වැල පිරෙන්න මල් පිපුණත් ගෙඩි හැදෙන්නේ නෑ…

369

මී මැස්සන් කනෙයියන් වැල්දොඩම් මල්වල පරාග සොරකමක…

වැල් දොඩම් වගාවක් පිහිටුවා මාස 4-5 අතර කාලයකදී මල් හටගැනීම සිදුවෙන අතර, වගාවේ ඇති තරමට මල් පිපුනත් ගෙඩි හටගැනීම අඩු වීමත්, බිහිවෙන ඵල බොහොමයක් අසම්පූර්ණව පිරී තිබීමත් නිසා වැල් දොඩම් වගාවේ අස්වැන්න අඩුවන බව ගොවීන් විසින් නිතර නගන මැසිවිල්ලකි. නිසි පරිදි පරාගනය සිදුනොවීම මේ සඳහා ඍජුවම බලපායි. මීට අමතරව පාරිසරික හේතු සහ පෝෂක ඌණතාවන් නිසා ද ඇතැම් විට මෙම තත්ත්වය ඇතිවිය හැකිය.

වැල්දොඩම් මල් තුළ පුරුෂ හා ස්ත‍්‍රී කොටස් දෙකම පවතින අයුරින් ද්විලිංගික මල් හටගැනුනද, යම් වැලක නිපදවන පරාග එම වැලෙහිම මල්වල පරාගනයට නොගැළපීම නිසා සංසේචනය නිසිලෙස සිදුවන්නේ නැත. සොබාදහම මගින් මෙවන් බාධකයක් පනවා තිබෙන්නේ ප‍්‍රාවේණික දියුණුව උදෙසා පරපරාගනය තහවුරු කරන්නටය. මේ තත්ත්වය විද්‍යාත්මකව හඳුන්වන්නේ ස්වවන්ධ්‍යතාවය හෝ ස්වඅසංගතිය යනුවෙනි. ඊට අමතරව වැල් දොඩම් මලක් සාර්ථකව පරාගනය වීමේදී එය දරන තුනට බෙදුන කලංක කොටස් දෙකකවත් මැනවින් පරාග තැවරිය යුතු අතර ඇතුළත ස්වල්ප බීජ ප‍්‍රමාණයක් සහිතව බරින් අඩු ගෙඩි සෑදෙන්නේ අසම්පූර්ණව පරාගනය වූ මල් වලිනි. පරාගනය නොවුණු මල් වෙතොත් ඒවා දිනයක් හෝ දෙකක් ඇතුළත පරවී හැලී යයි.

”වැල් දොඩම් මලක ඩිම්බ කෝෂයේ ඩිම්බ 300-500 පමණ සංඛ්‍යාවක් තියෙනවා. මේ ඩිම්බ සියල්ල සංසේචනය වීමට ප‍්‍රමාණවත් පරාග ප‍්‍රමාණයක් නොලැබුණහොත් හෝ ලැබෙන පරාගවල ජීව්‍යතාවය අඩු වුණොත්, ඩිම්බ කොටසක් සංසේචනය නොවී ඉතිරිවෙනවා. දැන් මේවායින් අපට ප‍්‍රයෝජනවත් වෙන යුෂ පිරුණු කෝෂයක් තිබෙන බීජ හැදෙන්නේ නෑ. ඒ වෙනුවට මේවායින් හැදෙන්නේ සුදු පැහැති කොටස් පොකුරක්. ඒවා වැඩිවෙන තරමට ගෙඩියේ බර මෙන්ම යුෂ ප‍්‍රමාණයත් අඩුවෙනවා.”

වැල පිරෙන්න මල් පිපුණත් ගෙඩි හැදෙන්නේ නෑ...

මෙසේ පවසන්නේ හොරණ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ අයි. කළුබෝවිල මහත්මියයි. කොටස් තුනකට බෙදී ප‍්‍රතිවිරුද්ධ දිශාවන්ට හැරී තිබෙන කලංක කොටස්වල යහමින් පරාග තවරන්න කුඩා කෘමියෙකුට නම් ඇත්තේ අල්ප හැකියාවකි. එම කර්තව්‍යයට සුදුස්සෙකි ”අම්බලම්පාළුවා” (Xylocopa megaxylocopa frontalis) නමැති කුරුමිණියා. ලොකු කුරුමිණියෙක් වන මොහු මලක පැණි උරා බීමේදී උරස මත ඇති කෙඳි අතර පරාග හොඳින් තැවරෙන අතර අවසානයේදී මෙම තැවරුම තුළ ඇත්තේ විවිධ වැල් වලින් ලැබුණු පරාග මිශ‍්‍රණයකි. මේ නිසා තවත් මලක පැණි බීමට යෑමේදී ශරීරයේ විශාල බව නිසාම එහි කලංක මත සාර්ථකව පරාග මිශ‍්‍රණය තැන්පත් වේ. එසේ නමුත් ශරීර ප‍්‍රමාණයෙන් කුඩා මීමැස්සන්, කනෙයියන් වැනි කෘමීන්ගෙන් මේ කර්තව්‍ය සිදුවන්නේ නැත. පරාගනයට හවුල් නොවනවා පමණක් නොව උන් මල්වලට පැමිණ පරාගද රැුගෙන යයි. ඒ නිසා වැල්දොඩම් වගාවක් ආශ‍්‍රිතව මීමැසි කොලනි පිහිටුවීම, කනෙයි වද බැඳීමට ඉඩහැරීම යනාදියද නොකළ යුතුවේ. කෙසේ වෙතත්, පිපෙන මල් වලින් මෙලෙස වුවද සාර්ථක ස්වභාවික පරාගණයකට හසුවන්නේ 60-70% පමණ ප‍්‍රමාණයකි. මෙයට විකල්ප විසඳුමක් වන්නේ කෘතිම පරාගනයයි. මේ හරහා ගෙඩි හටගැනීම 90% ක් පමණ දක්වා වැඩිකර ගත හැකිවනවාට අමතරව ගෙඩිවල ප‍්‍රමාණය මෙන්ම බර වැඩිකර ගැනීමටද පුළුවන් වේ. වගාවේ පේලි දෙකක් අතර ඇවිද යමින් යාබද වැල් අතර පරාග හුවමාරු කිරීමෙන් සිදුකෙරෙන පරාගනය මේ අනුව ඉතා සාර්ථකය.

”වැල්දොඩම් මල් පිපෙන්නේ දහවල් දොළහ පමණ වනවිට. මේ වෙලාවේ කලංකය උඩු අතට හැරිලයි තියෙන්නේ. හැබැයි කලංකය මත ඇලෙන සුළු ශ‍්‍රාවයක් නෑ. ඒත් මේ වෙලාවටත් මලක පරාගධානි ස්පර්ශකරලා පරාග ඇඟිලිවල තවරාගෙන, වෙනත් වැලක මල් වල කලංක මෘදු ලෙස ඇල්ලීමෙන් පරාගනය කරන්න පුළුවන්. කලංකය පරාග වලට හොඳටම ග‍්‍රාහී වෙන්නේ පස්වරු 1.30 – 3.00 අතර කාලයේදී. ඒ වෙත්දී කලංක හා පරාගධානි පහතට නැමිලයි තියෙන්නේ. කලංකය මත ඇලෙන සුළු ශ‍්‍රාවයකුත් තියෙනවා. මල් පරාගනයට හොඳම කාලය මේක වුණත් මල් පිපෙන අවස්ථාවේ ඉඳලා සවස 4-5 වනතුරු අපිට පරාගනය සිදු කරන්න පුළුවන්”

වැල පිරෙන්න මල් පිපුණත් ගෙඩි හැදෙන්නේ නෑ...
අම්බලම්පාළුවා

කළුබෝවිල මහත්මිය තවදුරටත් පෙන්වාදෙයි. මෙලෙස කෘතිමව පරාගනය කෙරුවත්, මලට පැමිණෙන කෘමි සතුන්ගේ පරාග සොරකම නතර නොකරන්නේ නම් අස්වැන්න අඩුවීම දිගටම සිදුවෙනු ඇත. මන්දයත් අප විසින් තැවරූ පරාග පවා ඔවුන් විසින් හනිකට රැගෙන යන බැවිනි. එම බාධකය ජය ගැන්මට නම් ඔවුන් පැමිණ ගියාට පසුව අපගේ කෘතිම පරාගනය සිදුකළ යුතුය. එනම් දහවල් දෙක පමණ පසුවූ වේලාවකි. එම අවස්ථාවේදී භාවිතය සඳහා උදෑසනින්ම පරාග එකතුකර තබාගන්නට අපට සිදුවේ.

”එදිනට පිපෙන්නට නියමිත මල් පිපෙන්න කලින් අපට විවෘත කරන්න පුළුවන්. මල් පොහොට්ටුවේ පිටතින් තිබෙන කොළ පාට මනිපත‍්‍ර ඈත්වෙලා සුදු පාට පෙති පෙනෙන මල් තෝරා ගෙන, ඉහළින් එකට එකතුවෙලා තිබෙන සුදු පෙති සමූහය මුදුනේ ඉතා කුඩා කොටසක් නියපොත්තෙන් හෝ තුඩ තියුණු කතුරකින් කැපීමෙන් මල පහසුවෙන් විවෘත කරගන්න හැකිවෙනවා. මෙම විවෘත නොවූ පොහොට්ටුවේ මුදුනේම කලංක කොටස් තුන පිහිටන නිසා පෙති වල මුදුන කැඞීමේදී හෝ කැපීමේදී එම කලංක තුවාල නොවන පරිදි සිදු කිරීමට වග බලා ගත යුතුයි. නියපොත්තෙන් හෝ ඒ කතුරින්ම පරාගධානිවල නටුව කඩලා හෝ කපලා ඒවා කුඩා බඳුනකට එකතුකරගත යුතුවෙනවා. සාමාන්‍යයෙන් පරාග නිකුතුව සිදුවෙන්නේ උදේ 9.00 ට පමණ පසු. ඒ වෙලාවෙන් පස්සේ එහෙත් උදය කාලයේදීම මෙය සිදුකළ යුතු වෙනවා.”

පරාග අස්වැන්න නෙළාගන්නා ආකාරය පිළිබඳව කළුබෝවිල මහත්මිය දෙන්නේ එවන් උපදේශයකි. මෙසේ එකතුකරගන්නා පරාගධානි වියළෙන්නට නොදී, බඳුනක බහා ආරක්ෂිතව තබාගත යුතු අතර වගාව පුරාම ඇවිදිමින් එකිනෙකට වෙනස් වැල් වලින් නෙළාගන්නා පරාගධානි එකම බඳුනක් තුළට එකතුකිරීමෙන් පරාගනයට උචිත, මිශ‍්‍ර පරාග සංචිතයක් සාදාගත හැකිය. දහවල් 2.00 ට පමණ වනවිට කනෙයියන්, මීමැස්සන් වැනි කෘමීන්ගේ පැමිණීම අඩුවනු ඇත. දැන් කෘතිම පරාගනය සිදුකළ යුතු වෙලාවයි. එකතුකරගත් පරාගධානි සියල්ල හොඳින් කලවම්කර, එහි තිබෙන පරාග පින්සලක තවරාගෙන හෝ ඇඟිලි වලින් පිපුණු මල්වල කලංක මත තැන්පත් කිරීම ප‍්‍රමාණවත්ය.

කෘතිම පරාගණය නිසියාකාරව සිදුකර බලාපොරොත්තු තබාගෙන සිටියද, පරාගණයෙන් පැය දෙකක් වැනි කාලයක් තුළදී වැසි වැටුනේනම් පරාග සේදීයාම හෝ පරාග පිපිරී මියයෑම හේතුවෙන් සංසේචනය සාර්ථක නොවී මල් හැලී යෑම සිදුවිය හැකිය. එමෙන්ම අධික උෂ්ණත්වයක් පැවතීම හෝ ජල හිඟතාවක් ඇති වීමෙන්ද පරාග වියළීම, පරාගවල ජීව්‍යතාවය අඩුවීම සහ පරාග මියයෑම හේතුවෙන් ද සංසේචනය වැළකී යා හැකිය. ඒ ගැනද වගාකරු සැලකිලිමත් විය යුතු වේ. මීට අමතරව බෝරෝන් වැනි අංශුමාත‍්‍ර මූලද්‍රව්‍යයන්ගේ ඌනතාව නිසාද පල නිසියාකාරව නොපිරීම හා ගෙඩිවල හැඩය විකෘතිවීම සිදුවිය හැකිබව සොයාගෙන තිබේ. ඒ නිසා අංශුමාත‍්‍ර මූලද්‍රව්‍ය අවශ්‍ය තරමට ලැබෙන පරිදි කාබනික පොහොර වැනි දෑ වගාවට එකතුකිරීමද වැදගත්ය.

සනත් එම්. බණ්ඩාර
[email protected]

වැල පිරෙන්න මල් පිපුණත් ගෙඩි හැදෙන්නේ නෑ...
advertistmentadvertistment