වස විස නැති කාබනික පොහොර හදන්නේ මෙහෙමයි… රසායනික පොහොර භාවිතයෙන් ආර්ථික පාඩුවක් මිස ලාභයක් නෑ

370

* කාබනික පොහොරවත් පිනට දෙන්න රජය කටයුතු නොකළ යුතුයි…

 * අපේ ගොවියො වී කිලෝ හාරසීයක් වැඩි කරගන්න රසායනිකවලට රුපියල් විසිහතරදාහක් වියදම් කරනවා…

 * වගා අක්කරයකට කොම්පෝස්ට් පොහොර වුණත් සොච්චමක් තිබුණම ඇති…

 * කල් යල් බලා කරන වගාවේදී වන සතුන්ගෙන් හානියක් නෑ…

 තරංග රත්නවීර

වස විස නැති කාබනික පොහොර හදන්නේ මෙහෙමයි... රසායනික පොහොර භාවිතයෙන් ආර්ථික පාඩුවක් මිස ලාභයක් නෑ

ඔහු වෙනස් විදිහට සිතන කෙනෙකි. වස විස නැති රටක් නිර්මාණය කිරීමට දිවි හිමියෙන් කැප වී සිටින සත්පුරුෂයෙකි. ගහ කොළට, සතා සීපාවාට හානි නොවන පරිසරය ද සුරැකෙන සාධාරණ ජීවනෝපායක් ලෙස යළිත් මෙරට ගොවිතැන නඟාසිටුවීමට ඔහු දරන වෑයම සුළු පටු නැත. ඇලහැර සුන්දර පරිසරයක රාජධානියක් නිර්මණය කරගෙන සිටින ඔහුව සමාජ මාධ්‍ය තුළ නොදන්නා කෙනෙක් නැති තරම්ය. හේ තිලක් කන්දේගමය. මේ පෙළගැසෙන්නේ ඔහු කියූ කතාවේ පසුගිය සතියේ ‘ඉරිදා දිවයින සංග‍්‍රහයෙහි’ පළ වූ ලිපියේ ඉතිරි කොටසය.

 ‘‘රටේ ගොවීන්ට එදත් මම කිව්වේ, අදත් කියන්නෙ වගා කරන්න රසායනික පොහොර අවශ්‍ය නෑ. වල් නාශක අවශ්‍ය නෑ. කෘමිනාශක අවශ්‍ය නෑ. කොම්පෝස්ට් පොහොරත් ටොන් ගණන් අවශ්‍ය නෑ. වගා අක්කරයකට කොම්පෝස්ට් සොච්චමක් ප‍්‍රමාණවත්. ගෙදර කුණු ගොඬේ හැදෙන පොහොර ටික, ගිය කන්නයේ ඉවත දැමුණු පිදුරු ටිකෙන් හැදුණු පොහොර ටික, කුඹුර වටේ තියෙන ගස්වලින් කපා හළන කොළ අතු දිරාපත් වී පොහොර බවට පත් වූ විට හැදෙන ගොයමට දවස් විස්සකට ප‍්‍රමාණවත්. ගොයම් ගහ තරුණ වෙනකොට ඉහළ අහසේ අකුණු බිඳෙනවා. ඒ අකුණුවල විදුලියෙන් වායුගෝලයේ නයිට‍්‍රජන් නයිට්රේට් බවට පරිවර්තනය කරලා තරුණ ගොයමට අවශ්‍ය පෝෂණය ලබාදෙනවා. අපේ පැරැන්නො වී වගා කළේ එවැනි තාක්‍ෂණයක් භාවිත කරමින්. බොරු පංපෝරි ගහන ආචාර්ය, මහාචාර්යවරු ඕවා දන්නෙ නෑ. කිව්වට තේරෙන්නෙ නැති නම්, දෑස් පෙනේ නම් ඇවිත් බලව අපේ ගොවිපළවලට. රුපියලක අය කිරීමක් නෑ. ඕනෑම ගුරුහරුකමක් තොපට මම දෙන්නම්…’’

 අපිට ඕනෑ විදිහට ගස් හදන්න බෑ. සූර්යාට ඕනෑ විදිහට තමයි ගස් හදන්නෙ. සූර්යාගේ දම් පාට ආලෝකයට ගස්වල මුල් ඇදෙනවා. නිල් පැහැති ආලෝකයට මුල් එළියට ඇදෙනවා. කොළ පැහැති ආලෝකයට කොළ හැදෙනවා. කහ පැහැති ආලෝකයට ගස් උස යනවා. පුරුක් හැදෙනවා. වැල් දුවනවා. තැඹිලි පැහැති ආලෝකයට අතු බෙදනවා. රතු පැහැති ආලෝකයට මල් පූදිනවා. මේ වර්ණ මිනිස් ඇසට නොපෙනුණ ද ශාක ජීවීන්ට පෙනෙනවා. මේ සෑම වර්ණයකටම පැළෑටි විවිධාකාර සංවේදීතාවන් දක්වනවා. ඒ වගේම පෘතුවිය ගෝලාකාරයි. සූර්යා සමකයෙන් උඩට ගිය විට මාර්තු, අපේ‍්‍රල් මාසවලදී ලංකාවට වැටෙන්නෙ දම් පාට ආලෝකය. ඒ කාලයට ගෙවල් ඇතුළේ තියෙන අල ගෙඩිවලත් මුල් ඇදෙනවා. ජූනි මාසෙ 21 වැනිදා වෙනකොට සූර්යා කර්කටක නිවර්තනයේ. ඒ කාලය වෙනකොට ගස්වල මල් පීදෙනවා. ජූනි 21 වැනිදා වෙනකොට මල් පීදුණොත් අස්වැන්න 16% කින් වැඩි වෙනවා. මේ කාලයේදී ?ට සීතලයි. උදේට රස්නෙයි. දවල්ට නිෂ්පාදනය කරන ආහාර ?ට සීතල නිසා තැන්පත් වෙන්නෙ ඇටේ. මේ වෙනකොට මගේ කුඹුරේ මල් පීදිලා. මෙදා සැරේ අස්වැන්න සරුයි. ඒ නිසා වගා කරන කාලය තීරණය කරන්නෙ අපි නෙමෙයි සූර්යාය.

 මේ රට පිහිටා තියෙන්නෙ සමකයට වඩා අංශක හයාමාරක් උඩින්. සමකයේ සිට සූර්යාට කර්කටක නිවර්තනයට හෝ මකර නිවර්තනයට ගමන් කරන්න දවස් අනූදෙකක් ගත වෙනවා. මාර්තු 21 වැනිදා සිට ජූනි 21 වැනිදා දක්වා කාලය ගත වෙනවා. එක අංශකයක් ගමන් කරන්න දවස් තුනයි දශම නවයක් ගතවෙනවා. සූර්යා ලංකාව උඩට ගමන් කරන්න දවස් විසිතුනාමාරක් ගත වෙනවා. අනූ දෙකෙන් විසිතුනමාරක් අඩු වුණාම ඉතිරි වෙන්නෙ දවස් හැටනවයයි. එහෙම නම් යල කන්නයේදී ගොයම් ගහක් හැදෙන්න ගත වෙන්නෙ දවස් හැටනවයයි. සූර්යාගේ උත්තේජනයත් සමඟ වැඞීමට නම් යල කන්නයේදී වගා කළ යුත්තේ මාස තුනෙන්් අස්වැන්න නෙළන්න පුළුවන් බීජ වර්ග. එහෙම නැති වුණොත් වගාවට පොහොර, කෘමිනාශක, වල්නාශක භාවිතා කිරීමට සිදු වෙනවා. මහ කන්නයේදී දවස් එකසිය පහළොවක් තියෙනවා. එතකොට වගා කරන්න ඕනෑ වැඩිමහල් වී වර්ගයි. අතීතයේ අපේ ගොවියො කල් යල් බලා හිරුඑළිය, ඉඩෝරය, වැස්ස, බීජ ආදී සියල්ල ගැන සැලකිලිමත් වෙමින් ‘යල සහ මහ’ යනුවෙන් පැහැදිළි කාලසටහන් දෙකක් නිර්මාණය කරගෙන තිබුණා.

 එම කාලසටහනට අනුව කෙරුණු වගාව තුළ වල් පාලනය විනා මර්දනයක් අවශ්‍ය වුණේ නෑ. ඒ වගේම වල් මර්දනය කරන්න අපට අයිතියකුත් නෑ. වල් පැලෑටි තමයි පොළොවේ සිටින කෘමීන්ගේ සතුරෝ. බෝගයකට හානි කරන පළිබෝධකයො නවදෙනා විනාශ කරන විලෝපිකයො ඉන්නෙ වල් පැලෑටිවල. මකුළුවා දැලේ ඉන්න බව දැනුණොත් සමනලූන් එන්නෙ නෑ. ඒ නිසා මකුළුව දැලේ ඉන්නෙ නෑ. ඌ ඉන්නෙ හැංගිලා. සමනලයා ඇවිත් දැලේ ඇළුණු හැටියේ මකුළුව පැනලා මරාගෙන කනවා. ඒ වගේම එළවළු ගහක විලෝපිකයා ඉන්නෙ නෑ. හිටියොත් පළිබෝධකයො බයට එන්නෙ නෑ. ඒ නිසා විලෝපිකයො සැඟවිලා ඉන්නෙ වල්ගස්වල. එළවළු ගහට පළිබෝධකයො පැමිණි හැටියේ සැඟවිලා ඉන්න විලෝපිකයො පැනලා කනවා. වගාවක් ආරක්‍ෂා වෙන්න වල් පැළෑටිත් තියෙන්නම ඕනෑ. සූර්ය ශක්තිය වැඩි නිසා යල් කන්නයේ ගොයම් ගස් උස යනවා. ඒ නිසා ගොයම් ගස් වැටෙනවා. වල් තියෙනවා නම් උස ගොයම් ගහ හිර කරලා අල්ලා ගන්නවා.

 ‘ගොයම් ගහට තණ කොළ ගහ හැරමිටියක්…’ අපේ පැරැන්නො එහෙම කිව්වේ කටකහනවට නෙමෙයි. අතීතයේ අපේ ගොවියො කුඹුරේ වල් මර්දනය කළේ නෑ. වල් තිබුණේ යට. ගොයම් ගහ තිබුණේ උඩ. ඒ දෙගොල්ලො සහෝදරයො වගෙ කුඹුරේ වැඩුණා. ඒ නිසා වගා කරන්න වල්නාශක, කෘමිනාශක අවශ්‍ය වුණේ නෑ. වල්නාශක, කෘමිනාශක විකුණ ගන්න ඕනෑ නිසා තමයි මෙරටට රසායනික හඳුන්වා දුන් අධිරාජ්‍යවාදී සමාගම සාම්ප‍්‍රදායී යල සහ මහ වගා කාලසටහන වෙනස් කරමින් යල කන්නයට නොවැම්බර් 15 ත්, මහ කන්නයට මැයි 15 ත් වපුරන්න කියලා ගොවීන්ව නොමඟ යැව්වේ. එම කාලය තුළ තමයි කෘමි සතුන් සක‍්‍රීය වෙන්නෙ. ඒ කාලයේදී කෘමි සතුන්ව පාලනය කිරීමට කෘමිනාශක යොදන්නම වෙනවා. මෙරට සාම්ප‍්‍රදායික වගා කිරීමේ කාලසටහන වෙනස් කිරීම නිසා තමයි විශාල රසායනික ප‍්‍රමාණයක් පොළොවට යොදන්න වුණේ. ඒ වගේම අතීතයේ වගා බිම්වලට සතුන්ගෙන් කරදර තිබුණේ නෑ. යන්ත‍්‍ර, මන්ත‍්‍ර පාවිච්චි කරමින් සතුන් පළවාහැරියා. ඒ වගේම චන්ද්‍රයාගේ විශේෂ කිරණ නිකුත් වන අවස්ථා හතක් තියෙනවා. ඒ අතරින් සිංහ සහ දිවි කරණය සතුන් බය කරන කරණ දෙකක්. එදා අපේ ගොවියො මේ කරණ ගැන අවබෝධයෙන් තමයි ගොවිතැන් කළේ. ඒ නිසා සතුන්ගේ ගොවීන්ගේ ජීවිතවලට හානියක් වුණෙත් නෑ. මිනිසුන්ගෙන් සත්ව ජීවිතවලට හානියක් වුණෙත් නෑ. අදටත් මම වපුරන්නේ සිංහ කරණයෙන්. කුඹුර වටේ අලි නිදැල්ලෙ සැරිසරනවා. ඒත් කුඹුර පැත්තටවත් එන්නෙ නෑ.

සිංහ කරණයෙන් කළු
 වස්සකු කෙතට එනු
 
 කෙත මුදුනෙන් පැනලා
 නොකා යනු
 
 දෙවැනි තැනිං මීදෙන
 වස්සකු සමඟ එනු
 
 තුන්පළකින් කා එතැනින්ම යනු
 

 මී වස්සා කියන්නෙ අලියට. තනි අලියා ඇවිදින් කන්නෙ නැතිව පැනලා ගියොත් හරියටම හරි. ඊට පස්සෙ පැටියත් එක්ක එන ඇතින්න කුඹුරේ තුන් තැනකින් මිටවල් තුනක් කාලා යනවා. මගේ කුඹුරට ගිහින් බලන්න පැටියත් එක්ක ආපු ඇතින්න තුන් තැනකින් කාලා එතැනින්ම ගිහින් තියෙනවා. මේවා දේශීය ගොවිතැනේ මූලධර්ම. ඒත් අපේ පාසල්වල උගන්වන්නෙ නෑ. මෙරට කිසිම විශ්වවිද්‍යාලයක දේශීය ගොවිතැන ගැන දේශන පැවැත්වෙන්නෙ නෑ. සම්පූර්ණයෙන්ම කෘෂි විද්‍යාවට උගන්වන්නෙ රසායනික ගොවිතැන විතරයි. නැවත මෙරට තුළ දේශීය ගොවිතැන ව්‍යාප්ත කිරීමට නම් මෙරට කෘෂි අධ්‍යාපන ක‍්‍රමයත් වෙනස් කරන්න ඕනෑ…’’ කන්දේගම මහතාගේ හරවත් දේශනයට බාධා කරමින් මම මෙසේ පැනයක් ඉදිරිපත් කළෙමි.

 රසායනික පොහොර තහනමත් සමඟ මෙරට ගොවීන් අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා සිටිනවා. පළපුරුදු ගොවි මහත්මයෙක් විදිහට මේ මොහොතේ ඔවුන්ට ලබාදිය හැකි උපදේශය කුමක්ද?

 ‘‘දිට්ටධම්ම වේදනීය කර්මයන්ගෙන් හතෙන් එකක් මේ ලෝකයේදීම පළදෙනවා. මේ මහ පොළොවට රසායනික වපුරලා ගොවියො රැස්කරගත් අකුසල් තමයි මේ විපාක දෙන්නෙ. ඒක අපිට නතර කරන්න බෑ. රසායනික වපුරලා අපේ ගොවියො තවත් පව් තර කරගෙන ඉදිරි ආත්මභවයන්වලදී විපාක විඳවන එක තමයි දැන් අපි නතර කළ යුත්තේ. ඒ වගේම ගොවීන්ව රසායනික වගාවට හුරු කළේ නිලධාරීන් සහ දේශපාලනඥයන්. ඔවුන් ද ඒ කර්ම විපාක ගෙවන්න ඕනෑ. රජය විසින් අක්කරයකට රුපියල් තිස්දහසක් ගොවීන්ට ගෙවලා විපාක විඳින්නෙ දේශපාලනඥයන් කරපු පව්. මේ පොහොර අර්බුදය යම් දුරකට පාලනය වුණාට පසුව කාබනික පොහොරවත් ගොවීන්ට පිනට දෙන්න රජය කටයුතු නොකළ යුතුයි. එහෙම වුණොත් අපේ ගොවියො ආත්මයට පොහොර ටිකක් හදාගන්නෙ නෑ. දිරි දීමනාවක් ලබාදී තම, තමන්ගේ ගොවිබිම්වලට අවශ්‍ය පොහොර ගොවීන්ටම නිෂ්පාදනය කරගන්න හුරුකරන්න ඕනෑ. තමන්ගෙ කුණු ටික මුල්ලට එකතු වෙනකොට ඒක පොහොර බවට පත්වන බව අපේ ගොවීන්ට උගන්වන්න ඕනෑ…

 චූලතිස්ස හාමුදුරුවෝ කරන එක පින්කමක් තමයි බෝ මළුව අතුගාලා හැමදාම එක තැනකට එකතු කිරීම. ‘කසළ කසළ වුවත් කසළ දැමීමෙන් ලැබෙන කුසල නිකසැලයි’ යනුවෙන් චූලතිස්ස හාමුදුරුවන්ගේ ඒ උතුම් පින්කම සද්ධර්ම රත්නාවලියේ නාගසේන වස්තුවේ ලියැවී තිබෙනවා. කුණුවල තියෙන වටිනාකම පුරුදු කළා නම් නිධානයක් වගේ ගොවීන් කුණු ගොඩ ආරක්‍ෂා කරගන්නවා. රටේ කුණු ප‍්‍රශ්නයත් ඉබේටම විසඳෙනවා. ඒ වගේම කුණු විකුණන්න පුළුවන් කාලයක් ද ඉදිරියට නිර්මාණය වෙනවා…’’ ධර්ම දේශනාවක් සේ ගලාගෙන යන කන්දේගමයන්ගේ කතාවට නැවත මම පැනයක් යොමු කළෙමි.

 රසායනික වගාවෙන් ගොවීන් ලබාගත් අස්වැන්නට සමාන අස්වැන්නක් කාබනික ගොවිතැනෙන් ලබාගන්න පුළුවන්ද?

 ‘‘රසායනික පොහොර භාවිතය හුරු කිරීමට පෙර අපේ රටේ කුඹුරු අක්කරයකින් ලැබූ සාමාන්‍ය අස්වැන්න වී බුසල් 60 යි. බුසල් 100 ගත්ත ඒවත් තියෙනවා. වී අස්වැන්න බුසල් විස්සට අඩු වෙච්ච කුඹුරුත් තියෙනවා. දේශීය වී ගොවිතැනට රසායනික හුරු කළාට පස්සෙ මෙරට කුඹුරු අක්කරයකින් ලබන සාමාන්‍ය අස්වැන්න වී බුසල් 80 යි. අක්කරයකට වී බුසල් 120 – 140 ක අස්වැන්නක් ලැබෙන කුඹුරුත් තියෙනවා. රසායනික භාවිතා කරලා කුඹුරු අක්කරයකින් සාමාන්‍යයෙන් වී බුසල් 20 ක් වැඩි කරගෙන තියෙන බව හැබෑව. ඒ අනුව වී කිලෝ හාරසීයක් වැඩිවෙලා තියෙන බවත් හැබෑව. මේ රටේ කුඹුරු අක්කර ලක්‍ෂ විස්සක් තියෙනවා. කන්න දෙකට කුඹුරු අක්කර ලක්‍ෂ විසිනවයාමාරක් වගා කෙරෙනවා. කුඹුරු අක්කරයකට පොහොර මිටි තුනක් පාවිච්චි කරනවා. පොහොර මිටියක සාමාන්‍ය වියදම රුපියල් පන්දහසත්, හයදහසත් අතර මිලක් වෙනවා. මගේ ගණන් හැදීමට අනුව පොහොර මිටි තුනට රුපියල් දහසය දහස් පන්සියයි. රජය විසින් ලබාදෙන පොහොර සහනාධාරය නිසා පොහොර මිටියක නියම වෙළෙඳ වටිනාකම ගොවියොත් දන්නෙ නෑ. ඒ වගේම කෘමිනාශක, වල්නාශකවලට කුඹුරු අක්කරයකට රුපියල් හත්දහස් පන්සීයක් වියදම් කරනවා. වී බුසල් 20 ක් හෝ වී කිලෝ හාරසීයක් වැඩි කරගන්න රුපියල් විසිහතරදාහක් වියදම් කරනවා. වැඩි වූ වී කිලෝ හාරසීය රුපියල් පනහකින් වැඩි කළොත් ලාභය රුපියල් විසිදහයි. රුපියල් විසිදාහක (20000) ලාබයක් ගන්න විසිහතරදාහක් (24000) වියදම් කරන්න රටේ ගොවීන්ව රසායනික වී වගාවට හුරු කරපු නිලධාරීන්, ඒ සඳහා තීන්දු තීරණ ගත් දේශපාලනඥයන් බුද්ධිමත් ද?

 එළවළු වගාවටත් වෙලා තියෙන්නෙ මේ දේම තමයි. තේ වගාවටත් අත්ව ඇති ඉරණමත් ඒකම තමයි. මම හිටපු වතු අධිකාරිවරයෙක්. රසායනික පොහොර දැම්ම හැටියේ දලූ බර වැඩි වෙනවා. පොහොර ටික ක්‍ෂය වෙනකොට දලූ බර අඩු වෙනවා. ඒ කාලේ අපි කිව්වේ පෙහොර දලූ කියලා. ඒ වගේම මාස තුනෙන් තුනට පොහොර දාලා වල් නාශක ගහලා වියදම් කළාට පස්සෙ තේ අක්කරයකින් ලැබෙන්නෙ සොච්චම් ලාභයක්. පාඩු වෙන තේ ඉඩනුත් තියෙනවා. දැන් තේරෙනවා නේද රසායනික වගාවෙන් ගොවීන්ට සෙතක් වී නැති බව. ඒ වගේම රසායනික භාවිතයත් සමඟ මේ රටට වෙච්ච විපත කොතරම්ද? වස විස එකතු වෙච්ච වතුර බීලා, ආහාර පරිභෝජනය කර වකුගඩු රෝගීන්, පිළිකා රෝගීන්, හෘද රෝගීන් වී මියගිය ජීවිත කොපමණද? ඒ විපත මුදල් වශයෙන් ගණනය කළ හැකිද?

 ‘‘අපේ රට ලෝකයේ තියෙන වාසනාවන්තම රට. සමකය අවට පිහිටි මේ රටේ ජෛව විවිධත්වය අතිශය ඉහළයි. ඕනෑම දෙයක් වගා කරන්න පුළුවන්. අල, බතල, කොස්, දෙල් පලා වර්ග කැලෑ කොළ නැති ආහාරයක් නෑ. මේ රට මාස ගාණක් වහලා තිබ්බත් එක මිනිහෙක්වත් හාමතේ නොමැරී ජීවත් වෙනවා. ලෝකයේ කන්න නැතිව මිනිස්සු මැරුණොත් අන්තිම මිනිහා මැරෙන්නෙ ශ‍්‍රී ලංකාවෙන්. ඒ නිසා මේ රට ‘සහලින් ස්වයංපෝෂිත’ කිරීම නෙමෙයි කළ යුත්තේ ‘අහරින් ස්වයංපෝෂිත’ කිරීමයි. ජාතියේ කරුමයට රටේ වටිනාකම ගැන බහුතරයක් වූ මෙරට පුරවැසියන්ට තේරෙන්නෙ නෑ. රටේ වටිනාකම දැනෙන්න නම් ආහාර හිඟයක්ම එන්නම ඕනෑ…’’

 ‘‘ඒ වගේම රසායනික තහනමත් සමඟ ‘දේශීය ගොවිතැන’ නැවත අපේ රට තුළ ප‍්‍රචලිත කිරීමට නම් ඒ සම්බන්ධයෙන් හරවත් දේශන මාලාවක් රට පුරා පැවැත්විය යුතුයි. එම දේශන පැවැත්විය යුත්තේ විෂය ගැන දැනුම ඇති බුද්ධිමතුන්. ඒ වගේම පව්කම් පඩිසම් දෙන මේ මොහොතේ අපේ ගොවියො ඉවසා සිටිය යුතුයි. මෙරට පාරිභෝගික ජනතාව වස විස සහිත ආහාර මිලට නොගත යුතුය. රටේ මිනිස්සු එම ආහාර පරිභෝජනය කරන තාක් ගොවියො වස විස සහිත ආහාර නිෂ්පාදනය කරන බව හැබෑව. ඒ වගේම රටට ආදරය ඇති නිලධාරීන් සහ දේශපාලනඥයන් රසායනික තහනමට විරුද්ධව වචනයක්වත් කතා නොකළ යුතුය. මේ රට මරණයෙන් ගලවාගැනීමට ලැබී ඇති අවසාන අවස්ථාවයි…’’ තිලක් කන්දේගම කල් යල් බලා කළ හරබර දේශනය අවසානය.

 පෙළගැසෙන කතාවට අනුව සෞඛ්‍යසම්පන්න රටක් නිර්මාණය කරගැනීමේ වගකීම් පැවරී ඇත්තේ මෙරට පුරවැසියන්ටය. ඉදිරි මාස කිහිපයේදී ආහාර මිල වැඩිවීම රටේ ජනතාව බුද්ධියෙන් සිතා දරාගත යුතුය. ඔබගේ ඉවසීම, දරාගැනීම වස විසවලින් තොර සෞඛ්‍යසම්පන්න දේශයක් නිර්මාණය කිරීමට බොහෝ උපකාරී වන බව සැබෑය. ඒ සෞඛ්‍යසම්පන්න දේශය තුළ ඔබගේ දුවා දරුවන් සුරක්‍ෂිතය.

advertistmentadvertistment
advertistmentadvertistment