වැඩි වැටුප් බැහැ – වැවිලිකරුවන්ගේ සංගමයේ විරෝධය

33

අත්තනෝමතික අන්දමින් සියයට 70කින් වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ තීරණයට දැඩි විරෝධය පළකරන බව වැවිලිකරුවන්ගේ සංගමය පවසයි.

වැවිලිකරුවන්ගේ සංගමය විසින් ඊයේ (27දා) සවස කොළඹදී රජයේ තීරණයට විරෝධය පළ කරමින් කියා සිටියේ, මේ නිසා ‘ශ්‍රී ලංකා තේ’ නාමය විනාශ වනු ඇති බවයි.

රජය විසින් වතු සේවක කම්කරු වැටුප් සියයට 70කින් වැඩි කිරීමට ගත් මේ තීරණය අත්තනෝමතික, අදූරදර්ශී සහ ඒකපාර්ශ්වික තීරණයක් බවද මේ තීරණය නිසා ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට බරපතළ විපාක විඳීමට සිදුවන බවද මෙම මාධ්‍ය හමුවේදී කතා කළ වැවිලිකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා පැවසීය.

රජයේ මේ තීරණය දැනටමත් ලෝකය පුරා පැතිර යෑම නිසා දැනටමත් තේ ඇණවුම් අහිමි වීමට පටන්ගෙන ඇති බවද මේ සම්බන්ධයෙන් රජයත් සමග සාකච්ඡා කළත් ඵලක් නොවූ බවද ඔහු සඳහන් කළේය. තේ අපනයනකරුවකු වන ඇන්සලම් පෙරේරා මහතා කීවේ, මේ මොළේ නැති සහ ප්‍රඥාව නැති තීරණය නිසා ‘සිලෝන් ටී’ නාමය ඉදිරියේදී රටට අහිමි වනු ඇති බවයි.

මේ කර්මාන්තය අර්බුදයට ගියහොත් කීදෙනකුට රැකියා අහිමි වනු ඇතිදැයි ඔහු ප්‍රශ්න කළේය.

මේ මාධ්‍ය හමුවේදී කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමය වෙනුවෙන් සංජය හේරත් මහතා ද කුඩා තේ වතු හිමියන් වෙනුවෙන් ජගත් පතිරණ මහතා සහ වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති සේනක අලවත්තේගම මහතා ද කතා කළහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment