වාසනාව සහ අවාසනාව

958

වාසනාව සහ අවාසනාව ගැන අපි කතා කරන්නෙමු. ලොතරැයි පතක් එක අංකයකින් මිස්වෙද්දී අනේ වාසනාව නැති වුණා කියා අපි පසුතැවිලි වන්නෙමු. තමන්ට ලැබෙන්නට තිබුණාවූ යම් දෙයක් නැතිවී ගිය පසුත් වාසනාව නැති වුණා කියා පසුතැවිලි වන්නෙමු. ඇතැම් විට ඒ දේ මට නැති වුණේ අසවලා නිසයි කියා අපේ සිතෙහි වෛරයක් ද හටගන්නේය.

අපි වාසනාව අවාසනාව ගැන එහෙම කතා කළාට මේ වාසනාව සහ අවාසනාව යන ගුණාංග දෙක මොකක්ද? ඒක හටගන්නේ කොහොමද කියා අපි දන්නේ නැහැ. අපි නිතරම කරන්නේ වාසනාව උරගා බලන එකයි. අපි ලොතරැයි පත් මිලදී ගන්නේ ඒකටයි. වාසනාව තියෙනවද කියා බැලීමටයි. නමුත් වාසනාව උපදින්න අපි වැඩ කර ගන්නේ නැහැ. හැම විටකම අවාසනාව උපදින තැනටම අපි අතින් වැඩ සිද්ධ වෙනවා කියා අපි දන්නෙත් නෑ.

අපිට සර්වඥ සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ විශ්වයේ ඒකාන්ත ඇත්ත උගන්වන අභිධර්මයේදී මේ වාසනාව උපද්දන හැටි කියාදී තිබෙනවා. ඒ සඳහා සිත ආකාර තුනකට පත්විය යුතු බව දක්වා තිබෙනවා. එනම් ‘සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිත’ යනුවෙනි. වාසනාව උපදින්න සිත එහෙම වෙන හැටි මේ උදාහරණයෙන් බලමු.

එක්තරා දුප්පත් මනුෂ්‍යයෙක් මාසිකව ඔහු පාවිච්චි කරන බෙහෙත් ටික මේ මාසෙට ලබා ගන්න මුදල් නැතුව දුක්විඳී. එය දුටු වෙනත් මනුෂ්‍යයෙක් ඔහු කෙරේ කරුණා මෛත්‍රිය ඇතිකරගෙන, වෙනත් කිසිම ලාභාපේක්‍ෂාවක් සිතේ නොමැතිව, මේ මනුස්සයාට මේ මාසයේ බේත් ටික සම්පූර්ණයෙන්ම මම අරන් දෙනවා කියා සිත පහල කර ගනී. ඒ සිත ‘සෝමනස්ස’ සිතය. ‘ඥාන සම්ප්‍රයුක්ත’ යනු මේ මනුෂ්‍යයා සුවපත් වේවා කියන චේතනාවෙන් මෛත්‍රී කරුණා සිතත්, මේක නිරෝගි බව ඇතිවන පිනක් යන අවබෝධයෙන් යුක්ත වීමය. ‘අසංකාරික සිත’ යනු කාගෙවත් මෙහෙයැවීමක් නොමැතිව තමන්ගේම සිතට අනුව කරන ලද්දක් වීමය. බොහොම සතුටු සිතකින් ඥානයෙන් යුක්තව තමන්ගේම කැමැත්තෙන් මේ කුසලය හෙවත් වාසනාව ඉපදීම ත්‍රිහේතුක කුසල් හෙවත් වාසනාව කියා හඳුන්වයි. මේ උපදින්නේ බලවත් වාසනා මහිමයකි.

එයින් තමන්ට ලැබෙන ප්‍රතිඵලය හෙවත් වාසනාව වන්නේ රෝගයකින් අසාධ්‍යව අද මැරෙයි හෙට මැරෙයි කියා සිටියදී වහා ඒ රෝගය සුවපත්වී මරණයෙන් නැඟී සිටීමට උදව් කරන මහා වාසනාවයි. මේ අනුව බුදුදහම උගන්වන පින හෝ පව නැතිනම් කුසල් හේ අකුසල් යන වාසනා අවාසනා ගුණ දෙකය. මේ විදියට පින වන්නේ කුසල් ය. පව වන්නේ අවාසනාව තමන්, තමන් උදෙසා උපදවා ගැනීමයි.

මේ පින් සහ පව් යන දෙක රැඳෙන්නේ කොහෙද කියා අපි දැනගත යුතුයි. තමන් කරන ඒ පින් හා පව් දෙක සිතෙන් ඉපදී සිතේම තැනක තැන්පත් වෙයි. එය සිතේ විශේෂ ස්ථානයකි. එය හඳුන්වන්නේ ‘මනෝ විඤ්ඤානය’ ලෙසය. කෙනෙක් මැරෙන විට මේ ශරීරයෙන් පිටවී වෙනත් උපතක් කරා යන්නේ මේ විඤ්ඤාණයයි. එවිට ඒ උපදින ආත්මයට වාසනාව අවාසනාව වන්නේ ඒ මනෝ විඤ්ඤාණයේ තැන්පත්ව තිබුණු පින් පව් දෙකය. ඉන් එහා කිසිම දෙයක් අපට දෛවය වන්නේ නැත. මේ පින් පව් හෙවත් වාසනා අවාසනා දෙක සක්‍රිය වීමට රවි-චන්ද්‍ර-කුජ-බුද-ගුරු-ශුක්‍ර-ශනි හරහා සක්‍රිය වන පරමාණුක ශක්ති ඉවහල් වන බව අපට උපකල්පනය කළ හැක.

අභිධර්ම දේශනාවට අනුව කෙනෙක් මියයන බව හෝ මේ මනෝ විඤ්ඤාණයෙන් තමන් කරගෙන එහි තැන්පත්ව තිබූ කුසල් හෙවත් වාසනාවන්ත ක්‍රියාවකට උපන් සිත මුල්වී ඒ මනෝ විඤ්ඤාණ ‘චුති’ සිත බවට පත්ව ඒ ශරීරයෙන් ඉවත් වෙයි. එනම් මරණය සිදුවීමයි. ඒ සමගම ඒ පින්වත් චුති සිතට නැවත භවයක් ලැබීම පිණිස මිනිස් මවු කුසක පිළිසිඳ ගනී. එවිට ඒ චුති සිත අලුත් භවයක් අරඹන සිත බවට පත්වී ඒ සිත ‘ප්‍රතිසන්ධි සිත’ බවට පත්වේ. ඒ අර චුති සිතමය. මෙසේ එය ප්‍රතිසන්ධි සිත වන්නේ අලුත් භවයක ආරම්භය වශයෙනි. ටික කලක් එනම් පුංචි බිලිඳු අවධිය පසුකරනකොටම ඒ ප්‍රතිසන්ධි සිත ද වෙනස් වී ‘භවාංග සිත බවට පත්වේ. භවාංග යනු ඒ භවයට අංග වූ වාසනා අවාසනා දෙකට අනුව ජීවත්වීම හෙවත් දෛවය සකස් වීමය.

විශ්වයේ ඒකාන්ත ඇත්ත නම් වූ එම අභිධර්ම විනිශ්චය අනුව සත්ත්වයට සිදුවන්නේ එයයි. දැන් මේ භවාංග සිත බවට පත්වූ පෙර භවයේ කරගත් පින් හෙවත් වාසනාවේත් පව් හෙවත් අවාසනාවේත් ප්‍රතිඵල විඳීමට සැලසීමත් යළි පව් පින් දෙක ඉපදීමත් යළි මනෝ විඤ්ඤානයක් බිහිවී ඒ තුළ තැම්පත් වීම සිදුවේ.

ඉන්පසු මේ රවි-චන්ද්‍ර-කුජ-බුධ-ගුරු-ශුක්‍ර-ශනි යන ග්‍රහ ලෝකවලට සූර්යයාගේ ආලෝකය වැදීමෙන් හටගන්නා පරමාණුක ශක්ති මනුෂ්‍යයන්ට උරාගනී. ඒ උරාගන්නා පරමාණු මනෝ විඤ්ඥාණය දක්වා ගමන්කර එහි තැම්පත් වාසනා අවාසනා ගුණ සක්‍රිය කර ප්‍රතිඵල ලබාදෙයි. ඒ ලබාදෙන විදිය මනස දියුණු කරගත් සෘෂිවරු ජ්‍යොතිෂය නම් විෂයයකින් විස්තර කරයි. මනස දියුණු කරන ලද නූතන විiාඥයයෝ ඒ ග්‍රහ ලෝක විශ්වයට මුදාහරින ඒ පරමාණුක ශක්ති බලයෙන් තාක්‍ෂණයෙන් පෙරාගෙන ඒවා උපයෝගී කර ස්මාට් ෆෝන් එකේ පටන් ඩිජිටල් ලෝකයක් නිර්මාණය කළහ.

ඒ පරමාණුක ශක්ති විශ්වය පුරා විසිරෙමින් ගස් වැල් ඒවායේ මල්, ඵල සුවඳ-රසය-ගුණය නිර්මාණය කරයි. එසේ මේ ග්‍රහ ලෝක වලින් එන පරාමාණු ශක්ති විවිධාකාර කාර්යයන් සිදුකරයි.

මේ රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි යන ග්‍රහ තාරකාවන්ගෙන් මිනිසාට දෝලනය වන පරමාණුක ශක්ති හරහා අපල ලෙස අවාසනාව ක්‍රියාත්මක වෙයි. සඵල ලෙස වාසනාව ක්‍රියාත්මක වෙයි.

විශේෂයෙන් සඵල හෙවත් වාසනාව ලෙස ඒ අනුව ක්‍රියාත්මක වන්නේ සත්ත්වයාට කරුණා මෛත්‍රියෙන් කරගන්නා ලද පින්ය. අවාසනාව ලෙස හෙවත් අපල ලෙස ක්‍රියාත්මක වන්නේ සත්ත්වයාට කේන්තිය, තරහ, වෛර, ඊර්ෂ්‍යා ලෙසින් ක්‍රියාත්මක වුණ දේවල්ය. මේ අනුව යමකුට මිල මුදල් හිඟවී කන – බොන දෙයින් පවා අගහිඟ ඇති වන්නේ තමන්ගේ මනෝ විඤ්ඤාණය තුළ පින් හෙවත් වාසනාව නැති බැවිනි. එනිසා ඇඟේ හයියෙන් දවසට වේලක් හෝ ලැබෙන තැනට කටයුතු සිද්ධ වේ.

හොඳට මිල මුදල් ලැබී වස්තු සම්පත් යාන වාහන උපයා සපයා ගන්න, අනිවාර්යයෙන් තමන්ට වාසනාව හෙවත් පින් තිබිය යුතුය. නැතිනම් ඒවා කිසිදා සඵල නොවේ. ඇඟේ ශක්තිය කොපමණ යෙදුවත් ඒවා නොලැබේ. මේ විශ්වයේ ඒකාන්ත ඇත්ත එයයි.

මහා පව් වැඩ කර මිනිස්සු ඒ දේවල් උපද්දන බව අපට පෙනේ. ඒ ලැබීම්වලට මුල්වන්නේත් පෙර උපදවා ගත් පින් හෙවත් වාසනා මහිමයයි. නමුත් ඔහුට ඉපදුන පාපය නිසා මනෝ විඤ්ඥාණයේ තැම්පත් වන්නේ අකුසලය හෙවත් අවාසනාවය. එවිට මරණයෙන් පිටවන මනෝ විඤ්ඥාණය මනුස්ස නොවී දුක් ලැබෙන තැනක උපදී.

මේ අනුසාරයෙන් වාසනා අවාසනා දෙක මැනවින් හඳුනාගෙන සත්ත්වයා කෙරෙහි කරුණා මෛත්‍රී සිත් ඇති කරමින් විවිධ උපකාර කර වාසනා මහිමය උපදවා ගන්න, අපි මේ 2023 නව වසරේ අදිටන් කරමු.

වාසනාව සහ අවාසනාව

ජ්‍යොතිෂවේදී අගලවත්තේ බී. හේරත්
මහජන ක්‍රීඩාංගණය
අසල අගලවත්ත

077-2154253

advertistmentadvertistment
advertistmentadvertistment