වැවක් හදා ගමක් අස්වැද්දූ මිනිසෙක්…

117

වැවේ නම බැමිණියන්වල වැව…

ලුණු පස පොහොර පසක් කරන්න දැඩ් වෙහෙසක් දරලා

වන සංවරක්ෂණ නිලධාරීගෙන් බැටකමින් වැවක් හදා ගමක් අස්වැද්දූ ගොවි රජෙක් ඈත අතීතයේ සිටම කෘෂිකාර්මික දිවි පෙවෙතක් ගතකළ බතෙහි සැබෑ රසය හඳුනාගත් ශ‍්‍රී ලාංකිකයෝ වාරි තාක්ෂණය පිළිබඳ මනා දැනුමකින් සන්නද්ධව සිටි බව නොරහසකි. නිකරුනේ ගලා ගිය ස්වභාවික දිය පහරවල් උපයෝගි කරගනිමින් ලොවම විස්මයට පත්වන අයුරින් මෙරට ඉදිකර ඇති වැව් අමුණු හා ඊට යොදාගෙන ඇති වාරි තාක්ෂණය අදටද දෙස් විදෙස් සියලූ දෙනා පුදුමයට පත් කිරීමට සමත් වී තිබේ.

එදා ලංකාවේ සිටි වාරි තාක්ෂණික ශිල්පීන් ක‍්‍රි. ව. 08 වන සියවසේදී කාශ්මීරයට ගොස් ඇති බවත්, එහිදී එකල කාශ්මීරයේ රජු වැව් අමුණු ඉදිකිරීම් සම්බන්ධයෙන් ලංකාවේ ඉංජිනේරුවන්ගේ සහාය ලබාගෙන ඇති බවත් බි‍්‍රතාන්‍ය ඉංජිනේරුවකු වන හෙන්රි පාකර් මහතා දක්වා තිබේ. එදා හෙළයන් තුළ වාරි තාක්ෂණය පිළිබඳ කෙතරම් දැනුමක් තිබුනේද යන්න පිළිබඳ හෙන්රි පාකර් මහතාගේ මේ කරුණු දැක්වීම හොඳම සාක්ෂියකි. එමෙන්ම දුටුගැමුණු රජ සමයේ බදුල්ල දිස්ත‍්‍රික්කයට අයත් මහියංගනය ප‍්‍රදේශයේ ඉදිකර ඇති සොරබොර වැව අදටද අනගි නිර්මාණයක් ලෙස ලෝ ප‍්‍රකටය. ”බින්තැන්නේ මුහුද’’ ලෙසින් එදා හඳුන්වනු ලැබූ සොරබොර වැව බුලතා නම් යෝධයකු විසින් රජුන් පුදුමයට පත් කිරීම සඳහා ඉදිකරන ලද්දකි.

අද පාඨක ඔබට අප කියන්නට යන්නේ ඉතිහාස කතාවක් නොවේ. ඉහතින් සඳහන් කළ ඉතිහාස කතා කිහිපයක්ම අප අවුස්සා ගත්තේ අපේ අද කතාවට මග පාදා ගන්නටය. අද අපේ කථානායකයා වන්නේ 68 හැවිරිදි සය දරු පියකු වන විමලසේන සුවදහැන්නදි මහතා නොහොත් තම්මැන්නෑවේ ගොවි රජාය. හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පිහිටි අති දුෂ්කරම ගම ලෙසින් සැළකෙන බඳගිරිය, තම්මැන්නාව ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි ඒකක 86 කොටසේ තවමත් සිය බිරිඳ සමග පදිංචිව සිටින ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑම ගොවි රජෙකි. ගොවිතැනට උපන් හපන්කම් ඇති මේ ගොවි රජා එකල මේ ප‍්‍රදේශයේ ගොවි ජනතාව මුහුණු දුන් එකම ගැටලූව වූ වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය එක් රැස් කිරීමට හැකි ජල අක්කර අඩි 08 වැවක් නිර්මාණය කර තමන් වගා කටයුතු කරමින් සිටි කුඹුරු අක්කර 30ක් හා ගොඩ අක්කර 20ක් ගම්මුන් අතරේ බෙදාදුන් වර්තමානයේ බිහි වූ බුලතා යෝධයා යැයි කීම වරදක් නොමැතිය.

