වහාම ක්‍රියාත්මක වන පරිදි පොලී අනුපාතවලට සීමා දැමිය යුතුයි – වජිර අබේවර්ධන (එජාප)

172

පාලකයන් රටේ සංවර්ධන ප්‍රමුඛතා තෝරාගැනීමට ලාභ ලබන ආයතන හා රජයේ
ඉඩම් ජාවාරම්කාරයන්ට දෙන්න හදනවා – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා (සජබ)
බදු නිසා තෙල් මිල වැඩිවීම සෑම අංශයකටම තදින් බලපාවි – වෛද්‍ය උපුල් ගලප්පත්ති (ශ්‍රීලපොපෙ)
අයවැය පණ අදිමින් සිටි මිනිසුන්ගේ ගෙල සිඳ දැමුවා – කාවින්ද ජයවර්ධන (සජබ)
විදේශ විනිමය අර්බුදයට කිසිම යෝජනාවක් නැහැ – ගෙවිඳු කුමාරතුංග (ශ්‍රීලපොපෙ)

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලී අනුපාතයන්ට සීමා පැනවිය යුතු බවත් එසේ නොවුණහොත් ව්‍යාපාර බිඳ වැටී රැකියා නැතිවී ජනතාව මහ පාරට වැටෙන බවත් පත් කළ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා (එජාප) ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (18 දා) උදෑසන 9.30 ට නැවත ආරම්භ කෙරිණි.

ප්‍රථමයෙන් නිවේදන, ලිපි ලේඛන, වාචික වාර්තා, මහජන පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව 2023 අයවැය යෝජනාවලිය පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදය හතරවන දිනටත් ආරම්භ විය.

විවාදය ආරම්භ කරමින් කතා කළ පත්කළ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා (එජාප)

රජය දිගින් දිගටම සිදුකළේ මහ බැංකුව හරහා මුදල් ඉල්ලීම පමණයි. මහ බැංකුව රජයට මුදල් නිකුත් කිරීම සිදුකළේ මුදල් අච්චු ගැසීමෙනුයි. මෙවැනි අධික මුදල් ප්‍රමාණයක් අච්චු ගසා රට තුළ සංසරණය කරවීමත් සමඟ රටේ උද්ධමනය දරාගත නොහැකි තත්ත්වයකට වැඩි වුණා.

මේ වනවිට උද්ධමන වේගය ඉතාමත් වැඩි අගයකට ළං වී තිබෙනවා. අහාර මිලෙහි උද්ධමනය 90% කට වඩා වැඩි අගයක්

ගන්නවා. මේ නිසා අඩු ආදායම් ලබන පුද්ගලයන්ගේ ජීවන මට්ටම ඉතාම පහළට ඇද වැටුණා.

දරා ගත නොහැකි බඩු මිලෙහි ඉහළ යෑම නිසා දෛනික ආදායම් ලබන පුද්ගලයන් ඉතාම අසරණ තත්ත්වයට පත්වුණා. මේ තත්ත්වය නතර කිරීමට එවකට රජයට හැකියාවක් ලැබුණේ නැහැ. ඔවුන්ට ඒ පිළිබඳ දැනුමක් තිබුණෙත් නැහැ.

මෙවැනි තත්ත්වයක් උඩ පසුගිය අප්‍රේල් මාසයේදී රජය විසින් අප බංකොළොත් රටක් බවට ප්‍රකාශයක් නිකුත් කළා. ඒ නිසා අපට විදේශ රටවලින් ණය ආධාර දෙන එක පවා නතර කළා.

ඒ අවස්ථාව වනවිට සංචාරක ව්‍යාපාරයත් කඩා වැටී තිබුණු නිසා අපට විදේශ විනිමය ලැබුණේ විදේශ ගත ශ්‍රමිකයන් එවන මුදල්වලින් පමණයි. ඩොලර් ආදායම අඩු වුණත් අපට විදේශවලින් එදිනෙදා පරිභෝජනයට අදාළ බඩු භාණ්ඩ ගෙන්වා ගැනීම සීමා කළ නොහැකියි. ඉන්ධන, ගෑස්, පොහොර වැනි අත්‍යාවශ්‍යම භාණ්ඩ ගෙන්වීම නතර කළ නොහැකියි.

