නාසා ආයතනය විසින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යවා ඇති ගගනගාමීන් දෙදෙනකු සහිත අත්හදා බැලීමේ අභ්‍යවකාශ යානයක් වන ‘බෝයිං ස්ටාර්ලයිනර්’ අභ්‍යවකාශ යානය හා එහි කාර්ය මණ්ඩලය අභ්‍යවකාශ යානයේ පවතින හීලියම් වායු කාන්දු වීමේ දෝෂයන් හේතුවෙන් නැවත පෘථිවියට පැමිණීම දෙවැනි වරටත් ප්‍රමාද වන බව නාසා ආයතනය විසින් නිවේදනය කර තිබේ.
ඉකුත් ජුනි 05 වැනිදා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යවා ඇති මෙම බෝයිං ස්ටාර්ලයිනර් යානය ඊයේ (18දා) පෘථිවියට පැමිණීමට නියමිතව තිබුණද පවතින වායු කාන්දුවීමේ දෝෂය හේතුවෙන් එය ලබන සෙනසුරාදා (22) පෘථිවියට පැමිණීමට නියමිත බව නාසා ආයතනය විසින් ඊයේ (18දා) නිවේදනය කර තිබිණි.
මෙසේ අභ්‍යවකාශ යානය නැවත පෘථිවියට පැමිණෙන දිනය කල් යෑමත් සමගම යානයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගිය ගගනගාමීන් දෙදෙනා වන 51 හැවිරිදි බුච් විල්මෝර් හා 58 හැවිරිදි ඉන්දීය සම්භවයක් සහිත ඇමරිකානු ජාතික කාන්තාවක වන සුනීතා විලියම්ස් හට බෝයිං ස්ටාර්ලයිනර් යානයේ පෘථිවියට පිටත් වීමේ අවසන් සැලසුම් හා ක්‍රියාකාරකම් සකස් කිරීම සඳහා අමතර කාලයක් ලැබෙන බව නාසා බලධාරීහු පවසති. ස්ටාර්ලයිනර් යානයේ පවතින හීලියම් කාන්දු වීමේ දෝෂයන් මෙන්ම පවතින අයහපත් කාලගුණ තත්ත්වය ද ඊයේ දිනයේ යානය නැවත පෘථිවියට පැමිණීම කල් යෑමට හේතු වූ බව ඔවුන් පවසා තිබේ. පෙරේදා දිනයේ ස්ටර්ලයිනර් යානයේ හීලියම් වායු කාන්දුවීම් පහක් වාර්තා වී ඇති බව ඇමරිකානු මාධ්‍ය පවසයි. කෙසේ වුවද නාසා ආයතනයට අනුව යානය නැවත පෘථිවියට පැමිණීමේ ක්‍රියාදාමයට හීලියම් වායු කාන්දුව බලනොපාන බවත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට නැවත පෘථිවියට පැමිණීම සඳහා යානයට ගත වන පැය හතක කාලයේදී එහි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන හීලියම් වායුව ස්ටාර්ලයිනර් යානය සතුව තිබෙන බවත් ආයතනයේ ඉංජිනේරුවරුන් විසින් තහවුරු කර තිබේ. බෝයිං ස්ටාර්ලයිනර් යානය සතුව පැය 70කට සෑහෙන හීලියම් වායුව පවතින බව ද නාසා ආයතනය අවධාරණය කර තිබේ. දැනට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පැමිණ සිටින ස්ටාර් ලයිනර් යානය යවා ඇත්තේ සතියක කාලයක් එහි රැඳි සිටීම සඳහාය. මේ අතර බෝයිං වාණිජ කාර්යමණ්ඩල වැඩසටහනේ උප සභාපතිවරයා වන මාක් නැප්පි පවසා ඇත්තේ ස්ටාර්ලයිනර් යානය නැවත පෘථිවියට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් සිය ගගනගාමීන් දෙදෙනාට තවත් අමතර කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳෙමින් තවත් අධ්‍යයනයන් සිදු කිරීමට අවස්ථාව ලැබී ඇති බවයි. බෝයිං සමාගමේ ආරක්ෂක හා අභ්‍යවකාශ අංශය මගින් නිපදවා ඇති ස්ටාර් ලයිනර් යානයේ කාර්ය මණ්ඩලය රැඳෙන කැප්සියුලයේ විෂ්කම්භය අඩි 15ක් (මීටර් 4.56ක්) වන අතර එය ඇපලෝ යානයේ කැප්සියුලයට වඩා විශාල බව වාර්තා වී තිබේ.
සංස්කරණය – ඒමන්ති මාරඹේ