වාම සන්නිවේදනය උන් වහන්සේට උපසම්පදාවත් අහිමි කළා

296

දේශපාලන සාහිත්‍ය සහ සන්නිවේද සාහිත්‍ය එක්ව මුසු වූ ග‍්‍රන්ථයක් ලෙස ‘නවලෝකය – වාම සන්නිවේදනයේ පූජ්‍ය උඩකැන්දවල සිරි සරණංකර හිමි භූමිකාව’ නමින් චන්දන විජේකෝන් රචිත ග‍්‍රන්ථය හඳුන්වා දිය හැකිය. මෑත ඉතිහාසය ගවේෂණය වූ සාහිත්‍ය ප‍්‍රකාශනයක් ලෙස ද එය විටක හඳුන්වා දිය හැකිය. දිනමිණ පුවත්පතේ මාධ්‍යවේදියෙකු වන චන්දනගේ වසර තිහකට අධික මාධ්‍ය භාවිතාව සහ ඔහුගේ දේශපාලන විඥානය මෙම පර්යේෂණ සාහිත්‍ය ප‍්‍රස්තුතය සඳහා බලපෑම් කර තිබෙන බව කිව හැකිය. චන්දනගේ ග‍්‍රන්ථ නිමිත්ත, සංවාදජය. එය පර්යේෂණ ප‍්‍රස්තුතයක් මෙන්ම වත්මන් භාවිතාවන් ද ප‍්‍රශ්න කරන්නකි. ඒ පිළිබඳව අකුරු දිගේ, චන්දන සමග සිදු කරන ප‍්‍රශ්න කිරීම මෙසේය.

වාම සන්නිවේදනය උන් වහන්සේට උපසම්පදාවත් අහිමි කළා
මාධ්‍යවේදි චන්දන විජේකෝන්

ප‍්‍රශ්නය – ඒ කාරණාත් එක්ක ගත්කල උන්වහන්සේ තෝරාගත් මාවත බවට පත් වෙන්නේ මාක්ස්වාදය ද?

පිළිතුර- මගේ විශ්වාසයට අනුව උන්වහන්සේ මාක්ස්වාදියෙක්. මේ පොතේ ඒ බව සඳහන් කරලත් තිබෙනව. නමුත් මේ සම්බන්ධව සමාජය තුළ මත දෙකක් පවතිනව. උදාහරණයකට ගත්තොත් මාර්ටින් වික‍්‍රමසිංහ මහත්තයාගේ ඇතැම් පොත්වල ඒ වගේම යම් යම් ප‍්‍රකාශවල සඳහන් වෙලා තිබෙනවා සරණංකර හිමියන් හුදු රැඩිකල් වාදියෙක් පමණයි මාක්ස්වාදය පිළිබඳව ගැඹුරු කියවීමක් උන්වහන්සේට නෑ කියල. හැබැයි මාක්ස්වාදය පිළිබඳ ගැඹුරු කියවීමක් සහිත වීම තුළ තමයි උන්වහන්සේ අධිරාජ්‍යවාදයට එරෙහිව අරගල කරන්නේ. ඉන්දියානු නිදහස් සටන ගත්තොත් ඒ සඳහා සරණංකර හිමියන් සම්බන්ධ වෙනව. ඉන්දියානු නිදහස් සටනේ කේන්ද්‍රීය සාධකය බවට පත්වුණේ ශාන්ති නිකේතනය එහෙම නැත්නම් බෙංගාලය. එතනදි බෙංගාලයේ කොමියුනිස්ට් පක්ෂ ආරම්භක සාමාජිකයන්

එක්ක උන්වහන්සේ ගනුදෙනු කළා. ඒ ගනුදෙනුවෙ ප‍්‍රතිඵලයක් විදියට තමයි පසුකාලයක ට්‍රොස්කි, ස්ටාලින් මතවාදය එක්ක හැප්පිලා කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වෙන්නේ.