මේ හේතුන් නිසා අප රට තුළ සමාජ ප්‍රශ්න හට ගැනීම ආරම්භ වුණා. උදාහරණයක් විදිහට ගත්තොත් පොහොර නොමැති නිසා ගොවි ජනතාව මහත් පීඩනයකට ලක්වුණා. බෙහෙත් නොමැතිකමින් ලෙඩ වූ ජනතාව අසරණ තත්ත්වයට පත්වුණා. ඉන්ධන නොමැතිකමින් ජනතාවට දින ගණන් පෝලිම්වල සිටින්නට සිදුවුණා.

මේ සියලු ප්‍රශ්නයන් ආණ්ඩුවට සෘජුවම බලපෑවා. ඒ නිසා මෙය දේශපාලන අර්බුදයක් වගේම සමාජ අර්බුදයක් දක්වා වර්ධනය වුණා.

මේ නිසා ගොවීනුත් යම් ප්‍රමාණයකට සන්සුන් වී සිය වගා කටයුතු නැවත ආරම්භ කිරීමට කටයුතු කළා. ඒ වගේම අඩාල වී තිබුණු ආහාර නිෂ්පාදනයක් යම් ප්‍රමාණයකට වැඩි වෙන්නට පටන් ගත්තා.

පොහොර ප්‍රශ්නය යම් තාක් දුරකට විසඳීමත් සමඟ ග්‍රාමීය මට්ටමේ හට ගත් ගැටලු සම්පූර්ණයෙන්ම නැති වුනත් මේ වනවිට යම් තාක් දුරකට අඩු වී තිබෙනවා. නමුත් බඩ ඉරිඟු වැනි භෝගවල ඉහළ නිෂ්පාදනයක් මේ මොහොතේදීත් සිදුවන්නේ නැහැ. ඒත් ඉදිරි මාස කිහිපය තුළ මේ ප්‍රශ්නත් නිවැරදි වෙයි කියා අපට බලාපොරොත්තු විය හැකියි. බඩඉරිඟුවලින් නිෂ්පාදනය කෙරෙන සත්ත්ව ආහාර නිෂ්පාදනයත් වැඩි වීම හරහා කුකුල් මස් සහ බිත්තර නිෂ්පාදනයට එය රුකුලක් වේවී.

ඒ නිසා පොලී අනුපාතය පාලනයට සහ විනිමය අනුපාතය ස්ථාවර කරගැනීමට වෙනත් විකල්ප ක්‍රම අවශ්‍ය වෙනවා. උද්ධමනය පාලනය සඳහා දැනට අපිට එකම එක උපකරණයයි තිබෙන්නේ. ඒ පොලී අනුපාතය ඉහළ නැංවීම පමණයි. මේ නිසා බොහෝ කර්මාන්තකරුවන්ට ණය අරගෙන වැඩකටයුතු කරගෙන යෑමට නොහැකි වීම නිසා විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත විශාල අභියෝගයකට මුහුණපානවා.

ඇතැම් කර්මාන්ත මේ වනවිට වැසී ගොස් තිබෙනවා. තවත් ඒවා තමන්ගේ නිෂ්පාදන පරිමාව අඩුකර තිබෙනවා. මෙැවැනි නොයෙක් ප්‍රශ්නවලට ඔවුන් මුහුණ පා තිබෙනවා. කර්මාන්ත යම් හෙයකින් වසා දැමුවහොත් එහි සේවය කරන සේවකයන්ගේ ආදායම් තත්ත්වය කඩා වැටෙනවා. එය සමාජයට සහ ආර්ථිකයට විශාල බරක්.

මේ වනවිට කෘෂිකර්මාන්තය යම් ස්ථාවර මට්ටමකට පැමිණ තිබෙනවා. නමුත් අපනයන හා නිෂ්පාදන කර්මාන්ත සම්බන්ධයෙනුත් යම් කිසි සාධනීය වැඩපිළිවෙලක් දියත් කළ යුතුයි. ඒ සඳහා රජය, පුද්ගලික අංශය මුදල් මණ්ඩලය, මහා භාණ්ඩාගාරය, අමාත්‍ය මණ්ඩලය වගේ සෑම අංශයක්ම එක විදිහකට ක්‍රියා කර මෙයින් ගොඩ ඒමට යම් මාර්ගයක් සාදා ගත යුතුයි. ණය නොගෙවීමේ තත්ත්වය තුළ විදේශ රටවලින් හෝ බහු පාර්ශවීය ආයතනවලින් අපට තවදුරටත් උදව් උපකාර ලැබෙයි කියා බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ සඳහා අපට අවස්ථාව ලැබෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ යම් නිශ්චිත අරමුණකට ළඟා වුනොත් පමණයි. මේ හේතුව නිසා රටේ ආර්ථිකය මුළුමනින්ම කළමනාකරණය කරන්නේ සිදුවන්නේ රට අභ්‍යන්තරයේ තිබෙන සම්පත්වලින්ම පමණයි.

නිෂ්පාදනය වැඩි වීම හරහා ආනයන අඩුකරගෙන අපනයන වැඩිකර ගැනීමේ හැකියාව ලැබෙනවා. මේ හරහා රැකියා අවස්ථා වැඩි වෙනවා. ඒ වගේම එමගින් විදේශ විනිමය අනුපාතය පාලනය කිරීමට හැකියාව ලැබෙනවා.

අපට පුළුවන් වෙයි ඩොලරය රුපියල් 360 ක සීමාවෙන් පහළට අරගෙන එන්න. ක්‍රම ක්‍රමයෙන් අපට හැකිවේවී විනිමය අනුපාතය සැලකිය යුතු ප්‍රමාණයකින් පහතට ගෙනවිත් ආනයනය කරනු ලබන අත්‍යාවශ්‍ය භාණ්ඩ, ආහාර සහ ඖෂධවල මිල අඩු කරලා පීඩාවට පත්වෙලා ඉන්න ජනතාවට සාධාරණයක් කරන්න.

ඒ වගේම දරාගත නොහැකි පොලී අනුපාතයක් ඇතිව ව්‍යාපාරිකයන්ට තවදුරටත් තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න බැහැ. වැඩිකල් නොගිහින් මේ ව්‍යාපාර වැටෙනවා. ඒ වගේම කිසිම කෙනෙකුට ණයක් අරගෙන ගෙයක් දොරක් හදාගන්න තියා තියෙන ගෙයක් අලුත් වැඩියා කරගන්නවත් බැහැ.

මේ ආකාරයට රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්න විසඳන්න බැහැ. මේ දරාගත නොහැකි පොලී අනුපාතයට උපරිම සීමාවක් දැමීමට මා යෝජනා කරනවා. ඒ වගේම දෙවනුව පොලී අනුපාතය ක්‍රමානුකූලව අඩුකිරීමේ වැඩපිළිවෙළක් රජයට ක්‍රියාත්මක කරන්න වෙනවා.

මට මතකයි යහපාලන ආණ්ඩුව තිබෙන විට මූල්‍ය ණය ලබාදුන්නේ උපරිම පොලී අනුපාතයකට අනුවයි. ව්‍යවසායකයන් හා අනෙකුත් අයට අඩු පොලියට ණය ලබාදෙන්න නම් ස්ථාවර තැන්පතුවලට ලබාදෙන පොලිය පවා අඩුකළ යුතුයි.

ඒ නිසා මගේ යෝජනාව වෙන්නේ පොලී අනුපාතයට උපරිමයක් නැතිනම් කැප් එකක් දමන්න කියලා. නැතිනම් විකල්ප විසඳුමක් ඉදිරිපත් කරන්න ඕන. එහෙම සැලසුමක් පේන තෙක් මානෙකවත් නැහැ.

අපි පොලී අනුපාතය මේ විදිහට පාලනය නොකළහොත් ව්‍යාපාර කඩා වැටී ජනතාව ණය බරට යට වෙලා, රැකියා නැතිවෙලා, රටේ ඉන්න වැඩි හරියක් ජනතාවගේ දිළිඳුකම වැඩිවෙනවා. මේ තත්ත්වය අපි කවුරුත් දන්නවා

වගේම සමාජ අරගලවලට හේතු වෙනවා. මිනිසුන්ගේ සාක්කුවේ තියන රුපියල ශක්තිමත් කරනවට විරුද්ධව ව්‍යාපාරයක් තියනවා. අපි එය හෙළි කළ යුතුව තියනවා.

ඒවගේම අපි බලන්න ඕන රජයේ සේවකයන්ගේ අතේ තියන රුපියල, ගත්ත ණය ගෙවාගන්න බැරි තත්වයට පත් කරනව නම් ඒ කව්ද කියලා. පෞද්ගලික අංශය කඩා බිඳ දමනවා. ඒ කව්ද කියලා. මෙයට අපිට පාර්ලිමේන්තුවට යටත් වෙන්න බෑ.

මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී විජේරත්න (සජබ) –

අහිමි දශකයක පළමු අයවැයයි මෙවර ඉදිරිපත් වුණේ. මුල් අවුරුදු 3 තුළ විදේශ සංචිත බින්දුවට ගිය නිසා කෘෂිකර්මය නැති කළා. උද්ධමනය වැඩි කළා.

අරගලය ඇතිවෙන්න හේතුවූ කරණුවලට විසඳුම් අයවයෙන් ඉදිරිපත් වී නෑ. නඟින්න උදව් කරපු ඉනිමඟට නම් පයින් ගහලා තියෙනවා. උද්ධමනය සියයට 70කට වඩා ඉහළයි. ජනතාවගේ ණය වැඩි වෙලා.

එදා මරුටි කාර් එකක හීන තිබුණු රටක අද එදාවේල කන එක හීනයක් කරලා. අපනයන කර්මාන්ත විනාශ වුණා. ඉදිකිරීම් කර්මාන්තය වැටිලා. ඒ ගැන අයවැයේ විසඳුම් නෑ. ගොවියන්ට ගංජා වවන්න හීනයක් දීලා තියෙනවා.

මේ අයවැයෙන් මධ්‍යම පාන්තිකයා ඉවරයි. හූරලාම බදුගන්න ක්‍රමයක් තියෙන්නේ. ලක්‍ෂ 5 ක ආදායම තිබුූඅයෙක් දොළොස් ලක්‍ෂයක් බදු ගෙවන්න වෙලා. කිසිම වැටුප් වැඩිවීමක් නැහැ. විශ්‍රාමිකයන්ට බෙහෙත් ටික ගන්න බැරිවෙලා. මධ්‍යම පන්තිය තමයි රට ශක්තිමත් කරන්නේ. ඒ නිසා ඔවුන්ව ශක්තිමත් කළ යුතුයි.

ආර්ථිකය නංවන්න හොරා කාපුවා නැවත ලබා ගත යුතුයි. බදු නොගෙවා හැංගුණු මිනිස්සු අල්ලා ගන්න උපායශීලී මාර්ග අවශ්‍යයි. රට විනාශ කරපු පිරිසක් එක්ක රට හදන්න බැහැ. ඒ නිසා ජනමතයට හිස නමලා අලුත් ආණ්ුවක් පිහිටුවා ගන්න.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි (ශ්‍රීලපොප) –

රටේ ජනතාවට ප්‍රශ්න තිබෙන විත්තිය විපක්‍ෂය කිව යුතු නැහැ. අපිට හොඳින් දැනෙනවා. ඒ නිසා තමයි ප්‍රශ්න තිබුණත් වැඩිහිටි හා සමාජ සුභසාධන දීමනා දිගට ම දෙන්න තීන්දු කර තිබෙන්නේ. ළමා පෝෂණය වැඩි කිරීමට මුදල් වෙන්කර තිබෙනවා.

ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ ප්‍රශ්න තියෙනවා. ඒ ගැන අවධානය යොමු කළ යුතුයි. නැතිවූ බදු ආදායම ලබාගත යුතුයි. ආනයනය අඩු කර අපනයනය වැඩි කිරීමට පියවර ගත යුතුයි. එහිදී අපනයන අලුත් අංශ කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.

පත්කළ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර (සජබ) –

ජනතාව අතිශය පීඩනයට පත්වෙලා ඉන්න යුගකයි අවැය ගෙනාවේ. 2019 වනවිට විදේශ ණය ගෙවන්න සතපහක් හිඟ තබුණෙ නෑ. ජනතාව පෝලිම්වල හිටියේ නෑ. 2019 ආපු පාලනය නිසයි රට මේ තත්ත්වයට වැටුණේ.

මෝඩ විදියට බදු කපාහැරියා, කෘෂිකර්මාන්තය විනාශ කළා. පාලකයන්ගේ වැරදි නිසා ජනතාව වන්දි ගෙවනවා. වැරදි කරපු පිරිසම රනිල් ජනාධිපති කළා.

අද පාසල්වල දරුවෝ ක්ලාන්තේ දාලා වැටෙනවා. විශ්වවිද්‍යාල දරුවන් දේශනාවලදී ක්ලාන්තය දාලා වැටෙනවා. අද බදු ජනතාවට ගෙවා ගන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා. ජල බිල, විදුලි බිල වැඩි කළා. වැට්එකයි, සමාජ ආරක්‍ෂණ බද්ධයි ඉදිරියේදී වැඩි කරන්න යනවා.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන –

අයවැයෙහි හොඳ යෝජනා වගේම පිළිගත නොහැකි යෝජනාත් තිබුණා. දේශීය වියදම් කළමනාකරණයකර, දේශීය සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ගැනීම කළ යුත්තක්.

සත්ත්වයින්ගෙන් වගාවට සිදුවන හානි ගැන මම කතා කළේ මීට වසර 15කට පෙරයි. තවම විසඳුමක් හොයා ගන්න බැරි වුණා. මේ අර්බුදයට වෙනත් රටවල් දීලා තියෙන විසඳුම් දෙන්න බැහැ.

අද රටේ ඇතිවී තිබෙන තත්ත්වයට යම් යම් පාලකයන් ගත් වැරදි තීන්දු හේතු වුණේ. අපි සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවා ප්‍රශ්න විසඳීමට ගත් උත්සාහය ව්‍යවර්ථ වුණා.

පාසල් 1000 ක දරවැන්ට පරිගණක දෙන්න ගත්ත තීරණය හොඳයි. ඒත් පාසල් 500කට පරිලණක දීලා ඉතිරි මුදලින් දරුවන්ට පොත්පත් අරන් දුන්නොත් එය වඩාත් වැදගත්.

වයස අවුරුදු 60 න් විශේෂඥ වෛද්‍යවරු විශ්‍රාම යැවීම වැරදි තීන්දුවක්. කොවිඩ් සමයේ විශේෂඥ වෛද්‍යවරු පවුල්පිටින් රටින් ගියා. ඒ නිසා අඩුම තරමින් වයස 65 වත් කළ යුතුයි. පොලොන්නරු රෝහල ශික්‍ෂණ රෝහලක් ලෙස උසස් කරන්න ගත් තීරණය හොඳයි.

මහවැලි අධිකාරියෙන් මහවැලි ඉඩම් බැහැර කරලා ප්‍රාදේශීය ලේකම්ට දුන්නොත් මහවැලි අධිකාරිය වැසී යනවා. මම ජනපති සමයේත් මේ යෝජනා ආවා. ක්‍රියාත්මක කරන්න දුන්නේ නෑ.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී චින්තක අමල් මායාදුන්න (ශ්‍රීලපොපෙ) –

මේ රට ගොඩ නඟන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට උතුරේ නායකයන් ක්‍රියාකරනවා. අද මුස්ලිම් සිංහල පිරිසට උතුරේ ජීවත් වෙන්න බැහැ. නමුත් දකුණේ හැම ජාතියක්ම සමගිව ජීවත් වෙනවා.

මේ රටේ හොඳ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න හැමෝම එකතු විය යුතුයි. තුනකට බෙදී වෙන්වී චෝදනා කර ගැනීම ජනතාවට කරන ද්‍රෝහී කමක්.

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල –

පසුගිය වසර 75 න් වසර 40 ක්ම රට විනාශකාරී තත්ත්වයට ගියේ. යුද්ධයේදී රටපුරා ආර්ථික මරමස්ථාන විනාශ කළා. ඒ වගේම 88/89 බස් ගිනි තිබ්බා. රටපුරා ලේ වැගිරුවා.

මේ අය වැය අනාගතයක් හිතන්න පුළුවන් දෙයක්. මෙතෙක් කල් වුණේ දෙපැත්තෙන් වැරදි හා හොඳ කියනවා. මෙවර හොඳ දේ ගැන කතා කරනනවා වැඩියි.

සමාජ පීඩනයත් සමගම දේශපාලනඥයාගේ භූමිකාවත් වෙනස් විය යුතුයි. සමාජ පීඩනය තේරුම් ගත් දේශපාලකයකු විය යුතුයි. සියලු දෙනා නිශ්චිත කාලයකට නිශ්චිත වැඩපිළිවෙළකට එළැඹිය යුතුයි.

පත් කළ මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග (ශ්‍රීලපොපෙ) –

මේ අයවැයේ කමිටු පත් කිරීම නම් කර තියෙවා. විදේශ විනිමය අර්බුදයට කිසිම යෝජනාවක් නෑ. බදු වැඩි කිරීම් කිරීමට නම් යෝජනාවී තිබෙනවා.

මේ වසර බදු ආදායම බිලියන 1858ක්. එය උපයා ගත හැකිද? මේ වසරේ බදු ආදායම එම මාර්ගයේ නෑ. බදු ආදායම නම් සියයට 69ක පමණ වැඩි වීමක් තිබෙනවා. ඇතැම් ව්‍යාපාර වැසී ගොස් ලැබෙන ආදායමත් මේ තුළින් නැතිවී යා හැකියි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා –

රටේ සංවර්ධනයේ ප්‍රමුඛතා තෝරා ගැනීමට පාලකයන් මේ දක්වා කටයුතු කර නෑ. දුෂ්කරතා තියෙනවා කියලා බදු

ගහනවා. ජනතාවට දුක් විඳින්න පුළුවන්ද? හතරදෙනකුගේ පවුලකට ජීවත්වෙන්න පුළුවන්ද?

කාසල් රෝහල් අධ්‍යක්‍ෂවරයා කියලා තියෙනවා ලේ වාර්තා ගන්න ක්‍රමයක් රෝහලේ නෑ කියලා. නොමිලේ දුන් වෛද්‍ය
පහසුකම් මේ අය මුදලට දෙන්න යෝජනා කරනවා.

අය වැය කතාවේ සිහින ලෝකයේ ජීවත්වීමක් තියෙනවා. ක්‍රියාත්මක කිරීමට යෑමේදී දූෂිත ව්‍යාපාරිකයන්, දේශපාලකයන් ක්‍රියාත්මක වෙනවා.

සමහර දේශපාලකයන්ගේ දූෂිත ක්‍රියා නිසා ආයෝජකයන් රටට එන්නේ නෑ. දූෂණය තියෙනකං රට දියුණු කරන්න බැහැ.

රටේ පෝලිම් ක්‍රමය නැති වුණේ කූපන් ක්‍රමය ඇති වූ නිසයි. නැතිව භාණ්ඩ තිබෙන නිසා නොවෙයි. උද්ධමනය පාලනය වෙලා කියලා කිව්වා. සියලු බඩු මිල වැඩිවෙලා. තෙල් මිල වැඩිවෙලා. විරැකියාව ඉහළයි. එහෙම තිබියදී උද්ධමනය පාලනය වෙලා කියන්නේ කවුද?

අපේ නායකයන්ට දුෂ්කර මාවත මතක් වුවත් දූෂිත නායකයන් නිසා ඒ මාවත මතක්වීමෙන් වැඩක් නැහැ. ආයතන විකිණීම පාඩු ලැබීම වැළැක්වීමට පිළියමක් නොවෙයි. ලාභ ලබන ආයතන ජාවාරම්කාරයන්ට දීමේ උත්සාහයක් පවතිනවා. සමහර ආයතනවල ලක්‍ෂ 40 – 50 පඩි ගන්නවා.

තරුණ පරපුර පමණක් නොව සියලුම ජනතාව ආරක්‍ෂා කරගත යුතුයි. තරුණයන් නිහඬ කරන්න උත්සාහ කරමින් ඉන්නවා. තරුණ හඬට කන් දෙන්නේ නෑ. වසන්ත මුදලිගේ හා සිරිධම්ම හිමි නිහඬ කරන්න කොපමණ උත්සාහ කළා ද කියා පේනවා.

සමහර වහල් පොලිස් නිලධාරීන් යොදවා තරුණයන්ට පහර දෙන්න උත්සාහ කරනවා. ඔවුන්ට බෙහෙත් දෙන්න අපි ඉදිරි කාලයේදී කටයුතු කරනවා.

රජයේ ඉඩම් බදුදෙන්න කියන්නේ හෙංචයියන්ට ඉඩම් ජාවාරම්වලට ගන්නයි. මේ රටේ සුද්දාට මොළය තිබ්බා තේ, පොල්, රබර්, කොකෝවා ගෙනවිත් විදේශ විනිමය ගේන්න. මේ අය ගංජා වවලා විනිමය හොයන්න හදන එක ගැන ලැජ්ජා හිතෙනවා.

මේ අය බීඩියෙනුත් බදු ගැහුවා. ඉදිරියේදී මේ අය ටොයිලට්වලටත් බදු ගහයි. කොමඩ්වලටත් මීටර් සවි කරයි. බුලත්විට කඩල වෙළෙන්දාටත් බදු ගසයි.

රට ගොඩනැගීමට නම් දූෂිත දේශපාලනඥයන් ගෙන් රට බේරාගත යුතුයි. මගේ හෘද සාක්‍ෂියට අනුව මෙය කළ හැක්කේ අරගලයකින් හෝ නිර්පාක්‍ෂික ක්‍රියාවලියකින් පමණයි. අරගලය ආයුධවලින් තොරයි.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. ජේ. සේනවිරත්න (ශ්‍රීලපොපෙ) –

අද අපිට සහල් පිටරටින් ගෙන්වන්න වෙලා. ඒ තරමට රට පසුගිය වසර 74 දී වට්ටලා. පටු දේශපාලන න්‍යායපත්‍ර පසෙකලා ජනතාව වෙනුවෙන් පොදු ජාතික ප්‍රතිපත්තියක් සැකසීම අවශ්‍යයි.

පෞද්ගලික රෝහල්වල ජනතාව සූරාකෑම් සිදුවන නිසා රජයේ රෝහල්වල ගෙවන වාට්ටුවලින් සාධාරණ මිලකට ප්‍රතිකාර ගත හැකියි.

කුඩා තේ වතු හිමියෝ රත්නපුරයේ ඉන්නවා. තේ කර්මාන්තයට පොහොර තහනමින් මරු පහරක් වැදුනා. දැන් පොහොර දුන්නත් ප්‍රමාණවත් නැහැ.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති (ශ්‍රීලපොපෙ) –

රජය බදු විශාල ලෙස වැඩි කරලා තියෙනවා. මේ නිසා උද්ධමනය වැඩි වෙලා. ගන්න පඩියෙන් ජීවත්වෙනවා හැර වෙන දෙයක් කරන්න බැහැ. ණය ගෙවා ගන්නත් බැහැ.

ඉදිරියේදී බදු නිසා තෙල් මිල වැඩි වෙනවා. එය හැම අංශයටම බලපානවා. අද වනවිට පෞද්ගලික ව්‍යවසායකයා නිෂ්පාදන කාර්යයෙන් ඉවත් වෙනවා. එවිට සේවකයා මහපාරට වැටෙනවා. රැකියා වියුක්තිය වැඩිවෙනවා. ජනපති ඒ බව දන්න නිසයි රැකියා අහිමි වන අයට දීමනාවක් දෙන්න යෝජනා කරන්නේ.

අයි. එම්. එෆ්. එක කියන විදිහට සියල්ල කරනවා. නමුත් ණය ලැබෙන්නේ කවදාද කියලා කවුරුත් දන්නේ නෑ. සිහින අයවැය ජනපති සිතන ආකාරයට කරගන්න බැරි වේවි.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඉසුරු දොඩංගොඩ (ශ්‍රීලපොපෙ)

රටේ ජනතාව ආර්ථික අර්බුදයේ පීඩාවට ලක් වෙලා. මෙයින් ජනතාව බේරා ගැනීමට දීර්ඝ කාලීන විසඳුමකට යා යුතුයි. ලෝකයේ ආර්ථිකය පහළ යනවා. අපේ රටේ ක්‍රමවේදයකට අනුව ආර්ථිකය හසුරුවාගෙන රට ගොඩනැංවීමට සියලු දෙනා එක්වෙමු.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන (සජබ)

මේ අයවැය පණ අදිමින් හිටපු මිනිසුන්ගේ බෙල්ල කැපූ එකක් ලෙස හඳුන්වනවා.

මේ අයවැයෙන් මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට දෙන ආධාරය ගැන සඳහනක් නෑ. ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව තුළින් පෝෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණා. එය අඩපණයි. අද බිත්තරයක්

ගන්න නෑ. පාලන මිලට බිත්තර නෑ. පෝෂණය ලබාගන්න ක්‍රමයක් නෑ.

ධීවර ජනතාව බිලියන ගණනින් රටට ඩොලර් ගේනවා. අද ධීවරයා අන්ත අසරණ වෙලා. එන්ජින් ඔයිල්, දැල් ආම්පන්න, භූමිතෙල් මිල විශාල ලෙස වැඩිවෙලා. ජනතාවට පෝෂණය අඩු වෙන තැනට ධීවර ක්‍ෂේත්‍රය පත්වෙලා.

අද ජනතාව විඳින දුකට වගකිවයුතු අයට නිදැල්ලේ ඉන්න දෙන්න එපා. බදු අය කරන්න පෙර බදු වංචා කරමින් ඉන්න අයගේ බදු මුලින්ම අය කරගන්න. නිවැරදිව බදු අය කරන්න.

මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය ගයාශාන් නවනන්ද (ශ්‍රීලපොපෙ)

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් පිහිටුවීමට ගත් තීරණය ඉතා හොඳයි.

පසු අස්වනු හානි අවම කිරීමට ශීත ගබඩා ඇති කිරීමට යෝජනා වී තියෙනවා. මම කලින් ආණ්ඩුවේ අමාත්‍යාංශයට ශීත ගබඩා හදන්න යෝජනා කළාම අපේ රටට ශීත ගබඩා වැඩක් නෑ කියලා මග ඇරියා.

පාර්ලිමේන්තුව අද (19 දා) පෙරවරු 9.30 යළි රැස්වෙයි.

රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment