වාරණ නියෝගයක් දී නැහැ – කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු කියයි

1095

ශ්‍රී ලංකා රජය අත්සන් කර ඇති අන්තර්ජාතික සම්මුතීන් හා ගිවිසුම් අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන ඕනෑම රටක ගුවන්යානයක් ගොඩබැස්සවීමට හා පිටව යෑමට අවශ්‍ය පහසුකම් සැලසීමේ වගකීම බැඳී ඇති බවත් ඒ සම්බන්ධයෙන් නියෝග ලබාදීමේ අධිකරණ බලයක් වාණිජ මහාධිකරණයට නොමැති බවත් සඳහන් කරමින් නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා දැක්වූ කරුණුවලට පිළිතුරු දෙමින් විනිසුරුවරයා එලෙස ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට හෝ ශ්‍රී ලංකා රජයට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණය විසින් කිසිදු වාරණ නියෝගයක් නිකුත් කර නැතැයි කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා ඊයේ (03 දා) විවෘත අධිකරණය හමුවේ සඳහන් කළේය.

සිය අධිකරණය විසින් පසුගිය 2 වැනිදා රුසියානු ගුවන්යානය රඳවා තබාගන්නා ලෙසට පැනවූ වාරණ නියෝගය නිකුත් කරනු ලැබුවේ පෙත්සම්කාර පාර්ශ්වය ඉදිරිපත් කළ පැමිණිල්ල සලකා බලමින් එකී ගුවන්යානය හිමි සමාගමේ ශ්‍රී ලංකා හා ඉන්දියා කලාප භාර ප්‍රාදේශීය කළමනාකරුට පමණක් වන්නේ යැයි ද විනිසුරුවරයා එහිදී සඳහන් කළේය.

අධිකරණය විසින් නිකුත් කළ එම නියෝගය අධිකරණ ලේඛකාධිකාරිවරයා විසින් දුරකථන මාර්ගයෙන් එම නඩුවේ දෙවන වගඋත්තරකරු ලෙස නම්කොට ඇති කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කළමනාකරු වන එන්. ජී. අබේවර්ධන මහතාට දැනුම්දී ඇති බවත් පසුව පැමිණිලිකාර සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයකු සමඟ පැමිණි අධිකරණ පිස්කල් නිලධාරියා කළමනාකරුට එකී වාරණ නියෝග භාරදී ඇති බවත් සුමති ධර්මවර්ධන මහතා එහිදී අධිකරණයට පැවසීය. එවැනි නඩු කටයුත්තකදී ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සේවකයකු වන දෙවන විත්තිකරු වෙත එවැනි නියෝගයක් භාරදීමේ නීතිමය හැකියාවක් නොමැති බව ද ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට වැඩිදුරටත් සඳහන් කළේය. එය එකී ගුවන්යානය රක්ෂණය කර ඇති පැමිණිලිකාර සමාගම හා රුසියානු ගුවන් යානය හිමි සමාගම අතර පවතින වාණිජමය ගනුදෙනුවක් වන බවත් පැමිණිලිකාර සමාගම ඔවුන්ගේ පැමිණිල්ලේ මුල් ඡේදයක දක්වා ඇති පරිදි ඇමරිකානු ඩොලර් 2500 ක හිඟ මුදලක් ගෙවීමට රුසියානු ගුවන් සමාගම සූදානම් බැවින් එකී වාරණය අවලංගු කරන ලෙස රුසියානු ගුවන්යානය හිමි සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අධිකරණය නිකුත් කළ එම වාරණ නියෝගය සම්බන්ධයෙන් විරෝධතා ලබන 6 වැනිදා අධිකරණය හමුවේ ගොනු කරන ලෙසටත් එදින හෝ ඊට පසුදින ප්‍රතිවිරෝධතා ගොනු කරන ලෙසටත් නියම කළ විනිසුරුවරයා ඒ සම්බන්ධයෙන් විමසීම ලබන 8 වැනිදා ආරම්භ කිරීමට දින නියම කළේය.

එය වාණිජමය කටයුත්තක් වන බැවින් දෙපාර්ශ්වය අතර යම් එකඟතාවක් ඇතිකර ගැනීම වඩා සුදුසු බවත් එවැනි එකඟතාවක් ඇතිනම් ඒ සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කරන ලෙසත් විනිසුරුවරයා දෙපාර්ශ්වයට නියෝග කළේය. රජයේ අධිනීතිඥ ෂෙහාන් සෙයිසා, රජයේ අධිනීතිඥ සේපාලිකා තිරණාගම, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජීව් ගුණතිලක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේන් ගොපල්ලව යන නීතිඥ මණ්ඩලය සමඟ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා දෙවන වගඋත්තරකරු වෙනුවෙන් පෙනී සිටියේය.

එකී ගුවන්යානය රක්ෂණය කර තිබූ සිංගප්පූරු සමාගම විසින් රක්ෂණ වාරික ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කළ කරුණු දැක්වීමක් සලකා බැලූ කොළඹ වාණිජ මහාධිකරණය පසුගිය 2 වැනිදා ගුවන්යානය ලංකාවෙන් පිටවීම වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබුණි.

වගඋත්තරකාර පාර්ශ්වයේ කරුණු සළකාබැලීමකින් තොරව ඒකපාර්ශ්විකව අධිකරණය විසින් නිකුත්කොට තිබූ එම වාරණය නිසා මඟීන් 235 දෙනකු ශ්‍රී ලංකාවට රැගෙන පැමිණි එම ගුවන්යානය පසුගිය 2 වැනිදා මඟීන් 191 දෙනකු රැගෙන යළි මොස්කව් නගරය බලා යෑමට සූදානම්ව තිබියදී එකී වාරණය නිකුත්කොට තිබිණි. අධිකරණයේ එකී නියෝගය නිසා එකී මඟීන් 191 දෙනාට හා කාර්ය මණ්ඩලයට අවට පිහිටි හෝටල්වල නවාතැන් සැපයීමට ගුවන් සමාගමට සිදුවී තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment