වැල් පාලමේ ගීතය

1884

සුප්‍රකට වේදිකා නාට්‍ය ශිල්පියකු හා නළුවකු වන හෙන්රි ජයසේන මීට අවුරුදු 55 කට පෙර හුණුවටය නමින් නාට්‍යයක් නිෂ්පාදනය කළේය. මෙය ජර්මන් ජාතික බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ ද කොකේසියන් චෝක් සර්කල් නමැති නාට්‍යයේ අනුවර්තනයකි. සිංහල සාහිත්‍යයේ එන මහෞෂධ පණ්ඩිතයන්ගේ කතන්දරවල මේ හා සමානම කතන්දරයක් ඇති අතර එය දරු ප්‍රශ්නය යනුවෙන් හැඳින්වේ. හුණුවටය නාටකයේ කතා නායිකාව වන ගෲෂා නමැති කාන්තාවට තමන්ගේ නොවන දරුවකු වඩාගෙන වැල් පාලමක් තරණය කිරීමට සිදුවේ. දරුවා අනුන්ගේ බැවින් මේ ගමනේ වගකීම බෙහෙවින් වැඩිය. ගෲෂා වැල් පාලම දිගේ දරුවා රැගෙන ගමන් කරන්නේ භයානක කුණාටුවක්, ධාරානිපාත වර්ෂාවක් සහ භයානක හෙණ ගැසීම් සිදුවන අතරතුරය. මේ අවස්ථාව සඳහා හෙන්රි ජයසේන ගීතයක් ද යොදා ගත්තේය. මේ රටේ නාට්‍ය ඉතිහාසය තුළ එම ගීතය හඳුන්වනු ලබන්නේ වැල් පාලමේ ගීතය ලෙසය. පෙරේදා හවස ජාතිය ඇමතූ රනිල් වික්‍රමසිංහ අනුන්ගේ දරුවකු රැගෙන වැල් පාලම දිගේ ගෲෂා ගිය මාරක ගමන අපට සිහිපත් කළේය. මේ මොහොතේදී ගෲෂාගේ තැනට පත්ව සිටින්නේ රනිල් වික්‍රමසිංහ ය. ඔහු අත සිටින දරුවා මේ රටේ ආර්ථිකය ය. වැල් පාලම කඩා වැටුණොත් රනිලුත් ඉවරය. ආර්ථිකයත් ඉවරය. ආර්ථිකය ඉවර වුණොත් රට සහ ජනතාව යන දෙකම ඉවරය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අප දන්නා ඉතිහාසයේ නරකම තැනට පත්ව තිබෙන අවස්ථාව මෙය ය. කොවිඩ් වසංගතය හැදුනු සියලුම රටවල ආර්ථිකය ලෙඩ වුවද නැවත සනීප විය. කොවිඩ් වසංගතයෙන් ලංකාවේ ජනයා සනීප වුණු නමුදු ආර්ථිකය ඉතාම දරුණු ලෙස ලෙඩ විය. 2019 අවුරුද්දේ අන්තිම කොටසේදී චීනයෙන් මතුවුණු මේ වසංගතයෙන් පසු ආර්ථිකය ගොඩදමා ගැනීමට අපට බැරිවුණේ ඇයි? එයට හේතුව නිදහසින් පසු මේ රට පාලනය කිරීමට පැමිණි දේශපාලනඥයන් සියලුම දෙනා හොරකම් කිරීමද? එසේ නැත්නම් වැරදි ලෙස රට කළමනාකරණය කිරීමද?

අපේ ආර්ථිකයට කෙළවුණේ පැය 24 න් ශ්‍රී ලංකාව සිංගප්පූරුව බවට පත් කිරීමට උත්සහ කළ රාජ්‍ය ප්‍රතිපත්තිය නිසා බව අප කිව යුතුය. ලංකාව සිංගප්පූරුවක් බවට පත් කිරීමේ මූලාරම්භකයා ජේ.ආර්. ජයවර්ධන ය. 1977 දී ඔහු අගමැති පදවිය භාරගන්නා විට Globalization හෙවත් ගෝලීයකරණ සංකල්පය ලොව පුරා පැතිර යමින් තිබිණි. මේ සංකල්පයෙන් කියවෙන්නේ ලෝකය රටවල් ලෙස බෙදී නැති බවත් සියලුම රටවල් තනි යායට තිබෙන එකම රටක් බවත්ය. මෙය විශ්ව ගම්මාන සංකල්පයේ කොටසකි. ඒ අනුව විශ්වය යනු ලෝකය ලෙසත් පෘථිවිය යනු එම ලෝකයේ ඇති එක ගමක් ලෙසත් හඳුන්වන ලදී. හරියටම මෙන්න මෙතැනින් අපට කෙළවින. විශ්ව ගම්මාන සංකල්පය හෝ Globalization තියරිය වියට්නාමය විසින් භාරගනු ලැබුවේ නැත. ඒ නිසා වියට්නාමය ගැමි රාජ්‍යයක් වශයෙන් ක්‍රමයෙන් දියුණුවට පත්වී අද වනවිට මධ්‍යම පන්තික රාජ්‍යයක් ලෙස නොසෙල්වී පවතී. ඉන්දියාවද විශ්ව ගම්මානය ගණන් ගත්තේ නැත. ඒ නිසා ඒ රටද ගොඩ ගියේය. ඉන්දියාවේ ජනතාව විවිධාංගීකරණය වී ඇත. මේ රටේ කට්ටියක් ධනපතියෝය. තව පිරිසක් ඉහළ මධ්‍යම පාන්තිකයෝය. තව පිරිසක් මධ්‍යම පාන්තිකයන් වන අතර සෙස්ස පහළ මැද පංතියටත් දුගී ප්‍රජාවටත් අයත්ය. මේ සියලුම දෙනාට තුන්වේල කා බී ජීවත්වීමට හැකි ආර්ථිකයක් ඉන්දියාවේ තිබේ. මේ මොහොතේදී ශ්‍රී ලංකාව තුළ එවැනි තත්ත්වයක් නැත. දිළිඳු පංතියේ සිට මැද පංතිය දක්වා මේ රටේ සිටින වැඩිදෙනා දවසේ වේල් තුනෙන් එකක් හෝ දෙකක් මගහරින බව දැන ගන්නට තිබේ. මේ වනවිට ඔවුන්ගේ මූලික මානුෂීය අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇත.

ඔවුන්ගේ ලෙඩට බෙහෙත් නැත. රුපියලට තිබූ බෙහෙත් පෙත්ත ඇතැම් තැනක රුපියල් 7 කි. ඒක එච්චර ගාණක් නොවේ. එය එච්චර ගාණක් වෙන්නේ රුපියල් 1000 ට තිබූ බෙහෙත රුපියල් 7000 වූ විටය. මේ රටේ මිනිසුන්ට අද ඔවුන්ගේ මූලික අයිතියක් වූ ප්‍රවාහනය සඳහා පහසුකම් නැත. ඒ බැවින් අවශ්‍ය ගමන් බිමන් යෑමට නොහැකිව ඔවුහු ලතවෙති. එසේම මේ රටේ මේ මිනිසුන්ට අද සල්ලි නැත. සල්ලි තිබුණත් එයින් කළ හැකි දෙයක් නැත. සියලුම පාරිභෝගික භාණ්ඩ වල මිල ඉතා නරක ලෙස ඉහළ ගොස් තිබේ. රුපියල් 200 ට අඩුවෙන් තිබූ මයිසූර් පරිප්පු කිලෝව රුපියල් 600 තෙක් ඉහළ ගොස් ඇත. මෙයට හතර පස් මාසයකට පෙර රුපියල් 157 ට තිබූ පෙට්‍රල් ලීටරය අද රුපියල් හාරසීයට කිට්ටුය. 1977 ට පෙර ශ්‍රී ලංකාව යනු කෘෂිකර්මය මුල්කර ගත් ගැමි රාජ්‍යයකි. අපට අවශ්‍ය දෛනික භාණ්ඩ වලින් වැඩි කොටසක් මේ රටේ නිපදවීම සිදුවිය. 77 දී ජේ. ආර්. ජයවර්ධන බලයට පැමිණීමෙන් පසු ජාතික ආර්ථිකය විනාශ විය. කුඹුරු ගොවිතැන අඩුවීම, හැම දෙනාම කන්තෝරුකාරයින් වීමට කල්පනා කිරීම ඇඟ මහන්සි වී දෑතේ කර්මානත්යක් කර කිසියම් නිෂ්පාදනයක් කිරීමට වූ උනන්දුව හීනවීම යන කාරණා නිසා අපට කෙළවෙලාම ගියේය. 1977 වනවිට ලංකාවේ සිටි තරුණ සහ කාන්තා ජනගහනයෙන් වැඩි පිරිස කල්පනා කලේ ඩුබායි යෑමටය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අද වන විට මේ රට ස්වයංපෝෂිත වී ඇත්තේ ඇඹුල් කෙසෙල් වලින් පමණි. ඇඹුල් කෙසෙල් රුපියල් 50 බැගින් විකිණීමට තිබේ. එහෙත් ඇඹුල් කෙසෙල් වලින් පමණක් පණ ගැට ගසා ගැනීමට නොහැක. ඇඹුල් කෙසෙල් වලින් පමණක් රටේ ආර්ථිකය ගොඩනැගීමට ද නොහැක.

අපේ අවංක අදහස වන්නේ මේ රටට දැනට හයිවේ අවශ්‍ය නැති බවය. හයිවේ එකක් අවශ්‍ය වන්නේ රටේ ජනගහනයෙන් 30% ක් වත් එම හයිවේ එක පාවිච්චි කරන්නේ නම් පමණි. එසේම යුරෝපයේ රටවල හයිවේ ඇත්තේ ස්වකීය නිෂ්පාදන භාණ්ඩ හැකි තරම් ඉක්මනින් නගරාන්තරව ප්‍රවාහනය කිරීමට මිස වන්දනාවේ යෑමට නොවේ. අපේ රටේ ජනගහනයෙන් 1%ක් වත් දෛනිකව හයිවේ පාවිච්චි කරන්නේ නැත. ලංකාවේ දේශපාලනඥයන් හයිවේ සාදන ලද්දේ එමගින් හොරා කෑමට හැකි බැවිනි.

වෙච්ච දේ වුණා. දැන් ඉතිං වෙන්න යන දේ ගැන බලමු. රනිල් වික්‍රමසිංහට මේ රට ගොඩනැගීමට හැකි බවට මතයක් ජනතාව තුළ පවතී. එම මතය දරණ අයගෙන් වැඩි පිරිස රනිල්ගේ දේශපාලන තරහකාරයෝය. රනිල් අනුන්ගේ දරුවකු වඩාගෙන කුණාටු සහ වර්ෂාව මැද්දේ වැල් පාලමෙන් එහාට යන බව මේ රටේ ජනතාවගේ විශ්වාසය වේ. ඒ නිසා රනිල් වැල් පාලමේ ගමන් ඇරඹූ විට එහි ලනු කපා නොදමන ලෙස මේ රටේ කඩාකප්පල්කාරීන්ගෙන් ආදරෙන් ඉල්ලමු.

advertistmentadvertistment
advertistmentadvertistment