වැවක් හදා ගමක් අස්වැද්දූ මිනිසෙක්…

රජයේ පාර්ශ්වයෙන් පැමිණ වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය ලබා දෙනතෙක් බලා නොසිටි විමලසේන ගොවි මහතා ප‍්‍රදේශයේ තවත් ගොවීන් කිහිප දෙනකුද එක්ව 1989 දී වැවක් හෑරීම ආරම්භ කර තිබේ. කුඩා ඇල පාරක් හරස් කර පළමුවෙන්ම මෙම වැව සෑදීමේ කටයුතු ආරම්භ කර ඇත්තේ වීල්බැරෝ එකකින් පස් ඇද සකස් කරගත් බැම්මක් සකසා ගනිමිනි. එදා නොපසුබට උත්සහයෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය වැව සකස් කිරීමේ කටයුතු කරගෙන යද්දී බොහෝ ගොවීන් මේක මහා පිස්සු වැඩක් යැයි කියා වැව ඉදිකිරීම අතරමග නවතා දමා ගියේය. කවුරුන් කොහොම මේ කටයුත්ත අතහැර ගියත් විමලසේන ගොවි මහතා සිය බිරිඳ සකස් කර දුන් බත් පිඟාන කා ගොවිතැන් කටයුතු සිදුකරන අතරේ වැව සකස් කිරීමේ කටයුතුද පියවරෙන් පියවර සකස් කෙරුණි. වැව ඉදිකිරීමේ මුල් කාලයේදී ඒ සඳහා උදව්වට ගොවීන් පිරිසක් සම්බන්ධ වුණද වැව සකස් කර අවසන් වන විට විමලසේන මහතා සමග ඉතිරි වූයේ ගොවින් තිදෙනකු පමණි. සකස් කෙරුණු වැවද නම් කෙරුණේ බැමිණියන්වල වැව නමිනි.

බැමිනියන්වල වැව නිර්මාණය කළේ කෙසේද යන්න පිළිබඳව වැවෙහි නිර්මාතෘවරයා වූ විමලසේන ගොවි මහතා මෙලෙස පැවසීය.

අපි දන්න එකම කර්මාන්තය තමයි කෘෂිකර්මාන්තය. එදා අපිට මේ ප‍්‍රදේශයේ වගා කටයුතු සිදුකිරීමට තරම් ප‍්‍රමාණවත් ජලයක් තිබුණේ නැහැ. මගේ මුල් පදිංචිය බඳගිරිය. මෙහේ ගොවිතැන් කරගෙන ඉන්නකොට තමයි විවාහ වුණේ. විවාහ වෙලා මන් 1973 අම්පාරට පදිංචියට ගියා. අම්පාරේ ඉඳන් මාදුරු ඔය ව්‍යාපාරයට සම්බන්ධවෙලා වගා කටයුතු කළා. මන් මාදුරු ඔයට වෙලා වගාකටයුතු කරගෙන ඉන්නකොට තමයි ලූණුගම්වෙහෙර ව්‍යාපාරයට මුල්ගල් තිබ්බේ. මාදුරුඔය ඉන්නකොටත් මන් වගාකිරීමේ පෙරළි ගොඩක් සිදුකළා. මේ නිසා ඒ පැත්තේ හිටිය නිලධාරීන් හා දේශපාලඥයන් මාව හොඳට දන්නවා. ලූණුගම්වෙහෙර ව්‍යාපාරයට මුල්ගල් තිබ්බම මට ඕනි වුණා යළි ගමට එන්න. එතකොට මේ හම්බන්තොට හිටිය මහ දිසාපතිවරයා වුණේ ඞී. ඞී. හේරත් මහත්තයා. මන් එතුමට ලිපියකින් ඉල්ලීමක් කළා මාදුරුඔය ව්‍යාපාරයෙන් මටත් ලූණුගම්වෙහෙර ව්‍යාපාරයට එන්න හදලා දෙන්න කියලා. ඒ වෙලාවේ දිසාපතිතුමා මට කිව්වා තවම ලූණුගම්වෙහෙර ව්‍යාපාරයේ ඉඩම් බෙදලා දීලා නෑ. ඒ වෙනකොට ඉල්ලීමක් කරන්න කිව්වා. එතකම් මට මාදුරුඔයට වෙලා ඉන්න බැරි නිසා මන් ආයෙත් එහෙ ඉඩම් අතහැරලා බඳගිරියේ මහගෙදරට ආවා. ඒ ඇවිත් තමයි දැන් මේ ඉන්න ඉඩම බලෙන් අල්ලගෙන වගා කරන්න පටන් ගත්තේ. ඒ එනකොට මට දරුවෝ දෙන්නෙක් හිටියා. මන් මෙතනට ඇවිත් අල්ලගත්ත ඉඩම සම්පූර්ණයෙන්ම වගා කළා. ඒ කාලේ නීතියක් තිබුණා අල්ලගත්ත රජයේ ඉඩම්වල පොල් වගා කරන්න බෑ කියලා. නමුත් මන් ඒක ගණන් ගත්තේ නැතුව මේ ඉඩමේ පොල් හිටෙව්වා.

වැවක් හදා ගමක් අස්වැද්දූ මිනිසෙක්…

අනිත් ගොවියෝ කවුරුවත් එතකොට පොල් හිටවලාවත් නෑ. ඉඩම නැතිවෙයි කියලා බයට පොල් වගා කළේ නැතුව අතුරු බෝග විතරක් වගා කළා. මන් පොල් ඉන්දලා පොල් කන්න පටන් ගන්නකොට තමයි ඔන්න අනිත් ගොවියොත් පොල් ඉන්දන්න පටන් ගත්තේ. මෙහෙම ඉන්නකොට මට කන්න කුඹුරු කෑල්ලකුත් හදාගන්න ඕනි වුණා. ඒකට මන් දන්න කියන කෘෂිකර්ම නිලධාරීන් දෙතුන් දෙනකුගෙන් උපදෙස් ඉල්ලූවා. ඒ කීප දෙනෙක්ම ඇවිත් මෙතන ඉඩම බලලා කිව්වා මේකේ කුඹුරක් හදන්න බෑ. මෙතන ලවන ගතිය වැඩියි කියලා. කාෂිකර්ම නිලධාරීන් මොනවා කිව්වත් මට මෙතන කුඹුරක් හදනකම් ඉවසීමක් තිබුණේ නෑ. මන් කළ වැඬේ අඟල් තුනක් විතර ලූණු මිදිච්ච බරෝපිට් එකක් කූඩ පස් කපලා (පස් කපලා කූඩෙන් ඇදලා) පොලොව හැදුවා. ඒ වෙනකොට මේ පොලොවේ හොඳටම ලූණු මිදිලා තිබුණේ. පොහොර පසක් නෙමේ මෙතන තිබුණේ. නමුත් මන් උත්සාහය අතහැරියේ නෑ. කූඩ පස් කපලා පොලොව පෙරළලා කුඹුරක් හදාගත්තා බත් කන්න පුළුවන් ගාණට. හැමෝම පුදුම වුණා මන් කුඹුරක් මෙතන කළා කිව්වමත්. මන් මෙතනට ආවේ එතකොට 1989දී. ඒ ඇවිත් කොහොම හරි ගොවිතැන් වැඩ කරගෙන ගියත් අපිට ගොවිතැනට ප‍්‍රමාණවත් ජලයක් තිබුණේ නැහැ. ඒ වෙලාවේ මන් මෙහේ හිටපු ප‍්‍රාදේශීය සභාපතිවරයගෙනුත් උදව් ඉල්ලූවා. නමුත් වැඩක් වුණේ නෑ. පස්සේ මන් කළ වැඬේ ගමේ හිටිය තවත් ගොවියෝ කීප දෙනකුත් එක්ක ඇවිත් මෙතනින් ගලාගෙන ගිය පුංචි දොළපාරක් හරස් කරලා ගල් බැම්මක් බැඳලා සක්ක දමලා ප්ලාස්ටර් කළා. වැඬේ යද්දී මගදී ගොවියෝ එක්කෙනා දෙන්නා මේක අතහැරලා ගියා මේක සාර්ථක වැඩක් නෙමේ කියලා. අන්තිමේ කොහොම හරි ඉතිරි වුණේ අපි තුන්දෙනකු විතරයි. අපි වැව් බැම්මක් බැඳලා පොඩියට වැවක් හදා ගත්තා. ගොවිතැන් කරගෙන යනගමන් මට වාරිමාර්ගයේ වැඩ කරන්න අවස්ථාවක් ලැබුණා. ඒ වෙලාවේ මට ඒකේ වැඩ කරන රෙසිපිකට් බාස් කෙනෙක් හමු වුණා. (කොන්ක‍්‍රිට් බාස් කෙනෙක්) එයාගේ මාර්ගයෙන් මන් වාරිමාර්ගයේ ලොකු මහත්තයෙක් අඳුරගත්තා. පස්සේ මන් ඒ ලොකු මහත්තයට කිව්වා පුළුවන් නම් මට ටික වෙලාවකට වැව හදාගන්න ඩෝසරයක් දෙන්න පුළුවන්ද කියලා ඇහුවා.

වැවක් හදා ගමක් අස්වැද්දූ මිනිසෙක්…

මහත්තයා මට කිව්වා පරිස්සමට ගිහින් වැඬේ කරගෙන එන්න. හැබැයි තෙල් ගහගන්න වෙනවා කිව්වා. මන් හා කියලා ඩෝසරේ අරන් ඇවිත් මගේ සල්ලි වලින් ඩෝසරේට තෙල් ගහලා ඩ‍්‍රයිවර්ටත් සල්ලි දීලා වැව් බැම්ම ටිකක් ලොකු කරලා හදා ගත්තා. නමුත් ඒකත් මන් හිතපු තරම් සාර්ථක වුණේ නෑ. පස්සේ මන් කල්පානා කළා කොහොමද මේ වැව හදා ගන්නේ කියලා. තනියම මේක කරගන්නත් විදියක් නෑ. නිලධාරීන්ගෙන් ඉල්ලීම් කළාට කවුරුවත් ගණන් ගන්නෙත් නෑ. පස්සේ මම කළ වැඬේ 12 දෙනෙක් එකතු කරගෙන හැදුවා සමිතියක්. සමිතියක් හදලා අපි එක් එක්කෙනා රුපියල් 5000 ගානේ එකතු කළා. එහෙම එකතු කරලා ගමේ වෙන වැඩකට ඇවිත් තිබුණු ඩෝසරයක් අපි ආයෙත් ගෙනත් වැව් බැම්ම නියම ප‍්‍රමිතියට හදන්න කටයුතු කරගෙන ගියා. ඒ වෙලාවේ කවුදෝ කෙනෙක් වන සංරක්ෂණයට කියලා අනවසරයෙන් වැවක් හාරනවය කියලා. ඉතින් වන සංරක්ෂණේ අය කඩාගෙන ඇවිත් මේක තහනම් කළා. කොහොමහරි වන සංරක්ෂණයෙන් මෙතනට එනකොට ඩෝසරේ වැවේ තිබුණේ නෑ. ඩෝසරේ වැඩ කර කර ඉද්දී කැඩිලා වෑල්ඩින් කරන්න වෙන තැනකට ගෙනිහින් තිබුණේ. ඒ නිසා වන සංරක්ෂණේ අයට ඩෝසරේ අල්ලගන්න බැරි වුණා. කොහොම හරි එවකට මෙහේ වන සංරක්ෂණේ භාරව හිටපු සමරසිංහ කියන මහත්තයා මට තුන්ඩු කෑල්ලක් දීලා ගිහින් තිබුණා මට කාර්යාලයට එන්න කියලා. මම තමයි පළමු විත්තිකරු කරලා තිබුණේ වැව හාරන එකට. මම වන සංරක්ෂණ කාර්යාලයට ගියාම ඒකේ හිටිය මහත්වරු මට කතා කරන්න ඉඩ දුන්නේම නෑ. මන් කරපු වරද තමයි මේ ආර හරස් කරලා වැවක් බඳින්න ගත්තා කියලයි. කොහොම හරි මන් කෑගහලා එතන හිටිය ලොකු මහත්තයට කිව්වා මහත්තයෝ මන් පාරිසරික ව්‍යසනයක් කරලා තියේනම් ඕනිම දඬුවමක් මට දෙන්න. හැබැයි කවුරුවත් කිව්ව පළියට මට මෙහෙම කරන එක වැරදියිනේ. ඔබතුමාම ගිහින් බලලා තීන්දුවක් ගන්න කියලා මන් කිව්වා. ඔන්න කොහොම හරි වන සංරක්ෂණේ ලොකු මහත්තුරු ටික ආවා මේක බලන්න. ඒ ඇවිත් ඒ අයත් පුදුම වුණා මොකද්ද මේ විශ්වකර්ම වැඬේ කියලා. ඒ මහත්තුරු ඇවිත් බලලා බොහොම හොඳයි මේක දිගටම කරගෙන යන්න. මගෙත් සහාය දෙන්නම් කියලා එවකට හිටිය වන සංරක්ෂණ මහත්තුරු ගියා. මමත් හිතුවා ඉතින් ඒ අය ඇත්තටම මේකට මට සහාය දේවි කියලා. මන් වැවේ තව තව වැඩ ටිකක් කරනකොට ඔන්න ආයෙත් වන