වස විස නැති කෑමවේල සරු කරන්න අපේම වියළි මිරිස්…. 70-80 දශකයේදී කෑවේ අපේම මිරිස්

243

බෝග නිෂ්පාදනයේ කඩඉම් පසුකර කුමන අන්දමේ ජයග‍්‍රහණ අත්කර ගත්තද, වවාගත් දේ උයාපිහා ගෙන කටේ දමාගන්නා විට ලූණු මිරිස් රහක් නැත්නම් මෙරට මිනිසුන්ගේ හිත පිරෙන්නේ නැත. කෑම පංගුව අහවර කරද්දී මිරිස් සැරට හිලව් වෙන සිහින් කඳුළක් දෙනෙත් කෙවෙනි මත උනා තිබුණත්, බහුතරයක් කියනු ඇසෙන්නේ රසවත් කෑම වේලකින් සප්පායම් වූ බවකි. ඒ තරමටම ජනතාව මෙම ‘සැර කරල’ට හිතවත්ය. 70-80 දශකයේදී පමණ අප වියළි මිරිස් වලින් ස්වයංපෝෂිත තත්ත්වයේ සිටියෙමු. අද වනවිට 95% කටත් වඩා ඉහළ මට්ටමකින් ආනයනික වියළි මිරිස් මත යැපෙමින් සිටින්නෙමු. 2020 වසර තුළ පමණක් වියළි මිරිස් මෙටි‍්‍රක් ටොන් 50780 ක් ආනයනය කර ඇත්තේ රුපියල් කෝටි 1760 ක් පිටරට ගොවීන්ගේ සාක්කුවට දමමින්ය.

පසුගිය දිනෙක ආනයනික පොල්තෙල් තුළ තිබූ ඇෆ්ලටොක්සින් නමැති රසායනය ගැන කතාකරද්දී වියළි මිරිස් තුළ තිබිය හැකි ඇෆ්ලටොක්සින් ගැනද නොඇසුනාම නොවේ. ඇතැම් යුරෝපීය රටවලට ඉන්දියාවේ සිට වියළි මිරිස් ආනයනය නොකරයි. එයට හේතුවද අවස්ථා ගණනාවකදී ඉන්දියානු මිරිස් තොග තුළ ඇෆ්ලටොක්සින් තිබෙන බව අනාවරණය වී තිබීමයි. මීට අමතරව විදෙස් රටවල මිරිස් වවනවිට කුමන පොහොර වර්ග, කෘමිනාශක, වියළීමේදී හා ඇසිරීමේදී යොදන රසායන ද්‍රව්‍ය ආදී දෑ යොදනවාදැයි අප දන්නේද නැත. රැුගෙන එන තොග තුළ කෙබඳු තරමින් මේවාහි අවශේෂයන් තිබේදැයි සැලකිල්ලෙන් සොයාබලන යාන්ත‍්‍රණයක් අපට තිබෙන්නේද යන්නත් සැක සහිතය. දේශීය ගොවිතැන වසවිසෙන් මුදාගැනීමට කෙරෙන කතාබහ අතරතුර මෙවැනි ආනයනික ආහාර හරහා රටේ දුප්පත්ම මිනිසාගේ සිට සමාජයටම කැවෙන වසවිස ගැන අවධානය යොමුනොවීම කනගාටුවට කරුණකි. කලකට පෙර අප සතුව තිබූ ‘සැර කරලේ සෞභාග්‍යය’ යළි උදාකරගත යුතුබව අප අවධාරණය කරන්නේ එබැවිනි.

වස විස නැති කෑමවේල සරු කරන්න අපේම වියළි මිරිස්.... 70-80 දශකයේදී කෑවේ අපේම මිරිස්
වැලිකන්ද ප‍්‍රදේශයේ කෙරෙන මිරිස් වගාවක්

”දැනට අපි වගා කරන්නේ මිරිස් හෙක්ටයාර් 15000 ක් පමණ ගණනක්. මහ කන්නයට 9000 යි යල ට 6000 යි. මේ මුළු වපසරියෙන් හෙක්ටයාර් 10000 ක් වත් දෙමුහුම් මිරිස් වවන්න අවශ්‍යයි. අන්න එදාට අපි නැවතත් වියළි මිරිස් වලින් ස්වයංපෝෂිත වෙනවා.”

බැලූ බැල්මට තරමක් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සේ පෙනෙන එම අදහස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති අංශයේ නිලධාරියකුගෙනි.

වස විස නැති කෑමවේල සරු කරන්න අපේම වියළි මිරිස්.... 70-80 දශකයේදී කෑවේ අපේම මිරිස්
එච් කේ එම් එස් කුමාරසිංහ

ඔහු එච්. කේ. එම්. එස්. කුමාරසිංහ යි. දෙමුහුම් මිරිස් කීවාට කලබල වියයුතු නොවේ. වැඩි අස්වැන්නක් දෙන, හොඳට ‘සැර’ තිබෙන එම්. අයි. සී. එච්. 1 සහ 2 යනුවෙන් නම්කළ මිරිස් ප‍්‍රභේද දෙකක් මහඉලූප්පල්ලම පර්යේෂණායතනය මගින් මේ වනවිටත් ගොවීන් වෙත හඳුන්වාදී තිබේ. ඒ අතරින් වැඩි ගොවි ආකර්ෂණයක් දිනාගෙන ඇත්තේ පළමු ප‍්‍රභේදයයි. එසේනම් වගාව සඳහා දෙමුහුම් බීජ පිටරටින් ගෙන ආයුතු නැත. හයිබි‍්‍රඞ් නොහොත් දෙමුහුම් මිරිස් සමගින්ම ගමන යායුත්තේ ඇයිදැයි අප විමසුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මිරිස් බෝගයේ ප‍්‍රවර්ධනය සඳහා පත්කර තිබෙන බෝග නායකයා වන කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන්ත තුසිත කුමාර මහතාගෙනි.

වස විස නැති කෑමවේල සරු කරන්න අපේම වියළි මිරිස්.... 70-80 දශකයේදී කෑවේ අපේම මිරිස්
සමන්ත තුසිත කුමාර

”ගොවියා ලබන සාමාන්‍ය අමු මිරිස් අස්වැන්න මේ වනවිට හෙක්ටයාරයකට මෙටි‍්‍රක් ටොන් 5 ක් පමණ වෙනවා. ඒත් මේ දෙමුහුම් ප‍්‍රභේදයේ අස්වනු විභවය ටොන් 30-45 ක් විතර වෙනවා. අපි මැදට ඇවිත් ටොන් 25 ක් හැටියට හිතමුකෝ. එහෙම වුණොත් හෙක්ටයාර් 10000 කින් ටොන් ලක්ෂ දෙක හමාරක් ලැබෙනවා. අමුමිරිස් සඳහා ටොන් 50000 ක් අයින් කරලා ඉතිරි ලක්ෂ දෙකෙන් වියළි මිරිස් හදනවානම් කිලෝවක් හදන්න අමුමිරිස් කිලෝග‍්‍රෑම් 4 ක් අවශ්‍ය වෙන පදනමින් අපිට ලැබෙනවා වියළි මිරිස් ටොන් 50000 ක්. ඒ කියන්නේ අපේ පාරිභෝජනයට ප‍්‍රමාණවත් වියළි මිරිස් ලැබිලා”

සමන්ත කුමාර මහතාගේ විස්තරය හොඳටම පැහැදිලිය. මෙතරම් වගාකරන්නට අවශ්‍ය දේශීය බීජ සැපයුමක් අප සතුව තිබෙන්නේද? එයට පිළිතුරු ගොනුකෙරුවේ කුමාරසිංහ මහතාය.

”කිලෝග‍්‍රෑමයක මිරිස් ඇට තිබෙනවා එක්ලක්ෂ විසිදාහක්. හෙක්ටයාරයකට වුවමනා ඇට ග‍්‍රෑම් 300 යි. එහෙනම් හෙක්ටයාර් 10000 ක් වවන්න අවශ්‍යතාව ඇට කිලෝග‍්‍රෑම් 3000 යි. වැඬේ කෙරෙන්න ඕනෑ ආරක්ෂිත ගෘහ නොහොත් පොලිටනල් ඇතුළේ. වර්ග අඩි ලක්ෂ තුනක පොලිටනල් මේ සඳහා යොදවනවා නම් කටයුතු සාර්ථකව අහවරයි.”

විවිධ ක්ෂේත‍්‍රයන් හසුරවන නිලධාරීන් විසින් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන ඇතැම්විට සුරංගනා කතාවල ස්වරූපයක් ගනී. කඩදාසි මත රූපසටහන් ඇඳ, ඉලක්කම් අමුණා අපට පෙන්වන චිත‍්‍ර හා සටහන් මහපොළොව මත ප‍්‍රායෝගිකව යථාර්ථයක් බවට පත්කරගත නොහැකි බව අප අත්දැකීමෙන් දන්නෙමු. එහෙත් කුමාරසිංහයාණන් පවසන්නේ ඊට එහා ගිය සත්‍යයක් බව පිළිගත යුත්තේ අදාළ වපසරියකින් යුත් පොලිටනල් දැනටමත් මෙරට තුළ තිබෙන බැවිනි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිපළ අංශය සතුව පමණක් පැල්වෙහෙර හා මහඉලූප්පල්ලම වර්ග අඩි 35000 ක් පමණ තිබේ. මීට අමතරව පෞද්ගලික සමාගම් හා ගොවි සංවිධාන සතුවද පොලිටනල් විශාල ප‍්‍රමාණයකි. ඒවා භාවිත නොකරන්නේ නම් වුවද තෙත් කලාපයට වැටෙන වර්ෂාව සමගින් මිරිස් වගාකරෙන්නේ නම්, අනිවාර්යයෙන්ම මේ ඉලක්කය සපුරාගත හැකි බව ඔහුගේ අදහසයි.

වස විස නැති කෑමවේල සරු කරන්න අපේම වියළි මිරිස්.... 70-80 දශකයේදී කෑවේ අපේම මිරිස්

”වියළි කලාපයේ ඉඩම්වල මිරිස් ගස් ගලවා දමන්නේ ඔවුන් වගා කන්න පිළිවෙත අනුගමනය කරන හින්දයි. එහෙම නැත්නම් තෙත් කලාපයේ මේ මිරිස් ගස් මාස 8-10 ක් වුවත් තියාගන්න පුළුවන්. පැළ සිටුවද්දී කාබනික පොහොර අහුරක් දානවාට අමතරව මාස එක හමාරකටවත් සැරයක් කාබනික පොහොර සාත්තුවක් දෙනවා නම් ප‍්‍රතිඵල ඉතාම ඉහළයි. මීට අමතරව අපිට තේ ඉඩම් තියෙනවා. තේ ගස් අතර පරතරයේ මිරිස් හදන්න පුළුවන් නිසි පාංශු සංරක්ෂණ ක‍්‍රම අනුගමනය කරමින්. ඒ අතරතුර වල්සූරියකාන්ත වගේ ශාක වවනවානම් ඒවා විටින් විට කප්පාදු කරමින් කාබනික සත්කාරයකුත් දෙන්න පහසුවෙනවා.”

කුමාරසිංහ මහතා තවත් බොහෝ දේ කියන්නට සැරසී සිටී. සෞම්‍ය දේශගුණික තත්ත්වයන් යටතේ මැදරට කලාපයේ වැවෙන මිරිස් පැළ වලට කෘමි උවදුරු වලින් හානි සිදුවන්නේද ඉතා අවමයෙන් බව ඔහු සඳහන් කරන්නේ අත්දැකීම් පදනම්වය. කරුණු සම්පිණ්ඩනය කළවිට පැහැදිලි වන්නේ ‘සැර කරලේ ස්වයංපෝෂණයට’ අවැසි දැනුම හා ශක්තිය විද්වතුන් සතුව තිබෙනා බවය. බීජ, පොහොර හා අනෙකුත් වුවමනා සම්පත් සියල්ල රට තුළම දැනටමත් ඇති බවය. අභියෝගය භාරගෙන, කාලරාමුවක් සාදා ඉලක්කය වෙත ගමන් ඇරඹීමට තවත් අවශ්‍යව

සවඇත්තේ බලධාරීන්ගේ ආශීර්වාදය පමණකි. බඩු පොදි බැඳගත් ගමන් නඩය සමන්විත වියයුත්තේ කෘෂි විද්වතුන්ගෙන් පමණක් බවද බලධාරීන්ට තේරුම් යන්නේ නම්, අප සැම පතනා වසවිස නොමැති ආහාර වේල දේශීය මිරිසෙන් ඔපවත් වන දිනය එතරම් ඈතට නොයනු ඇත.

සනත් එම්. බණ්ඩාර
[email protected]

වස විස නැති කෑමවේල සරු කරන්න අපේම වියළි මිරිස්.... 70-80 දශකයේදී කෑවේ අපේම මිරිස්
advertistmentadvertistment