මෑත කාලයේ මෙරට අතිශය කතාබහට ලක්වුණු ටෙලිනාට්‍යයක් තමයි ලක්මාල් ධර්මරත්න අධ්‍යක්ෂණය කරපු කූඹියෝ ටෙලිනාට්‍යය. කූඹියෝ ඩිරෙක්ට් කරපු ලකා අවුරුදු ගණනාවක නිහැඬියාවකින් පසු යළිත් රසිකයන් අතරට එන්න සූදානම් වෙනවා. ඒ නිමලසිරි මාමා, ඇන්ජලෝ, සිසිකා මැඩම් වගේම සිඩ්නි වගේ චරිත එක්ක. මේ චරිත සියල්ල ජීවන්වෙන්නේ හීන හතහමාරක් හෙවත් ලකාගේ වාලම්පුරි චිත්‍රපටයේ. මෙම චිත්‍රපටය එළැඹෙන 25දා සිට රටපුරා සිනමාහල් රැසක තිරගත කිරීමට නියමිතය.

වාලම්පුරියේ වැඩේ පටන්ගන්නේ හංගිලිපොල යෞවන කුමාර කලා කවය කියන ජහුටා කණ්ඩායම නාට්‍යයක් පෙන්වන තැනකින්. මෙයාලා ඇත්තට සීගිරිය පාමුල ගමක ජීවත්වන, ටෙම්පරි ජොබ් එකක් කරලා ජීවිතේ ගැටගහගන්නවා වගේ පෙන්වන පොඩි නාට්‍ය කණ්ඩායමක්. නමුත් ටිකකින් අපට තේරෙන්න ගන්නවා මෙයාලා ඒ නාට්‍ය ඇතුළෙම පොඩි පොඩි ජල්තර වැඩවලට සෙට්වෙන ගැන්සියක් කියලත්.

සිඩ්නි ඩයස් තමයි මේ කණ්ඩායමේ නායකයා. ජහුටා එකේ රජුට රඟපාන්නෙත් සිඩ්නි. ඒකෙ කුමාරයා තමයි ඇන්ජලෝ. දේවියට පණදෙන්නේ චින්තක. මේකෙ සංගීතය සහ අධ්‍යක්ෂණය නිමලසිරි මාමගේ. මේ නාට්‍ය කණ්ඩායමේ නිෂ්පාදකවරයා තමයි සුළු ව්‍යාපාරික ප්‍රියංකර. ඉතිං ඔන්න ඔහොම අමාරුවෙන් ජීවිතේ ගැටගහන්න දඟලමින් එක එක ජල්තර කරමින් ජීවත්වන මේ සෙට්එකට කොළඹ ඉඳලා ඒ ජාතියෙම වැඩ අරගෙන එන්නේ සුවාමි කියලා හඳුන්වන පූසාරි කෙනෙක්. ඔන්න මේ පූසාරි අරගෙන එන කොන්ත්‍රාත් එකක් නිසා මේ සෙට්එක පැටලෙනවා වාලම්පුරියක් එක්ක. එතැන ඉඳලා තමයි මෙයාලගේ ජීවිත වෙනස් වෙන්න පටන්ගන්නේ. ඔය ගමනේදී මේ කණ්ඩායමට හම්බවෙන පොලිස් සමන්, මැඩම් සිසිකා වගේ අයත් එක්ක පැටලෙමින්, මේ වාලම්පුරියේ නූල්බෝලය ලිහාගන්න යන ගමනක් තමයි, අපිට වාලම්පුරි හෙවත් හීන හතහමාරක් චිත්‍රපටය ලෙස දකින්න ලැබෙන්නේ. ඉතිං එයාල ඒක කෙහොම ලිහා ගනීවි ද? ඒක දැනගන්න නම් වාලම්පුරි චිත්‍රපටය බලන්නම වෙනවා. වාලම්පුරි චිත්‍රපටයේ තිර රචනය සහ අධ්‍යක්ෂණය ලක්මාල් ධර්මරත්නගෙනි. මෙහි කථාව දමිත චන්ද්‍රසිරි හා ලක්මාල් ධර්මරත්න යන දෙපළගෙනි.

ප්‍රියන්ත සිරිකුමාර, දිල්හාන් ඒකනායක, තුමිඳු දොඩන්තැන්න, සරත් කොතලාවල, අශාන් ඩයස්, අංජන ප්‍රේමරත්න, දර්ශන් ධර්මරාජ්, වසන්ත මොරගොඩ, කිංග්ස් රත්නම්, නිරෝෂන් විජේසිංහ, උදයන්ති කුලතුංග, දයා තෙන්නකෝන්, ජනිතා පෙරේරා වාලම්පුරි සඳහා රංගනයෙන් එකතු වෙනවා.

ප්‍රිමාල් රණසිංහ, උදාර අබේසුන්දර රේඛීය නිෂ්පාදනයෙන් එකතු වෙනකොට හෂාන් නිසිත නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් සහාය වුණා. කාලිංග දේශප්‍රිය කැමරාකරණයෙන් ද දිමුතු කාලිංග සහ මජිත් එස්. උයන්ගොඩ සහකාර කැමරා අධ්‍යක්ෂණයෙන් ද නුවන් සනුරන්ඛ ද සිල්වා නිර්මාණීය සැලසුම්කරණය සහ කලා අධ්‍යක්ෂණයෙන් ද එකතු වේ.

සංස්කරණයෙන් සංක මල්වත්ත සහ තරිඳු කාරියවසම් ද සංගීත අධ්‍යක්ෂණයෙන් චින්තක ජයකොඩි ද, අංග රචනය සහ කොණ්ඩා සැකසුම ප්‍රියන්ත දිසානායක ද, ඇඳුම් නිර්මාණයෙන් ලසන්ත උඩුකුඹුර ද පසුබිම් ශබ්ද නිර්මාණය සහ හඬකැවීම් අධ්‍යක්ෂණයෙන් අතුල ජයසිංහ ද සහාය අධ්‍යක්ෂණයෙන් චාමර සේලාර ද නිෂ්පාදන කළමනාකරණයෙන් අංජන ආශුබෝධ ද, වර්ණ සංයෝජනයෙන් දිනිඳු ජාගොඩ ද, දෘශ්‍ය ප්‍රයෝග නසාෆී මොහොමඩ් ද එකතු වේ.

ලකාගේ මේ වැඩේ මෙරට සිනමා ඉතිහාසයට පළමු වතාවට ලොව පුරා රවල් 15 කට වැඩි ප්‍රමාණයක තිරගතවීමට නියමිතයි. ශ්‍රී ලංකාව, ඔස්ටේ්‍රලියාව, කැනඩාව, ඉතාලිය, නවසීලන්තය, ඇමරිකාව, ජපානය, ෆින්ලන්තය ඇතුළු රටවල් ගණනාවකදී 25දා සිට මේ වැඩේ දැකබලාගැනීමට පුළුවනි.

දිනේෂ්


advertistmentadvertistment