වැල්ලවත්ත විශ්ව සාහිත්‍යයට ගෙන ගිය මහා කවි පබ්ලෝ නෙරුඩා

341

ශ‍්‍රී ලංකාව ගැන මතක සටහන් අවදි කළ විදෙස් වියතුන් ගැන ලෝක ඉතිහාසයේ අපට අසන්නට ලැබේ. පූර්ව අනුරාධපුර යුගයේ පටන් ම දාර්ශනිකයන්, ගත් කතුවරුන්, ඉතිහාසඥයන්, දේශ ගවේෂකයන් මතු නොව නාවික භටයන් පවා අපේ රටේ භූගෝලීය, සමාජයීය, දේශපාලනික, සෞන්දර්යාත්මක සහ සංස්කෘතික ක්‍ෂේත‍්‍ර ගැන තබා ඇති මතක සටහන් පසුකාලීන වැදගත් ඓතිහාසික ලේඛන බවට පත්වී තිබේ. බටහිර ග‍්‍රන්ථයක ශ‍්‍රී ලංකාව ගැන ඇතුළත්ව ඇති මුල්ම සඳහන සටහන් වී ඇත්තේ ශ්‍රේෂ්ඨතම ග‍්‍රීක දාර්ශනිකයා වශයෙන් සැලකෙන ‘ඇරිස්ටෝටල්’ (Aristotel) විසින් කර්තෘත්වය දැරූ බවට අනුමාන කරන ‘De mundo’ (ලෝකය ගැන) නමැති ග‍්‍රන්ථයෙහි බව කියැවේ. ඉංග‍්‍රීසි පාලන සමයේ ‘ලෙනාර්ඞ් වුල්ෆ්’ විසින් රචිත Village in the jungle නමැති අගනා කෘතිය පසු කලෙක දෙස් විදෙස් රසික
ජනයාගේ පැසසුමට ලක් වී තිබේ.

විදේශිකයන් දුටු ලංකාව විෂයය කොට ගෙන ග‍්‍රන්ථ රාශියක් බිහි වී ඇති බැවින් මෙම පුළුල් මාතෘකාව යටතේ කියා හෝ ලියා නිම කළ නොහැකි තරමට තොරතුරු හමුවේ.

මේ ලිපිය සකස් වන්නේ අපේ රට ගැන ‘මතක සටහන් විශ්ව සාහිත්‍යයට ගෙන ගිය මහා කවියකු වන චිලි ජාතික පබ්ලෝ නෙරුඩා [pablo Neruda :1904 – 1973)]පිළිබඳ කාලෝචිත සටහනක් තැබීමේ අදහසිනි.

ශ‍්‍රී ලංකාවේ දේශීය චාරිත‍්‍ර, වන සම්පත, ධීවර ජීවිතය, දකුණු ලක වෙරළබඩ සොබා සිරියාව මෙන්ම දේශගුණික විපර්යාස ආදිය ගැන නෙරුඩා විසින් නිර්මාණය කරන ලද ගද්‍ය‍, පද්‍ය එදා මෙදාතුර දෙස් විදෙස් පාඨක සිත් ප‍්‍රමෝදයට පත් කිරීමට සමත් වී තිබේ. පබ්ලෝ නෙරුඩා චිලි කොන්සල්වරයා ලෙස එවකට සෙයිලාන්, සිලෝන් ආදී නම්වලින් හඳුන්වන ලද ශ‍්‍රී ලංකාවේ රාජකාරිය කළ කෙටි කාල සීමාවේ (1929 – 1930) නැවතී සිට ඇත්තේ වැල්ලවත්තේ හතළිස් දෙවැනි පටුමගේ බංගලාවකය. ඔහු කවි විශාල ප‍්‍රමාණයක් ලියා ඇත්තේ මුහුදු වෙරළ පේන මානයේ පිහිටි එම නවාතැනේදීය.

වැල්ලවත්ත පරිසරයේ තමා හුදෙකලාව ජීවත් වූ ආකාරය පිළිබඳව නෙරුඩාගේ මතක සටහන් හරහා වැල්ලවත්ත නාමය විශ්ව සාහිත්‍යයට ද ප‍්‍රවිෂ්ඨ වී හමාරය. නෙරුඩා මීට වසර අනූ දෙකකට පමණ පෙර සිරිලක් වෙරළේ සුදු පෙණ බුබුළු දමමින් නැඟී ආ මුහුදු රැළි මෙන්ම විටෙක තමා බිය ගන්වමින් බිහිසුණු ලෙසින් ඉහළට නැගුණු සයුරු රැළිවල ස්වභාවය පිළිබඳ කවි ලියා තිබේ. ඒ කවි අතරින් දකුණුලක වෙරළබඩ ප‍්‍රදේශයට හැමූ චණ්ඩ සාගර දිය කඳ පිළිබඳ කළ වැණුම් 2004 අප රටේ ත්සුනාමියෙන් කැළඹුණු චණ්ඩ සයුරු රැළිවල ස්වභාවය ගැන පෑ ඉඟියක් ලෙස සලකමින් ස්පාක්‍ඳ්ක්‍ඳ කලාකරුවන් විසින් විවිධ ලේඛන පළකොට තිබේ.

2004 ත්සුනාමි ව්‍යසනයෙන් පසු 2005 ජනවාරියේ ස්පාඤ්ඤයේ ‘Pais’ නම් පුවත්පතේ වැල්ලවත්තේ ජීවිත අත්දැකීම් පිළිබඳ පළ වූ ලිපියක මෙවන් සටහනක් වෙයි.

‘ත්සුනාමියෙන් එරට වඩාත් විනාශ වී ඇත්තේ දකුණු මුහුදුබඩ ප‍්‍රදේශයයි. නෙරුඩාගේ කවි ලොවේ සැරිසැරුවේද ඒ ගාලූ මුවදොර වෙරළේ සිට ගල්කිස්ස හරහා ගාල්ල තෙක් වූ මුහුදුබඩ තීරුවයි.’’ එකී පුවත්පත් ලිපිය කෙරෙහි අවධානය දැක්වූ ස්පාඤ්ඤ රූපවාහිනී සේවයේ (ඔඩගි) මාධ්‍යවේදියෝ දෙදෙනෙක් නෙරුඩා ගැන වාර්තාමය චිත‍්‍රපටයක් දර්ශනගත කිරීම සඳහා ගාලූමුවදොර නිවාඩු නිකේතනයට පැමිණියහ. ඒ වෙනුවෙන් කවි ගායනයෙන් දායක වීමට මේ ලිපිය සකසන මට ද වාසනාවක් ලැබුණි. එදින මා ගායනා කළේ මවිසින් අනුවර්තනය කරගත් පහත සඳහන් කවි පෙළයි.

මගේ වාසය වෙනස් වී ඇත. – එකම පොළොවේ වෙනස් දේසෙක
ලවණ මුසු වූ සුළඟ නටනා – සුසුදු දිය රැළි නිබඳ ගැටෙනා
වෙරළ අසබඩ රැඳුණු පියසෙක

තේජසින් පිරි හිරු උදා වී – විසුළ රන් කෙස් පිරි හිසක් මෙන්
කිරණ විහිදා රුක් මුදුන් මත -සදයි ඡායා දසුන් තරු මෙන්
කොරල් දිලෙනා සයුරු පත්ලේ

එහෙත් ඒ මහ මුහුද රළු වී – නීලවන් මහ ගල් කුළක් වී
බිය කරයි මා හද විටින් විට – මහා බල ඇති යෝධ රළ පෙළ
පුපුර පුපුරා දිවෙයි වෙරළට – මර හඬක් නංවමින් වාතල

එදින එම වාර්තාමය වැඩසටහනේ නිෂ්පාදිකාවන් දෙදෙන විසින් එකී පුවත්පත් ලිපියේ පිටපතක් මට තිළිණ කරන ලදී. එහි අන්තර්ගත දේ මගේ මේ ලිපියට අත්වැලක් සැපයීය. එම ලිපියේ නෙරුඩා විසින් වැල්ලවත්තේ සිට නෑ හිත මිතුරන්ට යැවූ හසුන්වල ලියන ලද තොරතුරු අඩංගු වී ඇත. තනිකම නිසාම බයිසිකල්කරුවකු ලවා මරදානේ පොත් කඩවලින් මලූ ගණන් පොත් ගෙන්වාගෙන කියැවූ බවත්, ගාලූ යන අතරමඟ වරක් යක් නැටුමක් නැරඹූ බවත් හෙතෙමේ සිය මිතුරු හෙක්ටර්ට ලියා යවා තිබේ.

1929 මාර්තු මස දහහතර වැනිදා නෙරුඩා සිය පුංචි අම්මා (Trinidad) වෙතැ යැවූ හසුනක මෙසේ දැක්වේ. මා දවස් ගෙවන්නේ ගමක සිරිය ගත් වැල්ලවත්ත නම් කුඩා නගරයකයි. එය මගේ අම්මා ඉපදුණු (Puerto Saavedra) තොටුපළ අසල පරිසරයට නෑකම් කියන්නක්. දවසේ නැවුම් හෝරාව ප‍්‍රයෝජනයට ගනිමින් මා නාන ඇඳුමින් ම වෙරළ දිගේ පියනඟනවා. වෙරළේ සුන්දරත්වය මගේ කවි සිත විකසිත කරනවා. අහස අල්ලන පොල් රුප්පා. ජලජ ශාක පත‍්‍ර, වැටකෙයියා පඳුරු මාව වටකරගෙන. පොස්පරස් කැවුණු කොරල්පර තරු වගෙයි. මල් වගෙයි. පේන තෙක් මානයේ නීල වර්ණ ක්‍ෂිතිජය….

1929 වසර අග භාගයේ මිතුරු හෙක්ටර් වෙත යවන ලද ලිපියක මෙසේ දැක්වෙයි. දිනපතාම වාගේ මා මුහුදු රැළිවල එතෙමින් පීනනවා. පසුව සෙවණක වාඩිගෙන බියර්, විස්කි, සෝඩා තොල ගානවා. දිවා ආහාරය සඳහා බැහැරට ඇවිද ගොස්, දේශීය කෑමක් ගන්නවා. බත් ගොඩයි, පිඟාන වටේට මාළු පිනි. පපඩම් කන්නේ ආශාවෙනුයි. දැන් වැහි කාලයයි. මෙහෙට තදින් වහිනවා. ගොරවන විදුලි කොටන, වතුර නොනවතින, මහා වැස්ස….. හරිම නරක තෙතමනය. ඊයේ රාත‍්‍රියේ භයානක කුණාටුවකින් පසු මගේ නවාතැන වතුරෙන් යටවුණා. වත්තේ පොල්ගස් දෙකක්ම විදුලි සැර වැදී පිච්චී ගියා. මුහුද ඝන වෙලා, නිල් පැහැය නැවතිලා වගෙයි.’

ආදී වශයෙන් වූ තොරතුරු එකී පුවත්පත් ලිපියේ සඳහන්ව තිබේ. වැල්ලවත්ත පරිසරයේදී තමා ලත් අත්දැකීම් පිළිබඳ ලියූ ගද්‍ය – පද්‍ය රචනා ඔහු විසින් සම්පාදිත ග‍්‍රන්ථ කීපයකටම [Memorial de Isla Negra] (කළු දිවයිනේ මතක), Veinte Poemas de amor (පෙම් කවි විස්සක්) En Ceilan la Soledad
Luminosa (සෙයිලන් දිවයිනෙ ගෙවූ දීප්තිමත් හුදෙකලාව) ඇතුළත් කර තිබේ. එබැවිනි, අතීතයේ ශ‍්‍රී ලංකාව ගැන මතක සටහන් තැබූ විදෙස් ජාතිකයන් අතර මහා කවි පබ්ලෝ නෙරුඩා අපට වැදගත් වන්නේ.

මේ අපූරු මහා කවියාගේ ජීවිතය, ආදර ලෝකය මෙන්ම මරණය ද දුක හා සතුට මුසු සංවේදී එකක් විය. 1904 ජුලි මස දොළොස්වැනිදා චිලි රටේ උපත ලබා මහා කවියකු, රාජ්‍ය තාන්ත‍්‍රිකයකු, දේශපාලනඥයකු හා ග‍්‍රන්ථ කතුවරයකු බවට පත් නෙප්තාලි රිකර්දෝ රේයේස් බසොඅල්තෝ [Neftali Ricardo Reyes Basoalto] ලොව පුරා ප‍්‍රසිද්ධියට පත් වූයේ ‘පබ්ලෝ නෙරුඩා’ යන ආරූඪ නාමයෙනි. නෙරුඩා ශ‍්‍රී ලංකාවේ ගත කළ කෙටි කාලය තුළ (1929 – 1930) අප රටේ වෙරළබඩ සුන්දරත්වය, දේශීය සංස්කෘතිය, චාරිත‍්‍ර වාරිත‍්‍ර, දේශීය සංගීතය, සමාජ දේශපාලනය, වන සම්පත ආදිය පිළිබඳ කථන ස්පාඤ්ඤ බස භාවිතා කරමින් ලියා තබා ඇති ගද්‍ය – පද්‍ය රචනා පාඨක සිත් වශී කරවන සුළුය.

මීළඟට නෙරුඩා විසින් සම්පාදනය කරන ලද ‘En Ceilan la Soledad Luminosa’ (සෙයිලාන් දිවයිනේ දීප්තිමත් හුදෙකලාව) නමැති මතක සටහනේ තෝරාගත් තැන් කිහිපයක් රසවිඳිමු.

සත්‍ය හුදෙකලාව යනු කුමක්දැයි මා හඳුනා ගත්තේ ආසියාවේදීයි. එනම් මා වැල්ලවත්තේ නවාතැනේ සිටි කාලයේදීය. ඒ දවස්වල මා කොම්පැනියට අයත් කුඩා ඇඳක් මත නිදා ගත්තා. සොල්දාදුවෙක් වගේ, හරියට සංචාරකයෙක් වගේ. වන්දනාකාරයෙක් වගේ. නිවස තුළ වැඩියමක් තිබුණේ නැත. මේසයක් හා පුටු දෙකක් මිසක.

මගේ ලිවීම…. මගේ බලූපැටියා.. මගේ මුගටියා…. සේවකයා හා මා පමණයි. මගේ සේවකයා රාත‍්‍රි කාලයේ ඔහුගේ නිවසට ගියා. මා එක්ක ඔහු එතරම් බජනයක් නැහැ. ඔහුගේ කර්තව්‍ය වන්නේ සේවකයකු ලෙස වැඩ කිරීමයි. ඔහු මට උදව් කළා. නිහඬ සෙවණැල්ලක් වාගේ.

මේ කරුණු අනුව සත්‍ය තනිකම සාහිත්‍යයට ඇතුළු වුණා. එය තද යමක්. හිරගෙදර බිත්තිය වාගේ. වෙලාවකට හිස කඩා වැටේවි කියා හිතෙනවා. කිසිවකුට මෙවන් තනිකමක් නොදැනේවා කියා මා පතනවා. මා විටෙක මහ හඬින් කෑගහනවා. විටෙක හඬනවා. සාහිත්‍ය ඥානයෙන් පිරුණු ගැටවර විය ඉදිරියේ තනිකම පෙරවිලා වාගේ. ඒ වෙව්ලන තනිකම නැතිව මේ තරුණ ලේඛකයාට ලියන්නට බැහැ. කීප දවසක් ඒ විදියට ගෙවිලා ගියා. ටිකින් ටික දවසින් දවස මා ඒ පරිසරයට හුරු වෙන්ට පටන් ගත්තා.

මේ සැබෑ සුන්දරත්වයෙන් යුත් හරිතවන් පරාදීසයේ නිල්වන් සයුර අසල දිලෙන සුදු වැල්ලේ පියමන් කරන විට, සතා සර්පයින් වෙසෙන ඉමක් නැති වනපෙත නරඹනා විට, අඹුදරු රැුකීමට දිවා රෑ දියඹේ ගත කරන ධීවරයන් ගේ ජීවිත දකින විට, වසාදමන ලද කඩ සාප්පුවල පිල්දිගේ පැදුරු කඩමලූ එලාගෙන අතිශය තරු එළියේ අඩ නිරුවත්ව නිසා සිටිනා ගැහැනු මිනිසුන් දකිනා විට මට තේරුම් ගියා මේ ගැහෙන ලෝකයට ළං නොවී හතුරෙක් වගේ ඉන්නේ මොන හිතකින් ද කියා. මා පියවරෙන් පියවර ලක් දූපත හඳුනා ගත්තා. එක්තරා දවසක ප‍්‍රිය සම්භාෂණයකට ආරාධනය ලැබී මට ගාල්ල බලා යෑමට නියමිතව තිබුණා. අතරමඟදී අඳුරු නිවසක් දෙසින් කැඩි කැඞී නැඟුණු අමුතු හඬක් සවන් වැකුණා. රික්ෂෝකාරයාට රථය ඒ දෙසට පැදවීමට මා අණකළා. දිළිඳු නිවසේ දොර දිශාවෙන් අපූරු සුවඳක් හැමුවා. සෙයිලාන් දූපතේ මිහිරි සුවඳැති පිච්ච හා අරලිය මල් පිපෙන බව මා අසා තිබුණා. මේ ඒ සුවඳ වෙන්ට ඇතැයි මා සිතුවා. හිසකෙස් අවුල් කරගත් තළෙලූවන් ළඳක් මට නිවස ඇතුළට කතා කළා. මා වහා එතැනට ගොස් පන් පැදුරක වාඩි වුණා. සුදු සළුවක් පෙරවා ගත් ගැහැනු කෙනෙක් වෙව්ලමින් හඬනවා. ටිකෙන් ටික හඬ වැඩිවන්ට පටන් ගත්තා. ඉන් පසුව ඇයට කතාකර ගත නොහැකි තරමට හැඬුම කෙටි වී, සැණින් ඇය නිහඬ වුණා. ඇය ගිලන් වෙලා! බෙර හඬ මුසු කවි ගැයෙන්නට වුණා. කිව නොහැකි ප‍්‍රහේලිකාවකින් මගේ සිතුවිලිත් මා සමඟ ඇවිද ගියා. ඒ කවිවල තාලය පොළොවේ සෑම අංශුවකටම අද්භූතව පැතිර ගියා. සංගීතවත් භූමියක්. එය ලෙඩ රෝග සුව කරන යක් නැටුමක්.

මා රික්ෂෝකාරයාට ගමන ඉක්මන් කරන ලෙස අණ කළා. අප තරමක් පමා වී උත්සව ශාලාව වෙත ළඟා වුණා. ඒ වන විටත් ඉංග‍්‍රීසි ජාතිකයන් අසුන් ගෙන සිටියා. ‘මට සමාවන්න. සංගීතය අහන්ට මඟ නවතින්ට සිදුවුණා. මා හිස නමා මිතුරන්ට පවසන විට ඔවුන්ගෙන් එකෙක් පිළිතුරු දුන්නේ මෙලෙසින්.’

‘සංගීතය?’

මේ රට්ටුන්ට ස්වදේශීය සංගීතයකුත් තිබෙනවාද?

ඔවුන් ඒ බවක් දැන සිටියේ නැහැ. එය ඔවුන්ට මුල්ම ආරංචිය වූයේ ඒ නිසයි. සෙයිලාන් දූපතේ දිගු කාලයක් ජීවත්වෙලත් ඔවුන් මා පැවසූ දෙයින් මවිතයට පත්වුණා.

ඉංග‍්‍රීසි කොළනිවාදීන් හා ආසියාතික රටවල් අතර වූ මේ භයානක වෙනස්කම කිසිදාක නිම වූයේ නැහැ. මට හිතෙන්නේ මේ රට්ටුන්ගේ මිනිස් ජීවිතය, සංස්කෘතිය සමාජයීය වටිනාකම් ඔවුන් කිසිදාක අගය කර නැති බවයි.

එක්තරා සමාජ ශාලාවක සේවයේ නියුතුව සිටි ඉංග‍්‍රීසි ජාතිකයකු රූමත් ඉන්දියානු ළඳකට පෙම් කළා. බලධාරීන් විසින් ඔහු වහාම තත්ත්වයෙන් පහත හෙළනු ලැබුවා. පෙම්වතිය සමාජයෙන් කොන් වුණා. තනි වුණා. ලාදුරු රෝගියකු වගේ. ඒ කාලේ කොළනිකාරයන් ජය ගත්තා.

වරක් සිංහල ගොවියන්ගේ පැල්පත් පිළිස්සීමට කියා අණක් පනවා තිබුණා අසරණ මිනිසුන් පදිංචි තැන්වලින් ඉවත් කිරීමට. ඔවුන්ගේ ඉඩම් උරුමයෙන් නිදහස් කරන්නට ඉංග‍්‍රීසිකාරයන් විවිධ ප‍්‍රයෝග සැලසුම් කළා.

වතාවක් ලෙනාඞ් වුල්ෆ් ඉංග‍්‍රීසිකාරයාට සිංහල මිනිසුන්ගේ පැල්පත් සමතලා කරන්නට අණක් නිකුත් කළා. එසේ කිරීමට ඔහු අකැමැති වුණා. ඒ නිසා ඔහු එංගලන්තයට පලවා හැරියා. එහි සිට ඔහු පොත් ලිව්වා. ඒවා ආසියාවේ ලියැවුණු හොඳම ග‍්‍රන්ථය බවට පත්වුණා. A Village in the jungle නිර්මාණය සත්‍ය ජීවිතය හා බැඳුණු යථාර්ථවාදී සාහිත්‍යයෙන් ලියා තිබෙනවා. ලෙනාඞ්ගේ බිරිය ‘වර්ජිනියා වුල්ෆ්ට සම කරන්නට කිසිකෙනෙක් නැහැ. ශ්‍රේෂ්ඨ ලේඛිකාවක්. විශ්ව සාහිත්‍යයේ අතිශය ලෙස ඇය කතාබහට ලක්වුණා.

ඒ කාලේ මට මිතුරු මිතුරියන් කීපදෙනෙක් සිටියා. ඒ අතර සිටි පියානෝ වාදිකාවක් විසින් මට ‘ලයනල් වෙන්ට්’ සංස්කෘතික මධ්‍යස්ථානය හඳුන්වා දෙනු ලැබුවා. සෙයිලාන් දූපතේ වටිනාකම කියාපාන සංකේතය බඳු එය ඉහළම කලාකරුවන් අතර ප‍්‍රසිද්ධ කලාගාරයක්. ඒ මධ්‍යස්ථානයට පොත් ගෙන්වා තිබුණේ එංගලන්තයෙන්. මා අධිකතර ග‍්‍රන්ථ ප‍්‍රමාණයක් මිලට ගෙන මගේ රටට යැව්වා. එම කලාගාරය පිහිටා තිබුණේ වැල්ලවත්ත උප නගරයට තරමක් දුරිනුයි. මා සතියක් පාසාම බයිසිකල්කරුවකු යවා පොත් ගෝනියක් ගෙන්වා ගත්තා. ඒ අයුරින් ඒ කාල සීමාවේ පොත් හුඟක් කියෙව්වා. මීටර ගණනක් උසට ඉංගී‍්‍රසි නවකතා තිබුණා. ඒවා අතර ‘චැටර්ලි’ ගේ මුල්ම ග‍්‍රන්ථ හා ‘ලෝරන්ස්’ ගේ නිර්මාණවලට මා සමීප වුණා. ඒ ග‍්‍රන්ථවල සැඟවුණු සබඳතාවලට හිත යොමු කළා. ඉතා ඉක්මණින් මා නුවණ හා අවබෝධය ලබා ගත්තා. නෙරුඩා තරම් සිරිලක් දිවයිනට පෙම් බැඳි මහා කවියෙක් විශ්ව සාහිත්‍යයේ දක්නට නැති තරම්. සංචාරය කළ රටවල් අතුරින් ඔහු වඩාත් ආදරය කළේ ලක් දිවයිනටයි. ඒ ආධිපත්‍යය වර්ණවත්ය. සුන්දරය. නිවි නිවී දිළෙන තරු මෙන් තියුණු ආලෝකයක් මගේ හදවතේ ද්වාරවලට තට්ටු කරනවා. එය මට සහන් එළියක්. එය මගේ ජීවිතයයි. එසේ පවසන නෙරුඩා ලියූ oda frentea la isla de cealan (සෙයිලාන් අබියස) නමැති කවි පෙළේ ඒබව ස`දහන්ව ඇත.

නෙරුඩා විසින් සිරිලක නම රැන්දූ ‘සිලෝන් ටී’ නාමය ගැන ද Oda a la Caja del te නමින් කවි පෙළක් ලියා තබා ඇත.

පිත්තල බඳුනක ඇසිරූ – සෙයිලාන් තේ ලොව පසිදු
සිහිපත් කර දෙයි නුඹ මට – සීතල මෝසම් වැහිබිඳු

පැද්දෙන විට නැව් ගමනේ – සෙයිලාන් තේ සුවඳ දැනේ
ඔබ වෙනුවෙන් මහද කොනේ – ගී පදවැල් ගෙතෙනු දැනේ

අහිමිව ගිය සුවඳ නුඹේ – පිච්ච සුවඳ සමඟ එතී
මද සුළගේ පාව ඒවි – මගෙ කුටියට ‘වසන්තයෙ’

මෙකී නොකී ගද්‍ය සහ පද්‍ය සටහන්වලින් හැඟී යනුයේ ශ‍්‍රී ලංකාව ගැන සිය මතක සටහන් අවදි කළ විදේශික උගතකු අතර මහා කවි පබ්ලෝ නෙරුඩා ඉදිරියෙන්ම සිටින බවය.

ස්පාඤ්ඤ භාෂාවෙන් ම සිංහලයට නගා ලිපිය සකස් කළේ
ඉන්‍ද්‍රානි රත්නසේකර

වැල්ලවත්ත විශ්ව සාහිත්‍යයට ගෙන ගිය මහා කවි පබ්ලෝ නෙරුඩා
advertistmentadvertistment
advertistmentadvertistment