වාස් ඇතුළු 6 එල්ලුම්ගහේමයි – ශ්‍රේෂ්ඨාධිකරණයත් තහවුරු කරයි

772

මෙයට වසර 11කට පෙර එනම් 2013 වසරේදී කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් යන අයගේ මරණය සිදුකිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනාවලට වරදකරු කර කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස කටයුතු කළ වාස් ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනකුට නියම කර තිබූ මරණීය දණ්ඩන නියෝග ඇතුළු දණ්ඩන නියෝගයන් ස්ථිර කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (08දා) තීන්දුවක් නිකුත් කළේය.

කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් ලබාදී ඇති එම තීන්දුව ප්‍රතික්ෂේප කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු පෙත්සම් විභාගයේදී ඉදිරිපත් නොවූ බවත් මහාධිකරණ විනිසුරු මඬුල්ලේ තීන්දුව තම විනිසුරු මඬුල්ල විසින් අනුමත කරනා බවත් විවෘත අධිකරණය හමුවේදී පෙන්වා දුන් විජිත් කේ. මලල්ගොඩ, ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර, අචල වෙන්ගප්පුලි හා අර්ජුන ඔබේසේකර යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිකව එම තීන්දුව නිකුත් කළේය.

පෙත්සම්කාර විත්තිකරුවන් විසින් ගොනු කර තිබූ අභියාචනා පෙත්සම් සියල්ල ප්‍රතික්ෂේප කළ විනිසුරු මඬුල්ල එකී නඩුව නැවත විභාගයට ගැනීමට මහාධිකරණයට නියෝගයක් කරන්නැයි ද විත්තිකාර වාස් ගුණවර්ධන මහතා හා ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන කර තිබූ ඉල්ලීම් ද ප්‍රතික්ෂේප කළේය. එම තීන්දුව ප්‍රකාශ කරන අවස්ථාවේදී මේ වන විට මියගොස් ඇති ගාමිණී සරත්චන්ද්‍ර යන විත්තිකරු හැර සෙසු විත්තිකරුවන් පස්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබිණි.

2013 මැයි 22 දින හෝ ඊට ආසන්න දිනකදී සිදුවී තිබූ එම පැහැර ගැනීම හා මරණය සිදුකිරීම ඇතුළු අධිචෝදනා 10ක් යටතේ නීතිපතිවරයා විසින් වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු සමීර ගුණවර්ධන, එවකට උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස කටයුතු කළ ලක්මිණ ඉන්දික බමුණුසිංහ, පොලිස් සැරයන් අතපත්තුගේ ගාමිණී සරත්චන්ද්‍ර, පොලිස් කොස්තාපල්වරුන් වන ආනන්ත පතිරණගේ ප්‍රියන්ත සංජීව හා කැළුම් රංගන දිසානායක යන විත්තිකරුවන් හය දෙනාට එරෙහිව 2014.03.31 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2015.11.27 වැනිදා තීන්දුව ප්‍රකාශයට පත් කළ ලලිත් ජයසූරිය, සරෝජනී කුසලා වීරවර්ධන හා අමේන්ද්‍ර සෙනෙවිරත්න යන විනිසුරු මඬුල්ල විත්තිකරුවන් හයදෙනාම එකී චෝදනාවලට වරදකරුවන් බවට නිගමනය කරමින් සියලු දෙනාටම මරණීය දණ්ඩනය, සිරදඬුවම් හා දඩ ගෙවීමට වෙන් වෙන්ව නියම කොට තිබිණි.

පළමුවන විත්තිකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා මිනීමැරීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ඒ සඳහා අනුබලදීම ඇතුළු ඔහුට එරෙහිව නඟා තිබූ අධිචෝදනා අටටම වරදකරු බවට නිගමනය කොට තිබූ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල මරණීය දණ්ඩනයට අමතරව වසර 10ක සිර දඬුවම් හා රුපියල් 10,000ක දඩයක් නියම කර තිබිණි.

පළමු වන විත්තිකාර වාස් ගුණවර්ධන ඔහුගේ රාජ්‍යයක් ගොඩනඟාගෙන කටයුතු කළ අයකු බවට ඉදිරිපත්වූ සාක්ෂි අනුව පෙනී යන්නේ යැයි පිටු 802ක් වූ තීන්දු ප්‍රකාශයේ සාරංශය විවෘත අධිකරණය හමුවේ කියවා දෙමින් මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ලලිත් ජයසූරිය මහතා පෙන්වා දී තිබිණි.

නීතිඥ අසිත විපුලනායක, ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු, රංජන් මෙන්ඩිස්, ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, ජනාධිපති නීතිඥ නවීන් මාරපන හා ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතිඥ මණ්ඩලයක් විත්තිකාර අභියාචකයන් වෙනුවෙන් පෙනී සිටි අතර සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියාය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment