළිබඳ ඔබගේ අදහස.

වගාකරන්න අවශ්‍ය කරන පොහොර දැන් මේ පොළොවේ නැහැ. එයට අවශ්‍ය පෝෂණය අනිවාර්යයෙන්ම පිටින් දෙන්න ඕනේ. උඩින් එන්නෙත් නැහැ. සුළඟින් එන්නෙත් නැහැ. ඒක තමයි මේ හානිය. නිකම්ම නිකන් කුණු කසළ ගෙනැත් දැම්මට වැඩක් නැහැ. විද්‍යාත්මකව හඳුනාගත්ත පරීක්‍ෂණාත්මක පොළොවට අහිතකර නොවන සිරුරට අහිත කර නොවන ගුණාත්මක පොහොරක් ලබා දිය යුතුය.

ඒ වගේම මේ සම්බන්ධව විශේෂඥ දැනුමක් ඇති පිරිසකගේ සහාය ලබා ගත යුතුයි. අපට තියෙනවා ගන්නෝරුවේ කෘෂිකර්ම පර්යේෂණ ආයතනය. එහෙ ඉන්න ඉගෙන ගන්න පිරිස වෛiවරු. කෘෂි පාංශු පරීක්‍ෂකවරු. මෙයාලගේ සහාය ලබාගෙන ගොවියා අතර සම්බන්ධතාවය ගොඩනඟා ගැනීම අවශ්‍යයි. ගොවියට පොහොර හදන්නයි කුඹුරු වගා කරන්නයි එළවළු වගා කරන්නයි ගියොත් කෘෂිකර්මාන්තය ආයෙත් වළපල්ලට යනවා. ඒ වගේම පොළොවේ තිබෙන ඌනතාවය සොයා බලන්න ඕනේ. ඒවාට අවශ්‍ය වන්නේ කාබනිකද රසායනික ද මිශ‍්‍ර ද යන්න සාකච්ඡා කරන්න ඕනේ. මේ සම්බන්ධයෙන් පුළුල්ව සාකචඡා කිරීම වැදගත් වෙනවා. සීතල කාමරවල ඉඳගෙන මේවාට උත්තර හොයලා වැඩක් නැහැ. ගොවිබිමට බැහැලා ගොවියා සමග සාකච්ඡා කරමිනුයි මේවාට උත්තර හොයන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

කවුරුවත් සතුටු කරන්න මේ දේවල් කියලා වැඩකුත් නැහැ. කරලා වැඩකුත් නැහැ. අපි ඇත්ත කාරණයට මුහුණ දෙන්න ඕනේ. ඇත්ත කාරණය බරපතළයි. මේ ගොවියෝ රැවැට්ටුවද නැතිනම් රැවටුනාද ඒ කවුරුහරි කියපු එකේ ප‍්‍රතිඵලය තමයි මේ වනවිට සහල් කිලෝ එකක් රුපියල් 170 ට 180 ට ගිහින තියෙන්නේ. මීට අඩුව හාල් මිලට ගැනීමට හැකියාව තිබෙවාද යන පැනයට ඔහු පැවසුවේ අනිවර්යයෙන්ම පුළුවන්. නමුත් එයට අවශ්‍ය ක‍්‍රමවේදයක් සැකසිය යුතු බවයි. වගා කරන්න පුළුවන් වගාබිම් මේ රටේ ඕන තරම් තියෙනවා. රැවැට්ටුවේ කොතැන ද නිද්‍රාශීලී කළේ කොතැනද පොහොර ප‍්‍රශ්නයක් ඇදල අරගෙන ගොවියා සම්පූර්ණයෙන්ම අසරණ කළා. ඒකෙන් උනේ ගොවියා කුඹුරෙන් නියරට ගොඩවුණා. නියරෙන් මහපාරටත් මහපාරෙන් ගෙදරට ම ගියා.

කාලයක පටන් ක‍්‍රමිකව වර්ධනය වූ මේ පොහොර ප‍්‍රශ්නයට ගොවියෙක් ලෙස ඔබ ද මුහුණ දුන් බව පෙර විසුම්වලදී ඔබ කියා සිටියා. ඒ තත්ත්වය අපට පැහැදිලි කළොත්.

මේ මහ කන්නේ ගොවියෙක් විදිහට මීට වඩා අස්වනු ප‍්‍රමාණයක් බලාපොරොත්තු වුණා. ගොවියෙක් විදිහට උපරිම ශක්තිය යොදලා මේ කාර්ය කළත් ප‍්‍රතිඵලයක් නැහැ. බණ්ඩක්කා ගහේ මල් පෙන්වමින් ඔහු පවසා සිටියේ මල් පිපිච්ච ප‍්‍රමාණයට කරල් වර්ධනය වෙන්නේ නැති බවයි. මේක අපරාධයක්. මේක නිෂ්පාදනයට විශාල අපරාධයක්. මහන්සියේ ප‍්‍රතිඵල නැතිවෙලා. මේකට අවශ්‍ය පොටෑසියම් නැහැ. MPK කියලා අපි යොදන ඒ මාත‍්‍රාව මේ භෝගයට ලැබිලා නැහැ. ඒ අවශ්‍ය ශක්තිය ලැබිලා නැහැ. ගහ හැදුනට ගොයම් ගහ දිහා බලාගෙන හිටියට වැඩක් නැහැ ගෙදර ගෙනින්න අස්වැන්න නැතිනම් ඒ වගේම රත්නායක ගොවි මහතා පවසන්නේ සාමාන්‍යයෙන් හොඳට බරවූ වී කරලක වී ඇට 150 – 200 විතර තිබිය යුතු බවකි. වී පඳුරක වී කිලෝ දෙකහමාරක් පමණ ගැනීමට හැකි බවයි. නමුත් මේ මහ කන්නයේ අස්වැන්න ඉතාම අසාර්ථකයි. මේ සිද්ධ වුණේ කාගේ හෝ පොකට් එක පුරවා ගැනීමේ මාෆියාවක් රසායනික මාෆයාවක්, කාබනික මාෆියාවක්, කෘෂි කර්මාන්තයට බොරු කරලා වැඩක් නැහැ. බොරු කළොත් ඒ ඌනතාවය ගහෙන් පේනවා. ගහේ කරලෙත් පේනවා. ඒක කවුරුවත් කියන්න ඕනේ නැහැ. කටින් ගොඩක් අය හොඳයි කිව්වට ඇහෙන් පේනන තියෙනවා ඌනතාවය. ම් දීලා තියෙන පොහොර ගුණාත්මක නැහැ. අපි යෝජනා කරනවා විද්‍යාත්මකව තිබෙන හොඳම පොහොර අපට ගෙනැත් දෙන්න කියලා. හොඳම යෙදවුම් ටික ඉල්ලලා තමයි ගොවියෝ පාරට බැහැලා උද්ඝෝෂණය කළේ.

වර්තමානය වනවිට සෑම ප‍්‍රදේශයකම පාහේ ගොවියන් පෙර නොවු විරූ රෝගාබාධවලට ලක්වී ඒ පිළිබඳව ඒවා විශේෂ රෝහල් ඉදි කිරීමක් දක්වා මෙම කාරණාව ව්‍යසනයක් තෙක් සමාජ ප‍්‍රශ්නයක් දක්වා වර්ධනය වී ඇති බව පැහැදිලියි. සැබැවින්ම රසායනික පොහොරවලින් ඉවත්ව කාබනික පොහොර පමණක් භාවිත කර සරු අස්වැන්නක් ලබා ගැනීමට හැකිද?

කාබනිකවලින් පුළුවන්කම තිබෙනවා. නමුත් දැන් බැහැ. ඒ නසා තමයි අපි කියන්නේ ඒකාබද්ධ කෘෂිකර්මාන්තයට යා යුතුයි කියලා. ඒ බොරුව මේ බණ්ඩක්කා ගහෙන්ම ඔප්පු වෙනවා. මේ කරන්නේ තනි කරම වංචාවක් ප්‍රෝඩාවක්. ඇයි මේ ගහට බොරු කරන්නේ.

1960න් පස්සේ තමයි හරිත විප්ලවය හැදෙන්නේ. ඒ කාලේ ගුණාත්මක පොහොර තියෙන්න ඇති. නමුත් දැන් එන්නේ ගුණාත්මක පොහොර ද එන්න එන්නම මේකේ ලභය සඳහා කොමිස් එක සඳහා තමයි සමහරු කටයුතු කරන්නේ. ගුණාත්මක පැත්ත ගැන එක දශමයක්වත් හිතුවේ නැහැ. හිතුවක්කාර විදිහට වැඩ කළේ. අදත් හෙටත් මතුවටත් ගළපාගෙන ගුණාත්මක පොහොරක් ගෙන්වන්න කියලයි අපි නිතරම පාලනාධිකාරියට කියන්නේ.

ඒ වගේම මේ රටේ ඕන තරම් වගාබිම් තියෙනවා. ගොවි මහත්වරු තමන්ගේ උපරිම ශක්තිය යොදලා වගා කරන්න පෙළඹෙයි. එයට අවශ්‍ය නිසි වැඩපිළිවෙළකින් ගුණාත්මක දේ ලබාදීම රජයේ සහ රාජ්‍ය නිලධාරින්ගේ වගකීමක්.

දැන් බලන්න ඇමරිකාව බඩඉරිඟු ටික වගා කරලා ප‍්‍රීමා පිටි ටික හදනවා. ඒ අය හොඳ ටික අරගෙන රොඩු ටික පිටි කරලා මෙහාට එවනවා. අපි දැන් ඒක කන්න පුරුදුවෙලා ඉන්නවා. ඒ කාලේ වෙල් ලක්‍ෂයක් වගා කළා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒක පසු කාලයේදී වෙල්ලස්ස වුණා. අද වෙල්ලස්සක් කියලා එකක් තියෙනවාද කියලා මේ වගකිව යුත්තෝ දන්නේ නැහැ. එදා සිංහලයා මේ රට ස්වයංපෝෂිත කළේ කොහොමද කියලා ඉතිහාසය ගැන බින්දුවක්වත් නොදන්න පිරිසක් තමයි මේ තරම් දුරට මේ රටේ ගොවියට ගොවි බිමට අසාධාරණය කළේ. වැටුණු තැනින් නැවතත් ගොඩ එන්න නම් අපි කියන මේ සංකල්පය තෝරා ගත යුතුයි.

අතීතයේ ලංකාව කින්නේ සර්ව සම්පූර්ණ භව භෝග සම්පත්වලින් කිසිම අඩුපාඩුවක් නොවුණු ස්වයංපෝෂිත රටක්. අද වනවිට පිටරටින් එන ණය නොමැතිව කිසිම දෙයක් කරන්න බැරිවෙලා තියෙනවා. මහ පොළොවේ පයගහලා ඉන්න මිනිහෙක් හැටියට මේ පිළිබඳව ඔබට කියන්න දෙයක් තියෙනවාද?

අද වනවිට ඩොලර් නැතිවම බැරිවෙලා තියෙන්නේ. ඩොලර් එක තියෙන්න ඕනෙ රටේ. තියෙනනේ පුද්ගලයෝ අතේ. මේ රටේ තවමත් ඩොලර් නැතිව නෙවෙයි මේකට මොකුත් නොවෙයි වෙලා තියෙන්නේ එක එක්කෙනාගේ යැපෙන්න ගිහිල්ලා කාගෙන් හරි කාලා කාට හරි අත දික් කරගෙන බලාගෙන ඉන්න තමයි පුරුදුවෙලා තියෙන්නේ.

එදා රජවරුන්ටත් රට කරන්න රටේ පුරවැසියා තමයි උදව් කළේ. වර්තමානයේ පුරවැසියා මේ රටේ පාලකයාට උදව් කරන්නේ නැහැ. පුරවැසියාට පාලකයා කෙරෙහි කිසිම විශ්වාසයක් නැහැ. පුරවැසියට රටේ පාලකයා කෙරෙහි හොඳ විශ්වාසයක් ගොඩ නැඟෙන්න ඕනේ. අවංකකම තියෙන්න ඕනේ. කැපකිරීම් කරන්න ඕනේ. ගොවියා කුඹුරට එන්නේ පයින්. පාලකයා ලෝකේ තියෙන ඉහළම වාහනේ අරගෙන තමයි ගොවියට පේන්න යන්නේ. එහෙම නෙවෙයි කළ යුත්තේ. ගොවින්ගේ මානසික මට්ටම හැදෙන ලෙස පාලකයා කටයුතු කළොත් තමයි සාර්ථකව මේ හැම ගැටලූවකටම මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. අර පොලොන්නරුවේ කිරිවෙහෙර ඉස්සර පොකුණක් හදනවා මේ වෙලාවේ කරන්න ඕනේ ලොකු මුදලක් වැය කරලා පොකුණු හදන බොරු වැඩ නොවෙයි. අනවශ්‍ය වැඩ ඉවත් කරලා මේ මොහොතේ කරන්න ඕනේ රට බත බුලතින් පෝෂණය කරන්නයි. කිරිටික නිෂ්පාදනය කරලා එළවළු ටික නිෂ්පාදනය කරලා සර්ව සම්පූර්ණ රාජ්‍යයක් ගොඩනැඟීමයි.

සටහන සහ ඡායාරූප

සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment