වැටී ඇති රට යළි ගොඩගත හැක්කේ අලුත් ආර්ථිකයක් තුළින් පමණයි – අගමැති රකිමු ජයතු ලංකා වෘත්තීයවේදීන් හමුවේ කියයි

83

විදේශ විනිමය උපයන විවෘත ආර්ථියක් ඇති කළ යුතුයි

 ආර්ථික වශයෙන් වැටී ඇති රට යළි ගොඩනැගීමට නම් සියළු දෙනා රැකියා කරන, විදේශ විනිමය උපයන සහ විවෘත ආර්ථික රටාවකට හුරුවූ අළුත් ආර්ථිකයක් විය යුතුයැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය ඇත.

 රකිමු ජයතු ලංකා සංවිධානය සහ නිර්මාණාත්මක වෘත්තීයවේදීන්ගේ සංගමය විසින් ඉකුත් 03දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පවත්වන ලද සමුළුවේදී ප්‍රධාන දේශනය පවත්වමින් අගමැතිවරයා එසේ සඳහන් කළේය.

 එහිදී අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

 මේ ආර්ථික අර්බුදයෙන් මතු වූ අනෙක් අර්බුදය නම් දේශපාලනික අර්බුදය සහ රට මේ තත්ත්වයට ඇද වැටීමට හේතු වූ දේශපාලනික ව්‍යූහය පිළිබඳ වූ විශ්වාසය බිඳී යෑමයි. මේ අවස්ථාවේදී අප විසින් එහි ප්‍රතිවිපාක විඳිමින් සිටිනවා. දෙවැනි අර්බුදය නම් යුක්රේන යුද ගැටුම නිසා ඇති වී තිබෙන

 ගෝලීය බලපෑමයි. මේ වන විට අප එහි ආරම්භක අවස්ථාව වශයෙන් ඛනිජ තෙල් මිල ඉහළ යෑම අත්විඳිිමින් සිටිනවා. මේ තත්ත්වය ඉදිරියේදී තවත් දරුණු අතට හැරෙනු ඇති අතර ආහාර අර්බුදයක්ද මතු වනු ඇත. එය 2024 තෙක් ගෝලීයව පවතිනු ඇත.

 ඉහළ යන තෙල් මිල, තිරිඟු මිල සහ නැවතත් මතුවන රසායනික පොහොර හිඟයෙන් මුළු ලොවම බැටකන තතත්වයට පත්ව තිබෙනවා. කැලිෆෝනියාවේද, බ්‍රසීලයේද රසායනික පොහොර අර්බුදය මතුවී ඇත. එය පිරිමසා ගත හැකි විදියක් නැත. එමෙන්ම ලොව ආහාර අර්බුදයක් මතුවෙමින් පවතින අතර බොහෝ රටවල් ආහාර ආනයනය තහනම් කර ඇත. දෙවැනි අර්බුදය මතු වන්නේ එහිදීය.

 අපගේ රටට දැනටමත් විදේශ සංචිත අහිමිවී තිබෙනවා. මේ එහි ආරම්භක අවස්ථාව පමණයි. ඔබ නොදන්නා කරුණ නම් මේ වන විට අග්‍රාමාත්‍ය ධූරයට අමතරව මා විසින් ගිනි නිවීමේ භටයෙකුගේ රාජකාරියද කළ යුතුව ඇත. සෑම දිනකම ඩොලර් මිලියන 20-40ක ප්‍රමාණයක් නැව්වලට ගෙවීම සඳහා සපයා ගත යුතුව ඇත. එක් ගෙවීමක් හෝ මඟහැරුණොත් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් මතු වනු ඇත. මේ ආකාරයට රජයක් පවත්වා ගෙනයා නොහැකියි. දැනට පවතින අර්බුදය මේසා දරුණු යුක්රේන අර්බුදයද තීව්‍ර වූ විට සිදු වන දේටත් වඩා සිතා ගත නොහැකි තරම්ය.

 අපගේ ආර්ථිකය කඩා වැටී ඇත. රාජ්‍ය ආයතන රුපියල් ටි්‍රලියන ගණනින් පාඩු ලබා ඇත. ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ නොලැබෙන ව්‍යාපෘති රැසක් ඇත. ප්‍රමුඛතා ලැයිස්තුවක් නොමැති වීමෙන් ප්‍රශ්නය තවත් දරුණු වී ඇත. විවිධ ආයතන විදෙස් ණය ආධාර යටතේ අත්තනෝමතිකව පොහොර, ඉන්ධන යනාදිය ගෙන්වීමට පටන් ගත්හ. එහෙයින් මුලින්ම අපට ප්‍රමුඛතා ලැයිස්තුවක් සැකසීමට සිදුවිය.

 රටේ ආර්ථිකය කඩාවැටෙන විට රැකියා දහස් ගණනක් අහිමි වනු ඇත. මහා පරිමාණ හා කුඩා පරිමාණ ව්‍යාපාර රැසක් වැසී යමින් පවතී. ඉදිරි කාලයේදී තුන් වේලෙන් දෙවේලකට හුරු වීමට අපගේ ජනතාවට සිදුවනු ඇත. අප විසින් සාගතය මඟ හැරිය යුතුව ඇත. ඒ සඳහා අපගේ මිත්‍ර රටවල්වල සහයෝගය ලබා ගැනීමට සිදුවී ඇත. උමඟේ කෙළවර ආලෝකය ඇතත් ඒ දෙසට ගමන් කිරීමේදී නාය යෑම් වැළැක්වීමට කටයුතු කළ යුතුය. ඒ සඳහා ඩොලර් බිලියන ගණනක ආධාර අවශ්‍යව ඇත. ජපානය 1952 සිටම අපගේ මිත්‍ර රාජ්‍යයකි. මෑතකදී සිදුවූ සිදුවීම නිසාවෙන් ඔවුන්ගේ සිත් රිදී ඇත. ඇ.ඩො. බිලියන 03ක වටිනාකමින් යුත් විදෙස් ආධාර කිසිඳු ස්තූතියකින් හෝ සාකච්ඡාවකින් තොරව ප්‍රතික්ෂේප කරන්නේ කුමන රටක්ද? එවන් රටවල්වල විශ්වාසය යළි ගොඩනඟන්නේ කෙසේද? ඉන්දියාව අපට උදව් කිරීමට පැමිණීම අපගේ වාසනාවකි. චීනයද ආධාර කිරීමට පැමිණියද රජයේ ඇමැතිවරයෙක් ස්විප් ණය පහසුකමක් ලබාගෙන ඇති අතර ඒ මුදල් ප්‍රයෝජනයට ගත නොහැක. කලින් පැවැති රජයට විදෙස් ආධාර පොරොන්දු වී තිබුණද එය ප්‍රමාණවත් නොවේ. ජපානය වැනි රටවල් සමඟ විශ්වාසය ගොඩනැඟිය යුතුය. ඉන්දියාව, චීනය මෙන්ම ජපානය ඇතුළු අනෙකුත් රටවල්ද අපට වැදගත්ය. ඉන්පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර ඉක්මනින් ගිවිසුමකට එළඹ යුතුව ඇත. ඒ තවත් රටවල් රැසක් මේ වන විට විධායක මණ්ඩලයට යෑමට නියමිත බැවිනි. ඒ සමඟම අපගේ ණය පිළිබඳවද තීරණයක් ගත යුතුව ඇත. ණය හවුල කෙසේ ක්‍රියා කළ යුතුද?

 මේ වන විට අප ආර්ථික ස්ථායීකරණ වැඩසටහනකට එළඹ සිටිනවා. මා විසින් ඒ සඳහා මණ්ඩලයක් පත් කර ඇති අතර ඔවුන් රැස්වී මුදල් යොදවා ආර්ථිකය යළි ගොඩනැඟීම උදෙසා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් යනවා. එහෙත් යළි ගොඩනැඟීමට එය ප්‍රමාණවත් නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු අනෙකුත් රටවල ආධාර ලැබෙන තෙක් අවශ්‍ය මුදල් සම්පාදනය කර ගත යුතුයි. ඒ සඳහා ප්‍රතිපත්ති තීරණය කළ යුතුව ඇත.

 මෙම අසීරු කාල සීමාව මෙම වසරේ සහ එළඹෙන වසරේ මැද දක්වා පමණක් පැවතීමට අප යුහුසුළුව ක්‍රියා කළ යුතුයි. එසේ වුවහොත් 2025 වන විට අපට යළි ආර්ථිකය ගොඩනැඟීම ආරම්භ කළ හැකියි. පෙර පැවැති ස්ථාවර ආර්ථික රටාව සහ ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක් කරා යළි ළඟා විය හැකියි.

 අළුත් ආර්ථිකයේ සියළු දෙනා උපයන, විදේශ විනිමය උපයන සහ විවෘත ආර්ථික රටාවකට හුරුවන එකක් විය යුතුයි. පැරණි ආර්ථික ක්‍රමය අසාර්ථක වී ඇත. මෙතෙක් කලක් අප රට අභ්‍යන්තරයට පමණක් සීමා වී අළුත් ආයෝජන අවස්ථා මඟහැරී ඇත. ආයෝජන අවස්ථා රැසක ඉල්ලුම්පත් කොතැනක හෝ සිරවී තිබෙනු මා අනන්තවත් දැක ඇත. මේ සියළු අවස්ථාවන් සඳහා අළුත් චින්තන රාමුවක් සැකසිය යුතුය. ඒ සඳහා ඔබගේද දායකත්වය ලබාදිය යුතුයි.

 බොහෝ රටවල් අපට ආධාර දීමට පෙර අසන්නේ මෙම අර්බුදයෙන්

 ගොඩ ඒම සඳහා ඔබලා විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? යන්නයි. ඒ සඳහා මා පිළිතුරු සැපයිය යුතුයි. නැතහොත් අපට ඉදිරි ගමනක් නැත. මිනිසුන්ට ඊට එරෙහිව උද්ඝෝෂණය කළ හැකියි. එහෙත් අප අපට උපකාර කර නොගතහොත් අන් කිසිවෙකුත් අපට උපකාර නොකරනු ඇත. එහෙයින් පවතින රටාව වෙනස් කිරීමට සහ අසීරු කාල පරිච්ඡේදයකට මුහුණ දීමට අප සූදානම් විය යුතුව තිබෙනවා.

 අවසානයේ අප පැමිණෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කරාය. අප ඒ සඳහා බි්‍රතාන්‍ය ජාතිකයන්ගේ ව්‍යවස්ථාව පාදක කර ගන්නවා. එහිදී බහුතරයකට බලය ලැබුණු විට සුළුතරය කෑගැසීමට පටන් ගත් එකකි. එහෙත් එය ඉන් අනතුරුව ජනරජ ව්‍යවස්ථාවක් බවට පරිවර්තනය විය. ජනපති ක්‍රමය අහෝසි කළහොත් නැවතත් ඉංග්‍රීසි වෙස්ට් මිනිස්ටර් ක්‍රමය කරා යනවාද නැතහොත් සහයෝගීතාව මත පදනම් වූ ඩොනමෝර් ආණ්ඩුක්‍රමය වැනි රටාවකට හුරුවනවාද?

advertistmentadvertistment
advertistmentadvertistment