වාරියපොළ ශ‍්‍රී සුමංගල නාහිමි වැඩවිසූ සුදුහුම්පොළ රජමහා විහාරය

360

මහනුවර නගරයේ ජාතික රෝහල අසලින් දිවෙන විලියම් ගොපල්ලව මාවතේ (අලුත් පාර) කිලෝමීටර් 1.5ක් පමණ ගිය පසු සුදුහුම්පොල හන්දියේ සිට වමට දිවෙන විහාර මාවතේ කිලෝමීටර් භාගයක් පමණ ගිය විට ඓතිහාසික සුදුහුම්පොළ රජමහා විහාරය පිහිටි භූමියට පැමිණිය හැක. තවද පේරාදෙණිය මාර්ගයේ කටුකැලෙන් වමට දිවෙන මාර්ගයෙන් ද පැමිණිය හැකිය. හන්තාන කඳුවැටියේ පහළ බෑවුමේ අලංකාර වන පියසක මායිම්ව පිහිටා ඇති බැවින් ස්වාභාවික සෞන්දර්ය අතින් ද විහාරය පොහොසත්ය. එබැවින් බෞද්ධ විහාරයකට උචිත නිස්කලංක පරිසරයක විහාරය පිහිටා ඇත.

මෙම රජමහා විහාරයේ ඉතිහාසය පිළිබඳව විමසීමේදී ග‍්‍රාමයේ නාමය සකස් වූ ආකාරය පිළිබඳව විමසා බැලීම වැදගත්ය. ජනප‍්‍රවාදයේ දැක්වෙන ආකාරයට මෙම විහාරය පිහිටි ගමට ආසන්නයෙන් වූ ග‍්‍රාමය ‘දෙවියන්ට කැප වූ කුඹුරු’ හෙවත් ‘දෙවියන්ගේ කුඹුරු’ යන අර්ථය ඇති ‘දෙයියනේවෙල’ ලෙස හඳුන්වයි. දිනක් මෙම ප‍්‍රදේශයේ සංචාරය කළ උඩරට රාජධානියේ රජෙකු මෙහි පිහිටි දේවාලයට ගිය විට එහි වැසියන් ආසනයකට සුදු රෙද්දක් දමා ගෞරව කළ නිසි ‘සුදු රෙදි දැමූ ස්ථානය’ යන අර්ථය ඇතිව ‘සුදුහුම්පොළ’ යන නාමය සකස් වූ ජනප‍්‍රවාදයේ දැක්වේ.

සුදුහුම්පොල රජමහා විහාරය කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු (ක‍්‍රි. ව. 1747 – 1782) විසින් අගනගරය ආසන්නයේ ඉදි කරන ලද ප‍්‍රධාන විහාර 04න් එකක් බව මන්දාරම්පුර පුවත නම් ඓතිහාසික සඳහන් වේ. එහි ‘‘සුදුහුම් පොල ද අම්පිටි ද නිත්ත – ගංගාරම වෙහෙර ද නුවර සිව් ගම්වර දෙවා සිප්සැල් වැවස්තා – පත්කර ඉගනීම අත්කළ දන සි’’ වශයෙන් එහි දැක්වේ. එයින් පැහැදිලි වන්නේ උඩරට රාජධානියේ අගනුවර වූ මහනුවර නගරයට ආසන්නයෙන් සිව් දිශාවෙහි සුදුහුම්පොළ, අම්පිටිය, නිත්තවෙල සහ ගංගාරාමය යන රජමහා විහාර සතර ඉදි කර ඒවායේ අධ්‍යාපන මධ්‍යස්ථානත් පිහිටුවා ගම්වර පූජා කළ බවයි. ඒ අනුව සුදුහුම්පොල රජමහා විහාරය කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ බෞද්ධාගමික සේවයේ ප‍්‍රතිඵලයක් ලෙස ඉදි වූ විහාරයක් බව සනාථ වේ. මෙම විහාරය ශක වර්ෂ 1602 ට පැමිණි දුරුතු මස පුර විසේනිය නම් තීථිය ලත් ස`දු දින කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ අනුමැතිය ලැබ මුංවත්තේ රාජකරුණා විජයවර්ධන නවරත්න වාසල මුදියන්සේ රාළහාමි විසින් ගොඩ නැ`ගීම් කටයුතු ආරම්භ කළ බව සඳහන් වේ.

වාරියපොළ ශ‍්‍රී සුමංගල නාහිමි වැඩවිසූ  සුදුහුම්පොළ රජමහා විහාරය

සුදුහුම්පොළ රජමහා විහාරයේ වැඩකටයුතු ක‍්‍රි.ව. 1771 වර්ෂයේ දී අවසන් වීමෙන් පසු කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු විසින් එය කඩුවෙල නාගසේන හිමියන් ප‍්‍රමුඛ ශිෂ්‍ය පරම්පරාවට සඟ සතු කර පූජා කොට ඇත. අනතුරුව මෙම විහාරය සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාරයට අනුබද්ධ ප‍්‍රධාන විහාරයක් බවට පත්ව ඇත. ඒ අනුව අස්ගිරි මහා විහාරයේ පහළ පන්සල හා අනුබන්ධ උරුලෑවත්තේ සඟ පරපුරට අයත් විජයසුන්දරාරාම ප‍්‍රධාන පන්සලට අනුබද්ධ රජමහා විහාරයක් වශයෙන් වර්තමානය තෙක් සුදුහුම්පොල විහාරය පාලනය වේ. ඒ අනුව අස්ගිරි මහා විහාරය මගින් විහාරාධිපති හිමියන් පත් කරනු ලබයි.

එලෙස පත් වූ විහාරාධිපති හිමිවරුන් අතර වාරියපොළ ශ‍්‍රී සුමංගල නා හිමි වන්නේ ප‍්‍රමුඛ ස්ථානයකි. එබැවින් මෙම විහාරයේ ඉතිහාසය විමසීමේ දී උන්වහන්සේ සම්බන්ධයෙන් විමසා බැලීම අත්‍යවශ්‍යය. සියම් මහා නිකාය පිහිට වූ මුල්ම අවස්ථාවේ එනම් ක‍්‍රි. ව. 1753 නිකිණි මස අව අටවක දින අස්ගිරි මහා විහාරයේ ගෙඩිගේ විහාර භූමියේ බද්ධ සීමා මාලකයේ දී උපසම්පදාව ලද වාරියපොළ ශ‍්‍රී සුමංගල නා හිමි පසුව අස්ගිරි මහා විහාරයේ අනුනායක තනතුරට පත්ව සුදුහුම්පොළ රජමහා විහාරයේ සහ වාරියපොළ ශෛලතලා රජ මහා විහාරයේ විහාරාධිපති තනතුරට පත්ව ඇත. එලෙස විහාරාධිපති තනතුරට පත් උන්වහන්සේ ක‍්‍රි. ව. 1815.03.02 දින කන්ද උඩරට රාජධානිය බි‍්‍රතාන්‍යයන්ට යටත් කරමින් උඩරට ගිවිසුම අත්සන් කළ අවස්ථාවේ අභිතව කටයුතු කළ බව සඳහන් වේ. ඒ අනුව උඩරට ගිවිසුම අත්සන් කිරීමට පෙර දළදා මැඳුර ඉදිරිපිට බි‍්‍රතාන්‍යය කතිර කොඩිය ඔසවා තිබෙනු දුටු සුමංගල හිමි එම කොඩිය පහළට දමා සිංහ කොඩිය ඔසවා ‘තවමත් උඹලාට රට යටත් වී නොමැති බව’ අභීතව ප‍්‍රකාශ කළ බව සඳහන් වේ. ඉන් අනතුරුව ක‍්‍රි. ව. 1818 දී බි‍්‍රතාන්‍යය පාලනයට එරෙහිව පළමු නිදහස් සටන ඇරඹි අවස්ථාවේ දී එහි නායකයන්ට උදව් කරමින් රට බි‍්‍රතාන්‍යයන්ගෙන් නිදහස් කර ගැනීමේ උදාර චේතනාවෙන් කටයුතු කර ඇත. එම අවස්ථාවේ දළදා වහන්සේගේ තේවා භාර භික්ෂූන් වහන්සේ වශයෙන් කටයුතු කළ සුමංගල හිමි රහසිගතව දළදා වහන්සේව වීර කැප්පෙටිපොල ඇතුළු සටන්කාමින් ලබා දෙමින් සටනට අවශ්‍ය මහජන සහයෝගය ලබා දීමට කටයුතු කර ඇත. එහෙත් පළමු නිදහස් සටන අසාර්ථක වීම නිසා 1818.11.02 දින බි‍්‍රතාන්‍යයන්ගේ අත්අඩංගුවට පත් වූ අතර එතැන් සිට යාපනයේ සිර කඳවුරේ දුක් විඳි උන්වහන්සේ ක‍්‍රි. ව. 1821.04.13 දින නිදහස ලැබූ බව සඳහන් වේ. ඒ අනුව ශ‍්‍රී ලාංකේය ඉතිහාසයේ ජාතික වීරයකු වන වාරියපොළ ශ‍්‍රී සුමංගල හිමියන් වැඩ විසූ විහාරය මෙය වන බැවින් එහි ඓතිහාසික හා පූජනීය භාවය තවදුරටත් වර්ධනය වී ඇත.

