ව්‍රායි කැලී බල්තසාර් අප හඳුනාගන්නේ දේශපාලන ක්‍රියාකාරිනියක, පර්යේෂිකාවක, චිත්‍ර ශිල්පිනියක ලෙස ය. ඇය, වෘත්තීය විලාසිතා නිර්මාණ ශිල්පිනියක මෙන්ම බතික් නිර්මාණ ශිල්පිනියක වන දිනූෂි පමුණුව හා එක්ව “පරාදීසයේ කුරුල්ලෝ (Birds of Paradise)” ඒක වර්ණ චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීමට සූදානම් වේ. ඒ, ලබන 19 වැනි දින සිට 25 වැනි දින තෙක් පෙ.ව. 10.00 සිට ප.ව. 5.00 දක්වා Curado Art Space, 302, පාර්ක් රෝඩ්, කොළඹ 05 යන ස්ථානයේ දී ය.

මේ ඒ පිළිබඳව ව්‍රායි සහ දිනූෂි ඔවුන්ගේ මේ කළු සුදු රිද්මය පිළිබඳව වචන අකුරු කරන්නේ මෙලෙස ය.

-ව්‍රායි-

මොකක්ද මේ “පාරාදීසයේ කුරුල්ලෝ” ප්‍රදර්ශනය?

මේ මගේ පළමු වන ප්‍රදර්ශනය. මම කලාවත් සමග සම්බන්ධයි කියන එක බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. චිත්‍ර කලාව ගැන ලොකු අවබෝධයක් නැතත් මම පොඩි කාලෙ ඉඳලම චිත්‍ර අඳින්න ආසයි. මම මගේ පළමු වන උපාධිය විධියට මෝස්තර නිර්මාණ ශිල්පය තෝරා ගන්නෙත් චිත්‍රවලට ආස නිසා. මම මාධ්‍ය ක්ෂේත්‍රයත් සමගත් සම්බන්ධයි. දේශපාලන වැඩ, පර්යේෂණ වැඩ එක්ක එන stress එකත් එක්ක හිත නිදහස් කරගන්න තමයි මම නැවත චිත්‍ර අඳින්න පටන්ගත්තේ. පටන්ගැන්මේ දී චිත්‍ර ප්‍රදර්ශනයක් තියන්න හිතන් හිටියේ නැහැ. මම නිකමට චිත්‍ර කිහිපයක් ඇන්දා පමණයි.

ව්‍රායි සහ දිනූෂිගේ කුරුලු පාරාදීසය

කුරුල්ලන්ගේ සිතුවම් පමණක් මේ සඳහා තෝරාගන්නට කිසියම් විශේෂත්වයක් තිබෙනවා ද?

ඔව්. මම පරිසරයට ආසයි. කුරුල්ලන්ට කැමැතියි. ලංකාවට ආවේණික කුරුල්ලන්ම තෝරාගත්තේ ලොකු සතුන්ට වගේම පුංචි කුරුල්ලන්ටත් අගය කිරීමක් දියයුතුයි කියලා මට හිතුණ නිසා. වැඩත් එක්ක කුරුල්ලන් බලන්නම වෙලාවක් වෙන් නොකළත් ගෙවත්තට එන කුරුල්ලන් දිහා බලාගෙන මම ආස්වාදයක් ලබනවා.

කුරුල්ලන්ගේ චිත්‍ර කිහිපයක් අඳිනකොට මට ආස හිතුණ නිසා මම දිගටම අඳින්න ගත්තා. මම ඒවා සෝෂල් මීඩියාවල සහ මගේ ළඟම යහළුවන් කිහිපදෙනකුටත් යැව්වා. එයාලත් ඔහොම දිගටම අඳිමු කියලා කිව්වා. මාස කිහිපයකට පසු ඔවුන්ගෙන් අදහසක් ආවා “ව්‍රායි අපි ප්‍රදර්ශනයක් තියමු ද? කියලා. ඒක පොඩි අදහසක් වුණාට මට ලොකු ආසාවක් බවට පත්වුණා. ඒ ආසාව තමයි මේ විධියට හැබෑ වෙන්නේ.

වර්ණ භාවිතයට හැකියාවක් තිබියදීත් ඇයි කළු සුදු චිත්‍ර වර්ණ පමණක් යොදා ගත්තේ?

ඇත්තම කතාව කිව්වොත් මම බයයි. කලර්ස් එක්ක experiment කරන්න. ඒ නිසයි මම කළු සුදු වර්ණ තේමාව තෝරා ගන්නේ.

ව්‍රායි සහ දිනූෂිගේ කුරුලු පාරාදීසය

දිනූෂි සහ ඔබ සමග මේ සබඳතාවය ගොඩනැඟෙන්නේ කොහොම ද?

දිනූෂි මායි දෙන්නම එකට design school ගියේ. එයා fashion  designing කරන්නේ. එයා බතික් ඇඳුම් තමයි designing කරන්නේ. මම යෝජනා කළා එයාට මෙහෙම මාත් එක්ක බතික් collaboration එකක් තියමුද කියලා. ඒ යෝජනාවට එයත් කැමැති වෙනවා. එයා කරන්නේ මම අඳින චිත්‍ර බතික් කරන එක. ඒවත් කළු සුදු චිත්‍ර. ඒ විධියට තමයි දිනූෂි මේ ප්‍රදර්ශනය සමග සම්බන්ධ වෙන්නේ.

මෙවැනි නිර්මාණ කාර්යයක් සඳහා මූලික අරමුණ වූයේ කුමක් ද?

මූලිකම අරමුණ මට මගේ සිතුම් පැතුම්වලට ඉඩක් දෙන්න අවශ්‍ය වීම. ඒ කියන්නේ මම ආයේ මට මාව මතක් කරන්න කරන වැඩක් මේක. ඊට අමතරව පරිසරයට සංවේදී පුද්ගලයෙක් බිහි කරන්න පුංචි හෝ දායකත්වයක් ලබාදීමත් මෙහි අරමුණක්.

ව්‍රායි සහ දිනූෂිගේ කුරුලු පාරාදීසය

-දිනූෂි-

දිනූෂි-ව්‍රායි සබඳතාවය ගොඩනැඟෙන්නේ කොහොම ද?

මම ව්‍රායිව දන්නෙ විශ්වවිද්‍යාල කාලයේ ඉඳලා. මම ව්‍රායි ගේ චිත්‍ර දැකලා තිබෙනවා. මට ව්‍රායි ඇවිත් කිව්වා “ මෙහෙමයි දිනූෂි, මට ප්‍රදර්ශනයක් කරන්න ඕන, හැබැයි මට ඒකට අලුත් දෙයක් කරන්න ඕන. ඔයාට පුළුවන් ද මගේ චිත්‍ර කිහිපයක් බතික්වලින් කරන්න” කියලා. මට ඇත්තටම ඒක ලොකු දෙයක්. ව්‍රායි ඒක අහපු එක ගැන ම මම එයාට ස්තුති වන්ත වෙනවා.

ව්‍රායි මට ඒක කියද්දීම මම කිව්වා අනිවාර්යයෙන්ම අපි උත්සාහ කරමු කියලා. මම කිව්වා පළමු වන දේ මට වග කියන්න බෑ හරියටම එයිද කියලා. නමුත් අපි ට්‍රයි කරමු කියලා මම කිව්වා. ඒ විධියට තමයි මම මේ සමග එකතු වෙන්නේ.

මෙම සිතුවම් බතික් නිර්මාණ බවට පත්වෙන්නේ කොහොම ද?

අපි දෙන්නම චිත්‍ර කිහිපයක් සිලෙක්ට් කළා. කුරුල්ලෝ පස්දෙනෙක් සයිසස් කිහිපයකින් බතික් කරනවා.

මේක රසිකයන්ට වෙනස්ම අත්දැකීමක්…..

ඔව්. ඇත්තටම ඒක වෙනම ම අත්දැකීමක්. මොකද මගේ degree එක ෆැෂන් ඩිසයිනින්. මම ඒ කාලෙත් බතික්, හෑන්ඩ්ලූම් ගැන ඉගෙන ගත්තා. බතික් කරන්න ආසාවක් ආවා. ටික ටික වැඩ කරන ගමන් ම මම බතික් develop කරගන්න පටන් ගත්තා. මම ඇඳුම් ඩිසයිනින් කළාට මම චිත්‍ර කරලා නැහැ. මොකද මම artist කෙනෙක් නෙමෙයි. ඉතින් ඇත්තටම ඒක ලේසි නැහැ. මොකද ඒ සියුම් චිත්‍ර මම බතික්වලින් නිර්මාණය කරන්න ඕනා. මට තිබුණු ලේසිම දේ ව්‍රායි කිව්වා පාටවල් ගොඩක් ඕනෙනෑ අපි කළු සුදුවලින් කරමු කියලා. ඇත්තෙන්ම මාස එකහමාරක් විතර ගියා මට සතුටු හිතෙන level එකට නිර්මාණය ගේන්න. ඊට පස්සෙ තමයි මම ව්‍රායිට කිව්වෙ මම ලෑස්තියි කියලා. ඇත්තෙන්ම ව්‍රායිට ස්තුති වන්ත වෙන්න ඕනා ඒ ගැන. මොකද එයාට පුදුම ඉවසීමක් තිබුණා. මට උපරිම නිදහස දීලා මට සතුටු තැනට නිර්මාණය එනකම් ව්‍රායි ඉවසීමෙන් බලන් හිටියා. ගොඩක් අය එහෙම නැහැ. හැබැයි ව්‍රායි ඉවසන් හිටියා. ඉතින් ලොකු අභියෝගයක් වුණත් මේක හොඳ experence එකක්.

ව්‍රායි සහ දිනූෂිගේ කුරුලු පාරාදීසය

අපි විශ්වාස කරනවා මෙය බතික් කලාවේ වෙනසක් කරන්න පුළුවන් විධියේ අවස්ථාවක් වෙයි කියලා?

ඔව්. මමත් එහෙම විශ්වාස කරනවා. මොකද බතික් නිර්මාණ කරන එක ලේසි නැහැ. ඒ නිසා ඒ නිර්මාණකරුවන්ට අගය කිරීමක්, වටිනාකමක් දියයුතුයි. මට ඉස්සරහට ගෙන යා යුත්තෙත් එයයි. මොකද ඉස්සරහට මේ දේවල් කරන්න කට්ටිය අඩුයි. අපි දැනටමත් මේ පිළිබඳව work shop කිහිපයක් කරගෙන යනවා. මම දිගටම ට්‍රයි කරන්නේ මේක දියුණු කරන්න. ඉතින් මම විශ්වාස කරනවා මේ ප්‍රදර්ශනයත් සමගම බතික්වල වටිනාකම තේරුම් ගනීවි කියලා.

● චින්තනී වික්‍රමනායක

advertistmentadvertistment
advertistmentadvertistment