වැඩි ආලේ එපා වෙලා දර්ශනදා නදී ගියා… අබ්ලික් Story

2825

ඔයා දැක්ක දවසෙම මට ඔයා ගැන ඇති වුණේ පුදුම ආදරයක්. ඔයා වගේ කෙනෙකු ලබන්න මං මොන තරම් වාසනාවක් කරලා තියෙනවද? මට දැන් ඔයාගෙන් තොර ලෝකයක් නැහැ.

දර්ශන නදීරාගේ සියුමැලි දෑත් හදවතට තුරුලූ කරගෙන කිව්වා.

දර්ශන රැුකියාව කළේ කොළඹ ප‍්‍රධාන පෙළේ විදේශ රැකියා ආයතනයක. දර්ශනට නදීරව මුණගැහෙන්නෙ මේ ආයතනයේදීමයි.

නදීරා ඕස්ටේ‍්‍රලියාවේ රැකියාවක් බලාපොරොත්තුවෙන් මේ ආයතනයට ආව වෙලාවෙයි එයාට දර්ශනව දැන හඳුනාගන්න ලැබෙන්නෙ. විදේශ රැකියාව කොහොම වෙතත් මේ දෙන්න අතරේ ආදර සම්බන්ධයක් ගොඩනැගණි. නදීරගෙ ගෙවල් තිබුණෙ මහනුවර පැත්තෙ. දර්ශන ගාල්ලෙ. දෙන්නගෙ ආදරේට මේ දුර බැහැරකම ප‍්‍රශ්නයක් වුණේ නැහැ. ඉඩක් ලැබුණ හැම මොහොතකම දර්ශන නදීරව මුණගැසුණා.

දර්ශන නදීරාට තිබුණේ පුදුමාකාර ආදරයක්. ඒක එසේ මෙසේ ආදරයක් නොවෙයි. දිවිහිමියෙන් කරපු ආදරයක්. දර්ශන නදීරා වෙනුවෙන් අත දිග හැරලා වියදම් කළා. ඇය ආශා කරන හැම දෙයක්ම එක පයින් අරගෙන දුන්නා.

මම ඔයාට මගේ පණටත් වඩා ආදරෙයි. ඔයාගේ රෝමකූපයකටවත් හානියක් වෙන්න මම ඉඩතියන්නෙ නැහැ. කොටින්ම ඔයා දිහා කවුරුවත් බලනවටත් මම කැමැති නැහැ නදී….. දර්ශන එයාගෙ අනාගත සහකාරියට කිව්වා.

මේ ආදර සම්බන්ධය දෙන්නාගෙම වැඩිහිටියොත් දැන ගත්තා. දැැන් දර්ශන මහනුවර නදීරගෙ නිවසටත් යනවා එනවා. එයාගෙ පවුලෙ අයත් දර්ශනට පුදුම විදිහට ආදරය කළා. මොකද දර්ශන ඒ හැමෝගේම දුක සැප සොයලා බැලූවා. හැමෝටම උදව් කළා. වියදම් කළා.

නදීරගෙ පවුලෙ අය කට පුරාම දර්ශන පුතා කියලා කතා කරන්න පුරුදු වෙලා හිටියා.

කාලයක් ගතවුණා නදීරාට දර්ශනගේ තිබුණු ආදරේ සීමා කඩඉම් ඉක්මවා දිනෙන් දින ඉහළ යමින් තිබුණා. කොහොමත් ඒ ආදරේ නදීරාට වධයක් වෙන තත්ත්වයට ඇවිත් තිබුණා.

නදීරාට එයාගෙ පවුලෙ සහෝදරයො, ඥාති සහෝදරයො එක්ක කතාබහ කරන එක හිනාවෙන එක නතර කරන්න කියලා දර්ශනගෙන් නියෝග ලැබුණා.

මේ ප‍්‍රශ්නය උඩ දර්ශන නදීරා පේ‍්‍රම වෘත්තාන්තයේ පුංචි පුංචි ආරවුල් ඇති වෙන්න ගත්තා.

‘‘මං කොහොමද දර්ශන මගේ ළඟම ඥාති වෙන පිරිමි ළමයි එක්ක කතා නොකර ඉන්නෙ. මට මගේ සහෝදරයො එක්කවත් හිනාවෙලා විනෝදයෙන් ඉන්න නැහැනෙ.

දර්ශනගෙ මේ නීති රීතිවලට නදීරා විරෝධය පළකරන්න ගත්තා. ඒත් දර්ශන ඒ කිසි දෙයක් ගණනකට ගත්තෙ නැහැ.

ඔයා මං කියන විදිහට ඉන්න ඕනෙ. මට දරාගන්න බැහැ ඔයා වෙන පිරිමි එක්ක කතා කරන එක. මේ ප‍්‍රශ්නය උඩ දෙන්න අතරේ ඇතිවෙච්ච පුංචි පුංචි ආරවුල් ලොකු ලොකු ගැටුම් දක්වාම දුරදිග ගියා.

නදීරගෙ පවුලෙ අයත් මේ ගැටුම් සමථයකට පත් කරන්න උත්සාහ කළත් ඒවා පලක් වුණේ නැහැ.

දර්ශන මං තීරණයක් ගත්තා. මේ විදියට අපිට පවුල් කන්න බැහැනෙ. අපි මේ සම්බන්ධය නතර කරලා දාමු. ඔයා මෙහෙ යන එන එක නවත්වන්න. මට තවත් ඔයාගෙ හිරකාරියක් වෙන්න බෑනෙ.

අන්තිමේදී නදීරා දර්ශනගෙන් ඈත්වෙන්න තීරණය කළා.

ඔයාට පිස්සුද නදීරා. මං කොහොමද ඔයා නැතිව මොහොතක්වත් ඉන්නෙ. මට දැන් ඔයාගෙන් තොර ලෝකයක් නෑනෙ. අපි අපේ කසාදෙ ගැන කතා කර ගමු. දර්ශන කොතෙකුත් කිව්වත් ආයාචනා කළත් නදීරා එයාගෙ තීරණය වෙනස් කළේ නැහැ. ඒ වෙනකොට නදීරගෙ හිත තදින්ම වෙනස්වෙලා.

මං යනවා පොලිසි වෙන කරන්න දෙයක් නැහැ. මට පොලිසියෙන්වත් සහනයක් ලැබෙයිනේ.

එහෙම කියපු දර්ශන මහනුවර පැත්තෙ එක්තරා පොලිසියකට මේ අවනඩුව ඉදිරිපත් කළා.

අනේ සර් මට නදීරා නැතිව ජීවත්වෙන්න බැහැ. මට එයාව ඕනෙ. කොහොම හරි මේ ප‍්‍රශ්නය නිරාකරණය කරලා දෙන්න.

දර්ශනගෙ පැමිණිල්ලට අනුව නදීරව පොලිසියට ගෙන්නුවා. ඒවගෙ පැමිණිල්ලක් ඒවෙනකොට පොලිසිය විභාග කරලා තිබුණෙම නැහැ.

සර් මට මෙයා එක්ක කවදාවත් හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න බැහැ. මෙයා පුදුම විදිහට මාව අවිශ්වාස කරනවා. මට කිසිම පිරිමියෙක් එක්ක කතා කරන්න, හිනාවෙන්න බැහැ. මේ විදිහට මං කොහොමද ජීවත් වෙන්නෙ.

නදීරා සිද්ධ වෙච්ච හැම දෙයක්ම පොලිස් නිලධාරීන්ට කිව්වා. පොලිසිය මේ දෙන්නා සමගි කරන්න නොගත් උත්සාහයක් නැහැ. ඒත් නදීරා කොහොමටවත් කැමැති වුණේ නැහැ දර්ශන එක්ක නැවත පේ‍්‍රමසම්බන්ධයක් ගොඩනඟාගන්න.

අන්තිමේදී දර්ශන හිස් අතින්ම පොලිසියෙන් එළියට බැහැලා ගියේ ජීවිතේ ගැන තිබිච්ච හැම බලාපොරොත්තුවක්ම අහිමිකරගෙනයි.

රණදේව

advertistmentadvertistment