ඉහත සඳහන් කළ ආකාරයට උඩරට රාජධානියේ අගනුවර වූ මහනුවර නගරය ආසන්නයෙන් ඉදි කරන ලද සතර වාසල් විහාරස්ථාන සතරින් එකක් ලෙස මෙම විහාරය සැලකිය හැකිය. මෙලෙස සතර වාසල් විහාර ඉදි කිරීමෙන් රජු බලාපොරොත්තු වී ඇත්තේ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගෙන් අධ්‍යාපනය ලැබීම සඳහා දිවයිනේ සිව්දිගින් පැමිණි භික්ෂූන්ට නවාතැන් පහසුකම් සැලසීමත්, දළදා වහන්සේ වන්දනා කිරීමටත්, දළදා පෙරහැර නැරඹීමටත්, උපසම්පදා විනය කර්මය ඇතුළු උඩරට රාජධානියේ අගනුවර වූ මහනුවර සිදු වූ ආගමික කටයුතු සඳහා සහභාගි වීමට පැමිණි භික්ෂූන්ගේ නවාතැන් පහසුකම් සැලසීම සඳහා බව පෙනේ. ඒ අනුව එලෙස භික්ෂූන්ගේ නවාතැන් කටයුතු සඳහා ඉදි කළ මහනුවර යුගයට අයත් ඉපැරණි සංඝාරාමය විහාරයට පහළින්ම දැකගත හැකිය. කන්ද උඩරට ප‍්‍රභූවරුන් වාසය කළ වලව්වක ස්වරූපයට මෙම සංඝාවාසය ඉදි වී ඇත. මැද මිදුල වටා භික්ෂූන්ගේ නවාතැන් කුටි හෙවත් කාමර ඉදි කර ඇති අතර කාමර 12ක සාධක හමු වේ. එම සෑම කුටියකටම අතීතයේ වෙනම කුඩා මුළුතැන්ගෙයක් බැගින් තිබූ බව සඳහන් වෙතත් වර්තමානයේ ඒ වෙනුවට පවතින්නේ විශාල එක් මුළුතැන්ගෙයක් පමණි. ඒ අනුව තරමක විශාල සංඝාවසයක් වන මෙය මැටියෙන් ඉදි කර කපාරාරු කර ඇති බව පෙනේ. මෙම සංඝාරාමය කළුගල් පදනමක් මත ඉදි කර ඇති අතර මැද මිදුලට පහත් වන පියස්ස දරා සිටින්නේ දැව කුලුනු මගිනි. මෙම දැව කුලුනුවල ලී කැටයම් දැකිය හැකි අතර ඒවා මහනුවර යුගයේ ලී කැටයම්කරුවාගේ ප‍්‍රතිභාව ශක්තිය පෙන්නුම් කරයි. පසුකාලීන ප‍්‍රතිසංකරණ නිසා මෙහි පෞරාණිකත්වයට හානි වී ඇත. මෙවැනිම උඩරට රාජධානි සමයේ ඉදි වූ විශාල සංඝාරාමයක් සතර වාසල් විහාරස්ථානවලින් එකක් වන අම්පිටිය දලුක්ගොල්ල විහාරයේ ද දැකිය හැක.

මෙම විහාරයේ වැදගත්ම අංගය මෙන්ම පෞරාණිකම ගොඩනැ`ගිල්ල වන්නේ විහාර මන්දිරයයි. එය විහාර භූමියේ ඉහළම ස්ථානයේ ඉදි කර ඇති අතර දර්ශනීය ශෛලමය පිය ගැට පෙළක් තරණය කිරීමෙන් ළඟා විය හැකිය. මෙම විහාර මන්දිරය ප‍්‍රමාණයෙන් තරමක් විශාල වන අතර එය මහල් දෙකක ස්වරූපයෙන් පෙනෙන ලෙස ඉදි කර ඇත. ගෘහනිර්මාණ ලක්ෂණ ලේවැල්ල ගංගාරාම රජමහා විහාරයට සමානය. කළුගල් පදනමක් මත විහාරය ඉදි කර ඇත. විහාරය වටා ප‍්‍රදක්ෂිණා පථයක් නිර්මාණය කර ඇති අතර පියස්ස දරා සිටීම සඳහා රවුම් ආකාරයට ඉදි කරන ලද ගඩොලින් කළ කුලුනු ඕලන්ද ගෘහනිර්මාණ ශිල්පයේ ආභාෂය පෙන්නුම් කරයි. පියස්ස උඩරට පෙති උළුවලින් සෙවිලිකර ඇත. විහාරයට ප‍්‍රවේෂ වීමට ඉදි කර ඇති ශෛලමය උළුවස්ස කැටයමින් තොරය. ප‍්‍රධාන දොරටුවේ උළුවස්ස වටා මකර තොරණක් සිතුවම් කර ඇති අතර දෙපස විශාල දොරටුපාල රූප ද්විත්වයක් සිතුවම් කොට ඇත. මෙය විහාර මන්දිරය බාහිර සිට නරඹන්නෙකුට දේවාලයක ස්වරූපයෙන් පෙනෙන බව කලා විචාරකයන් දක්වයි. එහි බුද්ධ ප‍්‍රතිමාව පිහිටි අභ්‍යන්තර කුටියට ප‍්‍රවේශ වීමට ඇති දොරටුව මහනුවර යුගයට අවේණික මල් ලියකම්වලින් යුත් සිතුවම්වලින් අලංකාර කොට ඇත. විහාර මන්දිරය තුළ එක් විශාල හිඳි ප‍්‍රතිමාවක් පමණක් දැකිය හැක.

බුද්ධ ප‍්‍රතිමාව වීරාසන ආසනයෙන් සහ ධ්‍යාන මුද්‍රාවෙන් නිරූපිත වැඩ හිඳින පිළිරුවක් ලෙස නිරූපණය කර ඇත. චීවරය ඒකාංශකව පොරවා ඇති අතර එය තැඹිලි වර්ණයෙන් වර්ණ ගන්වා ඇත. බුද්ධ ප‍්‍රතිමාවට පිටු පසින් මකර තොරණක් නොමැති අතර ඒ වෙනුවට බිත්තිය සම්පූර්ණයෙන් රැුස් මාලාවකින් අලංකාර කොට ඇත. බුදුන් වහන්සේගේ සිරසෙහි ශීර පථය නිරූපණය කර ඇත. බුදුන් වහන්සේගේ දෙනෙත් විවෘතය. දෙතොල් විශාල වන අතර එය රත් පැහැයෙන් වර්ණ ගන්වා ඇත. ලම්භකර්ණ දෙසවන් සහ දක්ෂිණාවර්තව කැරකී ඇති හිස කෙස් නිරූපණය කරමින් බුදුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පෙන්නුම් කිරීමට කලාකරුවා උත්සාහ ගෙන ඇත. බැතිමතා තුළ බුදුන් වහන්සේ කෙරෙහි ශ‍්‍රද්ධාව සහ භක්තිය ඇති වන අයුරින් ප‍්‍රතිමාව නෙළා ඇත.

විහාර ගෘහයේ බිත්ති මහනුවර යුගයට අයත් බිතු සිතුවමින් අලංකාරවත් කොට ඇත. ඒ අනුව බිත්තිය තිරස් තීරු තුනකට බෙදා සිතුවම් ඇඳ ඇත. එහි පහළම තීරුවහි බුදුන් වහන්සේ වන්දනා කිරීමට යන රහතුන් වහන්සේලාගේ සිතුවමින් අලංකාර කොට ඇත. දෙවැනි තීරුව බෝසතුන් නියත විවරණ ගැනීම නිරූපීත සිතුවමින් ද ඉහළම තීරූව ලක්දිව පිහිටි සොළොස්මස්ථාන නිරූපිත සිතුවම්වලින් ද අලංකාරවත් කොට ඇත. සොළොස්මස්ථාන නිරූපිත චිත‍්‍ර අතරින් මෙන්ම විහාරයේ ඇති සිතුවම් අතරින් ද වැදගත්ම චිත‍්‍රය වශයෙන් කලා ඉතිහාසඥයන්ගේ අවධානය දිනාගත් සිතුවම වන්නේ ශ‍්‍රී පාදස්ථානය නිරූපිත සිතුවමයි. ඒ අනුව එහි සමනල කන්ද පරිමාණය පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වා මධ්‍යම ප‍්‍රමාණයේ පර්වතයක ස්වරූපයෙන් නිරූපණය කොට ඇත. එහි පසෙක නෙළන ලද පියගැට පෙළකි. සමන්ත කූටයේ අඩක් වැසෙන සේ මණ්ඩපයක් නිරූපණය කර ඇති අතර මුල්කාලීන බි‍්‍රතාන්‍ය වර්තාවලට අනුව සමනල කන්ද මුදුනත එවැනි මණ්ඩපයක් තිබූ බව සඳහන් වන නිසා එම මණ්ඩපය මෙලෙස චිත‍්‍රණය කොට ඇති බව සනාථ වේ. එම මණ්ඩපය මධ්‍යයේ උඩු අතට හැරවූ ශ‍්‍රී පාද ලාංඡුනය නිරූපණය නිරූපණය කරයි. එයින් මෙම සිතුවමින් නිරූපණය වන්නේ ශ‍්‍රී පාදස්ථානය බව බැතිමතාට පහසුවෙන්ම තේරුම් ගත හැකිය. විහාරගෙහි වියන ද සිතුවමින් අලංකාර කොට ඇත. ඒ සඳහා විශාල

නෙලුම් මල් සහ වෙනත් මල් වැල් මෝස්තර යොදාගෙන ඇත. විහාරගෙහි ඇතුළු වන දොරටු වැසූ විට විහාරයට ආලෝකය සහ වාතාශ‍්‍රය ලබා ගැනීමට කවුළු තුනක් දැකිය හැක. මෙම විහාරය පිහිටි ඉහළ මළුව වටා මහනුවර යුගයේ ගෘහනිර්මාණ ශිල්පයේ අනන්‍ය ලක්ෂණයක් වන වලාකුළු බැම්මකින් අලංකාර කොට ඇත.

විහාර මන්දිරයට අමතරව ඉපැරණි බෝධි වෘක්ෂයක් ද සුදුහුම්පොළ විහාරයේ දැකිය හැක. එමෙන්ම කුඩා දේවාලයක් ද විහාර භූමියේ පිහිටා ඇත. විහාරයේ ඇති ස්තූපය ඝණ්ඨාකාර හැඩයක් ගන්නා අතර එය ඩී. එස්. සේනානායක අග‍්‍රාමාත්‍යවරයාගේ සමයේදී ඉදි කරන ලද්දක් බව සඳහන් වේ.

මෙම විහාරය උඩරට රාජධානි සමයේ දී රාජ්‍යය අනුග‍්‍රහය නිබඳව ලද ස්ථානයක් වන බැවින් දළදා

මාළිගාවත්, සිව් මහා දේවාලත් කේන්ද්‍රගතව රාජධානි සමයේ සිට පවත්වනු ලබන සතර මංගල්‍යයන් මෙම විහාරස්ථානයේ ද පවත්වනු ලබයි. එහිදී ඇසළ පෙරහැර මංගල්‍යය හැර අනිත් මංගල්‍යයන් වන අලුත් සහල් මංගල්‍යය, අලුත් අවුරුදු මංගල්‍යය සහ කාර්තික මංගල්‍යය සුදුහුම්පොළ විහාරයේ ද කීර්ති ශ‍්‍රී රාජසිංහ රාජ්‍යය සමයේ සිට රජුගේ ආඥාව මත වර්තමානය තෙක් පවත්වයි. ඒ අනුව අලුත් සහල් මංගල්‍යය සඳහා ගුරුදෙණිය රාජකීය වී අටුවේ දී (වර්තමාන කුණ්ඩසාලය වී අටුවේ දී) සහල් බෙදීමේ දී පළමු ලැයිස්තුව යටතේ සහල් සේරු 02 ක් හා වී සේරු 01ක් හිමි වන අතර ඉල් මාසයේ පවත්වන කාර්තික මංගලෝත්සවය සඳහා මහනුවර ශ‍්‍රී නාථ දේවාලයේ දී තෙල් බෙදන විට තෙල් නැලි දෙකක ප‍්‍රමාණයක් සුදුහුම්පොළ රජමහා විහාරයට හිමි වේ. අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ මංගල්‍යයට නාථ දේවාලයේ දී තෙල් බෙදීමේ දී මෙම විහාරයට ද තෙල් හිමි වේ.

ඒ අනුව කීර්ති ශ‍්‍රී රාජසිංහ රාජ්‍යය සමයේ ඇරඹි, වාරියපොළ ශ‍්‍රී සුමංගල නාහිමි වැඩ විසූ ඓතිහාසික මෙන්ම පූජනීය විහාරයක් වශයෙන් සුදුහුම්පොළ රජමහා විහාරය හඳුනාගත හැකිය.

ඩබ්ලිව්.එම්.එම්. සංජය වීරකෝන්
ශාස්ත‍්‍රවේදී (ගෞරව) ඉතිහාසය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment