වාහනයක් මිලදී ගැනීමට ආ ව්‍යාපාරිකයාට මාංචු දමා ලක්‍ෂ 5 ක් කොල්ලකති

381

පීසී රිමාන්ඩ් – සාජන් අතුරුදන්

වාහනයක් මිලදී ගැනිමට අනුරාධපුරේ සිට මිරිහානට පැමිණි ව්‍යාපාරිකයකු බියගන්වා ඔහු සන්තකයේ තිබුණු රුපියල් ලක්‍ෂ පහක් කොල්ල කෑ බවට සැකකරන පොලිස් කොස්තාපල්වරයකු මිරිහාන විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

මෙම මුදල් කොල්ලය සඳහා කොස්තාපල්වරයා සමඟ පැමිණි පොලිස් සැරයන්වරයා අතුරුදන් වී ඇතැයි පොලිසිය කියයි.

අතුරුදන් වූ සැරයන්වරයා නුගේගොඩ කෝට්ඨාස මහජන පැමිණිලි අංශයේ සේවය කරන අතර පොලිස් කොස්තාපල්වරයා නුගේගොඩ කොට්ඨාස රථවාහන අංශයේ සේවය කරයි.

අතුරුදන් වී සිටින පොලිස් සැරයන්වරයා මහජන පැමිණිලි භාරව රාජකාරි කිරීමේදී ඔහු කටයුතු කර ඇත්තේ ‘හොරාගේ අම්මාගෙන් පේන ඇසීම’ ලෙස බව ද ජ්‍යෙෂ්ඨ පෙලිස් නිලධාරියෙක් පැවසීය.

වාහනයක් මිලට ගැනීමට පැමිණි ව්‍යාපාරිකයා පිළිබඳව සැකකාර පොලිස් නිලධාරීන්ට දැනුම්දී ඇත්තේ වාහන බ්‍රෝකර්වරයකු වන අතර පොලිසිය එම බ්‍රෝකර්වරයාව ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 12 වැනිදා ව්‍යාපාරිකයා මිරිහානට එන අතරමඟදී සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා ඔහු පැමිණි වාහනය නවතා ව්‍යාපාරිකයාට මාංචු දමා මුදල් පැහැරගෙන ඇත.

නෝමන් පලිහවඩන


advertistmentadvertistment