වැට් බද්දෙන් නිදහස් අංශ ලැයිස්තුවට පොත් කර්මාන්තයත් ඇතුළත් කරන්න – ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති රජයෙන් ඉල්ලයි

45

ඉදිරි අයවැයෙන් වැට් බද්දෙන් නිදහස් අංශ ලැයිස්තුවට පොත් කර්මාන්තය ඇතුළත් කරන ලෙස රජයට යෝජනා කරන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඊයේ (10දා) පැවසීය.

සංගම් 4ක් එක්ව පැවැත්වූ මෙම මාධ්‍ය හමුවේදී මෙම සංගම් හතර පෙන්වා දී ඇත්තේ, දේශීයව පොත් නිපදවීමේදී මිනිස් ශ්‍රමය හැර අන් සියලු ද්‍රව්‍යයක්ම ආනයනය කරනු ලබන අතර, එහිදී ආනයනය කරන අවස්ථාවේ සිටම ශ්‍රී ලංකාවේ පොත් කර්මාන්තය මත දැනටමත් 33.045%ක බදු ගෙවමින් ඇති බවයි. එයට අමතරව පොත් විකුණන අවස්ථාවේදී ද 18%ක එකතු කළ අගය මත බද්දක් පැනවීම හේතුවෙන් බොහෝ පිරිසකට දරාගත නොහැකි වන අයුරින් පොත්වල මිල ඉහළ ගොස් ඇති අතර, කුඩා පරිමාණ ප්‍රකාශක ව්‍යාපාර වැසී යෑමේ අනතුරට මුහුණ පා ඇති බවද එමගින් පෙන්වා දී තිබේ.

“පොත් සඳහා වැට් බදු පැනවීම නිසා කර්මාන්තයට ඇතිවන සෘජු බලපෑම් හා නොයෙකුත් විෂමතා අපි රජයේ අවධානයට යොමු කර තිබෙනවා” යැයිද සමන්ත ඉන්දීවර මහතා පැවසුවේය. මෙහිදී ඉදිරිපත් වූ තවත් කරුණක් නම් ප්‍රකාශන සමාගම් බහුතරයක් වැට් බදු ගෙවීමට සුදුසුකම් නොලබන කුඩා පරිමාණයේ ආයතන වන නිසා ඔවුන් දේශීයව නිෂ්පාදනය කරන පොත්වල යෙදවුම් සඳහා ගෙවන වැට් බද්ද සහ පොත් ආනයනය සඳහා ගෙවන වැට් බද්ද නැවත ලබාගත නොහැකි තත්ත්වයක් පැවතීමයි” යැයි ඉන්දීවර මහතා තවදුරටත් පැහැදිලි කරමින් පැවසුවේ මහා පරිමාණ ප්‍රකාශන සමාගම් 12ක් පමණ විකුණුම් මත වැට් බද්ද ගෙවීමට සුදුසුකම් ලබා ඇති බැවින් යෙදවුම් මත ගෙවන බද්ද අඩු කරගත හැකි වන්නේ එම සමාගම්වලට පමණක් බවයි.”

1950 යුනෙස්කෝ ෆ්ලොරන්ස් ගිවිසුම අනුව ආනයනය කරනු ලබන ඇතැම් අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික ද්‍රව්‍ය සඳහා රේගු බදු නොපැනවීමට ගිවිසුම්ගත රාජ්‍යයයන් බැඳී සිටින නමුත් ශ්‍රී ලංකාව එය උල්ලංඝනය කරන බවද ඔහු කීය.

පොත් සඳහා වැට් බදු පැනවීම මගින් ශ්‍රී ලංකාවේ ඉතිහාසය, සංස්කෘතිය, සාරධර්ම සහ සම්ප්‍රදායන් පිළිබඳ දැනුම ලබාගැනීමේ ක්‍රියාවලියට දිගුකාලීන සෘණාත්මක සමාජ ආර්ථික බලපෑම් ඇති කරවන බවත්, එමෙන්ම නිර්මාණාත්මක ප්‍රකාශනය සඳහා ඇති අවස්ථා අඩපණ කරමින් හා අධ්‍යාපනය මිල අධික කරමින් ඇතැම් පොත් ව්‍යාපාර වසා දැමීමේ තත්ත්වයටද පත් වී ඇති බවත්, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් දිනේෂ් කුලතුංග මහතා සඳහන් කළේය.

ඒ පිළිබඳව අදහස් දැක්වීමේ මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර, ලේකම් දිනේෂ් කුලතුංග, ග්‍රන්ථ ප්‍රකාශක ඇඹිලිපිටියේ විජිත හිමි, ලංකා ලේඛක සංවිධානයේ ලේකම් කමල් පෙරේරා, පොත් ආනයන අපනයන කරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් සමරසේකර, පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ භාණ්ඩාගාරික අතුල ජයකොඩි ඇතුළු මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වූ අන්දම ද මෙහි වෙති.

නිමල් දයාරත්න


advertistmentadvertistment