සංරක්ෂණයෙන් ඇවිත් තහනම් කරලා මාව අරන් ගියා. දැන් මේ අය මට නඩු දමන්නමයි හදන්නේ. මන් මොනවා කිව්වත් අහන්නේම නෑ. ඉතින් මන් එක දිගට නිදහසට කරුණු කියන කොට ඔන්න මාව වන සංරක්ෂණේ මහත්වරු මාව ඇතෑරියා. හැබැයි කොන්දේසියක් ඇතිව. ඒ තමයි වැවත් හදාගන්න. දැනට වගා කරන අක්කර දෙක විතරක් වගා කරන්න, අනිත් ඉඩම් සුද්ද කරන්න එපා කිව්වා. දැන් මොනවා කරන්නද. අක්කර දෙකක් වගා කරන්න නම් මෙච්චර දුක් විඳලා වැවක් හදන්න ඕනියෑ. අන්තිමේ අපි ඉඩම පරිහරණ කමිටුව දක්වා යනකම්ම ලියුම් ලියන්න වුණා වගා කටයුතු පුළුල් කරගන්න. අන්තිමේ කොහොම හරි අපි ජයග‍්‍රහණය කළා. අපි ඔප්පු කරලා පෙන්නුවා අපිට ඕනේ වගා කටයුතු කරන්න. මේ රටේ කෘෂි කර්මාන්තය දියුණු කරන්න කියලා. මම මේ වැව හදන්න ලියුම් යවල ඇති හැම අමාත්‍යාංශයකටම. නිලධාරියකුටම. එදා නිලධාරීන් ඇවිත් මේ වැව හදද්දී මට ගොඩක් කරදර කළා. හැබැයි අද මේ වැව යටතේ කුඹුරු අක්කර 30ක් හා ගොඩ අක්කර 20ක් යලමහ වගා කරනවා. මේ තුළින් ලැබෙන අස්වැන්න අපි ගෙවල්වල හංගගෙන ඉන්නේ නෑ. අපි රටටයි මේ බත් ටික එළවළු ටික සපයන්නේ. මම මහ ලොකුවට ඉගෙනගෙන නැති වුණාට ගම් මට්ටමෙන් ජනතා සේවයට කියලා දමලා ඉන්න අපේ ඇතැම් නිලධාරීන්ට තවමත් නිසි අවබෝධයක් නෑ ගොවියන් එක්ක ගමේ මිනිස්සු එක්ක ගනුදෙනු කරන විදිය. වැඩ කරන විදිය. ගොවියගේ සිතුම් පැතුම් තේරුම් ගන්න සීතල කාමරවල ඉන්න මහත්තුරුන්ට බෑ යැයි ඔහු පැවසීය. එදා පුංචි දිය කඩක් හරස් කර විමලසේන සුවදහැන්නදි මහතා ඉදිකෙරුණු වැව අද පළාතකටම ආභරණයක් වී තිබේ. එදා තරුණ ජවයෙන් කටයුතු කළ ඔහු අද 68 වන වියේ පසුවෙයි. අදටත් ඔහු සිය බිරිඳ වන 67 හැවිරිදි විදානගමගේ සෝමාවතී මහත්මිය සමග වැව පාමුලම අටවාගත් පුංචි පැල්පතකට වී ගොවිතැන් බත් කරගෙන වැවද රැක ගනිමින් සැඳෑ සමය ගතකරයි. තම කාලය ශ‍්‍රමය වැය කරමින් ගම්මුන් වෙනුවෙන් වැවක් තැනූ මේ අපූරු මිනිසා අද ඒ දෙස බලා ලබන්නේ නිරාමිස ප‍්‍රීතියකිනි.

මේ අපූරු ගමන සඳහා අපට මග පෙන් වූ බඳගිරිය කෑලියවැලෑන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය හා යොවුන් සංවර්ධන අධ්‍යාපන නිකේතනයේ කළමනාකරු මහින්ද බණ්ඩාර මහතාට විශේෂ ස්තුතිය.

මත්තල
දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment