වැට් කුමාරයා සමග එළඹෙන නව අවුරුද්ද

513

නව වසර (2024) අභිමුව අප සිටින්නෙමු. අනේක විධ බාධක දුක් හිරිහැර මැද ගෙවීගිය වසර දෙස ආපසු හැරී බැලීමේදී මේ රටේ ජනතාවට ලැබුණු දේට වඩා නොලැබුණු දේ වැඩිය. දුප්පත්කමින්, මන්දපෝෂණයෙන්, උද්ධමනයෙන් පෝෂිත රාජ්‍යයක් අපට ලැබුණේ අතීතයේදී මෙරට පාලකයන් ගත් නූගත් මෝඩ තීන්දු නිසාවෙනි. එනිසාම එළඹෙන නව වසරේවත් මේ රට යහපත් දිශාවකට හැරවීමට නායකකාරකාදීන්ට නැණ නුවණ පහළවේවා යැයි අපි ප්‍රථමයෙන් ප්‍රාර්ථනා කිරීමට කැමැත්තෙමු.

නව වසර එළඹෙන්නේ 18% වැට් කුමාරයාත් සමගය. එනිසා බොහෝ භාණ්ඩ හා සේවාවල මිල ඊට සාපේක්‍ෂව වැඩි වූ විට රටේ ජනතාවට අබසරණය. වැට් ඇතුළු අනෙකුත් බදුවලින් හෙම්බත් වූ ජනතාව ඉන් මුදාගැනීම සඳහා යම් වැඩපිළිවෙළක් සකස් කිරීම අදාළ බලධාරීන්ගේ යුතුකමකි. විශේෂයෙන් ජනතාවගේ ක්‍රය ශක්තිය වැඩි කිරීම සඳහා ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට උපායමාර්ගික සැලසුම් සෑදීම ඔවුන්ගේ යුතුකමකි.

දැනටමත් පවතින බඩු මිල දරා ගැනීමට ජනතාවට හැකියාවක් නොමැත. වැටුප් ලබාගෙන සතියක් දෙකක් යද්දී ජනතාවගේ සාක්කු හිස් ය. අද රටේ බහුතර ජනතාව මුහුණ දෙන යථාර්ථය මෙය බව රහසක් නොවේ. තමන්ට ලැබෙන වැටුපෙන්, ආදායමෙන් ගෘහය තුළ වියදම් කළමනාකරණය කර ගැනීමට නොහැකිව ළතැවෙන ගෘහ මූලිකයන්ගේ සෝ සුසුම් මේ රටේ පාලකයන් තේරුම් ගත යුතුය. ජනතාව වෙනුවෙන් කළ හැකි අවම දේ පවා නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා අහිමි වෙන තත්ත්වයක් උදා වී තිබේ. ඊට හොඳම උදාහරණය බඩු මිලය. අද බඩු මිල පාලනය කරනු ලබන්නේ තනිකරම වෙළෙඳුන්ය. පාරිභෝගික අධිකාරියක් ඇතත් ඒ සඳහා මැදිහත් වන බවක් අපි දකින්නේ නැත. දරුවන්ට පෝෂණය ලබාදෙන බිත්තරයක, මාළු කෑල්ලක මිල පවා තීරණය කරන්නේ වෙළෙන්දෝ ය. පාලන මිලක් දැමූ විට විවිධ වංගු ගසා යළිත් තමන්ගේ මඩිය තරකර ගැනීමට මේ වෙළෙන්දෝ අතිශය දක්‍ෂය. හාල් වෙළෙඳපොළ ද එසේමය. අද අප රටේ සහල් මිල තීරණය කරන්නේ මහා පරිමාණයේ සහල් මෝල් හිමියන් කිහිපදෙනෙකි. එළවළු මිල ද එසේමය. එනිසා වෙළෙඳ මාෆියාවට ඕනෑ අයුරින් බඩු මිල තීරණය කිරීමට ඉඩ නොදී වෙළෙන්දාත් රැකෙන, පාරිභෝගිකයාටත් සහන ලැබෙන වෙළෙඳපොළක් නිර්මාණය කිරීමට අදාළ බලධාරීන් වහා පියවර ගත යුතුව ඇත.

පවතින ආර්ථික අර්බුදය හමුවේ වැඩි වී ඇති භාණ්ඩ මිලෙන් පාරිභෝගිකයා මුදාගැනීම සඳහා කළ හැකි එකම ක්‍රමවේදය ඔවුන්ගේ ක්‍රය ශක්තිය වැඩි කිරීම බව අප මෙම සටහනේ මුලදීම මතක් කළෙමු. ඒ සඳහා ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග රැසක් ඇති බව අපගේ විශ්වාසයයි. රජය ඒ සඳහා කළ යුත්තේ අප රටේ ජනතාවගේ ශ්‍රමයෙන් උපරිම දායකත්වය ලබාගත හැකි අයුරින් නිෂ්පාදන ආර්ථිකයකට මුල පිරීමයි. දැනටමත් යම් වෘත්තියක නිරත වන අයට පවා තමන්ගේ සේවා කාලයෙන් පසුව අතිරේක ආදායම් මාර්ගවලට යොමු කළ හැකි ක්‍රමවේදයක් සකස් කිරීම ඊට හොඳම ක්‍රියාමාර්ගයකි. ඒ සඳහා විදෙස් ආයෝජකයන් සම්බන්ධ කරගෙන හෝ කර්මාන්තශාලා ඇරඹිය හැකි නම් එය රටටත් ඩොලර් ලැබෙන, ජනතාවගේ සාක්කුත් පිරෙන ක්‍රියාමාර්ගයක් වනු ඇත. ඊට අමතරව ගෘහස්ථ කර්මාන්තවලට පණදෙන වැඩපිළිවෙළකට රජයට මැදිහත්වීමට පුළුවන. ඒ සඳහා රජය මැදිහත් වන්නේ නම් ජනතාව වඩා විශ්වාසයකින් ඒ සඳහා එක්කාසු වනු ඇත. අවශ්‍ය වන්නේ අදාළ භාණ්ඩ සඳහා හොඳ වෙළෙඳපොළක් නිර්මාණය කිරීම පමණි. එය දේශීය වෙළෙඳපොළට පමණක් සීමා නොවී ජාත්‍යන්තර මට්ටම දක්වා පුළුල් කළ හැකි නම් ලැබෙන ප්‍රතිලාභ දෙගුණ තෙගුණ වනු ඇත.

මේ සියල්ල කළ හැක්කේ අවංක දේශපාලන නායකත්වයකට පමණි. කොමිස් ගහන, බෙහෙත් පෙත්තෙන් පවා සොරා කන, තමන්ගේ මඩිය තර නොවන්නේ නම් එන විදේශ ආයෝජන පවා ආපසු හරවා යවන කාලකණ්ණි ජඩ දේශපාලන සංස්කෘතියකට කොමාවක් නොව තිතක් තැබිය හැක්කේ අවංක දේශපාලන නායකත්වයකට පමණි. එවැනි නායකත්වයකට මේ රට ගොඩනැගිය හැකිය. රටත් රැකෙන, ජනතාවත් රැකෙන එවන් දේශපාලනික ඇරඹුමකට එළඹෙන නව වසරේ දොරගුළු විවර වේ නම් එය රටේ වාසනාවකි.

advertistmentadvertistment
advertistmentadvertistment