වැටි වැටී නැගිටපු වික්ටර් මාලනී ආදරය – අබ්ලික් Story

766

වික්ටර් මීගමුව පැත්තේ පුංචි ව්‍යාපාරයක් කරගෙන ගිය පුද්ගලයෙක්. වික්ටර් විවාහ වුණේ මීට අවුරුදු විස්සකට විතර උඩදියි. එයාට දරු මල්ලොත් හිටියා.

 වික්ටර්ට මාලනීව හම්බවෙලා දැන් වසර පහළොවක් විතර ගතවෙලා. මාලනිත් මීගමුව පැත්තෙම පදිංචි කාන්තාවක්. හැබැයි මාලනීට වික්ටර්ව හම්බ වෙනකොට එයා විවාහවෙලා හිටියේ නැහැ.

 වික්ටර් තමන්ගෙ නීත්‍යනුකූල බිරිඳව පැත්තක තියලා මාලනීට පේ‍්‍රම කරන්න පටන් ගත්තා. මාලනිත් බොහොම හැඩකාර කාන්තාවක්. මාලනී අඟර දඟර දාල යනකොට තරුණයෝ විතරක් නෙවෙයි වයසක මිනිස්සුත් දෙපාරක් හැරිල බලන තරම් රූපයක් ඇයට තිබුණා.

 මාලනී මට දැන් ඔයා නැතිව ජීවිතයක් නැහැ. අපි දෙන්නා එකට ජීවත් වෙමු. ඔයාට ඕන හැම සැප සම්පතක්ම මං දෙන්නම්.වික්ටර් මාලනීට කිව්වා. ඒ වෙනකොට මාලනිගෙ හැම ඕනෑඑපාකමක්ම බැලූවේ වික්ටර්. එයාගේ යෝජනාවට මාලනිත් එකපයින් කැමති වුණා.

 වික්ටර් තමන්ගෙ දරුවො දෙන්නයි බිරිඳවයි අතඇරලා දාල මාලනී එක්ක වෙනම පවුල් ජීවිතයක් ගත කරන්න පටන් ගත්තා. දැන් අවුරුදු 15 ක් තිස්සේ මේ අනියම් හාදකමත් එක්ක එකට ගත කරන පවුල් ජීවිතය ගෙවිල යනවා.

 ඔය අතරේ මාලනියි වික්ටරුයි අතරේ පුංචි පුංචි නොහොඳ නෝක්කාඩු කම් ඇති වෙන්න පටන් ගත්තා. මාලනීට වික්ටර්ව දිරවන්නෙ නැති ගතියක් ඇති වුණා. මාලනීට වික්ටර් ගැන තියෙන ආදරය ආශාව උනන්දුව ටිකෙන් ටික අඩුවෙලා ගියා.

 තමුසෙ දැන් මං ගැන කිසි දෙයක් බලන්නෙ නැහැ. මං මගේ ගෑනිවයි ළමයි දෙන්නවයි දාල ආවෙ තමුසෙ නිසා.

 වික්ටර් මාලනීට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කළා. මාලනිත් ඇරියේ නැහැ. කැත්තට පොල්ල වගේ හිටියා.

 මටත් කියන්න තිනේනෙ ඒ ටිකමයි. කසාද බැඳපු මිනිහෙක් එක්ක ඇවිත් මමත් කරගත්තෙ ලොකු විනාශයක්. අපරාදෙ මගෙ ජීවිතේ. මාලනී වික්ටර්ට බැණවැදුණා. මේ නොහොඳ නෝක්කාඩු වීම් දුරදිග යන්න වැඩි කාලයක් ගතවුණේ නැහැ. අන්තිමේදී මේවා ගැටුම් දක්වාම දුරදිග ගියා.

 මං උඹට යහතින් ඉන්න ඉඩ තියන්නෙ නැහැ. උඹ වෙනුවෙන් මං නොකළ දෙයක් නැහැ. මේ වෙනකොට කෝටි ගාණක් උඹට වියදම් කරල තියෙනවා.

 වික්ටර් බැණවැදුනා. වික්ටර්ට කෝපය පාලනය කරගන්න බැරුව හිටියේ. මීට අවුරුද්දකට විතර උඩදී දවසක් මාලනී හදිසි ගමනක් ගිහින් එද්දී මග රැකල හිටිය වික්ටර් ඇයට ඇසිඞ් ප‍්‍රහාරයක් එල්ල කළා. ඇසිඞ් ප‍්‍රහාරයෙන් මාලනීගේ මුහුණේ පැත්තක්ම පිළිස්සිලා ගියා. ති‍්‍රරෝද රථය එළවපු තැණයාටත් සුළු තුවාල වුණා.

 අන්තිමේදී වික්ටර්ව පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ වික්ටර්ට එරෙහිව නඩු පැවරුවා.

 දැන් වික්ටර්ට එරෙහි නඩුව මීගමුව අධිකරණයේ විභාග වෙනවා. ටික දවසක් යද්දී වික්ටර්ට මාලනී ගැන ඇතිවුණේ පුදුමාකාර දුකක්. මාලනීගේ අඩක් පිළිස්සුණු මුහුණ දකින දකින වාරයක් ගාණේ වික්ටර්ගේ හදවත කඩාවැටෙනවා.

 අනේ මාලනී මට සමාවෙන්න. මේක මං කළේ මගේ හිතට ආව ආවේගය නිසයි. මට ඔයා නැතිව ජීවත් වෙන්න බැහැ. මං ඔයා වෙනුවෙන් ඕන දෙයක් කරන්න ලෑස්තියි. වික්ටර් මාලනී ඉදිරියේ හඬා වැළපුණා. දැන් මාලනීටත් මාර දුකයි.

 මගෙත් වැරදි තිබුණා. මටත් තිබුණා ඔයා ගැන මීට වඩා හොයල බලන්න. ඔයා මං වෙනුවෙන් ගොඩක් දේවල් කැප කරපු කෙනෙක්. මාලනී වික්ටර් ගැන දුක් වුණා. දැන් දෙන්නා ආයෙත් එකට පවුල් කන්න පටන් අරන්. ඒත් වික්ටර්ට එරෙහි නඩුව මීගමුව අධිකරණයේ විභාග වෙනවා.

 නඩුවට ඉදිරිපත් වෙන්න දෙන්නම අධිකරණයට යන්නෙ එකට. දෙන්න ආයෙත් එකට පවුල් කෑවට වික්ටර් කරපු වැරැුද්දට එරෙහිව ඔහුට නීතිය කි‍්‍රයාත්මක වුණා. පසුගිය දවසක මීගමුව අධිකරණය මාලනීගෙන් විමසුවා වික්ටර්ගෙන් මොන වගේ වන්දියක්ද ඕනෙ කියලා.

 අනේ ස්වාමීනී අපි දෙන්නා දැන් ආයෙත් සමගියෙන් එකට පවුල් කනවා. මට මෙයාගෙන් ශත පහකවත් වන්දියක් එපා. පුළුවන්නම් මෙයාට සමාව දෙන්න. මාලනී අධිකරණයෙන් ඉල්ලූවා. ඒත් වික්ටර්ට සමාවක් දෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අන්තිමේදී වික්ටර්ට වසරක සිරදඬුවමක් නියම කළා. එම දඬුවම වසර දහයකට අත්හිටුවීමට විනිසුරුවරයා නියෝග කළා. කොහොම හරි අන්තිමේදී දෙන්න කුරුලූ ජෝඩුවක් වගේ අධිකරණයෙන් පිටවෙලා ගියා. මේ කතාව අපට කිව්වේ මීගමුව ‘දිවයින’ මාධ්‍යවේදී විමල් කීර්ති මහතායි.

 – රණදේව

advertistmentadvertistment
advertistmentadvertistment