වැඩ කරන තැන බලන්න ගිය තාත්තයි පුතයි අවසන් ගමන් ගිය හැටි

664

ගාල්ල සසල කළ ඛේදවාචකය

සෙනාල් හා නයෝමි යුවළගේ එකම පුතුවන සිතුක විහස් ගුණසේන ගාල්ල මහින්ද විද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටියේය. සිතුක විහස් ගුණසේන පුතුගේ වයස අවුරුදු අටකි. දඟකාර වියේ පසුවූ මේ පුංචි කොලුපැටියාට මවත් පියාත් සීයාත් මෙන්ම පවුලේ ඥාතීන් දැක්වූයේ දැඩි ආදරයකි. සෙනෙහසකි. සෙනාල් නයෝමි යුවළගේ පවුලේ සුරතලා බවට සිතුක පුතු පත්ව සිටියේය. සිතුක පුතුගේ පියාවන සෙනාල් දිනූෂ අක්මීමන බටදුවේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවේ විධායක ශ්‍රේණියේ නිලධාරියකු ලෙස රැකියාව කළේය. මහින්ද විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වූ හේ 37 හැවිරිදි වියේ පසුවිය. සෙනාල් මහින්ද විද්‍යාලයේ පාපන්දු කණ්ඩායමද නියෝජනය කළ දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙකි.

දැනට වසර 15ක කාලයක සිට සෙනාල් පෞද්ගලික ආයතනයේ සේවය කරන්නේය. සෙනාල්ගේ බිරිඳ නයෝමි සමන් කුමාරි යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්තව සංවර්ධන නිලධාරිනියක් ලෙස සේවය කළාය. ඇය උපාධිධාරිණියකි. අභ්‍යාසලාභි උපාධිධාරි යෝජනා ක්‍රමය යටතේ ඇයට මැතකදී රැකියාව ලැබී තිබුණි. නයෝමි රැකියාව ලැබීමට පෙර පෞද්ගලික කර්මාන්ත ශාලාවේ කලක් සේවය කළාය. ඒ විතරක් නොව ඇය කාලයක් රූපලාවන්‍ය ආයතනයක්ද පවත්වාගෙන යනු ලැබීය. නයෝමි ගැබිනියකි. ඕ තම දෙවන දරුප්‍රසූතිය සඳහා සූදානමින් සිටියාය.

ගාල්ල, හවුපේගෙවත්ත තල්ගම්පල ප්‍රදේශයේ මේ පුංචි පවුල පදිංචිව සිටියහ. අලුත් අවුරුදු අසිරියෙන් මුළුරටම නැහැවී තිබුණි. සිතුක පුතු ද අලුත් අවුරුදු අසිරිය විඳදරා ගැනීම සඳහා ඇඟිලි ගනිමින් සිටියේය. අම්මේ මට මොනවාද අලුත් අවුරුද්දට ගෙනවිත් දෙන්නේ සිතුක පුතු මවගේ ඇඟේ දැවටෙමින් අසන්නට විය. පුතාට මොනවාද අවශ්‍ය. මව නයෝමි ඇසුවාය. අම්මේ මට අලුත් කමිසයක් ඕන. සිතුක කීවේය. අනේ මගේ චූටි පුතේ ඔයාට අලුත් අවුරුද්දට ඇඳුම් පැළඳුම් විතරක් නෙවෙයි රසකැවිලි කෑම වර්ගත් ගෙනවිත් දෙනවා මව කීවාය.

අනේ අම්මේ මට තාත්තා වැඩකරන කර්මාන්තශාලාව බලන්න යන්න ඕන සිතුක පුතු මවගේ ඇඟේ දැවටෙමින් කීවේය. හරි හරි චූටි පුතේ අලුත් අවුරුද්දෙන් පස්සේ තාත්තා වැඩට යනවිට ඔයා එක්කගෙන යාවි නයෝමි කීවාය. අලුත් අවුරුදු දින සිතුක පුතු පවුලේ අය සමග එක්වී අවුරුදු අසිරිය විඳිමින් කෙලිදෙලෙන් ගතකළේය. සිතුක පුතු මවත් පියාත් සමග අලුත් අවුරුද්දට නෑගම් යෑමටද අමතක කළේ නැත. ඒ කොයිහැටි වුවද අලුත් අවුරුද්ද කියාපාන පණිවුඩකරු වන කොහාගේ කොවුල් නාදය සිතුක පුතාට අසන්නට නොලැබුණි. අලුත් අවුරුද්ද කාලයේ දක්නට ලැබෙන එරබදුමල් පිපී පරිසරයේ සිදුවන වෙනස සිතුක පුතුට මෙන්ම අනිකුත් දරුවන්ට ද දක්නට නොලැබුණි. අලුත් අවුරුදු කාලයේ දී අපේ දරු දැරියන් වළකජු ගැසීම නොයෙකුත් ජනක්‍රීඩාවල නිරතවීම දැකගත හැකිය. එහෙත් දැන් සියල්ල නවීකරණය වී තිබේ. වර්තමානයේ එම ජනක්‍රීඩාවල සුන්දරත්වය විඳීමට අපේ දරුවන්ට අවස්ථාව නොලැබී ගොසිනි.

සෙනාල් මෙන්ම සිතුක ද තමන් පවුලේ අය සමග එක්වී සමරන අවසාන අලුත් අවුරුද්ද බව සිහිනෙකින්වත් නොසිතන්නට ඇත. දිනය ඉකුත් 15 වැනිදාය. අලුත් අවුරුද්ද වෙනුවෙන් පෞද්ගලික කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන්ට නිවාඩු ලබා දී තිබුණි. විධායක ශ්‍රේණියේ නිලධාරියකුවූ සෙනාල්ට මෙදින විශේෂ රාජකාරියක් පැවරී තිබුණි. කම්හල් පරීක්ෂාකොට බලා වාර්තාවක් ලබාදීමට සේනාල්ට පැවරී තිබුණි. සෙනාල් සිය රාජකාරිය දේවකාරියක් ලෙස සැලකූ නිලධාරියෙකි. ඔහු 15 වැනි දින උදෑසන රැකියාවට යෑම සඳහා සූදානම් විය. සෙනාල් අලුත් අවුරුද්දෙන් පසු රැකියාවට යන පළමු දිනය විය. තාත්තේ මාත් එනවා තාත්ත එක්ක යන්න සිතුක පුතු පියාගේ ඇඟේ එල්ලුනේය. සෙනාල් තම පුතුත් සමග යතුරුපැදියෙන් අක්මීමන බටදුවේ පිහිටි කර්මාන්තශාලාව වෙත ගියේය. කම්හලට ඇතුළත්වන විට උදෑසන 10.20ට පමණ වන්නට ඇත. සෙනාල් තම පුතුත් සමග කර්මාන්තශාල පරිශ්‍රය තුළට ඇතුළු විය. අඩහෝරාවක් පමණ ගතවුවත් සෙනාල් පිටතට නොපැමිණි නිසා ආරක්ෂක නිලධාරියකු සෙනාල් ගැන සොයා බලන්නට විය. ඔහු මේ ගැන ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් කළමනාකාරවරයා දැනුවත් කිරීමට කටයුතු කළේය. එහෙත් සිදුව තිබුණේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ දෙයකි. මෙකී කම්හලේ යන්ත්‍රෝපකරණ සිසිල් කිරීම සඳහා ඉදිකොට ඇති භූගත ජල ටැංකියකට ඇද වැටීමෙන් සෙනාල් හා පුතු මියගොස් තිබුණි. මෙම පුවත ලැව් ගින්නක් සේ පැතිරි යන්නට වැඩිවෙලාවක් ගතනොවීය. මැයි මාසයේ තම දෙවැනි දරුප්‍රසූතිය සඳහා සූදානමින් සිටි නයෝමිට එදින දහවල් මිතුරකුගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. මහත්තයාට කරදරයක් වෙලාද මිතුරා ඇසුවේය. ඇය ඒ වනවිට කිසිවක් නොදැන සිටියාය. නයෝමි අසල්වැසි කාන්තාවක් සමග ත්‍රිරෝද රථයකින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත පැමිණියාය. පෞද්ගලික කම්හලේ සේවකයන් කිහිප දෙනකුද රෝහල් භූමියේ සිටිනු නයෝමි දුටුවාය. අනේ මගේ මහත්තයාට සහ පුතාට වුණේ කුමක්ද ඇය එසේ කියමින් හඬා වැලපෙන්නට වූවාය. නයෝමිට තම සැමියා මෙන්ම එකම පුතුද අහිමිවී ගොසිනි. ඇය නූතන පටාචාරාවියක් බවට පත්ව සිටියාය. මේ විපත ඇසූ සියලු දෙනාගේ මුවින් පිටවූයේ අනේ අපොයි යන්නයි.

වැඩ කරන තැන බලන්න ගිය තාත්තයි පුතයි අවසන් ගමන් ගිය හැටි

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ හවුපේගෙවත්ත තල්ගම්පල ගාල්ල ලිපිනයේ පදිංචිව සිටි උඩුබැට්ටව වැදිගේ සෙනාල් දිනූෂ ගුණසේන (37) සහ සිතුක විහස් ගුණසේන (08) නැමති පුතුය. සිතුක පුතුද ඉගෙනීමට දක්ෂතා දැක්වූ සිසුවෙකි. මෙකී සිද්ධියෙන් කම්හලේ ප්‍රධාන මෙහෙයුම් කළමනාකරු වන රණේපුර හේවගේ චමින්ද ලක්මාල් ධර්මරත්න (44) දැඩි කම්පනයට ලක්ව සිටියේය. ඔහු හදිසි මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් මෙසේ කීවේය.

මියගොස් සිටින්නේ මා වැඩකරන ආයතනයේ සේවය කරන විධායක නිලධාරියකු වන සේනාල් හා ඔහුගේ පුතාය. මා මෙම ආයතනයට ඇවිත් වසර 11ක් වෙනවා. මා එනකොටත් සේනාල් මෙම ආයතනයේ සේවය කළා. අප්‍රේල් 08 වැනිදා සිට 18 වැනි දින දක්වා ආයතනයේ සේවක සේවිකාවන්ට නිවාඩු දිලා තිබුණේ. විධයක ශ්‍රේණියේ නිලධාරීන්ට පවරලා තිබුනා දිනකට දෙදෙනා බැගින් කම්හලට පැමිණ පරීක්ෂාකොට බලා වාර්තාවක් දෙන්න. ඒ අනුව සේනාල්ට හා ප්‍රභාත්ට මෙදින මෙම රාජකාරිය පැවරිලා තිබුණා. සේනාල් පුතාට කර්මාන්තශාලව පෙන්වීමට පුතා සමග ඇවිත් තියෙනවා.

සාමාන්‍යයෙන් පොඩි ළමුන්ට කාර්මාන්තශාලව ඇතුළට යන්න දෙන්නේ නැහැ. නිවාඩු දිනයක් නිසා සහ සේනාල් විධායක ශ්‍රේණියේ නිලධාරියකු නිසා එම අවස්ථාව සේනාල්ට ආරක්ෂක අංශ මගින් ලබා දී තිබුණා. එදින උදෑසන 10.25ට තමයි සේනාල් පුතා සමග කම්හල ඇතුළට ගිහින් තිබුණේ. නිවාඩු දිනයක් වුවත් වැඩකරන අයට අවුරුදු තෑගි දිලා යන්න කම්හල තුළට ආවා. ආරක්ෂක අංශයෙන් මට කීවා සේනාල් මහත්තයා පුතා සමග කම්හල ඇතුළතට ගියා තවම ආවේ නැහැ කියලා. මා ආයතනයට එනවිට 11.30ට විතර වුණා. මා ආරක්ෂක අංශයට කීවා සේනාල්ට දුරකථන ඇමතුමක් ගන්න කියලා. දුරකථනය ක්‍රියාවිරහිත වෙලා තිබුණේ. මා ආරක්ෂක අංශයේ අයකු සමග කම්හලේ ඇතුළත රවුමක් ඇවිදලා බැලුවා. නමුත් සේනාල් හමුවුණේ නැහැ. මා ආරක්ෂක අංශයේ අයට කීවා. සේනාල් ආපසු මට දුරකථන ඇමතුමක් ලබාදෙන්න කියලා. මා කම්හලේ අනිකුත් අංශවලට ගියා. මට දුරකථන ඇමතුමක් ආවා ටැංකියෙන් හිසක් පේනවා කියලා. මා එම අවස්ථාවේම කම්හලට ආවා. ටැංකිය මැදට වන්නට සේනාල්ගේ පුතාගේ හිස යම්තමට පේන්න තිබුණා. මා ආරක්ෂක අංශයේ අයකු සමග එක්වී බෙල්ට් එකක් දමා ටැංකියේ අයිනට පුතාව ගත්තා. පසුව පුතාව මා විසින් ඔසවලා ගොඩට ගත්තා. මගේ වාහනයෙන් පුතා කරාපිටිය රෝහලට රැගෙන ගියා. ආරක්ෂක අංශයේ අයකු රෝහලේ නතර කරලා මා ඉක්මනට කම්හලට ගියා. සේනාල්ගේ මෘතදේහයත් ටැංකියේ ඇතුලේ තිබී ගොඩ අරගෙන තිබුණා යැයි ඔහු කීවේය.

මියගිය සේනාල් දිනූෂගේ බිරිඳ වන හවුපේ විතානගේ නයෝමි සමන් කුමාරි (36) තම දෙවන දරුප්‍රසූතිය සඳහා සූදානමින් සිටි ගැබිනියකි. ඇය හදිසි මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් මෙසේ කීවාය.

මා යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක් ලෙස සේවය කරනවා. මියගොස් සිටින්නේ මගේ පුතා හා සැමියාය. සැමියා පෞද්ගලික ආයතනයේ විධායක ශ්‍රේණියේ නිලධාරියකු ලෙස රැකියාව කරනවා. පුතා ගාල්ල මහින්ද විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. තුන වසරට සමත්වෙලා හිටියේ. පුතා සැමියා සහ මම තමයි ගෙදර පදිංචිවෙලා හිටියේ. මහත්තයා වසර 15ක පමණ සිට මෙම ආයතනයේ වැඩ කරනවා. මහත්තයා උදේට රැකියාවට ගොස් හවසට ගෙදර එනවා. මේ දිනවල මෙම ආයතනයේ සේවකයන්ට නිවාඩු ලබා දී තිබුණා. මහත්තයාට රාජකාරි දිනයක් නොවූවත් නිවාඩු කාලයේ එක් දිනකට දෙදෙනකු ආයතනයට පැමිණ ආයතනය පරීක්ෂාකොට වාර්තාවක් ලබාදීමට පැවරිලා තිබුණා. ඒ අනුව මහත්තයා පුතා සමග මෙම ආයතනයට ගියා. වැඩකරන දිනයක් නොවූ නිසා කර්මාන්තශාලාව පෙන්වීම සඳහා පුතා රැගෙන ගියා. යතුරුපැදියෙන් තමයි මහත්තයා පුතා සමග ගියේ. එදින දහවල් 12.00ට විතර මහත්තයාගේ මිතුරකු මගෙන් දුරකථන ඇමතුමක් ලබාදීලා ඇසුවා මහත්තයාට කරදරයක් ද කියලා. මා කීවා දන්නේ නැහැ කියලා. ඊට පසු මහත්තයාගේ දුරකථනයට ඇමතුම් කිහිපයක් ගත්තා. ජංගම දුරකථනය වැඩකළේ නැහැ. පසුව මා මහත්තයාගේ මිතුරන්ට කතාකරලා ඇසුවා. ඒ අය දන්නේ නැහැ කීවා. පසුව මා අල්ලපු ගෙදර ඇන්ටි කෙනෙක් සමග කරාපිටිය රෝහලට ගියා. මෙම ආයතනයේ වැඩකරන අය රෝහලේ සිටියා. මහත්තයා හා පුතා වතුර ටැංකියක වැටී මියගොස් ඇති බව දැනගත්තා. ඇය ඉකිබිඳිමින් කීවාය. මියගිය සිතුක විහත් ගුණසේන පුතුගේ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් සිදුකළ අතර පියාවන සෙනාල් දිනූෂ ගුණසේන නැමැත්තාගේ හදිසි මරණ පරීක්ෂණය බටදුව හදිසි මරණ පරීක්ෂක එස්. එන්. විතානගේ මහත්මිය විසින් සිදුකරනු ලැබුවාය. පශ්චාත් මරණ පරීක්ෂණ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියආරච්චි මහත්මිය සහ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි එම්. කේ. ඩයස් මහතා විසින් සිදුකළේය. ඉදිරිපත්වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරීක්ෂකවරයා දියේ ගිලීමෙන් මරණ වී ඇති බවට තීන්දු කරනු ලැබීය.

● ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment