වැල වරකාවලට කැමති අයට මෙන්න අලූත් පලතුරක් – හොරණ චෙම්පඩක්

782

රටවැසියාගේ පලතුරු පිපාසාව සංසිඳවීම පිණිස නොපැකිලව ඉදිරිපත්වෙන ශාක විශේෂ ගණනාවක් අප සතුව තිබේ. ඒ අතරින් කෙසෙල්, අන්නාසි, අඹ, පැපොල්, රඹුටන් වැනි පලතුරු වර්ග සුළු සංඛ්‍යාවක් වගාකරුවන්ගේ අවධානය දිනාගනිමින් ජනප‍්‍රිය පලතුරු නමැති කොටසක් සාදන්නේය. කෘෂි පර්යේෂකයින් වැඩි වැඩියෙන් පර්යේෂණ කරන්නේත්, ආහාර තාක්ෂණය දියුණු කරන උදවිය අගය වැඩි කළ නිමවුම් සොයන්නේත්, ව්‍යාපාරිකයින් අපනයන වෙළෙඳපොළවල් හඹායන්නේත් මේ පලතුරු අතලොස්ස සම්බන්ධයෙන් වීම කනගාටුදායක තත්ත්වයකි. එපමණක් නොව රට පුරා සුලභව වගාකරනා බැවින් රෝග හා පළිබෝධකයින්හට වැඩිපුරම හසුවන්නේද මේ කණ්ඩායමයි. කෘෂි රසායන ද්‍රව්‍ය ඇසුර ද ඒ හේතුව නිසාම මොවුන් අතර වැඩිවී තිබේ. කඩවීදියේ පලතුරු වෙළෙඳසල්හි රාක්ක හැකි පමණින් පුරවන මෙම පලතුරු සොච්චම රටට මදිවූ නිසාදෝ, දරුණු විදේශ විනිමය අර්බුදයකට මුහුණදී සිටින තත්ත්වයක් යටතේදී වුවත්, ශ‍්‍රී ලංකාව දෙපාරක් නොසිතා ඇපල්, මිදි, පෙයාර්ස් වැනි විදේශීය පලතුරු වර්ග ආනයනය සඳහා අත දිගහැර මුදල් වියදම් කරන බව පසුගියදා පුවත්පත් මගින් ද වාර්තා කර තිබුණි. පසට දමන පොහොර අහුරකින්, ගසක් මත හැදෙන ගෙඩියක් තුළට වස මුසුවනු ඇති බවට ඉතාමත් අවිද්‍යාත්මක මෙන්ම අසත්‍ය තොරතුරු සමාජය පුරා වපුරවා හරින මිනිසුන්, මාස කීපයකට උඩදී ගසෙන් කඩාගෙන, වියළීම වැළැක්වීමට මතුපිටින් පැරෆින් ආවරණයකුත්, තවත් ආරක්ෂාවට විවිධාකාර රසායන ද්‍රව්‍යයත් තවරා, ශීත ගබඩා තුළ තැන්පත් කර මෙරටට එවනා මෙම විදෙස් පලතුරු වර්ගයන්හි ආරක්ෂිත බව පිළිබඳව කිසිදු කතාබහක් නොකිරීම නම් විමතියට කරුණකි.

වැල වරකාවලට කැමති අයට මෙන්න අලූත් පලතුරක් - හොරණ චෙම්පඩක්


අඹ, කෙසෙල්, අන්නාසි යන ජනප‍්‍රිය කණ්ඩායමේ සිටින අයට වඩා කීප ගුණයකින් සංඛ්‍යාවෙන් වැඩි පලතුරු කොට්ඨාසයක්ද ඈත අතීතයේ පටන් අප සතුව තිබෙන අතර ඒවා හඳුන්වන්නට පුරුදු වී ඇත්තේ ඌන භාවිත පලතුරු වශයෙන්ය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් 2002 වසරේදී ඌන භාවිත පලතුරු බෝග ව්‍යාපෘතිය නම් ක‍්‍රියාන්විතයක් දියත්කරමින් උත්සාහ දැරුවේ යම් තරමකට හෝ මෙම අඩු අවධානයට පිළියම් යොදමින් මෙම පලතුරු ප‍්‍රභේදයන් ඉදිරියට ගැනීමටයි. එතැනදී අඩු අවධානයට යටත්ව දිවයිනේ නන්දෙස සැඟවී වැඩුණු, ප‍්‍රාදේශීයව කීප දෙනෙකුගේ පමණක් අවධානයට හසුවූ බෝග රාශියක් හඳුනාගත් අතර, කැපී පෙනෙන ගති ලක්ෂණ හෙබවූවන් රැුගෙන විත්, පර්යේෂණායතනයන්හි පිහිටි උයන් තුළ සිටුවා සංරක්ෂණය කරනු ලැබීය. ඊට අමතරව මේවාහි සැඟවුණු ගුණාත්මයන් අධ්‍යයනය කරනු ලැබීය. කෙසේ වෙතත් අද වනවිටත් වැඩිපුරම වනගතව වෙසෙනා මෙම ඌන භාවිත කණ්ඩායම මත ඇලවී තිබූ ”ඌන භාවිත” නමැති ලේබලය ගලවන්නට තරමේ වැඩක් සිදුවී ඇත්දැයි පසු විපරම්කර බැලීම වටී. චෙම්පඩක් වශයෙන් හඳුන්වන පලතුරක් ඔබ වෙත හඳුන්වාදෙන්නට උත්සාහ දරන්නේ මෙවන් පසුබිමකදීය. දැනට මෙය අපේ කියා කීවත් 1900 ගණන්වලදී රත්නපුරයට මෙය රැුගෙනවිත් තිබෙන්නේ තායිලන්තයේ සිටයි.

වැල වරකාවලට කැමති අයට මෙන්න අලූත් පලතුරක් - හොරණ චෙම්පඩක්


”රත්නපුරේ පැත්තේ වත්තකින් තමයි අපි මේ ශාකය සොයාගත්තේ. එතනට මේ ශාකය පැමිණ තිබෙන්නේ බද්ධ පැලයක් වශයෙන් තායිලන්තයේ සිට. බැලූ බැල්මටම කොස් ගහක් වගේ පෙනුනත් ඒක එවැන්නක් නෙවෙයි. පසුව අපි විධිමත්ව මේ ශාකය හඳුනාගත්තා. පස්සේ එවැනි ගසක් අපි හොරණ පර්යේෂණායතනයේ ක්ෂේත‍්‍ර ජාන බැංකුවේ, කොස් වෙනුවෙන් ඇති කොටසේ සිටවුවා.”

වැල වරකාවලට කැමති අයට මෙන්න අලූත් පලතුරක් - හොරණ චෙම්පඩක්

හොරණ පලතුරු පර්යේෂණායතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ මනෝජි බුලත්කන්දගේ මහත්මිය නව ශාක හඳුන්වාදීම වන ”චෙම්පෙඩක්” ගැන එලෙස සඳහන් කෙරුවේ එහි ඉතිහාසයයි. ගිනිකොනදිග ආසියාවේ සම්භවය ලැබුවායයි සැලකෙන චෙම්පෙඩක් :්රඑදජ්රචමි සබඑැටැර* ශ‍්‍රී ලංකාවට හඳුන්වාදී ඇත්තේ 20 වෙනි ශත වර්ෂයේ මුල් භාගයේදීය. කොස් ගෙඩියට බොහෝ දුරට සමාන ඵලයක් දරන මෙය මැලේසියාවේ හා තායිලන්තයේ නම් ජනප‍්‍රිය පලතුරක් වේ. හොඳින් පැසුණු ඵලයේ මදුලූ ප‍්‍රධාන ආහාරයට දෙවැනි ආහාරක් සේ දෙල් හෝ කොස් මෙන් තම්බා අනුභව කළ හැකිවේ. එපමණක් නොව වඩාත් ළපටි පලදාව පොලොස් ආකාරයට එළවළුවක් ලෙස ද ආහාරයට එකතුකර ගත හැකිය. වඩාත්ම ආකර්ෂණීය ආහාරය වන්නේ ඉදුණු මදුලූය. එය වැල මදුලූ මෙනි. ගෙඩිය පැලූ පසු ඉතා පහසුවෙන් ඉදුණු මදුලූ වහල්ලෙන් නිදහස් කරගෙන අනුභව කරන්නට පුළුවන. තද කහ පැහැයෙන් යුක්ත මේවා මෘදු, පැණිරස, ආකර්ෂණීය සුවඳක් සහිත ප‍්‍රණීත පලතුරකි. බි‍්‍රක්ස් අගය 30 ක පමණ ප‍්‍රමාණයකින් නිරූපණය වීමෙන් මෙහි ඇති රසවත් භාවය ගැන සිතා ගන්නට අපහසු නොවේ. වැල මදුලක් සේ ලිස්සා යන ස්වභාවයක් පෙන්නුම් කළත්, අනුභව කරන විට ඇතැම්විට දූරියන් මදුලක මතකය වුවත් අවදිවන්නට පුළුවන.

 ”ගෙඩි හටගැනීම සිදුවූයේ සිටුවා වසර හතරකින් පමණ. 2011, 2012,සහ 2013 අනුයාත වසර තුනෙහිදී ශාකය අස්වැන්න වශයෙන් කිලෝග‍්‍රෑම් 382, 401 සහ 818 ක් ලබාදුන්නා. මෙම ප‍්‍රභේදය අපි නිල වශයෙන් නිර්දේශ කෙරුවා 2014 වසරේදී. ඒ සමගම පැළ නිෂ්පාදනය ආරම්භ කෙරුවා. බද්ධ පැළ තමයි හදන්නේ. හොරණ පර්යේෂණායතනයෙන් අලෙවි කරනවා. ජනතාව අතර ජනප‍්‍රියයි. දැනටත් අපි සතුව පැළ තිබෙනවා විකිණීමට.”

 මනෝජි මහත්මිය වැඩිදුරටත් පවසා සිටී. බද්ධ පලතුරු පැළයක් මිලදී ගැනීමේදී අපගේ උනන්දුව බොහෝවිට යොමුවන්නේ අඹ, රඹුටන් වැනි ජනප‍්‍රිය පලතුරකටය. ඒ නිසා සැලකිය යුතු පැළ ප‍්‍රමාණයක් සදාගෙන සිටියත් ජනතා ආකර්ෂණය මෙවන් ඌනභාවිත බෝගයන් වෙත යොමුවීම සැලකිය යුතු මට්ටමකට දියුණු වී නැත.

 මේ වනවිට අප ඉතා උවමනාවෙන් දේශගුණ විපර්යාසයන් ගැන කතා කරමින් සිටින්නෙමු. ඒ සෑම අවස්ථාවකදීම අනිවාර්යයෙන්ම ඉදිරියට ගන්නා ආපදාවක් වන්නේ අප සතු බෝග ප‍්‍රභේදයන් දේශගුණ විපර්යාසයන්ට හසුවී විනාශවී යෑමට ඇති හැකියාවයි. එහෙත් මෙවැනි සාකච්ඡුා තුළ දේශගුණ කැළඹිලිවලට ඔරොත්තුදෙන මෙවන් ඌනභාවිත බෝග පිළිබඳ සඳහන් වෙන්නේ නැත. ඒවා සංරක්ෂණයත්, භාවිතයට ගැනීමත් හරහා ඉහත ගැටලූකාරී තත්ත්වයන් පහසුවෙන් මගහැර යෑමේ හැකියාවක් තිබෙන බව අප දැන්වත් තේරුම් ගතයුතු කරුණකි. මෙරට තිබෙන ජම්බු, උගුරැස්ස, ලොවි, වෙරළු වැනි පලතුරු ඌනභාවිත පලතුරු ගොන්න තුළට ගාල්වී තවමත් මෙහි කල්මැරුවත්, අපගේ අසල්වැසි රටවල් මේවනවිට මෙවැනි දෑ අපනයන බෝග ලයිස්තුවට ද ඇතුල් කරගෙන හමාරය. චෙම්පඩක් දෙස අප බැලිය යුත්තේ මෙවන් පසුබිමක් යටතේ බව අවධාරණය කිරීමට කාලය උදාවී තිබේ. ආහාර තාක්ෂණයේ නිරතවන්නන් අද දවසේ හැටියට නිසි කල්පනාවෙන් ක‍්‍රියාත්මක වන්නේ නම්, මෙවැනි ඌන භාවිත බෝගයන්ගෙන් නිපදවිය හැකි අගය වැඩි කළ ආහාර, කල්තබාගනීමේ හා ඇසිරීමේ ක‍්‍රම යනාදිය පළමුව දේශීයව හඳුන්වාදිය යුතුය. එය රහ වැටුණු කළ ආනයනකරුවන් විදේශ වෙළෙඳපොළවල් කරා අනිවාර්යයෙන්ම යොමුවේවි. තායිලන්තය හා මැලේසියාවට හැකිනම් චෙම්පඩක් සමගින් එවන් ගමනක් යන්නට අපට නොහැකි මන්දැයි සිතා බැලිය යුතුවේ. දේශීයත්වය ප‍්‍රායෝගිකව ඉදිරියට ගත යුත්තේ තැන තැන දේශනා පැවැත්වීමෙන් නොව තාක්ෂණය හා බද්ධව ගමන් කිරීමෙනි.

 සනත් එම්. බණ්ඩාර
 [email protected]
 සංස්කරණය – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment