වහා අවසන් විය යුතු ඇමරිකන් බෝම්බවාදය (9/11 සංවත්සරය නිමිත්තෙනි)

287

ආක‍්‍රමණික ඇමරිකාව විසින් ඇෆ්ගනිස්ථානය අත්හරිනු ලැබීමෙන් පසු එය ලේ විලක් වේ යැයි බටහිර ලෝකය කල්පනා කළ නමුදු එවැනි විපතක් සිදුවුණේ නැත. පුරා අවුරුදු විස්සක් තිස්සේ ඇමරිකාව විසින් ඇෆ්ගනිස්ථානය යටත් කරගෙන සිටි අතර ලේ විල් බිහි වූයේත් රුධිර ගංගා ගලා ගියේත් ඒ කාලය තුළය. අන්තිමේදී තවදුරටත් ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටීමට ඇමරිකාවට බැරි විය. එයට ප‍්‍රමුඛ හේතුව වූයේ ඇෆ්ගනිස්ථානයේ යුද වියදම් දරා ගැනීමට ඇමරිකාවට නොහැකි වීමය. ඊළඟට ඇමරිකාවේ සිටින, ව්‍යාප්තවාදයට විරුද්ධ ප‍්‍රගතිශීලී ජනතාව ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වන ලෙසට ඇමරිකන් ආණ්ඩුවට බල කරන්නට පටන් ගත්තේය. මේ ඉල්ලීමට යම් ප‍්‍රමාණයකට හෝ කන්දුන් මෑතකාලීන ඇමරිකන් ජනාධිපතිවරයා ඩොනල්ඞ් ට‍්‍රම්ප් පමණි. ඔහු ඇමරිකාව පාලනය කළ පස් අවුරුද්ද තුළ කිසිදු රටක් අලූතින් ආක‍්‍රමණය කළේ නැත. ඔහුට පෙර සිටි ජනාධිපතිවරුන් වූ බැරැක් ඔබාමා වේවා, ජෝර්ජ් බුෂ් වේවා, බිල් ක්ලින්ටන් වේවා හැම විටම කළේ පිටරටවල් ආක‍්‍රමණය කිරීමය. කොහේ හෝ ඈත රටක යුද්ධයක් තිබෙන විට ඒ පැත්තට ගුවන් යානයකින් ගොස් බෝම්බයක් දමා ඒමට ඇමරිකාව පුරුදුව සිටියේය. ඇමරිකාව මෙසේ යනවිට එරටට පන්දම් අල්ලන ජර්මනිය, ප‍්‍රංශය, එංගලන්තය යන රටවල් ද පස්සෙන් ගොස් ඇමරිකාව අනුව යමින්, යුද ගැටුම පවතින රටට බෝම්බය බැගින් දමා පැමිණියහ.

ඇෆ්ගනිස්ථානය අල්ලාගෙන සිටීම තවදුරටත් දරා ගැනීමට නොහැකි වූ ඇමරිකාව එරටින් පිටව යන්නේ ජූලි මස 5 දා රාත‍්‍රියේ ය. මේ වනවිට ඇෆ්ගනිස්ථානය සම්පූර්ණයෙන්ම තලේබාන් සංවිධානයේ පාලනයට යටත්ව තිබේ. අන්තවාදී ඉස්ලාමීය පාලනයකට
නොගොස් ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් Moderate හෙවත් මධ්‍යස්ථ පාලනයක් පවත්වාගෙන යාමට තලේබාන් සංවිධානය පොරොන්දු වී ඇත. රටේ කාන්තාවන්ට සාම්ප‍්‍රදායික නිසි තැන (කුස්සිය) නොව සමතැන දී ආණ්ඩුව ඉදිරියට ගෙන යෑමට තලේබාන් සංවිධානයට හැකි වුණොත් එමගින් සෙසු සාම්ප‍්‍රදායික ඉස්ලාමීය රටවල්වල යහපත් සහ ප‍්‍රගතිශීලී උත්තේජනයක් හට ගැනීමට ඉඩ තිබේ. මේ උත්තේජනය දිගින් දිගටම ඉදිරියට ගියොත් ඉස්ලාම් අන්තවාදය අතුගෑවී යෑමට ද ඉඩ ඇත.

ඇමරිකාවේම නිෂ්පාදනයක් වූ ද ඇමරිකන් කුලී හේවායකු සහ ඇමරිකන් සංග‍්‍රාම භූමියට කුලී හේවායින් සැපයූ කොන්ත‍්‍රාත් ව්‍යාපාරිකයකු වූද ඔසාමා බින් ලාදින් ඇමරිකාවටම එරෙහිව එල්ල කළ මාරාන්තික ප‍්‍රහාරය සිදුවන්නේ 1999 දී ය. එම ප‍්‍රහාරයෙන් පසු ඔසාමා බින් ලාදින් ඇෆ්ගනිස්ථානයට පැන ගියේය. මේ කියන කාලයේදී ඇෆ්ගනිස්ථානය පාලනය කරන ලද්දේ එවකට තලේබාන් නායකයාව සිටි මොහොමඞ් ඔමාර් නමැති මුල්ලාවරයා විසිනි. බින් ලාදින් තමන්ට භාර දෙන්නැයි ඇමරිකාව මුල්ලා ඔමාර්ගෙන් ඉල්ලා සිටියේය. ඇමරිකාව ඉදිරිපිට දී කිසිසේත්ම නොඇඹරුණු මොහොමඞ් ඔමාර් එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළේය. එසේ ප‍්‍රතික්ෂේප කිරීමෙන් පැය 24 ක් ඇතුළත ඇමරිකන් හමුදාව ඇෆ්ගනිස්ථානය ආක‍්‍රමණය කළේය. පළමු ඇමරිකන් බෝම්බය ඇෆ්ගන් අගනුවර වන කාබුල් වෙත වැටීමත් සමගම මෝටර් සයිකලයක නැගුණු මොහොමඞ් ඔමාර් එහි ලගේජ් එකේ ඔසාමා බින් ලාදින් තබාගෙන දේශසීමාව තරණය කර පාකිස්ථානයට පලා ගියේය. ඇමරිකන් හමුදාව විසින් ඇෆ්ගනිස්ථානය බිමටම සමතලා කළේය. එතැන් සිට තලේබාන් සංවිධානය සහ ඇමරිකාව අතර යුද්ධයක් පටන් ගත්තේය. ඔසාමා බින් ලාදින් පාකිස්ථානයේ සිටින බව ඇමරිකාව දැන සිටි නමුදු පාකිස්ථානයට බෝම්බ දැමීමට තරම් හයියක් ඇමරිකාවට තිබුණේ නැත. එයට හේතුව පාකිස්ථානය සතුව න්‍යෂ්ටික අවි තිබීමය. ඇමරිකාව කාලයෙන් කාලයට විවිධ අරමුණු උදෙසා රටවල්වලට කඩා වදී. 2003 දී ඉරාකයේ සදාම් හුසේන් සතුව න්‍යෂ්ටික අවි තිබෙන බව කියමින් ඇමරිකාව එරට ආක‍්‍රමණය කළේය. මෙය සිදුවුණේ ඉරාකය තුළ න්‍යෂ්ටික අවි නැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා කියා තිබියදීය. මේ ආක‍්‍රමණයට එංගලන්තයේ ටෝනි බ්ලෙයාර් ද ඔස්ටේ‍්‍රලියාව ද උදව් කළහ. එහිදී ඉරාක වැසියන් ලක්ෂ ගණනක් ද ඇමරිකන් සොල්දාදුවන් 5000 ට වඩා ද මිය ගියහ. ඇමරිකාව, ඉරාකයට පැන්නේ න්‍යෂ්ටික අවි බැලීමට නොව තෙල් ළිං ටික අල්ලා ගැනීමට ය. අන්තිමේදී ඉරාකය කුඩා කැබලිවලට කැඞී සදාකාලික සිවිල් යුද්ධයක් පවතින රටක් බවට පත්විය. ඇමරිකාව, ලිබියාවට ද මෙයම කළේය. ලිබියාව ආක‍්‍රමණය කර ගඩාෆි මරා දැමීමේ ඒකාබද්ධ හමුදා මෙහෙයුම තුළ ඇමරිකාවට ප‍්‍රමුඛ තැනක් තිබිණ. අන්තිමේදී ලිබියාව කුඩා කැබලිවලට කැඞී ගෝත‍්‍රික රාජ්‍ය සිය ගණනක් බිහිවී සදාතනික සිවිල් යුද්ධයක් තිබෙන රටක් බවට පත්විය. 1955 දී ඇමරිකාව මේ ආකාරයෙන්ම වියට්නාමය ආක‍්‍රමණය කළේය. මේ යුද්ධය විසි අවුරුද්දක් පමණ තිබිණ. එහිදී අදටත් ගණන් හැදිය නොහැකි තරමට වියට්නාම් ජනයා ද අඩුම ගණනේ ඇමරිකානු සෙබළුන් දහ දොළොස් දහසක්ද මේ යුද්ධයෙන් මිය ගියහ. මේ අතර අදටත් මළ මිනී හමු නොවී වියට්නාමයේදී අතුරුදන් වූ ඇමරිකන් සොල්දාදුවන් දහස් ගණනක් වෙති. මේ මිනිසුන් යළි කවදාවත් ඇමරිකාවට එන්නේ නැත. නූතන තලේබාන් ආණ්ඩුවේ ඇමරිකාවට අවශ්‍ය ත‍්‍රස්තවාදීන් සිටින බව ඇමරිකාව කියයි. ඇමරිකාවට හැර අන් කිසිම රටකට, ත‍්‍රස්තවාදීන් යැයි කියන ඒ මිනිසුන් අවශ්‍ය නැත. ඉන්දියාව හෝ චීනය ස්වකීය යුද බලය සහ අවි බලය යොදවා මෙවැනි කුණු ගොඩවල්වලට සහභාගී නොවීම කලාපයේ වාසනාවකි. ඒ වාසනාව දිගටම භුක්ති විඳීමට ඉඩ ලැබේවා!

advertistmentadvertistment
advertistmentadvertistment