වාර්තා තැබූ අගමැති ජනපති වෙයි…

129

ලාංකේය දේශපාලන ඉතිහාසයේ වාර්තා තැබූ අගමැති අටවැනි විධායක ජනාධිපති ධුරයට

මෙරට දේශපාලන සහ සමාජ ඉතිහාසයට නොමැකෙන මතකයක් ඉතිරි කරමින් පසුගිය මැයි නවවෙනිදා විසිපස්වන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් විය. අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉවත් වී පැය 76 ක් ගත වන තුරුම එම පුරප්පාඩුව පිරවීම සඳහා කිසිවෙකු ඉදිරිපත් වී තිබුණේ නැත. අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡාවකින් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා මැයි දොළොස් වැනිදා පස්වරුවේදී නිදහස් ශ්‍රී ලංකාවේ 26 වෙනි අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. වික්‍රමසිංහ මහතා හය වන වතාවටත් යළිත් අග්‍රාමාත්‍ය ධුරය සඳහා පත් වන්නේ වැඩිම වාර ගණනක් අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ මහජන නියෝජිතයා ලෙස ඉතිහාසගත වෙමිනි. මෙරට දේශපාලනය තුළ එක් මන්ත්‍රී ධුරයක් පමණක් හිමි පක්ෂයකින් අග්‍රාමාත්‍ය වරයෙක් තෝරාගන්නා ප්‍රථම අවස්ථාව ද මෙය වීම සුවිශේෂී කාරණාවකි.

වර්ෂ 1949 මාර්තු 24 වැනිදා එස්මන්ඩ් වික්‍රමසිංහ සහ නාලිනී වික්‍රමසිංහ යුවළට දාව රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ ලෙස ඔහු උපත ලබන්නේ පවුලේ දෙවැනියා ලෙසයි.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් නීතිය හදාරන වික්‍රමසිංහ අධිනීතිඥයකු වශයෙන් අධිකරණයට පිවිසියේය. කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ රනිල් වික්‍රමසිංහයන්ගේ බිරිඳයි.

1972 වසරේදී කැලණිය ආසනයෙන් දේශපාලන ගමනට අත්පොත් තැබූ වික්‍රමසිංහ මහතා 1977 වසරේ පැවති මහ මැතිවරණයේදී බියගම ආසනය නියෝජනය කරමින් පළමුවරට පාර්ලිමේන්තුවට වරම් හිමිකර ගත්තේය. අලුතින් පිහිටු වූ බියගම ආසනයේ පළමු එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා බවට පත්වූයේද ඔහුය.

ජේ. ආර්. ජයවර්ධන රජය යටතේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් අධ්‍යාපන සහ කර්මාන්ත කැබිනට් අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේය. අවුරුදු 27 දී ජේ. ආර්. ජයවර්ධන රජය යටතේ යෞවන කටයුතු සහ රැකිරක්ෂා අමාත්‍ය ධුරය භාර ගත් ඔහු එවකට පාර්ලිමේන්තුව නියෝජනය කළ ළාබාලතම ඇමැතිවරයා ද වූයේය.

ඔහු පළමුවරට අග්‍රාමාත්‍ය ධුරය සඳහා පත් වන්නේ 1993 වසරේදීය. කාර්මික සංවර්ධන පනත ගෙන ඒම, කාර්මික කොමිසම පත් කිරීම, අධ්‍යාපන විද්‍යාපීඨ ආරම්භ කිරීම, මහරගම ජාතික අධ්‍යාපන ආයතනය සහ අධ්‍යාපන කොමිසම පිහිටුවීම ආදී වැඩසටහන් වලදී වික්‍රමසිංහ මහතා මූලිකත්වය ගෙන කටයුතු කළේය. 1993 මැයි 07 සිට 1994 අගෝස්තු 19 දක්වා පළමු අග්‍රාමාත්‍ය ධුර කාලය දැරූ වික්‍රමසිංහ මහතා 1994 ජනාධිපතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ සහ විපක්ෂයේ නායකයා බවට පත් විය. 1999 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවත් එහිදී ජයග්‍රහණය කිරීමට නොහැකි වීමත් සමඟ 2001 වර්ෂයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය යටතේ පිහිටු වූ ආණ්ඩුවේදී නැවතත් අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

වාර්තා තැබූ අගමැති ජනපති වෙයි…

දැඩි යුදමය වාතාවරණයක් පැවති සමයක එල්ටීටීඊ සංවිධානය සමග සටන් විරාම ගිවිසුමකට එළැඹීමට ද ඒ මහතා තීරණය කළේ මේ කාල සීමාව තුළයි. 2001 දෙසැම්බර් 09 සිට 2004 අප්‍රේල් 06 දා දක්වා අග්‍රාමාත්‍ය ධුරය දැරූ ඔහු 2004 වර්ෂයේදී යළිත් විපක්ෂ නායක ධුරයට පත් විය. 2005 ජනාධිපතිවරණයේදී නැවතත් මෙතුමාට පරාජය බාරගැනීමට සිදු විය. 2015 වසරේ දී මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ වික්‍රමසිංහ මහතා නැවතත් අග්‍රාමාත්‍යවරයා ලෙස දිවිරුම් දුන්නේය. 2018 වර්ෂයේ දී දින 52ක කාලයක් සඳහා අග්‍රාමාත්‍ය ධුරය අහිමි වුණත් නැවතත් ව්‍යවස්ථානුකූලව එම ධුරය ඔහුට හිමි විය.

2020 පැවැත්වුණු මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට පරාජය භාර ගැනීමට සිදු වුණත් එම පක්ෂයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නැවතත් රනිල් වික්‍රමසිංහ මහතා තෝරා පත් කර ගැනුණි.

මෙම කාල සීමාවන් අතරතුර රටෙහි ඇති ඇතිවුණු ආර්ථික සහ සමාජීය අර්බුදයන්ට විසඳුම් ඉදිරිපත් කරමින්, ඒ වෙනුවෙන් අවශ්‍ය මොහොතේ තම හඬ අවදි කරමින් සිය දේශපාලන ගමන පැමිණ වික්‍රමසිංහ මහතා කොවිඩ් වසංගතය හමුවේ දී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ඔහුගේ අදහස් ඇතැම් අවස්ථාවල ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන් සමඟ ද බෙදා ගැනීමට අමතක කළේ නැත.

කෙසේ වෙතත් රට තුළ ඇතිවූ අරගලකාරී ස්වභාවයන් සමඟ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැයි මාසයේ ධුරයෙන් ඉවත් වීමත් සමඟ ඇතිවූ පුරප්පාඩුව පිරවීම සඳහා අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීමට වික්‍රමසිංහ මහතා සිය කැමැත්ත පළ කළේය. මීට පෙර පස් වතාවක් අග්‍රාමාත්‍ය තනතුරේ දිවුරුම් දුන්නද අග්‍රාමාත්‍ය ධුරය දැරූ කිසිදු අවස්ථාවක ඔහුට සිය ධුර කාලය සම්පූර්ණ වන තුරු තනතුරේ රැඳීමට ඉඩ නොලැබුණු බවද සිහිපත් කළ යුතුය.

“මිනිස්සු මේ වෙලාවේ අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඊළඟ මාස කිහිපය තුළ මේ තත්ත්වය මීටත් වඩා දරුණු අතට හැරෙනවා. අපි මේ තත්ත්වයෙන් ගොඩ එන්න ඕනේ. ඒ වැඩ කටයුතු කරලා දෙන්න තමයි මම රට භාරගන්නේ. අපි නැවත රුපියලට වටිනාකමක් දිය යුතුයි. මේ රටේ තරුණයන්ට අනාගතයක් තිබිය යුතුයි. ”

සිය ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් සමග ඉහත ලෙසින් අදහස් බෙදා ගත් වික්‍රමසිංහ මහතා රටෙහි ඇති වී තිබෙන ගැටලු වලට සියලු දෙනාගේද සහයෝගය ඇතිව විසඳුම් ලබාදෙන බවත් තව දුරටත් තරුණ අරගලය ඉදිරියට කරගෙන යා යුතු බවත් කියා සිටියේය.

අග්‍රාමාත්‍යවරයා සිය ධුරයේ දිවුරුම් දුන්නේ මෙරට බරපතළ ආර්ථික සමාජීය සහ දේශපාලන අර්බුදයක් උද්ගතව ඇති මොහොතකය. නව අග්‍රාමාත්‍යවරයා පිළිබඳව ඇතැම් පාර්ශ්ව තම ප්‍රසාදය පළකළ අතර තවත් පිරිසක් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම දේශපාලනික වශයෙන් බුද්ධිමත් තීරණයක් නොවන බවයි. වසර ගණනාවක් පුරාවට දේශපාලනික සහ ආර්ථික ක්ෂේත්‍රයන්හි කරක් ගසමින් ලබාගත් දැනුම සහ අත්දැකීම් පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාව පවතින අර්බුදයන්ගෙන් මුදා ගැනීමේ අභියෝගයට වික්‍රමසිංහ මහතා මුහුණ දෙන්නේ කෙසේදැයි රටම අවදියෙන් බලා සිටියේය.

අග්‍රාමාත්‍ය ධුරය සඳහා කිසිවකුත් ඉදිරිපත් නොවූ මොහොතක එම තනතුර භාර ගනිමින් රටේ ඇතිවන අර්බුදවලට විසඳුම් සොයමින්, ශ්‍රී ලාංකේය ජනතාවට සේවය කිරීමට ප්‍රතිඥා දෙමින් වැඩ භාරගත් වික්‍රමසිංහ මහතා ජූලි පහළොස් වැනිදා දක්වාම ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය.

නමුත් පසුගිය දහතුන් වැනිදා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශගත වීමත් සමඟ වැඩබලන ජනාධිපති ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුන බවට නිල නොලත් ආරංචි මාර්ග කිහිප අවස්ථාවකදීම තොරතුරු වාර්තා කළත් ඒ සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා ස්ථිර ප්‍රකාශයක් කර තිබුණේ නැත.

අරගලකරුවන් ඇතිකළ ගැටුම්කාරී තත්ත්වයන් හමුවේ වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසද ගිනි තබා තිබුණි. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශගත වීමෙන් අනතුරුව ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව සටහන් කළ ලිපිය නිල වශයෙන් කථානායකවරයා 15 දා ඉදිරිපත් කළේය. ඒ අනුව ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයකු පත් කර ගන්නා තෙක් රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු දින 7 ක කාලයක් සඳහා වැඩබලන ජනාධිපතිවරයා ලෙස වික්‍රමසිංහ මහතා කටයුතු කිරීමට නියමිතය.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ලාංකේය දේශපාලන ඉතිහාසයට එක් වනු ඇත.

කුමාරි ඉරුගල්බංඩාර

advertistmentadvertistment
advertistmentadvertistment