රටේ කුමන ප්‍රශ්න තිබුණ ද දැන් අපට ක්‍රිකට් නැතිවම බැරිය. ඒ තරමටම ක්‍රිකට් අපට ජීර්ණය වී ඇත. ජීවත්වන්නට නොහැකි තරමටම ජීවන දර්ශකය ඉහළ ගොස්, තෙල්, ගෑස් පෝලිම්වල ලැගපු කාලයේ වුවද, අපි ක්‍රිකට් ගැන කතා කළෙමු. ඒ එක අතකින් ශ්‍රී ලංකාව නමැති අපගේ මේ පුංචි දූපත ලෝකයට ගියේ ක්‍රිකට් නිසා බැවිනි. එහෙමත් නැතිනම් ක්‍රිකට් නමැති උන්මාදය අපට දැන් වැළඳී ඇති බැවින් ප්‍රශ්නවලින් වෙළී, පැටලී, තෙරපී සිටින අපට හිත සතුටු කරගැනීමට යමක් වේ නම් ඒ ක්‍රිකට් වීම නිසාය.
අඩියෙන් අඩිය අඩියෙන් අඩිය ගොස් 1996 වසරේදී ලෝක කුසලානය ජයග්‍රහණය දක්වා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ගමන අනතුරුව පසු ගිය කාලයේ ලිෆ්ට් එකේ පල්ලම් බැසීම නිසා අපට ක්‍රිකට් එපා විය. කොටින්ම හිත උඩින් ක්‍රිකට් වහ කදුරු ගාණට වැටුණත්, හිත යටින් අපට ක්‍රිකට් ඕනෑ විය. එනිසාම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ (ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෙස අප මෙහිදී හඳුන්වනු ලබන්නේ ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම ය.) ජයග්‍රහණයක් අපි හැමවිටම ප්‍රාර්ථනය කළෙමු. එනමුත් අපගේ කණ්ඩායම දිගින් දිගටම අසමත්වීම නිසා අපට මරු ජුවල් නැග්ගේය. ආයිනම් ක්‍රිකට් දිහා පැත්ත හැරිලා බලන්නේ නැතැයි ඇතැමකු කීවේය. කොටින්ම අපගේ ක්‍රිකට් කණ්ඩායම ලැබූ අවසන් ජයග්‍රහණයක් ගැන දැන් අපට අමතක තරමටම ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම අපට ක්‍රිකට් එපා කරවීය. ඒ නිසාම අපි ලෝකයේ අනෙකුත් කණ්ඩායම් ක්‍රිකට් ගසන අයුරු බලා සිටියෙමු. පසුගියදා ඇමෙරිකාවේ පැවැති විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අපි අපේ ක්‍රිකට් පෙට්ටියට ඇණ ගසා ඒ පෙට්ටිය අපි වළ දැමුවෙමු.
ඒ අස්සේ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම අපූරු ජයග්‍රහණයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන් යළිත් අවදි කළ අතර, ඇණ ගසා වසා දැමුණු ක්‍රිකට් පෙට්ටිය ද ගොඩ ගැනිණි. අප එහිදී තීරණය කළේ දිගින් දිගටම පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් නරඹනු වෙනුවට, මින් පසු දිගින් දිගටම කාන්තා ක්‍රිකට් තරග නැරඹීමටය. සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පල්ලෙකැලේදී පැවැති විස්සයි-විස්ස ක්‍රිකට් තරගාවලිය පරාජයට පත්වීම ද අපි කාන්තා ක්‍රිකට් සරණ යෑමට තීන්දු කිරීමට තවත් හේතුවක් විය.
ඒ කෙසේ වෙතත්, මේ අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම (පිරිමි) අතර තරග තුනකින් යුත් එක් දින තරගාවලිය 2-0 ලෙස ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමත් විය. මෙය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ජයග්‍රහණ නියඟයට වැටුණු තරමක වර්ෂාවකි. මෙසේ
ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ඉන්දියාවට එරෙහිව එක් දින තරගාවලියක් ජයග්‍රහණය කරනු ලබන්නේ වසර 27 කට පසුවීම ද විශේෂ සිදුවීමකි. අද සනත් ජයසූරිය පුහුණුකරු ලෙස කටයුතු කර ඉන්දියාවට එරෙහිව එක් දින තරගාවලියක් ජයගන්නා මේ මොහොතේ මතක් කළ යුතු තවත් කරුණක් වන්නේ මීට වසර 27 කට පෙර ඉන්දියාවට එරෙහිව එවන් ජයග්‍රහණයක් වාර්තා කරන්නේ ද සනත් ජයසූරියගේ නායකත්වයෙන් බවය. කෙසේ හෝ පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී ලද පරාජයට මෙම ජයග්‍රහණය යම් අස්වැසිල්ලක් වනු ඇති බව කිව යුතුය. අපගේ කල්පනාව නම්, ආසියානු ජයග්‍රහණය ලබමින් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරදවා ලබාගත් ඓතිහාසික ජයග්‍රහණය ඉන්දීය පිලම පරදවන්නට පිරිමි කණ්ඩායමට යම් උත්තේජනයක් වන්නට ඇති බවයි.
මෙම ජයග්‍රහණයෙන් පසු මාධ්‍යයට අදහස් දක්වා ඇති තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලද දුනිත් වෙල්ලාලගේ කියා ඇත්තේ අපේ ක්‍රීඩකයින් හරිදේ කළොත්, ලෝකයේ ඉන්න ඕනෑම කණ්ඩායමක් පරාජය කරන්නට අපට පුළුවන් බවයි. ඒ හැමදේම මෙවර කරන්නට පුළුවන් වූ බවද, පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ මෙන් නොව, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දඟ පන්දු යවන්නන්ට ඇති උචිත බව ප්‍රයෝජනයට ගනිමින් කරන ලද උපාය මාර්ගික සැලසුම මෙවර ජයග්‍රහණය කළ බවයි.
ක්‍රිකට් ගැසීම ගැන උපායශීලී බව දන්නේ අප නොව, ක්‍රිකට් ගසන කණ්ඩායම සහ පුහුණුකරුවන් ඇතුළු ක්‍රිකට් බෝර්ඩ් එකය. එසේ හෙයින් දන්නා උපායශීලී බවක් දමා ක්‍රිකට් තරග ජයගැනීම (කාන්තා හෝ පිරිමි) රටේ බලාපොරොත්තුවයි. මෙම උත්තේජනය භාවිතයට ගෙන රටේ වැටුණු ක්‍රිකට් ගොඩදැමිය හැකි බව අපගේ විශ්වාසයයි. නොහොත් ඇණ ගසා වළ දමා තිබුණු ක්‍රිකට් පෙට්ටිය කාන්තා කණ්ඩායම විසින් ගොඩගෙන ඇති නිසා සහ පිරිමි කණ්ඩායම දැන් ඒ ඇණ එකින් එක ගලවමින් සිටින නිසා යළිත් අපට ක්‍රිකට්වලින් ගොඩ යා හැකි බවට බලාපොරොත්තුවක් මෝදු වී ඇත.