වැටෙන වෙලාවට වගේම උඩට යන වෙලාවටත් හයියක් වුණේ ප්‍රේක්ෂකයන් – ශලනි තාරකා

482

අවසානයේදි ඔබට “ගිරි දේවි” ටෙලිනාට්‍යයේ චරිතයත් අවශ්‍යම සම්මානයක් ලබාදුන්නා. අපි එතනින් මේ කතාව අරඹමු?

මට මෙම සම්මානය හිමිවුණේ ගිරිදේවී ටෙලි නාට්‍යයේ ආශාගේ චරිතය වෙනුවෙන්. මීට පෙර රයිගම් ටෙලි සම්මාන උළෙලේදිත් මෙය නිර්දේශ වුණාට මට මේ සම්මානය ලැබුණේ නැහැ. නමුත් මම ඒ වෙලාවෙත් ඉතාම නිහතමානීව සතුටු වුණා නිර්දේශ මට්ටමට එන්න ලැබීම පිළිබඳව. ඉතිං කියන්න ඕනේ මම මේ අවස්ථාවේදීත් නිර්දේශ වුණේ ප්‍රවීණ කලාකාරිණියක් වන යශෝධා විමලධර්මත් සමඟ. ඉතිං ගිරිදේවී නිර්මාණය වෙනුවෙන් ඇගයීමට ලක්වෙලා සම්මානයට පාත්‍ර වීම ගැන ඇත්තටම මට ලොකු සතුටක් තියෙනවා.

රයිගම් ටෙලි සම්මාන උළෙලේදීත් සම්මාන ලාභිනියක් වූ ඔබ මෙලෙස දිගින් දිගටම සම්මානයට පාත්‍ර වීමේ රහස මොකක්ද?

මුලින්ම කියන්න ඕනේ මේ සියලුම සම්මාන ලබා ගැනීමට මම වාසනාවන්ත වුණේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය නිසා. අපි වැටෙන වෙලාවට වගේම උඩට යන වෙලාවටත් අපිට හයියක් වෙන්නේ ප්‍රේක්ෂකයන් දක්වන ආදරය, ප්‍රතිචාර වගේම අදහස්. මගේ මේ කලා ජීවිතයේ අවුරුදු දාහතරටම මට ශක්තියක් වුණේ ඒ ආදරය. ඒ වගේම තමයි මම යම් වැඩක් කරද්දී ඒ පිළිබඳව උපරිම කැපවීමකින් කරනවා. ඒ කැපකිරීමට අගය කිරීමක් ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. ඒ වගේම දිගින් දිගටම ජනප්‍රියම නිළිය සම්මානය හිමිකරගත්තා වගේම හොඳම නිළිය සම්මානය සඳහා නිර්දේශ වුණා. ඇත්තටම ඒ ගැන මම ඉතාම නිහතමානීව සතුටු වෙනවා.

වර්තමාන රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ කලා ක්ෂේත්‍රයට මුහුණ පාන්නට සිදු වී ඇති ඉරණම ගැන ඔබේ අදහස?

විශේෂයෙන්ම අලුත් නිර්මාණ කරද්දී සෑම පැත්තකින්ම අපට බොහෝ ප්‍රශ්නයන්ට මුහුණ දෙන්න සිද්දවෙලා තියෙනවා. දැනට අපි පටන් ගන්න හිටපු නව නිර්මාණ බොහෝමයක් කල් ගියා. මේ රටේ පවතින ප්‍රශ්නත් එක්ක ප්‍රවාහනයේ, කෑම බීම ඉඳල හැම දෙයක්ම ඇණහිටලා තියෙනවා. ඒ වගේම දැන් ඒ දේවල් සපුරා ගත්තත් අපිට යන පිරිවැයත් එක්ක මේ කටයුතු ක්‍රමවත්ව පාලනය කර ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නත් එක්ක තමයි ගොඩක් නිෂ්පාදකවරු ඉන්නේ. දැනට උද්ගතවී ඇති තත්ත්වයන් හමුවේ බොහෝ නිර්මාණ ආරම්භ කිරීමට නිෂ්පාදකවරු පසුබෑමට ලක්වෙලා තියෙනවා. ඉතිං කලාව පැත්තෙන් ගත්තම එය ඉතාම කනගාටුදායක තත්ත්වයක්.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment