මේ වන විට රජය විසින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් ප්‍රකාශයට පත් කර ඇත. මේ ගැන පසුගිය කාලයේ විවිධ අදහස් පළ වී ඇත. එනම් පසුගිය කාලය තුළ මුද්‍රිත, විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම දේශපාලන වේදිකාවේ ද රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජයට විවිධ විවේචන එල්ල විය. ඒ අතර ප්‍රධාන විවේචනයක් වූයේ මේ වැටුප් වැඩි කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් නොමැති බවයි. එසේම මේ සඳහා කැබිනට් අනුමැතියක් ලබාගෙන නැති බවට ද ඇතැම් අය තුළ මතයක් ඇත. මේ අතරම මුදල් අමාත්‍යාංශය විසින් ද රාජ්‍ය අංශයේ වැටුප් ව්‍යූහයට යෝජිත සංශෝධන පිළිබඳව රාජ්‍ය මූල්‍යමය විවරණයක් ද ප්‍රකාශයට පත් කර ඇත. මේ වන විට රාජ්‍ය සේවකයන් පමණක් නොව රාජ්‍ය සේවකයන් ද ඇතුළුව අතිමහත් බහුතර ජනයා ජීවත් වන්නේ ඉතා අමාරුවෙන් බව රහසක් නොවේ. එහෙත් රාජ්‍ය අංශයේ වැටුප් සම්බන්ධයෙන් කතා කිරීමේ දී එහි බර දරන, මේ රටේ බදු ගෙවන අතිමහත් බහුතර සාමාන්‍ය ජනයා ජීවත් වන තත්ත්වය ද අමතක කළ නොහැකිය. ඔවුන් අමතක කර ඔවුන්ගේ ජීවත් වීමේ ප්‍රශ්නය හෝ මුර්ත වැටුපේ අඩු වීම ගැන පමණක් නිරපේක්ෂව සලකා බලා මේ වැටුප් වැඩි කිරීමෙන් වන්නේ එහි විපාක ලෙස එහි බර දරන මේ රටේ බදු ගෙවන අතිමහත් බහුතර සාමාන්‍ය ජනයාගේ ජීවත් වීමේ ප්‍රශ්නය තවත් උග්‍ර වීමයි.
රාජ්‍ය අංශයේ වැටුප් ව්‍යුහයට යෝජිත සංශෝධන පිළිබඳව රාජ්‍ය මූල්‍යමය විවරණයක් ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යාංශය කියන්නේ, 2022 වසරේ සිට පවතින ගැඹුරු, සංකීර්ණ සහ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය මධ්‍යයේ රාජ්‍ය මූල්‍ය කටයුතු වගකීමෙන් කළමනාකරණය කිරීමේ දී මෙම කරුණු සම්බන්ධයෙන් නිවැරදි ස්ථාවරය පැහැදිලි කිරීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය අපේක්ෂා කරන බවයි. ආර්ථික අර්බුදය අතරතුර දී රාජ්‍ය අංශයේ වැටුප්වලට සිදුවූයේ කුමක් ද යන්න ගැන පැහැදිලි කරන මුදල් අමාත්‍යාංශය මෙසේ සඳහන් කරයි.
‘2022 වසරේ සිට පවතින පෙර නොවූ විරූ, ගැඹුරු සහ සංකීර්ණ ආර්ථික අර්බුදය සමාජයේ සෑම කොට්ඨාසයකටම අයත් මහජනතාවට බලපෑම් එල්ල කරන ලදී. 2022 වසරේ සැප්තැම්බර් මස වන විට උද්ධමනය සියයට 70 ක් දක්වා ශීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප්වල මූර්ත වටිනාකම ද සැලකිය යුතු ලෙස පහත වැටීම නිසා අන් සියල්ලන් මෙන්ම, රාජ්‍ය අංශයේ සේවකයින් ද දැඩි ලෙස පීඩාවට පත් විය. රාජ්‍ය අංශයේ වැටුප් ඒ වන විට ද සාපේක්ෂව අඩු මට්ටමක පැවැති නිසා සමාජයේ වෙනත් බොහෝ දෙනෙකුට මෙන්ම රාජ්‍ය සේවකයන්ට ද දැඩි පීඩනයකට මුහුණ පෑමට සිදුවිය. ඉහළ උද්ධමන තත්ත්වය තුළ ඔවුන් ලැබූ අඩු මූර්ත වැටුප තවදුරටත් සැලකිය යුතු ලෙස අඩු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ජීවන තත්ත්වය පහත වැටීම හේතුවෙන් විවිධ ක්ෂේත්‍රවල වෘත්තීයවේදීන් සහ නිපුණතාවක් සහිත ශ්‍රමිකයින් විදෙස් රටවලට සංක්‍රමණය වීම ඉහළ ගිය බවට වාර්තා විය.’
මේ කියන උද්ධමනය සියයට 70 ක් පමණ දක්වා අතිවිශාල ලෙස ඉහළ යෑමෙන් රාජ්‍ය සේවකයන් පමණක් නොව සමස්ත ජනයාම අඩු වැඩි වශයෙන් පීඩනයට පත් විය. එසේම උද්ධමනය වැඩි වීම නිසා මූර්ත වැටුප්වල අඩු වීම සිදු වූයේ ද රාජ්‍ය සේවකයන්ගේ පමණක් නොවේ. සමස්ත ජනයාටම එම තත්ත්වය අඩුවැඩි වශයෙන් බලපාන ලද බව රහසක් නොවේ. රාජ්‍ය අංශයේ සේවක පිරිසට වඩා පෞද්ගලික අංශවල, සුළු හා මධ්‍ය පරිමාණ අංශවල මෙන්ම ස්වයං රැකියා යනාදිය කරන සේවක පිරිස රාජ්‍ය සේවක පිරිස මෙන් කිහිප ගුණයකින් වැඩි බව ද අපි සියලු දෙනාම දන්නා කාරණයකි. පෞද්ගලික අංශවල ඉතා ඉහළ පෙළේ තනතුරු දරන සුළුතරයකට ඉහළ මට්ටමේ වැටුප් තිබෙනවා විය හැකිය. එසේම ඔවුන්ට ඉතා ඉහළ වාර්ෂික වැටුප් වැඩි කිරීම් ද ලැබෙනවා විය හැකිය. එහෙත් පිරිසක් වශයෙන් ගත් විට එම පිරිස සමස්ත සේවක ප්‍රජාවෙන් ඉතා සුළු පිරිසකි. එම පිරිස හැර, අනෙකුත් අතිමහත් බහුතර වැඩකරන ජනකොටස අතිවිශාල පිරිසක් වන බව කිව යුතුය. මේ නිසා පැවැති ඉතා ඉහළ උද්ධමන තත්ත්වය තුළ ඔවුන් ලැබුවේ ද අඩු මූර්ත වැටුපකි. උද්ධමන තත්ත්වය හමුවේ රාජ්‍ය සේවකයන්ගේ පමණක් නොව මේ අයගේ ද එම අඩු මූර්ත වැටුප තවදුරටත් අඩු වීමද සිදු වූ බව කිව යුතුව ඇත.
දුර්වල රාජ්‍ය මූල්‍ය තත්ත්වය
අනෙකුත් දිගුකාලීන සහ කෙටිකාලීන හේතු ද සමග ශ්‍රී ලංකාවේ දුර්වල රාජ්‍ය මූල්‍ය තත්ත්වය, රට දරුණු ආර්ථික අර්බුදයක් කරා ගමන් කිරීමට හේතු වූ ප්‍රධාන සාධකයක් වූ බව කිව හැකිය. රජයේ ආදායමට වඩා 2022 වසර වන විට භාණ්ඩාගාරයේ මුදල් ප්‍රවාහ තත්ත්වය බලවත් ලෙස පිරිහීමට පත්ව තිබුණි. එම තත්ත්වය කෙතරම් දරුණු වූයේ ද යන්න 2021 වසර අවසන් වන විට රජය විසින් විශාල ලෙස මහ බැංකුවෙන් මුදල් ලබා ගැනීමේ (මුදල් අච්චු ගැසීමේ) නිරත වූ අතරම රාජ්‍ය බැංකුවලින් ද රු. බිලියන 832 ක බැංකු අයිරා පහසුකම් ලබාගෙන තිබුණි. මුහුණ දුන් අර්බුදය අවම කිරීමට අයිඑම්එෆ් සහාය ද ලබා ගනිමින් සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණවල පියවරක් ලෙස රජයට මුදල් ලබා ගැනීමේ එම මූල්‍ය සම්පාදන යාන්ත්‍රණ දෙකම රජය විසින් ක්‍රමානුකූලව ඉවත් කරමින් සිටියේය. රාජ්‍ය සේවක වැටුප් හා පොලී ගෙවීම සඳහා පමණක් රජයේ මාසික මුදල් ගලා යෑම් සැලකූවිට, එය රජයට විවිධ මාර්ගවලින් එකතු වූ මුළු මාසික ආදායම ඉක්මවා ගියේය. වර්ෂ 2019 දී ගෝඨාභය රාජපක්ෂ රජය විසින් සිදු කළ බදු කප්පාදුව නිසා රජයේ ආදායම් ද අඩු වූ බව අප දන්නා කරුණකි. මේ හේතුවෙන් අපගේ විදේශ ණය ශ්‍රේණිගත කිරීම් ද අහිතකර තත්ත්වයට පත් විය. මේ හමුවේ අපට විදේශ ණය ලබාගත නොහැකි තත්ත්වයට පත්ව තිබුණි. මේ ගැන පැහැදිලි කරන මුදල් අමාත්‍යාංශය මෙසේ ද කියයි.
‘2023 වසරේ මුල් භාගය වන විට පවා මුදල් ප්‍රවාහය පිළිබඳ අභියෝගය අඛණ්ඩව තීව්‍ර වෙමින් පැවති අතර, මෙම කාලය වන විට මහ බැංකු මූල්‍යකරණය සැලකිය යුතු මට්ටමකට අඩු වී තිබීම, මේ සඳහා හේතු විය. සත්‍ය වශයෙන්ම, තත්ත්වය කෙතරම් දරුණු වී ද යත්, එක් අවස්ථාවක, එනම් 2023 වසරේ මාර්තු මාසයේදී ‘අප්‍රේල් මාසයේ රජයේ වැටුප් බිල්පත ගෙවීම’ පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් කෙටුම්පත් කරනු ලැබූ අතර, එමඟින් 2023 වසරේ අප්‍රේල් මාසයේ රාජ්‍ය අංශයේ වැටුප වාරික දෙකකින් (එක් වාරිකයක දී සියයට 50 බැගින්) ගෙවීමට යෝජනා කරන ලදී. කෙසේ නමුත්, එමගින් රාජ්‍ය සේවකයන්ගේ සුභසාධනයට සහ මහජනතාවට සේවා සැපයීමට ඇතිවිය හැකි බලපෑම පිළිබඳව සලකා බලමින්, එය අමාත්‍ය මණ්ඩලය වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් නොකරන ලදී.
මුදල් අමාත්‍යාංශය මේ කියන්නේ රාජ්‍ය මූල්‍ය කෙතරම් දුර්වල අඩියකට පත් වුවත් රජය විසින් සේවක වැටුප් කප්පාදුවක් සිදු නොකළ බවයි. එය අපි අගය කරමු. එහෙත් රාජ්‍ය සේවකයන් හැර සමාජයේ අනෙකුත් පාර්ශ්වයන්ට සිදු වූයේ කුමක් ද? ඉන් සැලකිය යුතු පිරිසකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විශාල ප්‍රමාණයක් වැසී යාම නිසා රැකියා හෝ ජීවනෝපාය අහිමි වීම මෙන්ම ආදායම් මාර්ග අහිමි වීම ද සිදු විය. එසේම ස්ථිර මාසික වැටුප් ලබන බොහෝ පෞද්ගලික අංශවල සේවකයන්ගේ ද වැටුප් වැඩි වීම් සීමා වූ අතර ඇතැම් ආයතන වසර දෙකතුනක් පමණම කිසිදු වැටුප් වැඩි කිරීමක් සිදු නොකරන ලදී. එසේම ඊට අමතරව තවත් ඇතැම් ආයතන තම සේවකයන්ගේ මාසික වැටුප අඩු නොකළත් එම ආයතන ඔවුන්ගේ නොයෙකුත් ප්‍රතිලාභ සීමා කිරීම හෝ නැවැත්වීම ද සිදුකරන ලදී. ඒවා මොනවා ද යන්න පෞද්ගලික අංශවල සේවකයන් කියනු ඇත. එහෙත් වැටුප් අඩු නොවුණත් රජය විසින් රාජ්‍ය අංශයේ සේවකයන්ට කොහොමත් මාසික වැටුප් අනිවාර්යයෙන්ම (එහි පිරිවැය දරන්නේ ද අතිමහත් බහුතර බදු ගෙවන ජනයාය.) ගෙවන ලදි. මේ නිසා අප සිතන්නේ රාජ්‍ය සේවකයන්ට වඩා සාපේක්ෂව වැඩි අහිතකර බලපෑමකට රාජ්‍ය සේවකයන් නොවන සමාජයේ අනෙකුත් වැඩකරන බහුතර පිරිස මුහුණ දුන් බවයි.
රාජ්‍ය සේවක මූර්ත වැටුප අඩු වීම
ආර්ථික අර්බුදය සමනය කිරීමට ක්‍රියාමාර්ග ගත මුල් වසර දෙක වූයේ 2022 සහ 2023 යන වර්ෂ දෙකයි. එම අර්බුදයට ප්‍රතිචාර දැක්වූ එම මුල් කාලය තුළ දී රාජ්‍ය අංශයට අමතර සහන සැලසීමට තරම් ප්‍රමාණවත් මූල්‍ය හැකියාවක් රජයට තිබුණේ නැත. රජය කියන්නේ රාජ්‍ය අංශයේ වැටුප් ඉහළ නැංවීමට නොහැකි වීමේ අහිතකර ප්‍රතිඵලයක් ලෙස ඉහළ නිපුණතා සහිත රාජ්‍ය සේවකයින් විශාල සංඛ්‍යාවක් විදෙස් රටවලට සංක්‍රමණය වූ බවයි. වැටුප් විෂමතාවන් පැන නැඟිය හැකි නිසා මෙන්ම වඩා උග්‍ර විය හැකි ගැටලු හේතුවෙන්, සෞඛ්‍ය හා අධ්‍යාපනය වැනි තෝරාගත් උපායමාර්ගික වශයෙන් වැදගත් අංශවල පමණක් වැටුප් ඉහළ නැංවීම ද සිදුකළ නොහැකි වූ බව ද රජය කියන කතාවකි. එහෙත් 2022 සහ 2023 වසරවල රාජ්‍ය අංශයේ වැටුප නොවෙනස්ව පැවැති අතරම පෞද්ගලික අංශයට සහ ආර්ථිකයේ අනෙකුත් අවිධිමත් අංශවල බහුතරයකට ද (එම අංශවල සියලු දෙනාටම මෙසේ නොවූවා විය හැකිය.) ඊට සාපේක්ෂව වැඩි අහිතකර බලපෑම්වලට මුහුණ දීමට සිදු වූ බව අප මීට පෙර පැහැදිලි කරන ලදි. එහෙත් මුදල් අමාත්‍යාංශය මහ බැංකුවේ ආර්ථික දර්ශක අනුව සඳහන් කරන්නේ නම්, 2022 වසරේ ජනවාරි මාසයේ සිට 2023 වසරේ දෙසැම්බර් මාසය දක්වා කාලය තුළ දී පෞද්ගලික අංශයේ වැටුප් සියයට 28 කින් වැඩි වූ බවයි. සාමාන්‍ය අගයක් ලෙස එය ප්‍රකාශ කළත් බොහෝ පෞද්ගලික අංශවල බහුතර සාමාන්‍ය සේවක ප්‍රජාවේ අත්දැකීම එය නොවිය හැකිය. අර්බුදයේ මුල් වසරවල රාජ්‍ය අංශයේ වැටුප් වැඩි නොකළ නිසා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා වේතන සඳහා වන රජයේ වියදම, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 2021 වසරේ දී සියයට 4.8 ක සිට 2022 වසරේ දී සියයට 4 ක් දක්වා ද, ඉන්පසු 2023 වසරේ දී සියයට 3.4 ක් දක්වා ද ක්‍රමයෙන් අඩු වී ඇත. මේ ගැන මුදල් අමාත්‍යාංශය මෙසේ ද කියයි.
‘රාජ්‍ය සේවකයන්ගේ යහපැවැත්මට ඇති අහිතකර බලපෑම් ද සැලකිල්ලට ගනිමින්, රාජ්‍ය මූල්‍ය තත්ත්වය වැඩිදියුණු වීමට සහ සමස්ත ආර්ථික ස්ථාවරත්වය ඉහළ යෑමට අනුකූලව, රාජ්‍ය අංශයේ වැටුප් හා වේතන ක්‍රමිකව ඉහළ නැංවීම සඳහා රජය කැපවී ඇත. 2024 වසරේ දී පළමුව වැටුප් වැඩිවීමක් ලබාදී පසුව රාජ්‍ය මූල්‍ය තත්ත්වය වඩා ස්ථාවර මට්ටමකට ළඟා වූ පසු 2025 වසරේ දී වඩාත් සැලකිය යුතු වැටුප් ඉහළ නැංවීමක් සිදුකළ හැකි යැයි අපේක්ෂා කෙරේ.’
මාස කිහිපයකට පෙර වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා රාජ්‍ය සේවක පිරිස් වැඩ වර්ජනවල නිරත විය. එහෙත් එම වැටුප් වැඩි කිරීමට නම් බදු වැඩි කිරීමට සිදු වේ. ඒ නිසා එම අවස්ථාවේ රාජ්‍ය සේවකයින්ගේ ඉල්ලීම් රජය ඉටු කළේ නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන විට, සෑම වසරක් සඳහාම දැඩි අයවැය ඉලක්ක ලබා දී ඇත. ඒ අනුව රජය විසින් මේ වසර (2024) සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.8 ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් ළඟා කර ගැනීම ඇතුළුව රාජ්‍ය මූල්‍ය ඉලක්ක සඳහා එකඟ වී ඇත. සමස්ත වසරට අදාළ වන වියදම් ප්‍රතිපාදන මෙම ඉලක්ක මත පුරෝකථනය කර ඇත. මෙම ඉලක්ක සපුරා ගැනීම සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන අඛණ්ඩව පවත්වා ගැනීම සහතික කිරීම සඳහා භාණ්ඩාගාරයේ මුදල් ප්‍රවාහය මැනවින් කළමනාකරණය කළ යුතු වනු ඇත. කෙසේ හෝ රාජ්‍ය වියදම් නම්‍යශීලී නොවීම සහ අනිවාර්යයෙන් සිදු කළ යුතු වියදම් සැලකිල්ලට ගෙන, ක්ෂණික වැටුප් වැඩිවීමක් මගින් රාජ්‍ය මූල්‍ය තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමට නම් කළ හැකි එකම දෙය වන්නේ වැඩි වන වියදමට ගැලපෙන පරිදි රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමයි. ඒ සඳහා වැට් බද්ද වැඩි කිරීමට සිදුවන බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පසුගිය කාලයේ පවසා තිබුණි. ඉන් සිදු වනුයේ භාණ්ඩ හා සේවා මිල ගණන් වැඩි වී සාමාන්‍ය ජනයාගේ මිල පීඩනය තවත් වැඩි වීමයි. එසේ නම් රජය මේ කියන විශාල රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් වර්ෂ 2025 සිට කරන්නේ කෙසේ ද යන ගැටලුව කාටත් මතුවන්නකි. මෙම වැටුප් ගැලපීම අවිධිමත් ආකාරයෙන් සිදු කරන්නක් නොව, කාලාන්තරයක් තිස්සේ පවතින වැටුප් විෂමතාවලට විසඳුම් ලබා දෙන හා රාජ්‍ය සේවක වැටුප් සඳහා පැහැදිලි ව්‍යුහයක් ලබා දෙන වැටුප් වැඩිවීමක් බව මුදල් අමාත්‍යාංශය පැත්තෙන් කියන අදහසයි. මේ අරමුණින්, ගැටලු සවිස්තරාත්මකව අධ්‍යයනය කොට විද්‍යාත්මක හා සාධාරණ පදනමක් මත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා රාජ්‍ය අංශයේ නියෝජිතයන් හා පෞද්ගලික අංශයේ විශේෂඥයන්ගෙන් සමන්විතව ජනාධිපති විශේෂඥ කමිටුවක් රජය විසින් පත් කළ අතර එමගින් මේ වැටුප් වැඩිවීම් නිර්දේශ කර ඇත. මේ කමිටුවේ අතුරු වාර්තාව සහ අවසන් වාර්තාවට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව රජය කියයි. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ද මේ වන විට ප්‍රසිද්ධියට පත්ව ඇත.
රාජ්‍ය මූල්‍ය ඉලක්ක සපුරා ගැනීම
රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීම රාජ්‍ය මූල්‍ය ඉලක්කවලට අනුගත වන්නේ කෙසේද යන්න ගැන මුදල් අමාත්‍යාංශ මෙසේ කියයි.
‘මෝටර් රථ ආනයනය ක්‍රමයෙන් ලිහිල් කිරීම මගින් සහාය ලබා දෙන පරිදි, රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15 දක්වා ළඟා වන බව 2025 වසරේ සමස්ත රාජ්‍ය මූල්‍ය මාවත මගින් තහවුරු කරන අතර, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 ක් වන ප්‍රාග්ධන වියදම් ඇතුළත් වන ප්‍රාථමික වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 12.7 ක් වනු ඇත. රාජ්‍ය අංශයේ වැටුප් සඳහා වන දළ දේශීය නිෂ්පාදිතයේ වියදමෙන් සියයට 3.8 පුනරාවර්තන ප්‍රාථමික වියදම් සඳහා ඉතිරිව ඇති අවකාශය තුළට වැටේ. දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15 ක ආදායමක් සහ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 12.7 ක ප්‍රාථමික වියදම් මට්ටමක් මගින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ඉලක්කවලට අනුකූල වීම සහතික කරමින් 2025 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3 ක ප්‍රාථමික අතිරික්තයක ඉලක්කය සපුරා ගැනීම තහවුරු කරනු ඇත.’
අප සිතන්නේ මේ වැටුප් වැඩි කිරීම රාජ්‍ය අංශයේ සේවක පිරිස නිරපේක්ෂව සලකා බලා නිර්දේශ කරන ලද්දක් මිස රටේ සමස්ත ජනයාගේ ජීවත් වීමේ ප්‍රශ්නය සලකා සකසන ලද්දක් නොවන බවයි. රාජ්‍ය සේවකයන්ගේ ස්වාමියා බදු ගෙවන ජනයාය. ඒ නිසා රාජ්‍ය මූල්‍ය ඉලක්ක සපුරා ගත හැකි වුව ද, එසේම අයිඑම්එෆ් වැඩසටහනට අනුගත විය හැකි වුව ද සමස්තයක් ලෙස රටේ පොදු ජනයාගේ ආර්ථික පීඩනය මේ නිසා සාපේක්ෂව වැඩිවිය හැකි බවත් එය සමාජය තුළ ආදායම් මට්ටම් අතර නව විෂමතාවක් ජනිත කරන්නක් වනු ඇති බවත් අපගේ අදහසයි.
රාජ්‍ය අංශයේ ඵලදායිතාව සහ ගුණාත්මක බව සහතික කිරීමට ගන්නා ක්‍රියාමාර්ග
මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ වැටුප් නිර්දේශ ලබා ගැනීමේ ජනාධිපති විශේෂඥ කමිටු වාර්තාවට ඇතුළත්ව ඇති නිර්දේශ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි. එහි ඇති ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේය.
● සියලුම රජයේ සේවකයන්ට ජීවන වියදම් දීමනාව ලෙස මසකට රු. 25,000
ගෙවීම (සෑම වසර 03කට වරක් සංශෝධනයට යටත්ව), ජීවන වියදම් දීමනා සහ දීමනා සඳහා කරන ලද විවිධ ගැලපීම් වැනි සියලුම දීමනා, 2025 පාදක වර්ෂය ලෙස සලකමින් ඒකාබද්ධ කිරීම.
● රාජ්‍ය සේවයේ අවම මූලික මාසික වැටුප සියයට 24 ක අවම ප්‍රතිශතයකින් ඉහළ දැමීම සහ ජීවන වියදම් දීමනාව සමග දළ වැටුප රු. 55,000 ලෙස සලකමින් අනෙකුත් සියලුම තනතුරු සඳහා මූලික වැටුප ඒ අනුව සකස් කිරීම.
● රාජ්‍ය ව්‍යාපාර සහ බැංකු හැර අනෙකුත් සියලුම රාජ්‍ය ආයතන සඳහා මෙම නව වැටුප් හා දීමනා පටිපාටිය ක්‍රියාත්මක කිරීම.
● 2030 වසර වන විට රාජ්‍ය සේවයේ මුළු සේවක සංඛ්‍යාව ලක්ෂ දහයකට (1,000,000) හෝ ඊට අඩු ගණනකට සීමා කිරීමට පියවර ගැනීම.
● 2025 ජනවාරි මස සිට රාජ්‍ය අංශයේ සියලුම සේවකයන් සහ විශ්‍රාමිකයන් ඇතුළත් අවම මාසික දායකත්වයක් රුපියල් 1000 ක් වන ආකර්ෂණීය ප්‍රතිලාභ හිමිකම් ඇතුළත් වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම.
● නිසි වැඩ අධ්‍යයනයක් සිදු කොට 2025 වර්ෂයේදී සමස්ත රාජ්‍ය අංශයේ කාර්ය මණ්ඩලය සහ සේවාවන් පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කිරීමට අවශ්‍ය පියවර ගැනීම.
● ඒ අනුව සියලුම රාජ්‍ය සේවකයන් සඳහා කාර්ය සාධන දර්ශක සකස් කිරීම සහ ඔවුන්ගේ ප්‍රගතිය මත වැටුප් වර්ධක ලබා දීම.
● 2020 වසරට පෙර විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරීන්ට හිමි වැටුප් වර්ධක ලබා දීම සහ ඔවුන්ගේ විශ්‍රාම වැටුප් සංශෝධනය කර අදාළ විෂමතා ගැටලු විසඳීම.
● 2025 වසර ජනවාරි මස සිට ක්‍රියාකාරී සේවයේ යෙදී සිටින රාජ්‍ය නිලධාරීන් සඳහා ගෙවනු ලබන ජීවන වියදම් දීමනාවෙන් සියයට 50 කට සමාන ජීවන වියදම් දීමනාවක් විශ්‍රාමිකයින්ට ලබා දීම.
● පවතින බදු ප්‍රතිපත්තිය තුළ වියදම් කළමනාකරණය කිරීමට යටත්ව මෙම යෝජිත වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීම සහ රාජ්‍ය මූල්‍ය අවකාශය ද සැලකිල්ලට ගනිමින් යෝජිත වැටුප් ක්‍රමය 2025-01-01 දින සිට අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීම.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]