වැලි කළුගල් බලපත‍්‍ර ඔන්ලයින් නොකළොත් භූ විද්‍යා ලොක්කෝ ගෙදර – ඇමැති අමරවීර තදින්

206

වැලි, කළුගල්, පස් කැණීම් හා ප‍්‍රවාහන බලපත‍්‍ර නිකුත් කිරීම සඳහා මාර්ගගත ක‍්‍රමයක් මාස තුනක් තුළ සකස් නොකළහොත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (06දා) පැවසීය.

වැලි, කළුගල් හා පස් කැණීම් සහ ප‍්‍රවාහන බලපත් නිකුත් කිරීමේදී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් දැනට අනුගමනය කරන ක‍්‍රියාදාමය අනුව මහජනතාවට ඒ සඳහා ප‍්‍රධාන කාර්යාලයට මෙන්ම ප‍්‍රාදේශීය කාර්යාලවලට ද පැමිණීමට සිදුවී තිබේ.

මේ නිසා විශාල තදබදයක් එම කාර්යාලවල දිනපතා පවතින අතර ජනතාවට නිකරුණේ රස්තියාදු වීමට සිදුවීම මෙන්ම බලපත් ලබා දීමේදී ප‍්‍රමාදයන් හා ¥ෂණ හා අක‍්‍රමිකතා ද සිදුවන බව අනාවරණය වී ඇත. මේනිසා පරිසර අමාත්‍යවරයා අවස්ථා කිහිපයකදී ඊට විකල්පයක් ලෙස මාර්ගගත ක‍්‍රමයක් සකස් කරන ලෙස දැනුම් දුන්න ද මේ වනතෙක් එම කටයුතු සිදු කර නැතැයි ඊයේ අනාවරණය විය.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලය අමාත්‍යවරයා විසින් ඊයේ කැඳවූ අතර එහි ප‍්‍රගතිය විමසමින් අමාත්‍යවරයා මෙම මාර්ගගත වැඩ පිළිවෙළ සම්බන්ධව කරුණු විමසීය. නමුත් මේ වනතෙක් ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නොමැති බව මෙහිදී අනාවරණය විය.

ඒ අනුව වැලි, කළුගල් හා පස් කැණීම් සහ ප‍්‍රවාහන බලපත් නිකුත් කිරීම සඳහා මාර්ගගත ක‍්‍රමයක් සැකසීමට උපරිම වශයෙන් මාස තුනක් ලබා දෙන බවත් එම කාලය තුළ එම වැඩ පිළිවෙළ අවසන් නොකළහොත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය අනිවාර්යයෙන්ම විසුරුවා හැරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා දැනුම් දුන්නේය. එමෙන්ම එම වැඩපිළිවෙළේ ප‍්‍රගතිය මාස් පතා වාර්තාවකින් තමන්ට ලබා දිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

දැනට වාර්ෂිකව වැලි, කළුගල්, හා පස් කැණීම් හා ප‍්‍රවාහන බලපත් ලක්ෂ 10ක් පමණ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නිකුත් කරනු ලබයි. පසුගිය වසරේ නිකුත් කරන ලද ප‍්‍රවාහන බලපත් සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා ඇති බව අනාවරණය විය.

අරුණ බෝගහවත්ත.

advertistmentadvertistment
advertistmentadvertistment