වස නොකෑමේ ජනතා අයිතිය පැත්තක…ගොවියා පලිහට ගෙන පොහොර මාෆියාව සටනින් පෙරට..!

85

අලූත් ගැසට් පත‍්‍රයෙන් සිය විප්ලවීය තීන්දුව ආණ්ඩුව ආපසු හරවයි

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය සඳහා පත්වූ ප‍්‍රථම අවස්ථාවේ පොහොර සහනාධාරය ක‍්‍රියාත්මක කරමින් ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීම සඳහා පියවර ගනු ලැබිය. ඒ මොහොතේ පැවති තත්ත්වය අනුව එසේ පොහොර නොමිලේ බෙදාදීම සඳහා රජයට තර්කනයක් තිබිය හැක්කේ වුවත්, මේ සිංහල පොළොව පොහොරට හුරු කිරීම සඳහා එම සහනාධාරය සිදු කළ කාර්යය මහත්ය. එක් අතකින් සහනාධාර මානසිකත්වය අඛණ්ඩව පවත්වාගෙන යෑමය. අනෙක් අතට ගලවා ගත නොහැකි උවදුරක් සඳහා රට හුරු කිරීමක් ලෙස එය ගත හැකිය. භීතිය වපුරවමින් සමහර ජාත්‍යන්තර ආයතන ආහාර හිඟයක් නුදුරේදීම එළඹෙන බව පවසමින් කතා කිරීම මෙම සහනාධාරය සඳහා පදනම වන්නට ඇත. අනෙක් අතට ආහාර ආනයනය සඳහා යන වියදම අඩු කර ගැනීම ද අරමුණක් වන්නට ඇත. එසේ වුවත් පොළොවක් සහ ගොවි මනසක් රසායන පොහොර සඳහා හුරු කිරීමට, මෙම පොහොර සහනාධාරය බලපාන ලද බව කිව යුතුය. යම් හෙයකින් එදා රසායන පොහොර තහනම කෙසේ වෙතත්, සහනාධාරය යන ආස්ථානයෙන් මිදීම සඳහා ආණ්ඩුවට හැකි වූවා නම්, එය ඒ මොහොතේ ගත හැකිව තිබූ හොඳම පියවර වන්නට තිබුණි. එසේ වුවත් ජනප‍්‍රිය දේශපාලන කතිකාවතේ පොහොර සහනාධාරය යන්න ඔසවා ගෙන යා හැකි කුසලානයක් බවට පත්ව තිබුණි.

තත්ත්වය නරක අතට හැරෙන්නේ රජරට ප‍්‍රදේශය වට කොට, වකුගඩු රෝගය පිටාර ගැලීමත් සමගය. සෑම නිවසකම ගොවි වකුගඩු, වස විසෙන් වාන් දමන විට, එහි වගකිව යුත්තා, තමන් සතුටින් පොළොවට හෙළන ලද රසායනික පොහොර මිටි බව සාක්ෂාත් වන විට ආසියාවේ ලොකුම වකුගඩු රෝහල රජරටට ගෙන එනවාට වැඩි විකල්පයක් අපට තිබුණේ නැත. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ, දෙවන කාලය තුළ පොහොර සහනාධාරයට සහ රසායන පොහොර සඳහා විරෝධතා රැල්ලක් මතුව ආවේය. ආසනික් ප‍්‍රශ්නය සමග එයට දේශපාලන මුහුණුවරක් ලබාදෙමින් අතුරලියේ රතන හිමියෝ, ආණ්ඩුවේ සිටම සියුම් ආණ්ඩු විරෝධයක් රට තුළ අවුලන්නට පටන් ගත්තෝය. එහි යටින් දිව ගිය කතාව වූයේ ”රසායනික පොහොර තහනම අත්‍යවශ්‍ය වෙද්දී, ආණ්ඩුව ඒ සඳහා කටයුතු නොකරන්නේ පොහොර සමාගම් මගින් ලැබෙන යෝධ සල්ලි කන්ද නිසා…” යන්නය. ඒ මොහොතේ රාජපක්ෂලා රසායනික පොහොර මුදලාලිලාගේ සාක්කුවේ බව කියමින්, ආණ්ඩු විරෝධය ආණ්ඩු පෙරළියක් සඳහා ගෙන යමින් රතන හිමියෝ ද චම්පික රණවක සමග ආණ්ඩුවෙන් එළියට පැමිණියහ. යහපාලනය බලයට පත්වීම සඳහා කරන ලද අරගලයේදී, රසායනික පොහොර තොග රාජපක්ෂලාගේ ඇඟට දැමීම ද එක්තරා ආකාරයකින් සිදුවිය.

මේ පසුබිම මත සිට අද දවසේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් රසායනික පොහොර තහනම් කිරීමේ තීරණය දෙස බැලිය යුතුය. ජනාධිපතිවරණයේදී ඔහු ඓතිහාසික ප‍්‍රතිපත්ති දෙකක් ප‍්‍රකාශයට පත් කළේය. පුනර්ජනනීය බලශක්තිය රටේ ගාමක බලශක්ති ප‍්‍රභවය ලෙස භාවිතය සහ වස විසෙන් තොර ගොවිතැන යන එම ප‍්‍රතිපත්ති ද්විත්වය ජනතාව තුළ ඒ මොහොතේ මහත් ආකර්ෂණීය තත්ත්වයක් ලබා නොදුන්නද, මෙරට දේශපාලන ප‍්‍රතිපත්තියේ සන්ධිස්ථානයක් එය සටහන් කළේය. පාස්කු ප‍්‍රහාරය ප‍්‍රමුඛ වී, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව වෙත ගෝඨාභය රාජපක්ෂ නම අවශ්‍ය වුවද ඔහුගේ ඉහත ප‍්‍රතිපත්ති දෙක, ජාතිය තවත් වටයකින් සුරක්ෂිත කරන්නේය යන්න බොහෝ දෙනා තේරුම් නොගෙන සිටියේය.

ඒ අනුව රසායනික පොහොරෙන් මුළුමනින්ම තොර වූ ගොවිතැනක් සඳහා යන ලෙස හැට නව ලක්ෂයක ජනතා අනුමැතිය ද ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමි වෙමින් ඔහු රාජ්‍ය නායකයා බවට පත්විය.

කොවිඞ් අභියෝගය ද සමග මෙම රජය යන ගමනේ දී සාධනීය පියවර රාශියක් ගත්ද ඒ සියල්ල සඳහා විරෝධතා එල්ල වන්නට පටන් ගත්තා මිස එය ඇගැයීමකට හෝ පාත‍්‍ර නොවීය. වසංගතය සඳහා ගත් පියවරයන් හේතුවෙන් ශ‍්‍රී ලංකාව මේ වන විට නැගී සිටින්නේය. එන්නත්කරණය අතරේ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂාව සඳහා ආණ්ඩුව අවසර ලබාදීම විපක්ෂය හෙළා දකින ලද්දේ, ජනාධිපතිවරයාට හිතවත් ව්‍යාපාරිකයෙකුට අවස්ථාවක් ලබාදීමක් ලෙසය. ඒ පිළිබඳව ඕමල්පේ සෝභිත හිමි ද ඇතුළුව විපක්ෂයේ බොහෝ දෙනෙකු අවලාද නගමින් රැපිඞ් ඇන්ටිජන් පරික්ෂාව සඳහා බාල්දි පෙරළන්නට විය. ඒ සියලූ චෝදනා අසත්‍ය බව දින කිහිපයකින් සනාථ විය. චෝදනා පවතින දින කිහිපයේ, කොරෝනා වෛරසයට එරෙහිව ආණ්ඩුව සිදු කළ සියලූ යහපත් දේ වැළලී ගියේය. මේ මොඩලය ආණ්ඩුවේ සියලූ ක‍්‍රියා සඳහා දැන් පෙරළෙන්නට පටන් ගෙන තිබේ.

වස නොකෑමේ ජනතා අයිතිය පැත්තක…ගොවියා පලිහට ගෙන පොහොර මාෆියාව සටනින් පෙරට..!

ඒ අතරේ පරිසරය වනසන්නේ යැයි හිච්චි නංගිලා කිහිප දෙනෙකු වටා රොක් වූ ආණ්ඩු විරෝධී ව්‍යාපාරයක් ද දියත් විය.

රසායනික පොහොර මුළුමනින්ම තහනම් කිරීම සඳහා ආණ්ඩුව ගත් පියවර අතිශය සාධනීය මෙන්ම ඓතිහාසික පියවරකි. මානව ආහාර අවශ්‍යතාවය සපුරන්නේ, ගැඹුර සෙන්ටිමීටර් තිහක් පමණ දක්වා තිබෙන මතුපිට පසය. මෙම පස් තට්ටුව ආහාර අවශ්‍යතාවය සඳහා යැයි කියමින්, රසායනික පොහොර වෙළෙඳුන්ගේ අවශ්‍යතාවයට තිර කිරීම කාලයක් පටන් දියත් වන සංකල්පයකි. මෙහිදී වැදගත් වන්නේ අවසානයේ ලබා ගන්නා ආහාරය ය. නමුත් දැන් රසායන පොහොර තහනමේ විරෝධය ගොනුවී ඇත්තේ, ආහාර වගා කරන ගොවියා වටේය. වස චුට්ටක් කෑවාට කමක් නැද්ද අසමින් ශ‍්‍රී ලංකා ප‍්‍රමිති කාර්යාංශයට දොස් නැගූ පිරිස්ම රටටම වස කැවීම සඳහා රසායනික පොහොර අවශ්‍ය යැයි කියමින් වටේ යමින් සිටිති.

ශ‍්‍රී ලංකාව රසායනික පොහොර තහනම සඳහා ගත් ක‍්‍රියා මාර්ගය හුදකලා සටනක් නොවේ. එය ලෝකය කනපිට හැරවීම සඳහා ගනු ලැබූ ක‍්‍රියා මාර්ගයකි. ලෝක ජනතාවට වස විසෙන් තොර ආහාර වේලක් ලබාදීම සඳහා ගනු ලැබූ යෝධ පියවරක් ලෙස මෙය ඉතිහාස ගත වීමට නියමිතව තිබුණි. නිසරු භූමි ගහණ වෙනත් රටකට මෙවැනි පියවරක් සඳහා එකවර යෑමට නොහැක්කා සේම, මහා පරිමාණ කෘෂි ව්‍යාපාර හිමි රටවල් සඳහා ද එකවර මෙවැනි පියවරකට යෑමට නොහැක. එසේ වුවත් ජනතාව රෝගී කරවන වස විසෙන් තොර ආහාර රටාවක් සඳහා යෑමට ලෝකයට අවශ්‍ය ය. ඒ සඳහා ආරම්භයක් නොමැතිව සිටින ලෝක ප‍්‍රජාවට ශ‍්‍රී ලංකාව ලබාදුන් තීන්දුව ආදර්ශයක් වන්නට ඉඩ තිබුණි. සරුසාර පස, කාබනික පොහොර පහසුවෙන් නිපදවා ගැනීමට ඇති හැකියාව, මහා පරිමාණ සමාගම් කෘෂිකර්මයෙන් තොර වීම යන මූලික අංග මේ සඳහා ශ‍්‍රී ලංකාවට වාසිදායක අයුරින් පිහිටා තිබේ. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවේ බැහැරලන කසළ, නාගරික පරිසරයකදී පවා බැර ලෝහ වැනි අහිතකර සංඝටකයන් පිහිටා ඇත්තේ අතිශය අවම තත්ත්වයක ය. රසායනික පොහොර භාවිතය නතර කර, කසළ සම්පතම පොහොර බවට කළමනාකරණය සඳහා ශ‍්‍රී ලංකාවට වසර දෙකකට වඩා ගත නොවන්නට ඉඩ තිබුණි. එවැනි ‘ඩබල් වාසි’ ලැබෙන තරම් ප‍්‍රබල තීරණයක් සඳහා ජනාධිපතිවරයා ගිය ද එම තීන්දුව පියවරෙන් පියවර පිටුපසට ගියා මිස, ඉදිරියට ගෙන යෑමට තරමේ කොන්දක් ආණ්ඩුවට නොවීය.

සියලූදෙනාම පාහේ මතුපිටින් බැලූවිට රසායනික පොහොර ක‍්‍රියාදාමයට එරෙහිව සිටින බවක් පෙන්වති. එසේ වුවත් සමහරුන්ගේ ඌන පූර්ණ ඇත්තේ රසායනික පොහොරින් මුළුමනින්ම ඈත්වීමට නොව, රසායනික පොහොර සඳහා ද හොඳ ඉඩ ප‍්‍රස්ථාවක් විවර කරදීමටය. එකවර කරනවාද වෙනත් ආකාරයකට කරනවා ද යන්නේ ප‍්‍රධාන කාරකයා බවට මේ වන විට පත්ව ඇත්තේ ගොවියා ය. ඒ දේශපාලන සටන් පාඨයක් ලෙස ගොවියා භාවිතා කර, රසායන පොහොර ජාවාරම්කරුවන්ගෙන් සල්ලි මලූගැනීමේ දේශපාලනය සඳහාය. රසායන පොහොරෙන් ඉවත් විය යුත්තේ, ගොවියා දෙස බලා නොව පාරිභෝගිකයා දෙස බලාය. පාරිභෝගික ප‍්‍රජාව සඳහා කුමන මාත‍්‍රාවෙන් හෝ වස කැවීම අනුමත කළ හැක්කේ කෙසේද…?

දැනටමත් පමා වී ඇති, හිස ගිනිගත්තෙක් ඒ ගිනි නිවන්නා සේ කළ යුතු රසායන පොහොර තහනම සඳහා එකවර යෑම තරමේ සාධනීය පියවරක් මෑත කාලයේදී ජනතාව උදෙසා ආණ්ඩුවක් ගෙන නැති බව කිව හැකිය. ඒත් එවැනි සාධනීය පියවරක්, ප‍්‍රතිවිරුද්ධ දේශපාලනය සහ එයට මුදල් පොම්ප කරන පොහොර මුදලාලි නිසා දැන් වැළකී යමින් තිබේ.

තීන්දුව ගැනීමට තිබූ කොන්ද තීන්දුව රැක ගැනීම සඳහා නොමැත්තේ නම්, ඒ වචන හරඹයක් මිස වෙනකක් නොවේ.

ගොවියා රැක ගැනීම සඳහා ද ආණ්ඩුව බිලියන ගණනක මුදලක් අයවැයෙන් වෙන් කර තිබේ. මේ තීන්දුව නිසා සිදුවන අස්වැන්න හානිවීම් වෙනුවෙන් වන්දි ලබාදීම දක්වා ගමන් කරන ලද ආණ්ඩුව, සිය තීන්දුව පසුගිය විසි හතර වෙනිදා සිට අකුලා ගත්තේය.

”2021 අපේ‍්‍රල් 26 වැනිදා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කළා හරිත කෘෂිකර්මාන්තයක් කරා යොමු කිරීමට ඒ අනුව එම කැබිනට් තීන්දුවට අනුව රසායනික පොහොර ඒ වාගේම පළිබෝධනාශක ඒ වාගේම දිලීරනාශක සහ වල්නාශක සම්පූර්ණයෙන් ආනයනය තහනම් කිරීම සඳහා ගැසට් පත‍්‍රයක් ඒ සමගම නිකුත් කළා. අද වෙනකොට පුරා මාස 7කට දින දෙකක් අඩුයි මේ වෙනකොට මේ තීන්දුව අරගෙන. ඒ සියලූ අභියෝග හමුවේ මේ පරිසර හිතකාමී කෘෂිකර්මයට ගොවීන් මේ මහ කන්නයේ හෙක්ටයාර් ලක්ෂ 8ක් තිබුණත් අද වෙන කොට 650,000ක් ගොවිබිමේ වැඩකටයුතු ආරම්භ කරලා තියෙනවා. නමුත් ජනතාවට සංවේදි ආණ්ඩුවක් හැටියට අපි ඊයේ තීන්දු කළා අපේ‍්‍රල් මාසේ 26 වැනිදා ගැසට් කරන ලද එම ගැසට් පත‍්‍රය අද දින සිට ඉවත් කර ගත්තා. ඒ අනුව අද දින සිට රසායනික පොහොර, පළිබෝධනාශක ගෙන්වීමට අවස්ථාව ලැබෙනවා. හැබැයි රජයේ ප‍්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ. පෞද්ගලික අංශයට රසායනික පොහොර ආනයනය කරලා විකුණන්න අවස්ථාව ලැබෙනවා.”

යනුවෙන් එම තීන්දුව පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යවරයා කළ පැහැදිලි කිරීම අනුව පෙනී යන්නේ තීන්දු ගැනීම සඳහා මිස ඒවා නිර්භයව සහ උපායමාර්ගිකව ක‍්‍රියාත්මක කිරීමේ බලයක් ආණ්ඩුවට නොමැති බවය.

රසායන පොහොර ආනයනකරුවන් සහ නිෂ්පාදකයන් කාබනික පොහොර තීන්දුව ආපස්සට හැරවීම සඳහා විශාල ආයෝජනයක් කරමින් ලොකු කුමන්ත‍්‍රණයක යෙදී සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඊට ටික දිනකට පෙර පාර්ලිමේන්තුවේදී කළ ප‍්‍රකාශය වැදගත්ය. කාබනික පොහොරවලට එරෙහි කුමන්ත‍්‍රණය පිටුපස සිදු වූ දුරකථන සංවාද මෙන්ම සමහරුන්ගේ බැංකු ගිණුම්වලට එන මුදල් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීම සඳහා තමාට කෙටි කාලයක් ලබාදෙන ලෙස ඔහු මෙහිදී ඉල්ලීමක් කළේය. රසායනික පොහොර මේ ලෝකයේ දෙවැනි මාෆියාව යැයි පවසමින් මෙහිදී ඇමැතිවරයා කළ ප‍්‍රකාශය අගය කළ යුතුය. එසේ වෙද්දී ආණ්ඩුව සිය තීන්දුව එක වටයකින් හකුලා ගැනීම, වැටෙන්නේ මෙයින් කොයි ගනයට ද යන්න අමාත්‍යවරයා පෙන්වා දිය යුතුය.

රසායනික පොහොර වෙනුවෙන් පෙනී සිටීම කොයි ලෙසකින් හැඳින්වුවද ජාවාරමේ කොටසකි. ඒ සඳහා කුමන කතා ගෙතුව ද ඒ සියලූදෙනා සේවය කරන්නේ ලෝක පරිමාණ රසායන පොහොර ව්‍යාපාරය වෙනුවෙනි. එකවර රසායන පොහොර ඉවත් කිරීමට එකඟවීම හැර, අන් සියලූ ක‍්‍රියා මාර්ග, මානව ආමාශය වෙත වස යැවීමේ පාප කර්මය සඳහා දායක වීමකි. ශ‍්‍රී ලංකාවේ රසායන පොහොර ක‍්‍රියාදාමයෙන් මුළුමනින්ම ඉවත් වීම සඳහා ගනු ලැබූ තීන්දුව දුෂ්කර තත්ත්වයන් යටතේ ක‍්‍රියාත්මක කළේ නම් එය ලෝක මාදිලියක් වන්නට ඉඩ තිබුණි. එවැනි ආදර්ශයක් සැපයිය හැකි කෘෂි ඉතිහාසයක් අපට තිබේ. සිංහල පොළොව යනු පෙරදිග ධාන්‍යාගාරය ය. ඒ උරුමය සමග ලෝකයටම වස විසෙන් තොර ආහාර නිපදවීමේ ආදර්ශය අප රැගෙන ගියේ නම්, එය ලෝක උරුමයක් බවට පත් වනවා ඇත. මේ ක‍්‍රියාදාමය හේතුවෙන් ලෝකයේ රසායනික පොහොර සමාගම් සියලූදෙනා අසරණ වීම සිදු වනවා ඇත. ඒ සඳහා සියලූ වැය දරා, ලෝක රසායනික පොහොර මාෆියාව, මේ රටේ දේශපාලන සංවිධාන සහ විද්වත්තු, නිලධාරීන් මුදලට ගෙන රසායන පොහොර තහනමට එරෙහිව විවිධ පාඨ යටතේ හඬ නැගූහ. ඒ සියල්ල සුළුතර ගොවියා වෙනුවෙන් මිස, අවසානයේ එය පරිභෝජනය කරන බහුතර පාරිභෝගිකයා වෙත කාරුණික නොවීය. අනෙක් අතට වසවිසෙන් තොරව ගොවිතැන් කරන, රටක් බවට ශ‍්‍රී ලංකාව පත් වූයේ නම් ‘මේඞ් ඉන් ශ‍්‍රී ලංකා’ කෘෂි ආහාර නිෂ්පාදන සඳහා ලෝකයේ විවර වන වෙළෙඳ පොළ කෙසේ වෙනු ඇද්ද…?

මේ සියල්ල සඳහා සාධනීය ලෙස සිට ගනු ලැබූ, ජාතික සංවිධාන එකමුතුව මුල සිටම කාරණා දොළහක් යටතේ මෙම රසායනික පොහොර තහනම් කිරීම ක‍්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන්නේය. ඒ සාධනීය පෙන්වාදීම් කිසිවක් ආණ්ඩු කනකට නොගැනීමේ ඉරණම, තමන් ගත් අභීත තීන්දුව, බාල ලෙස ක‍්‍රියා කරන තත්ත්වයක් දක්වා ඇදගෙන යෑමට බලපෑ බව කිව හැකිය.

මනෝජ් අබයදීර

advertistmentadvertistment