වැල්ලවත්ත මුහුදේ තිවංකට හමු වූ කිඹුල්ලු

231

වැල්ලවත්ත යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි උප නගරයකි. එක් පැත්තකින් ඉන්දියානු සාගරයටත් බම්බලපිටියට හා දෙහිවලට මැදිවන වැල්ලවත්ත ගැන නොදන්නා ලාංකිකයෙකු නැත. “වැල්ලවත්ත කියන්නේ දූපතක්. ලස්සන දූපතක්. එක පැත්තකින් මූද. අනික් පැත්තෙන් වටේටම ලංදේසි ඇළ. දෙහිවල, පාමංකඩ, කිරුළපන, රෙදිමෝල ළඟ පාලම කියන පාලම් හතරෙන් තමයි, අපේ ගමට මිනිස්සු ආවෙ ගියේ. එදා ඔය ඇළ දිගේ ඔරු පාරු කළුතර ඉඳලා පුත්තලමටම ගියා. අපි ඉස්සර නෑවා. මාළු ඇල්ලුවා. අපේ ගමේ ඩෝබි මිනිස්සු රෙදි හේදුවා. සේරම කළේ ඔය ඇළෙන්. කජු පේර මූකලං තමයි ඇළ දෙපැත්තේ තිබුණේ. අපි තමයි ඔය ඇළෙන් නාපු අවසන් පරම්පරාව’ යනුවෙන් ජස්ටින් දයාරත්න මහතා පවසයි. එහෙත් අප කතා කරන්නේ ඒ ඉතිහාසය නොව වැල්ලවත්ත මුහුදේ කිඹුල් තර්ජනය ගැනය. මේ ගැන අපට මුලින්ම හෙළි කළේ අප මිත්‍ර තිවංක ප්‍රනාන්දු මහතාය. ඔහු වැල්ලවත්ත ගම් වැසියෙකි. අවුරුදු හතර පහේ සිට ඉන්දියානු සාගරයේ කිමිදෙන ඔහුට මේ මුහුද ගැන ඉතා හොඳ අවබෝධයක් ඇත. සංචාරක මග පෙන්වන්නෙක් වන ඔහු පුරා වසර 15ක සිට කින්රෝස් ජීවිතාරක්ෂක සමාජය හා එක්ව සිටී. එහි ඉතිහාසය 1941 දක්වා දිව යයි. වැල්ලවත්ත දුම්රියපළ සමීපයේ පිහිටු වූ මේ කින්රෝස් ක්ලබ් එක නොදන්නා කෙනෙක් නැත. වැල්ලවත්ත මුහුදු සීමාවේ සැතපුමක් වපසරිය ඔවුන්ගේ රාජධානියක් විය. මුහුදේ රළු පරළු බව, මටසිලුටු බව, රැළි ඇදෙන ස්වභාවය, ජලයේ පැහැය දිගු කාලයක් නිරීක්ෂණය කිරීමෙන් දැන් ඔවුහු මුහුද ගැන හොඳින්ම හඳුනති. කින්රෝස් නිර්මාතෘ මයික් සිරිමාන්නයන් අවුරුදු 75 ක් ම මුහුදේ පිහිනීමෙන් ප්‍රීති විය. අවසාන භාගයේ ඔහු කින්රෝස් ක්ලබ් එකේ පොල් රුප්පාව අසල පුටුවක වාඩි වී තමන්ගේ පසු පරම්පරා කීපයකට පසු උපන් කොලු ගැටවු මූදේ නාන හා පීනන අයුරු බලා හිටියේ සැනසුම් සුසුම් හෙළමිනි.

පසුගිය සතියේ තිවංක මුහුදේ පිහිනමින් සිටින විට එම කලාපයට නුහුරු සතෙක් අල්ලා ගැනීමට හැකි විය. ඒ කිඹුල් පැටියෙකි. මේ කුඩා කිඹුල් පැටියා අල්ලා ගොඩට ගෙනා ඔහු ඒ සතා බෙල්ලන්විල වනජීවී කාර්යාලයට භාරදීමට කටයුතු කළේය. නමුත් ඔහු පවසන්නේ වැල්ලවත්ත මුහුදේ කිඹුල් ගහනය වැඩිවීම බලවත් තර්ජනයක් බවයි. “මම හැමදාම උදේ මුහුදේ නානවා එදා මුහුදේ පීනන කොට මේ පැටියා අල්ලා ගත්තා. ඇත්තටම අපේ කණ්ඩායමක් නිරීක්ෂණය කරලා තියන විදිහට මේ පැත්තේ ලොකු කුඩා කිඹුලන් 40ක් පමණ ඉන්නවා. සැවෝයි සිනමා හල අසල ඇළ මාර්ගයේ විශාල කිඹුලන් හතර දෙනකු සිටින බවට නිරීක්ෂණය වුණා. මෙහෙම ගියොත් මුහුදට බහින්න බැරි වෙයි. වනජීවී එකට කිව්වා නමුත් විසඳුමක් නැහැ. ඔවුන් කියනවා කොළඹ නගර සභාවට කියන්න කියලා. කොහොම හරි මේ සැවෝයි සිනමා හල අසල ඇළ මාර්ගයේ යකඩ දැලක් ගැහුවා නම් කිඹුලන් මුහුදට ඒම නවතිනවා. මේක ගැන බලධාරීන් යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. පසුගිය ජනවාරි තෙවැනි දා දෙහිවල ආශ්‍රිත මුහුදේ දී විසිතුරු මසුන් ඇල්ලීමට ගිය කිමිදුම්කරුවකු ගැට කිඹුලෙකුට හසුවී ජීවිතක්ෂයට පත්වුණා.” තිවංක කියයි.

ශ්‍රී ලංකාවේ වෙසෙන කිඹුල් විශේෂයන් දෙකකි. එක් විශේෂයක් ‘හැල කිඹුලා’ නම් වන අතර, අනෙක් විශේෂය ‘ගැට කිඹුලා’ ලෙස හැඳින්වේ. මේ වන විට කොළඹ වෙරළ තීරයේ දක්නට ලැබෙන්නේ ගැට කිඹුලන් ය. උන් ලොව විශාලතම උරගයා ද වෙයි. පරිසරවේදී නීතිඥ, ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබුණේ කොළඹ අවට දියවන්නා ඔය ද ඇතුළු නාවල, වැල්ලවත්ත ප්‍රදේශවල ඇළ මාර්ග මේ වන විට කිඹුලුන් 18 දෙනෙකු වෙසෙන බවයි.

පසුගිය ජනවාරි 11 වැනි දා වැල්ලවත්ත සහ ගාලු මුවදොර ආසන්නයේ ද කිඹුලෙකු දර්ශනය වීමත් සමග බොහෝදෙනා තුළ ප්‍රශ්නාර්ථයක් මතුව තිබුණේ මෙම වෙරළ කලාපය ඉතා ජනාකීර්ණ වන හෙයිනි. ඇත්තෙන්ම කොළඹ කයිමන් දොරකඩට එම නම වැටී ඇත්තේ ද එම ප්‍රදේශයේ එදා සිට විසූ කිඹුලන් නිසාවෙනි. කිඹුලා, ලන්දේසි බසින් “කායිමන්” යනුවෙන් හැඳින්වේ. කිඹුලන් වසම්වාසී සත්ත්වයින් වන අතර කිඹුලාගේ වසමට වෙනත් කිඹුලකු පැමිණි විටෙක ඌ එළවමින් හඹා යෑමේ දී ද මුහුදට යන්නට හැකිය. කෙසේ නමුත් මේ කිඹුල් ගහනය පැතිරීම ගැන අනිවාර්යෙන්ම අවධානය යොමුවිය යුතුය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment