නීතිය උල්ලංඝනය කරන නීතිඥ ජනාධිපති
නැවත කියවිය යුතු හිටපු අගවිනිසුරු ආචාර්ය බණ්ඩාරනායකගේ ‘උත්තරීතර: දෝෂාභියෝගයේ ඇතුලාන්තය’
නැතිවම බැරි දේශබන්දු
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කාගේ වුවමනාවටද?
පොහොට්ටු පක්ෂයෙන් වෙන්වී ජනාධිපතිවරයාට එකතු වූ කණ්ඩායමේ ස්ථාවරය හෙළිදරව් කළ යුතුය
රටක මූලික නීතිය වන ව්‍යවස්ථාව පිළිබිඹු කරන්නේ ස්ථාවරත්වයයි. එය රටක පැවැත්ම සහතික කරයි. ඊට යම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කිරීම රටේ අවශ්‍යතාව මත පමණක් සිදුවිය යුතුය. යම්කිසි පුද්ගලයකුගේ, කණ්ඩායමක, දේශපාලන පක්ෂවල අවශ්‍යතාවයන්ට හෝ විදේශීය බලපෑම් මත එවැනි ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක.
දැනට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ක්‍රියාත්මක කර ඇති සංශෝධන අතරින් 16 ක් ජූනියස් රිචඩ් ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේ (1978.11.20 සිට 1988.12.17 දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. නමුත් ඒ අතරින් 12 වැනි සංශෝධනය පැනවූයේ නැත).
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ආණ්ඩු කාලයේ (1989.1.2 සිට 1993.5.1) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කළේ නැත.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය 17 වැනි සංශෝධනය 2001 ඔක්තෝබර් මාසයේ ක්‍රියාත්මක කළ අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 18 වන ව්‍යවස්ථා සංශෝධනය 2010 සැප්තැම්බර් මාසයේදී පාර්ලිමේන්තුව හරහා සම්මත කර ගත්තේය. එමගින් සිදු කළේ 17 වැනි සංශෝධනය කිරීමයි.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් 19 වැනි සංශෝධනය 2015 අප්‍රේල් සම්මත කර ගත් අතර ගෝඨාභය රාජපක්ෂ 2020 ඔක්තෝම්බර් මාසයේ දී 20 ක්‍රියාත්මක කළේ සමස්තයක් ලෙස විධායක බලතල වැඩිකර ගැනීමට බව රහසක් නොවේ.
එක්සත් ජාතික පක්ෂයේ (එජාප) රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 21 වැනි සංශෝධනය 2022 ඔක්තෝබර් මාසයේ සම්මත කර ගත්තේය. එතුමාගේ අවශ්‍යතාව එදා ඉටු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි (පොහොට්ටු පක්ෂය).
එජාප නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෑත ඉතිහාසයේ බරපතලම ව්‍යවස්ථා අර්බුදය නිර්මාණය කළ බවට ජී. එල්. පීරිස් මහාචාර්යවරයා දිගින් දිගටම චෝදනා කරයි.
ඒ රටේ ඉහළම අධිකරණය දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා එම තනතුරෙන් තාවකාලිකව ඉවත් කර සුදුසු නිලධාරියකු වැඩ බැලීමට පත්කිරීමට ජූලි 24 දහවල් ජනාධිපතිවරයාට දුන් නියෝගය මග හැරීම නිසාය. මෙම ලිපිය ලියන අගෝස්තු 1 වැනි දින වනවිටවත් ජනාධිපතිවරයා එම නියෝගය ක්‍රියාත්මක කර නැත.
හිටපු විදේශ අමාත්‍යවරයකු වන පීරිස් අවධාරණය කර ඇත්තේ අධිකරණය ඉදිරියේ තවමත් විභාග වන නඩුවක අතුරු තහනම් නියෝගයක් සම්බන්ධයෙන් අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන සාකච්ඡා කර අදාළ ගැටලුව නිරාකරණය කළ යුතු බවට වික්‍රමසිංහ ජනාධිපතිවරයා දුන් ‘නියෝගය’ අර්බුදය තීව්‍ර කර ඇති බවයි. නීතිඥයකු ද වන ජනාධිපතිපතිවරයා දැන දැනම ව්‍යවස්ථාව දැඩි ලෙස උල්ලංඝනය කරන බවයි.
පොහොට්ටුවෙන් වෙන්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය පීරිස් ජනාධිපතිවරයාගේ නියෝගය මත කථානායකවරයා අගවිනිසුරු හමුවීම අධිකරණයට අපහාස කිරීමක් ලෙස අර්ථ කථනය කර ඇත. සතියක් තුළ (අගෝස්තු 3 ට පෙර) මෙම ගැටලුව නිරාකරණය කිරීමට ජනාධිපතිවරයා කාලය නියම කිරීම අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් මීට පෙර වාර්තා වී නැත. මෙම යෝජිත සාකච්ඡාව අගෝස්තු 1 දින වනතුරු සිදුවී නැත.
ජනාධිපතිවරයා හෝමාගමදී එම ප්‍රකාශය කිරීමට පෙර කථානායකවරයා රාජ්‍ය නායකයාගේ ක්‍රියාකලාපය පාර්ලිමේන්තුවේදී සාධාරණීකරණය කළේය. දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා ද ජනාධිපතිවරයා අධිකරණය නියෝගයට දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් තම එකඟතාව පළ කළේය. අග්‍රාමාත්‍යවරයාගේ ස්ථාවරය සම්බන්ධයෙන් පුදුම විය යුතු නැත. ඒ මහජන එක්සත් පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය ගුණවර්ධන ජනාධිපතිවරයාගේ ඡන්ද ව්‍යාපාරයේ ප්‍රබල නියමුවකු බැවිනි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවන ධුර කාලයේදී (2010-2015) ඔහුගේ අවශ්‍යතාව මත පාර්ලිමේන්තුව විසින් අගවිනිසුරු ආචාර්ය ශිරාණි ඒ. බණ්ඩාරනායක ඉවත් කළ රටක වර්තමානයේ රඟ දැක්වෙන දේශපාලන රංගනය සම්බන්ධයෙන් පුදුම විය යුතුද නැත. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළේ තමුන්ගේ පෞද්ගලික සහ ආත්මාර්ථකාමී අවශ්‍යතාවයක් වූ තුන්වන වරටත් ජනාධිපති ධුරයට පත්වීමටය.
ආචාර්ය බණ්ඩාරනායක 2019 දී එළි දැක්වූ ‘උත්තරීතර: දෝෂාභියෝගයේ ඇතුලාන්තය’ කෘතිය විධායකය සහ ව්‍යවස්ථාදායකය අතිශය ආන්දෝලනාත්මක සහ කලහකාරී ක්‍රියාවලියක් හරහා ශ්‍රී ලංකාවේ 43 වැනි අගවිනිසුරුවරිය වූ ඇයව 2013 ජනවාරි 13 දින ඉවත් කළ ආකාරය සහ වර්තමාන ව්‍යවස්ථා ගැටුම අවධාරණය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අස්ථාවර බවයි. මෙම ලියුම්කරු සමග උපාලි පුවත්පත් ආයතනයේ සේවය කරන ප්‍රදීප් කුඩාගමගේ මෙම කෘතියේ පිටපතක් 2019 නොවැම්බර් 16 පැවැත්වූ ජනාධිපතිවරණයට හරියටම මාසයකට පෙර මා හට තෑගි නොකරන්නට සමහරවිට ඇයගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව මා හට මග හැරෙන්නට තිබිණි.
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් අධිකරණය දුන් තීන්දුව සහ ඊට විධායකයේ සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රතිචාරය ‘උත්තරීතර: දෝෂාභියෝගයේ ඇතුලාන්තය’ පසුබිමේ විමසා බැලිය හැක. විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ දැඩි පිරිහීම මෙන්ම එමගින් යහපත් පාලනයකට එල්ල කරන තර්ජනය විමසා බැලිය හැක. ශ්‍රී ලංකාවේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය විධායකයේ, ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණය (නීති ක්ෂේත්‍රය) නියෝජනය කරන පුද්ගලයින්ගේ යහපත පිණිසය.
බංකොලොත් වූ රටක අතිශය තීරණාත්මක දේශපාලන සංධිස්ථානයක මෙවැනි අර්බුදයක් නිර්මාණය කිරීමට අවශ්‍ය වන්නේ ඇයි? එම අවශ්‍යතාවය නිවැරදිව හඳුනා නොගෙන මෙම තත්ත්වයට ප්‍රතිකර්ම සාකච්ඡා කළ නොහැක. ඉතාමත් ආන්දෝලනාත්මක සහ ගැටලුකාරී ක්‍රියාවලියක් තුළ ව්‍යවස්ථාදායක සභාව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත් කිරීම 2024 පෙබරවාරි 26 දින සිදු කළේය. නොවැම්බර් 23, 2023 දින සිට වැඩ බැලූ තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත් කිරීමට වික්‍රමසිංහ-රාජපක්ෂ රජය දැඩි ස්ථාවරයක සිට කටයුතු කළේය.
තෙන්නකෝන් වැඩබලන පොලිස්පති ලෙස පත් කිරීමෙන් පසුව 2023 දෙසැම්බර් මාසයේ අපරාධ විශේෂයෙන්ම සංවිධානාත්මක අපරාධ මැඬලීමට ‘යුක්තිය’ මෙහෙයුම ආරම්භ කළේද නව පොලිස් නායකත්වය ස්ථාවර කිරීමට බව පැහැදිලිය. බලයේ සිටින කණ්ඩායමේ දේශපාලන අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම බැහැර කළ නොහැකි වුවත්, රටේ ඉහළම අධිකරණය දෙන තීන්දු සම්බන්ධයෙන් රජයට කිසිසේත්ම නැවත විමසා බැලීමක් කළ නොහැක.
එසේ වුවහොත් ඇති විය හැකි දේශපාලන අස්ථාවරභාවය සම්බන්ධයෙන් අමුතුවෙන් කිව යුතු නැත. වික්‍රමසිංහ ජනාධිපතිවරයා නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් 2024 දෙසැම්බර් 31 තුරු එම ධුරයේ තබා ගැනීමට කළ උත්සාහය එතුමාගේ සමස්ත දේශපාලන උපාය මාර්ගයේ කොටසකි. නමුත් ව්‍යවස්ථා සභාව එම උත්සාහය ව්‍යර්ථ කිරීමට සමර්ථ විය. ඒ විපක්ෂ නියෝජිතයින් සහ සිවිල් ක්‍රියාකාරීන් ඊට නිර්භීතව එරෙහි වූ නිසාය.
රටේ යහපාලනයට දැවැන්තම තර්ජනය විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණ ක්‍රියාවලිය තුළින් එල්ල වීම සැබැවින්ම අවාසනාවන්ත තත්ත්වයකි. දැඩි ආර්ථික-දේශපාලනික-සමාජීය ව්‍යසනයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට ව්‍යවස්ථාව කඩා වැටීම කිසිසේත්ම උහුලන්නේ නැත. ලෝකයටම ප්‍රජාතන්ත්‍රවාදය ගැන දොඩවන ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවටවත් ආරක්ෂාවක් නැත.
ව්‍යවස්ථා ගැටලු වැළැක්වීමේ දේශපාලන ශක්තිය සහ වගකීම ජනාධිපතිවරයාගේ ය. විධායකයේ එම වගකීම සහ වගවීම කිසිසේත් පැහැර හැරිය නොහැක. දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා ජුලි 26 වැනි දින පාර්ලිමේන්තුවේදී අවධාරණය කළ ආකාරයට ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තුවේ කොටසක් නොවේ. වික්‍රමසිංහ ජනාධිපතිවරයාම ප්‍රකාශ කර ඇති පරිදි මෙය විධායකයේ දිගුවකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව පිටස්තර පුද්ගලයින් නියෝජනය කරන ව්‍යවස්ථා සභාවේ සභාපති ධුරය කථානායකවරයා දැරූ පමණින් එය පාර්ලිමේන්තුවේ කොටසක් වන්නේ නැත. මොනයම්ම තත්ත්වයක් යටතේ වුවද ව්‍යවස්ථාදායක සභාව අධිකරණ ක්‍රියාවලියට පිටතින් ක්‍රියාත්මක විය නොහැක.
මීට වසර 50 කට පෙර නීතිඥයකු ලෙස දිවුරුම් දුන් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සැප්තැම්බර් 21 වන දිනට දින නියමිත වී ඇති ඡන්දය කල් දමා ගැනීමට යම් ව්‍යවස්ථාදායක ක්‍රියාමාර්ගයක් තුළින් උත්සාහ දරන බවට චෝදනාවට ලක්වීම පසුගිය සතියේ ඉරිදා දීවයින පුවත්පතේ ‘ව්‍යවස්ථාව…! ඇයි අවුල්ද?’ යන ලිපියෙන් සාකච්ඡා කෙරිණි. එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ වික්‍රමසිංහ නීතිඥයින් ලෙස සුදුසුකම් ලබා තිබියදීත් ඔවුන්ගේ පාලන කාලය තුළ නීතිය අභියෝගයට ලක්වීම අවධාරණය කෙරිණි. මා මිත්‍ර මාධ්‍යවේදී මිහිරි ෆොන්සේකා සහ මහින්දලාල් මාදුගොඩ ඇතුළු පාඨකයින් කිහිප දෙනෙකුම ලියුම්කරු අතින් සිදු වූ අතපසුවීමක් පෙන්වාදුන් අතර එය නිවැරදි කළ යුතුය. රටේ පළමුවන ජනාධිපති වූ ජූනියස් රිචඩ් ජයවර්ධන ද නීතිඥයෙකි. වසර කිහිපයක් නීතිඥයකු ලෙස සේවය කළ එතුමා වයස 32 දී දේශපාලනයට පිවිසිණි.
1977 ජුලි පැවැත්වූ මහ මැතිවරණයෙන් වසරකට වඩා වැඩි කාලයකට පසුව නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම තුළින් ජනාධිපති ධුරයට පත්වූ එතුමා නීතිය උඩු යටිකුරු කළේය. ව්‍යවස්ථාව තමන්ට රිසි පරිදි නැමුවේය. ශ්‍රී ලංකාව විනාශයේ මාර්ගයට යොමුකළ පාර්ලිමේන්තුවේ කාලය වසරකින් දීර්ඝ කිරීම ජනමත විචාරණය (ලාම්පු – කළගෙඩි සෙල්ලම) හරහා කිරීම ජනාධිපතිවරයා කළ ‘අපරාධයක්’ ලෙස කිසිදු සැකයකින් තොරව පෙන්වා දිය හැක. ජයවර්ධන ජනාධිපතිවරයාගේ නියෝගයෙන් 82 දෙසැම්බර් 22 පැවැත්වූ ජනමත විචාරණය හරහා 1982 අගෝස්තු පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය 1989 දක්වා කල් දැමිණි. ශ්‍රී ලංකාවේ පළමුවන ජනාධිපතිවරණය 1982 ඔක්තෝම්බර් අග පැවැත්වුයේ ජයවර්ධන ජනාධිපතිවරයාට අවශ්‍ය ආකාරයට පාර්ලිමේන්තුවේ බහුතරය තමන්ගේ දෙවන ධුර කාලයේදී ද පවත්වා ගෙන යෑමට අවශ්‍ය පිඹුරුපත් සකස් කිරීමෙන් පසුවය.
විධායකය සහ ව්‍යවස්ථාදායකය එක්වී ක්‍රියාත්මක කර ඇති මැතිවරණ අතුරුදන් කිරීමේ ක්‍රියාවලිය ඛේදවාචකයකි. පළාත් සභා ඡන්දය නොපැවැත්වීම සම්බන්ධයෙන් යහපාලන රජය (2015-2019) වගකීම භාර ගත යුතුය. පළාත් සභා සහ පළාත් පාලන ඡන්දය නොපැවැත්වීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව (2019-2022) මෙන්ම වික්‍රමසිංහ-රාජපක්ෂ ආණ්ඩුව ද වගකීම භාර ගත යුතුය. වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඊටත් අඩියක් ඉදිරියට ගොස් අධිකරණයේ ද නියෝගය නොසලකා පළාත් පාලන ආයතන ඡන්දය පැවැත්වීම දින නියමයක් නොමැතිව කල් දමා ඇත. ව්‍යවස්ථානුකූලව 2023 මාර්තු මාසය අවසන් වීමට පෙර පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්දය අතුරුදන් කළේ බංකොලොත් ආර්ථිකයට ජනතා මතය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් දීමට ශක්තියක් නැති බව ප්‍රකාශ කරමිනි.
ජයවර්ධන සමයේ මෙන් විනිසුරුවරුන්ගේ නිවෙස්වලට ගල් නොගැසුව නමුත් අධිකරණය දේශපාලන බලයට යට කිරීමට 2022 ජූලි සිට විධායකය සහ ව්‍යවස්ථාදායකය කටයුතු කළ ආකාරය රහසක් නොවේ.
රටේ ඉහළම අධිකරණයේ විනිසුරුවරුන් මඩුල්ලක් දුන් තීන්දුවක් අගවිනිසුරු සහ අතිශය දේශපාලනික කථානායකවරයකු අතර සාකච්ඡාවට ලක්විය යුතු බවට යෝජනා කිරීම කිසිසේත් අනුමත කළ නොහැක. ජනාධිපතිවරයාගේ බලපෑමට එවැනි සාකච්ඡාවක් සිදු වුවහොත් එය සමස්ත අධිකරණ ක්‍රියාවලියම හෑල්ලුවට ලක්කරන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව අවධාරණය යුතුය.
විසි එක්වරක් සංශෝධනය කර ඇති ව්‍යවස්ථාව වික්‍රමසිංහ කඳවුරේ අවශ්‍යතාවය මත මෑතකදී 22 වැනි සංශෝධන යෝජනා කළේ ජනමත විචාරණයකට ඇති අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට නොවේද? අවසන් බලාපොරොත්තුව වූයේ අන් කිසිවක් නොව ජනාධිපතිවරණය කල් දමා ගැනීමයි. අවසන් තුරුම්පුව වශයෙන් පොලිස්පතිවරයාට එරෙහිව අධිකරණය දුන් අතුරු තහනම් නියෝගය ඡන්දයට එරෙහිව පාවිච්චි කිරීමයි. මෙවැනි කිසිසේත්ම පිළිගත නොහැකි තත්ත්වයක් ජාතික මැතිවරණයක් සම්බන්ධයෙන් කිසිදිනෙක උද්ගත වී නැත.
ජනතාවට මුහුණ දීමට මැලිවීම නැතහොත් බියවීම සැඟවීමට ව්‍යවස්ථාව පාවිච්චි කළ නොහැක. වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ජනතාවට මුහුණ නොදී තව වසර 12 එම ධුරය දැරීමට අවස්ථාව දිය යුතු බවට එජාප සභාපති වජිර අබේවර්ධන නැවත නැවතත් කරන යෝජනාව ව්‍යවස්ථාවට පටහැනිය.
මැතිවරණ ක්‍රියාදාමයකින් තොරව දේශපාලන පක්ෂයක නායකයකුට බලය ලබා දෙන ක්‍රමවේදයක් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ නැත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව කළ අනුවණකම් නිසා 2020 අගෝස්තු මාසයේදී පැවැත්වූ මහ මැතිවරණයේදී එක ජාතික ලැයිස්තු ආසනයකට සීමාවූ එජාපයට ජනාධිපති ධුරය හිමිවිය. ඒ 2022 ජූලි සිට 2024 ඔක්තෝබර් දක්වාය. ඔක්තෝබර් 16 වන විට ඡන්දයෙන් පත්වූ නව ජනාධිපතිවරයෙක් සිටිය යුතුය. ව්‍යවස්ථාව ‘නවා’ බංකොලොත්භාවය දඩමීමා කරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග 2023 ඇතිකරගත් එකඟතා ඉටු කිරීමට යැයි කියමින් ඡන්ද අතුරුදන් කළ නොහැක.
රටේ ව්‍යවස්ථාව කිසිසේත්ම දේශපාලන උපාය මාර්ගයක කොටසක් විය නොහැක. වෙන කිසිදු දේශපාලන පක්ෂයක නායකයකු 2022 අභියෝගය භාර නොගත් අවස්ථාවක අග්‍රාමාත්‍ය ධුරය (අප්‍රේල් 2022) සහ ජනාධිපති ධුරය (ජූලි 2022) භාර ගත් පමණින් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට එජාප නායකයාට විශේෂ වරප්‍රසාදයක් ලැබෙන්නේ නැත.
එජාප නායකත්වය භූමියේ තත්ත්වය තේරුම් ගත යුතුය. එම පක්ෂයට උපදෙස් දෙන ජනාධිපති නීතිඥවරුන් ජනාධිපතිවරයාට සහ අනෙකුත් එජාප නායකයින්ට සැබෑ තත්ත්වය පැහැදිලි කර දිය යුතුය. ඇත්ත වශයෙන්ම රට වසර දෙකක් තුළ ස්ථාවර කිරීමට නායකත්වය දීමෙන් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දිනා ගත් ජන ප්‍රසාදය ඡන්දය කල් දැමීමට කරන අශික්ෂිත දේශපාලන උප්පරවැට්ටි නිසා අහිමි වන බව එම කඳවුර තේරුම් ගත යුතුය.
වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට ඇප කැපවී සිටින පොහොට්ටු කණ්ඩායම මෙම තත්ත්වය සම්බන්ධයෙන් තම ස්ථාවරය රටට හෙළි කළ යුතුය. එම කණ්ඩායමට ජනාධිපතිවරයා අධිකරණය සමග ඇතිකරගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් නිහඬව සිටිය නොහැක. ඒ අන් කිසිවක් නිසා නොව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ සිටින ප්‍රබලම කණ්ඩායම ලෙස ජනතාවගේ අනිවාර්ය දෝෂාරෝපණයට එම පොහොට්ටු කණ්ඩායම ද ලක් වන බැවිනි.
එජාපයේ සභාපති වජිර අබේවර්ධන වික්‍රමසිංහ ජනාධිපතිවරයා වසර දෙකක කාලය තුළ නීති 100 සම්මත කළ බව මහත් උජාරුවෙන් ප්‍රකාශ කළේය. නව නීති 100 සම්මත කළත් ක්‍රියාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කිරීමට ජනාධිපතිවරයාට විශේෂ වරප්‍රසාදයක් නැත. රටේ මූලික නීතිය විධායකයට, ව්‍යවස්ථාදායකයට සහ අධිකරණයට වඩා ඉහළින් බව අවධාරණය කළ යුතුය.
ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