වැඩ ඇරී ගෙදර යමින් සිටි කතගේ ගෙල කපා මරලා – බිරිඳ රෝහලට ගෙන යනවිටත් මියගිහින් – සැමියා කියයි

242

පුද්ගලික ආයතනයක සේවය කර නිවෙස බලා යමින් සිටි විසිහය හැවිරිදි විවාහක කාන්තාවකගේ ගෙල කපා අබිරහස් ලෙස රත්නපුර, ඇලපාත, මහිරාගල ප්‍රදේශයේ දී ඝාතනය කර තිබේ.

31 වැනිදා රාත්‍රි 7.00ට පමණ කැපුම් තුවාල සහිතව මහිරාගල ප්‍රදේශයේ මාර්ගයේ වැටී සිටි කාන්තාව ඇයගේ සැමියා විසින් රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් ඇය  මියගොස් සිටි බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ඇලපාත පොලිස් බල ප්‍රදේශයේ මහිරාගල පදිංචි මයෝනිකා ප්‍රසාදනි නම් 26 හැවිරිදි තරුණ කාන්තාව මෙලෙස ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

ඇයගේ වම් ඇස පහළින් කැපුම් තුවාලයක් ද ගෙලේ කැපුම් තුවාලයක් ද දක්නට තිබී ඇත. ඇය විවාහවී මාස දෙකක් පමණ වන බව ද පොලිසිය පවසයි. ඝාතනය කෙරුණ කාන්තාව ප්‍රදේශයේ පානීය ජල නිෂ්පාදන ආයතනයක සුපවයිසර්වරියක් ලෙස සේවය කර ඇති අතර ඇයගේ සැමියා ද එහි රියැදුරෙක් බවත් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. ඉන්ධන නොමැති නිසා තමා මෙදින රැකියාවට නොගිය බවත් තම බිරිඳගේ දුරකථන ඇමතුමක් අනුව ඇය රැගෙන ඒමට මගට ගියත් පස්වරු හයට පමණ ඇයගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගත්තද දුරකථනය විසන්ධිව තිබූ බව සැමියා පොලිසියට ප්‍රකාශ කර තිබුණි.

පසුව තම මිතුරෙකු ලබාදුන් දුරකථන ඇමතුමකින් බිරිඳට පහරදී ඇති බව දැනගෙන එම ස්ථානයට ගොස් බිරිඳ ත්‍රිරෝද රථයකින් රත්නපුර ශික්ෂණ රෝහලට රැගෙන ගියත් ඒවන විටත් ඇය මියගොස් ඇති බව වෙද්‍යවරයකු දැනුම් දුන් බවත් ඝාතනය කෙරුණු කතගේ සැමියා පොලිසියට ප්‍රකාශයක් කර තිබේ. මියගිය කතගේ පශ්චාත් මරණ පරීක්ෂණය රත්නපුර ශික්ෂණ රෝහලේ දී ඊයේ (01 වැනිදා) පැවත්වීමට නියමිතව තිබුණි. සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි. රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සේනක වීරසිංහ මහතාගේ උපදෙස් අනුව පරීක්ෂණ සිදු කෙරේ. සැකකරුවන් වහාම අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කණ්ඩායම් යොදවා ඇතැයි රත්නපුර පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය.

කහවත්ත – සමරවීර නිරොෂණ

advertistmentadvertistment
advertistmentadvertistment