ප‍්‍රශ්නය – එසේ වුවත් අනගාරික ධර්මපාලතුමන් සරණංකර හාමුදුරුවන්ගේ වීරයෙක් බවට පත් වෙනවා…

පිළිතුර – උන්වහන්සේ විසින් ධර්මපාලතුමන්ව වීරයෙක් විදිහට සැලකුවේ මුල් කාල වකවානුව තුළ පමණයි. ධර්මපාලතුමන්ගේ මැදිහත්වීම මත තමයි වැඩිදුර අධ්‍යාපනය පිණිස උන් වහන්සේ ඉන්දියාවට යන්නේ. ඒ ගිය ගමනෙදි තමයි උන්වහන්සේට ඉන්දියානු නිදහස් සටන හා සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ. එතනදි උන්වහන්සේ යම් අධ්‍යයනයකින් අනතුරුව සංසන්දනයක් සිද්ධ කරනව. ලංකාවේ නිදහස් සටන පිණිස සටන් කරන නායකයන් කවුද ඒ සඳහා ධර්මපාල තුමන්ගේ මැදිහත්වීම කෙසේද කියල තෝර බේරා ගනිද්දි උන්වහන්සේ සඳහන් කරනව අනගාරික ධර්මපාල තුමා කියන්නේ හුදු සංස්කෘතික මෙවලමක් පමණයි කියල. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ කියනව අධිරාජ්‍යවාදය පරාජය කිරීමේ සටන්කාමී ක‍්‍රියාමාර්ග එක්ක ධර්මපාල තුමා හිට ගන්නේ නැහැ කියල.

ප‍්‍රශ්නය – ඔබ සඳහන් කරන කාරණා සමග ගත් කල සරණංකර හාමුදුරුවෝ කියන්නේ විද්‍යාලංකාර සම්ප‍්‍රදාය නියෝජනය නොකළ භික්ෂුවක්ද?

පිළිතුර – පැහැදිලිවම ඔව්… මොකද උන්වහන්සේ සිංහල බෞද්ධ සංස්කෘතික වාදියෙක් වුණා නම් අනගාරික ධර්මපාල වාදියෙක් වෙන්න තිබුණා. හැබැයි ඒ දේවල් ප‍්‍රතික්ෂේප කරල සුභාෂ් චන්ද්‍රබෝස් වැනි ඉන්දියානු නිදහස් සටනේ වීරයන් සමග උන් වහන්සේ සමීප ඇසුරක් පැවැත්වූවා. අන්න ඒ ජාත්‍යන්තරවාදියෙක් වීම තුළ තමයි පසු කලෙක අනගාරික ධර්මපාලතුමන්ගෙන් උන්වහන්සේ ඉවතට යන්නේ. උන්වහන්සේට වුවමනාව තිබුණ ඉන්දියානු නිදහස් සටන ශක්තිමත් කරමින් අපේ රටට නිදහස ලබා ගන්න. උන්වහන්සේ විසින් වරක් ප‍්‍රකාශ කරල තිබෙනව ඉන්දියානු නිදහස් සටන වේගවත් වන තරමට ලංකාවට නිදහස ලබා ගැනීම ඉක්මන් වෙනවා කියල. නායකයෙක් නම් සටන් කරන්න ඕන කියන තැන උන් වහන්සේ හිටිය. අන්න ඒ දැක්ම එක්ක තමයි උන්වහන්සේ සංස්කෘතික වාදියෙක් නොවී මාක්ස්වාදී භූමිකාවක් නියෝජනය කළේ.

ප‍්‍රශ්නය- නිදහස් සටන පිණිස එක් අන්තයකින් ජාතික ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක වෙද්දි, තවත් අන්තයකින් සූරියමල් ව්‍යාපාරය හරහා සමසමාජය සක‍්‍රීය වෙමින් පැවතුනා. තවත් පැත්තකින් ලංකා ජාතික සංගමය ඉදිරියට ආවා. මේ ප‍්‍රවාහයන් තුන අතරින් භික්ෂුව තෝරාගත යුතුව තිබුණේ ජාතික ව්‍යාපාරය ගමන් කළ මාර්ගය නේද. එහෙම තිබියදී සරණංකර හිමියන් වෙනත්ම මාවතක් තෝරා ගත්තේ කුමන කරුණක් පදනම් කරගනිමින්ද?

පිළිතුර- ඒ සඳහා බලපාන ලද එකම කාරණය තමයි උන්වහන්සේ ජාත්‍යන්තරවාදියෙක් වීම. උන්වහන්සේ හොඳින් දැනගෙන හිටිය කාරණයක් තමයි ලංකාවේ ජාතික ව්‍යාපාරය අරගලකාරී නැහැ කියන කාරණය. ඒ අය කළේ ප‍්‍රකාශ නිකුත් කළ එක පමණයි. ඒ හින්දම වෙන්න ඇති උන්වහන්සේ ජාතික ව්‍යාපාරයත් එක්ක ගනුදෙනු නොකළේ.

වාම සන්නිවේදනය උන් වහන්සේට උපසම්පදාවත් අහිමි කළා

ප‍්‍රශ්නය – සරණංකර හාමුදුරුවන් පසු කලෙක විද්‍යාලංකාර විරෝධියෙක් බවට පත් වුණාද?

පිළිතුර – නැහැ… උන්වහන්සේ ඒ පිළිබඳ විවේචන සිදු නොකර නිහඬව ඉන්න පිළිවෙතක් අනුගමනය කළා.

ප‍්‍රශ්නය- විවේචන තිබියදී නිහඬව හිටිය කියන කාරණයද ඒකෙන් ගම්‍ය වන්නේ?

පිළිතුර – විද්‍යාලංකාරයේ දකින්නට ලැබුණ ඇතැම් සම්මත වාදී සංස්කෘතික ක‍්‍රියාවලිය පිළිබඳ උන්වහන්සේ ලොකු තැකීමක් කළේ නැහැ. ඒ වෙද්දි උන්වහන්සේ ඊට වඩා ලොකු ක‍්‍රියාවලියකට ගිහින් හිටියේ. ලෝක දේශපාලනයේ කීර්තිමත් චරිතයක් දක්වා ඒ ගමන දුරදිග ගොස් තිබුණු වටපිටාවක, වෙනත් වෙනත් කාරණා සම්බන්ධව සිදු කරන මතවාදී පහරදීම් උන්වහන්සේ විසින් නතර කළා. එවැනි පිළිවෙතක් අනුගමනය කරන්න මූලිකම හේතුව බවට පත්වුණේ උන්වහන්සේ විසින් ලෙනින් සාම ත්‍යාගය දිනා ගැනීම ඒ වගේම ලෝක සාම මණ්ඩලයේ සභාපතිත්වය වැනි කීර්තිමත් තනතුරු දැරීම නිසා වෙන්න පුළුවන්.

ප‍්‍රශ්නය – ඔබ විසින් සඳහන් කර සිටින කාරණා වත්මන් භික්ෂු සමාජය සමග ගත් කල නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ මොන වගේ චිත‍්‍රයක්ද?

පිළිතුර – සරණංකර හාමුදුරුවෝ වගේ ඉතාමත් රැඩිකල් ඒ වගේම අධිරාජ්‍ය විරෝධී අරගලයේ හිටිය හිමිනමක් විදිහට එදා උන්වහන්සේ ගත්ත ප‍්‍රවේශය තමයි අදත් අපේ භික්ෂූන් වහන්සේලා විවිධ මුහුණුවරින් ප‍්‍රයෝජනයට ගන්නේ. ඒක විවේචනාත්මකව කිව්වොත් අද ඉන්න ඇතැම් භික්ෂුන් වහන්සේලා විවිධ වරප‍්‍රසාද අපේක්ෂාවෙන් තමයි දේශපාලන අරගලවල යෙදෙන්නෙ. වෙනත් කාරණා ගත්තත් මේ තත්ත්වයේ ලොකු වෙනසක් නෑ. නමුත් සරණංකර හාමුදුරුවෝ වරප‍්‍රසාද ලාභ අපේක්ෂා ආදියෙන් තොරව තමයි ඕනෑම තැනක පෙනී සිටියේ. ඒ හින්දනේ ක‍්‍රිස්මස් දූපතේ ජලකර බෝම්බය හදනවට විරුද්ධ ව උන්වහන්සේ මාරාන්තික උපවාසයක යෙදෙන්නේ. ඒකෙ ප‍්‍රතිඵලයක් විදිහට තමයි ආසියාවට පළවෙනි වතාවට ලෙනින් සාම ත්‍යාගය හිමි වෙන්නේ.

ප‍්‍රශ්නය – මාක්ස්වාදයට නැඹුරු දේශපාලනයක් තෝරා ගැනීම, භික්ෂුවක් ලෙස විනය සීමාවන් ඉක්මවා යෑමක් නොවෙයිද?

පිළිතුර – ඒ තෝරා ගැනීම විනය සීමාවන් ඉක්මවා යෑමක් වෙන්න පුළුවන්. ඒ හින්දනේ උන්වහන්සේට උපසම්පදාව ලැබෙන්නේ නැත්තේ. අපවත් වන තුරුම උපසම්පදා තත්ත්වයට පත්වෙන්න උන්වහන්සේට අවස්ථාවක් හිමි වුණේ නෑ. නමුත් සම්ප‍්‍රදායික ජාතික ව්‍යාපාරයත් එක්ක හිටියා නම් එහෙම වෙන්නේ නෑ. මහා නායක ධුරයක් පවා ඇතැම් විට ලැබෙන්න ඉඩ තිබුණා. ඒ අභිලාෂයන්ගෙන් මිදිල බෞද්ධ භික්ෂුවක් ලෙස උන්වහන්සේ දිගින් දිගටම අධිරාජ්‍ය විරෝධී අරගලයේ ක‍්‍රියාකාරී වැඩ කොටසක් ඉටු කළා.

ප‍්‍රශ්නය – ඔබ විසින් රචිත ග‍්‍රන්ථයේ සඳහන් පරිදි උන්වහන්සේ විසින් සන්නිවේදනය ප‍්‍රමුඛ කර ගන්නේ ඇයි?

පිළිතුර – මහණ දිවියට ඇතුළු වෙන්න පෙරත් ඉන්පසුවත් උන්වහන්සේ සන්නිවේදන ක්ෂේත‍්‍රයේ නිරත වූ හිමිනමක්. සරසවි සඳරැස ආදි පුවත්පත්වලට මහණ වීමට පෙර සිටම අධිරාජ්‍ය විරෝධී ලිපි උන්වහන්සේ විසින් සපයල තිබෙනවා. එතන තමයි ලේඛනයේ ආරම්භය. ඉන් අනතුරුව ඉන්දියාවට ගොස් තාගෝර් තුමා යටතේ අධ්‍යාපන ලබන අවධිය වන විට ඒ සන්නිවේදන හැකියාව වේගවත් වෙනව. උන් වහන්සේව ඉන්දියාවෙන් පිටුවහල් කරාට පස්සේ ලංකාවෙ දේශපාලනය සමඟ සෘජුව සම්බන්ධ වෙනව. ඒ කාලේ ලංකාවේ තිබුණු පළමුවෙනි දේශපාලන සඟරාව වන My magazine සඟරාව සඳහා ලිපි සපයන්න ගන්නේ ඊට පස්සේ. ඒ සඟරාව නතර කරාට පස්සේ තමයි උන්වහන්සේ විසින් ‘ලෝකය’ සඟරාව ආරම්භ කරන්නෙ. ඒ ආරම්භය සිද්ධවෙන්නෙ 1941 අපේ‍්‍රල් මාසේ ‘නව ලෝකය කියන’ සඟරාව හරහා සරණංකර හාමුදුරුවෝ අලූත් ලෝකයක් පිළිබඳ බලාපොරොත්තු දැල්වූව. ඒක එක්තරා ආකාරයක වාමවාදී සන්නිවේදනයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. ඒ කටයුත්ත හරහා තරුණ ලේඛක පරම්පරාවක් රට තුළ නිර්මාණය කරන්නත් උන්වහන්සේට හැකියාව ලැබුණ.

සාකච්ඡා කළේ
මනෝජ් අබයදීර

advertistmentadvertistment
advertistmentadvertistment