පොහොසත් රටක්, ලස්සන හෙටක් සඳහා වූ කෘෂිකාර්මික ප්‍රතිපත්පති මාලාවේ අරමුණු ළඟාකර ගැනීම සඳහා ශ්‍රී ලංකා කෘෂි ආර්ථික විද්‍යා සංගමය විසින් ජාතික ජන බලවේගයේ රජය වෙත ඉදිරිපත් කරනු ලබන යෝජනාවලියක සංක්‍ෂිප්තයකි.
“පොහොසත් රටක්, ලස්සන හෙටක්” තේමාව පෙරදැරි කරගනිමින් ජාතික ජනබලවේග රජය ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්ථයක් කරගැනීම සඳහා එහි අන්තර්ගත කෘෂිකාර්මික ප්‍රතිපත්ති කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම සටහනේ අරමුණ වන්නේ ඒ සඳහා ශ්‍රී ලංකා කෘෂි ආර්ථික විද්‍යා සංගමයේ යෝජනා රජයට ඉදිරිපත් කිරීමයි. ශ්‍රී ලංකා කෘෂි ආර්ථික විද්‍යා සංගමය ශ්‍රී ලංකාවේ කෘෂි ආර්ථිකයට සම්බන්ධ ගැටුම සඳහා සාධනීය මැදිහත්වීමකට පිහිටුවා ඇති ස්වාධීන වෘත්තිමය විද්වත් සංගමයයි.
ජාතික ජනබලවේගයේ පතිපත්ති ප්‍රකාශනයේ කෘෂි ආර්ථිකයට වැදගත් කරුණු සම්බන්ධයෙන් තම යෝජනා ඉදිරිපත් කරන ලෙස කෘෂි ආර්ථික විද්‍යා සංගමය එහි සාමාජිකයන්ට කරන ලද දැනුම් දීමට අනුව යෝජනා වූ කරුණු පදනම් කරගනිමින්, ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සූක්ෂමව අධ්‍යයනය කිරීමෙන් පසු ඒ හා සමාන කාරණාවලදී ජාත්‍යන්තර අත්දැකීම්ද සැලකිල්ලට ගෙන මෙම යෝජනාවලිය සකස් කර ඇත. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අරමුණු වන මහජනතාව දැරිය හැකි මිලකට තම ආහාර අවශ්‍යතාවය සපුරා ගන්නා අතරම ගොවීන්ටද ඉහළ ආදායමක් ලබාදෙමින් රට තුළ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමයි. ජාතික ජන බලවේගයේ කෘෂිකර්ම ප්‍රතිපත්තියේ මෙම අරමුණ ළඟාකර ගැනීම කාලෝචිත අවශ්‍යතාවයක් මෙන්ම අභියෝගාත්මක බව අප සංගමයද පිළිගනී.
නය සඳහා රජය ප්‍රමුඛතාවය ලබාදිය යුතු කරුණු සම්බන්ධයෙන් මෙම යෝජනාව අවධානය යොමු කර ඇත. ඒ අනුව ඉදිරි වසර 5 ක හෝ ඊට අඩු කාලයකදී ළඟාකර ගතයුතු ඉලක්ක සම්බන්ධයෙන් මෙහිදී සලකා බලා ඇත. ඒ සඳහා ප්‍රමුඛත්වය ලබාදී අවතීර්ණ විය යුතු ක්ෂේත්‍ර 10 ක් සම්බන්ධ විග්‍රහයක් සාරාංශ කර දැක්වීම මෙම සටහනේදී සිදුකර ඇත. කෙසේ නමුත් රජය ඉල්ලීමක් කරන්නේ නම් මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක කරුණු ඉදිරිපත් කිරීමට අප සංගමයට හැකියාව පවතී.
- නිෂ්පාදන ආර්ථිකයක් සඳහා වූ පදනම ශක්තිමත් කිරීම
කෘෂිකර්මාන්තය නිෂ්පාදන ආර්ථිකයක ඵලදායී අංශයක් ලෙස දියුණු කිරීමේ දී සම්ප්‍රදායික ගොවිතැනින් ඔබ්බට ගිය, එහි මුළු අගයදාමයම ව්‍යාපාරයක් ලෙස සලකා දියුණු කිරීම ඉතාම වැදගත් වේ. සියලු ගොවීන් ඔවුන්ගේ කෘෂි ව්‍යාපාරය පිළිබඳ තීරණ ගැනීමේ දී පුද්ගලික ව්‍යවසායකයන් ලෙස හැසිරේ. ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක සුළු ගොවීන්ටද පෞද්ගලික අංශයේ කෘෂි ව්‍යවසායකයන් මෙන්ම කටයුතු කිරීමට පහසුකම් සැලසීම ඉතා වැදගත්ය.
මුල්කාලයේ දී රජයේ ආයතන මැදිහත් වීමෙන් බීජ හා රෝපණ ද්‍රව්‍ය, පොහොර, බෝග ආරක්ෂණ කෘෂි රාසායනික ද්‍රව්‍ය, කෘෂි නිෂ්පාදන සැකසීම හා අලෙවි කටයුතු සිදුකළ නමුත් කෘෂිකර්මාන්තය සඳහා යෙදවුම් සැපයීමේ කාර්යභාරයෙන් ඔබ්බට ගොස් පුද්ගලික අංශය නියාමනය කරන ආයතන බවට රාජ්‍ය මැදිහත්වීම වෙනස් වීම අවශ්‍ය වේ. කෘෂි තාක්ෂණය හා උපකාරක සේවා සැපයීමේ දී පුද්ගලික අංශය ඉතා වැදගත් කාර්යභාරයක් සිදුකරයි. කෘෂි ව්‍යවසායන්ට තරගකාරී වෙළෙඳපොළ ආර්ථිකයක් තුළ ප්‍රශස්ථ මට්ටමෙන් කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට කළහැකි හොඳම ක්‍රමයයි. මේ සඳහා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විවිධ වූ සැපයුම් සහ සේවා සඳහා විශේෂිත වූ නිර්දේශ මෙම යෝජනාවලිය තුළින් ඉදිරිපත් කර ඇත.
- අපනයනය අරමුණු කරගත් කෘෂිකාර්මීකරණය
ආර්ථික වර්ධන ක්‍රියාවලියේ දී කෘෂී අපනයන අංශය ප්‍රමුඛ අංශයක් සේ සලකයි. නමුත් වර්තමානයේ අපනයනය හා බැඳුණු ශ්‍රී ලංකා රාජ්‍ය ප්‍රතිපත්තිය සහ එහි ක්‍රියාවලිය තුළින් අපනයන මන්දගාමී කිරීමට හේතු වී ඇත. පසුගිය වසර කිහිපය තුළ අපනයන ක්ෂේත්‍රයේ ශීඝ්‍ර කඩාවැටීම තුළින් මේ බව මනාව පැහැදිලි වේ. පවතින සීමිත සම්පත් ආර්ථිකමය වශයෙන් අඩු කාර්යක්ෂමතාවයක් සහිත දේශීය නිෂ්පාදන සඳහා යෙදවීම අපනයනවල පසුබෑම සඳහා ප්‍රබලව බලපා ඇත. මෙම අපනයන විරෝධී (anti-export) පක්ෂපාති තත්ත්වය හමුවේ වගකිවයුතු රජයේ ආයතනවල කඩිනම් මැදිහත් වීම අත්‍යවශ්‍ය වේ. මෙය උපායමාර්ගිකව වළක්වා ගනිමින් අපනයන ප්‍රසාරණය සඳහා අදාළ ආයතන සමග කටයුතු කිරීමට හා සහයවීමට අප සංගමය උනන්දුවෙන් පසුවෙයි.
- ප්‍රධාන ආහාරමය භාණ්ඩ සහ කෘෂි-ආහාර ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය මත සමානුපාතික බදු ප්‍රතිපත්තිය
ශ්‍රී ලංකාවේ විවෘත ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ලෝක වෙළෙඳ සංවිධානය සමග ඇති එකඟතාවයන් සමග ක්‍රියා කරමින් ආනයන සඳහා අගය මත බදු පැනවීම සිදුකරනු ලබයි. මීට අමතරව ආනයන බලපත්‍ර ක්‍රමය ආහාර භාණ්ඩ කීපයක් මත ක්‍රියාත්මක වේ. මෙම බලපත්‍ර ක්‍රමය මගින් අදාළ ආහාර ආනයනය ප්‍රමාණාත්මකව සීමා කිරීමට අවස්ථාව සැලසේ. බලපත්‍ර නිකුත් කිරීම අදාළ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් සිදුකළද, මෙම ක්‍රමය තුළ බොහෝ විෂමතාවයන් තිබීමට අවකාශ සැලසේ. මේ මගින් ආනයන බලපත්‍ර හිමියන්ට තම වාසිය උදෙසා වෙළෙඳපොළ නියාමනය කිරීමේ හැකියාව ලැබේ. පහත ඡේදයෙන් සාකච්ඡා කර ඇති පරිදි ආනයන ක්‍රමයේ දුර්වලතා මගහැරවීමට අපගේ නිර්දේශය ආනයන බලපත්‍ර නිකුත් කිරීමකින් තොරව සියලු ආනයනික භාණ්ඩ මත සමානුපාතික බදු පැනවීම වැනි සරල ක්‍රමයන් හඳුන්වා දීමයි.
- උපකාරක සේවාවල ඇති විධිවිධාන මත රාජ්‍ය-පුද්ගලික හවුල්කාරීත්වය ශක්තිමත් කිරීම (කෘෂි පර්යේෂණ” ව්‍යාප්ති සේවා” ණය පහසුකම් සහ රක්ෂණය)
වෙළෙඳපොළ ඉලක්ක කරගත් කෘෂි නිෂ්පාදන ක්‍රියාවලියක් තුළ කාර්යක්ෂම සහ ඵලදායී පර්යේෂණ හා සංවර්ධන සේවාවන් ඉතා වැදගත් වේ. එසේම දැරිය හැකි ණය පහසුකම් සහ කෘෂි රක්ෂණය වැදගත් උප අංශ වේ. වෙළෙඳපොළ ආර්ථිකයේ දියුණුවත් සමග මෙම සේවාවල ස්වභාවයේ, වපසරියේ හා සේවා සපයන ආයතනවල නවීකරණයක් ලෝකයේ දක්නට ලැබේ.
- අලෙවි කටයුතු ප්‍රමිතිය” සහතික කිරීම වැනි කාර්යයන් ඔස්සේ සුළු පරිමාණ ගොවීන් දේශීය සහ ගෝලීය අගය දාමට සම්බන්ධ කිරීම
කෘෂි වෙළෙඳපොළෙහි කාර්යක්ෂම ලෙස සහභාගි වීමට ගොවීයාට තම නිෂ්පාදන ගොවි බිමේ සිට වෙළෙඳපොළ දක්වා ඇති ක්‍රියාවලිය පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතුය. මෙම ක්‍රියාවලිය ඒකාබද්ධ කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම තුළින් ගොවීන්ට ඵලදායී ලෙස මෙම අගය දාමයට ප්‍රවේශ වීමේ හැකියාව පවතී. වෙළෙඳාම සම්බන්ධ කටයුතු” භාණ්ඩය හෝ එහි නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධව ප්‍රමිති ආයතන” ගුණාත්මය පරීක්ෂා කිරීම සහ සහතිකකරණය මෙන්ම යටිතල පහසුකම් සැපයීමට රාජ්‍ය ආයතන බොහොමයක් පවතී. වෙළෙඳපොළේ ඇති භාණ්ඩ වල සෞඛ්‍ය ආරක්ෂිත බව සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගේ සැළකිලිමත් බව ඉහළ ගොස් ඇත. නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතර ඇති දුරස්ථ බව නිසා මෙම ක්‍රියාවලියේ බොහෝ ගැටලුකාරී තත්ත්වයන් පැන නඟියි. මෙහිදී පැන නඟින විෂමතා නිවැරදි කරගැනීමට ක්‍රමවේදයක් සහ ක්‍රියාවලියක් රජය විසින් හඳුන්වාදිය යුතුය. නමුත් ශ්‍රී ලංකාවේ ප්‍රමාණවත් තරම් පරිපූර්ණ ප්‍රමිති ක්‍රියාවලියක් සහ සහතිකකරණයක් හඳුන්වාදී නොමැත. මෙම තත්ත්වය හමුවේ ගොවීන් ඵලදායී ලෙස අගය දාමයට සම්බන්ධ කරවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුය.
- කාර්යක්ෂම ගොවි ව්‍යාපාරික සංවිධාන ඇති කිරීම
ගොවීන් සඳහා පූර්ණ කාලීන රැයාවක් ලෙස ගොවිතැන තම ජීවන වෘත්තිය ලෙස සිදුකිරීමට නම් ඒ සඳහා සුදුසු ආර්ථික ශක්තිය ලබාදිය යුතුය. නමුත් ශ්‍රී ලංකාවේ බොහොමයක් ගොවිපල හා කෘෂි ව්‍යාපාර ඉතා කුඩා පරිමාණ වන අතර අඩු ආදායම් මට්ටමක පවතී. මෙය කෘෂිකාර්මික නව්‍යකරණයේ දී බරපතළ ගැටලුවකි.
ගොවියාට ප්‍රමාණවත් ආදායමක් ලබාගැනීමට ගොවිකමට අමතරව වෙනත් රැකියාවන් සිදුකිරීමට සිදුවී ඇත. එනම් ගොවීන් ගොවිකම තම අර්ධකාලීන ක්‍රියාවක් ලෙස සිදුකිරීම තුළින් ඉහළ ඵලදායීතාවයක් ලබාගත නොහැකි බව පෙනී යයි. ගොවීන් කිහිපදෙනකුගේ ඉඩම් ඒකාබද්ධ කර එක් විශාල ගොවිපලක් ලෙස ගොවිතැන් කටයුතු සිදුකිරීමේදී මෙම තත්ත්වය තරමක් දුරට වළක්වා ගත හැක. මෙහිදී එක් ගොවියකුට හෝ කිහිපදෙනකුට ගොවිතැන් කටයුතුවල නියැළීමටත් අනෙක් ගොවීන්ට ගොවිතැන් නොවන වෙනත් රැකියා කිරීමටත් අවකාශ ලැබේ. එතුළින් ගොවිතැන් කරන ගොවියාට පූර්ණකාලීනව ගොවිතැන රැකියාවක් ලෙස සිදුකිරීමට අවකාශ ලැබේ. ඉහත සඳහන් පරිවර්තනය සඳහා පහසුකම් සැපයීමට කරුණු දෙකක් සැපිරිය යුතුය. (අ) තම ඉඩම විශාල ගොවිබිමක් ලෙස ඒකාබද්ධ කර පැවරීමට අවශ්‍ය වන නීති සම්පාදනය සිදුකර තිබිය යුතුය. (ආ) කෘෂිකර්මාන්තයෙන් ඉවත්ව යන ශ්‍රමිකයන් සඳහා කෘෂිකාර්මික වන හෝ නොවන රැකියා අවස්ථා සඳහා අවකාශ සලසා තිබිය යුතුය. 7. ස්වභාවික සම්පත් තිරසාර භාවිතය සහ දේශගුණික විපර්යාසයන්වලට අනුගත වීම
ස්වභාවික සම්පත්වල ඵලදායිතාවය ආරක්ෂා කිරීමත් දේශගුණික විපර්යාස නිසා ස්වාභාවික සම්පත් ක්ෂය වීම වැළැක්වීමත් සඳහා තිරසාර ලෙස සම්පත් භාවිතයට හුරුකරවීම ඉතා වැදගත්ය. සම්පත් භාවිතයේ කාර්යක්ෂමතාවය සහ තිරසාර භාවය වැඩිකිරීම සඳහා වැඩිදියුණු කළ සම්පත් භාවිත ක්‍රමවලට පුහුණු කිරීම මෙන්ම ස්වභාවික සම්පත් නිශ්චිත පාලන රාමුවක් තුළ භාවිතා කිරීමත් අවශ්‍ය වේ.
භූමිය, ජලය සහ fජෛව පද්ධති යන ස්වාභාවික සම්පත් මත, කෘෂිකර්මාන්තය රඳා පවතින බැවින් කෘෂිකර්මාන්තයට ශක්තිමත් පාරිසරික සේවා ජනනය කිරීමේ හැකියාව පවතී. උදාහරණ ලෙස වී වගාකරන කුඹුරක් සැළකීමේදී එය ගලායන ජලය රඳවා ගැනීමේ ප්‍රභවයක් ලෙස ක්‍රියාකරන බැවින් ජල ගැලීම් පාලනයේ දී විශාල කාර්යභාරයක් ඉටු කරයි. එසේම කුඹුරුවල ගබඩා කර ඇති ජලය කාලයත් සමග පසේ පහළ ස්ථර වලට කාන්දු වීම තුළින් භූගත ජල මට්ටම ඒකාකාරව පවත්වා ගැනීමට හැකි වීමෙන් අවට උස් බිම්වල ඇති ගෙවතු වගා මෙන්ම වෙනත් බෝග වල අස්වැන්න පවත්වාගෙන යෑමට හේතු වේ. කෘෂිකර්මාන්තයේදී සිදුකරන ඉඩම් පරිහරණයේදී සිදුකරන වෙනස්කම් මගින් පරිසරයට සිදුවන හානිය අවම විය යුතුය. එසේ නොවන්නට වෙනස් පරිසර පද්ධති වලටත් ඵලදාවටත් සිදුකරන අනර්ථකාරී බලපෑම මත සමාජ සුභසාධනයට අවසන් වශයෙන් සෘජු බලපෑමක් සිදුවේ.
- කෘෂිකාර්මික යාන්ත්‍රීකරණය ප්‍රවර්ධනය
බිම් සැකසීම, පළිබෝධනාශක යෙදීම සහ අස්වනු නෙළීම මෙන්ම ඒවා සැකසීම වැනි කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ගොවිපළ යන්ත්‍ර සූත්‍ර කුළී පදනම මත ලබාගැනීමට ගොවීන් පෙළඹී සිටී. කෙසේ නමුත් සුළු පරිමාණ ගොවිතැන් කටයුතු සඳහා ගොවිපළ යන්ත්‍රෝපකරණ සේවා භාවිතයේ සාපේක්ෂ වියදම ඉහළය. තවද රෝපණ ද්‍රව්‍ය සිටුවීම, අස්වනු නෙළීම වැනි කෘෂිකාර්මික මෙහෙයුම් සඳහා සුළු පරිමාණ ගොවීන්ට ඇති සීමිත කාලසීමාව තුළ පවතින අධික ඉල්ලුම හේතුවෙන් අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සේවා කාලීනව ලබාගැනීම දුෂ්කර වී ඇත. එසේම පසු අස්වනු තාක්ෂණය සහ ගබඩා කිරීම වැනි කෘෂිකාර්මික කටයුතු සඳහා නව තාක්ෂණය මුසු වූ ක්‍රමවේද සඳහා වැය වන අධික පිරිවැය නිසා සුළු පරිමාණ ගොවීන් මේ සඳහා යොමු වීම මන්දගාමී වේ. ගොවිපල යන්ත්‍ර කුළී සේවාවන් දැරිය හැකි මිලකට මෙන්ම අවශ්‍ය කාල සීමාව තුළ ලබාගැනීම සඳහා රජයේ මැදිහත් වීම අවශ්‍ය වේ. රජයේ අධීක්ෂණය යටතේ පුද්ගලික අංශයේ කෘෂි ව්‍යාපාර සතු මෙම කුළී සේවා ගොවීන්ට ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතුය.
ගොවිජන සේවා මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් මෙය සිදුකළ හැක. මේ තුළින් සම්ප්‍රදායික යන්ත්‍ර සූත්‍ර වෙනුවට නව විධික්‍රම භාවිතය දක්වා වර්ධනය කරගත යුතුය. උදාහරණයක් ලෙස හදිසියේ ඇතිවන පළිබෝධ සහ රෝග කලින් හඳුනා ගැනීමට සමත් තාක්ෂණවේදීන්ගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් සිටීම. තවද ගෙවීම් මත පදනම් වූ පළිබෝධ සඳහා ප්‍රතිකාර කිරීමට පාලන ක්‍රමවේදයක් සකස් කිරීම දක්වා වර්ධනය කිරීම, මේ සඳහා ශක්තිමත් තත්ත්ව පාලන සහ තරගකාරී මිල නියාමනයක් හඳුන්වා දීමත් එය විධිමත්ව ස්ථාපිත කළ රජයේ ඒකකයක් මගින් අධීක්ෂණය මෙන්ම පහසුකම් සැපයීම අවශ්‍ය වේ.
කෘතීම බුද්ධිය, ඩ්‍රෝන තාක්ෂණය, නැනෝ තාක්ෂණය මෙන්ම වෙනත් දුරස්ථ පාලන උපකරණ කෘෂිකාර්මික මෙහෙයුම් සඳහා භාවිතයත් සමග ගොවිපල යන්ත්‍ර සූත්‍ර හැසිරවීමේ විශේෂ දක්ෂතා ඇති පිරිස් සිටිය යුතුය. ඒ අනුව මෙම උපකරණ මෙහෙය වීම සඳහා නිපුනතා සහිත කම්කරුවන් පිරිසක් අවශ්‍ය වේ. මෙම කුසලතා වර්ධනයට විශේෂ සම්මත පුහුණු වැඩසටහන් හඳුන්වාදිය යුතුය. එමෙන්ම මෙම ගොවිපල යන්ත්‍රෝපකරණ හසුරුවන්නන් සඳහා වෘත්තීමය පුහුණු සහතික ලබාදීමේ ක්‍රමවේද හඳුන්වා දීම වැදගත් වේ.
- ආයතනික ව්‍යුහ ප්‍රතිසංස්කරණය
කෘෂිකර්මය සඳහා වූ ආයතනවලින් අපේක්ෂිත මෙහෙවර කාලයත් සමග වෙනස් වී ඇතත් ආයතනික ව්‍යුහ කාලානුරූපීව වෙනස් වීමට අපොහොසත් වී ඇත. තවද විවිධ ආයතන වල වගකීම ආයතන බොහොමයක් අතර බෙදී ගොස් ඇති නමුත් එක් එක් ආයතන සඳහා ඇති විෂය පථයන්ගේ අපැහැදිලි බව නිසා ක්ෂේත්‍රයේ අභියෝග වලට සමපාත වන වැඩසටහන් හඳුන්වාදීමට අපොහොසත් වී ඇත. මේ අනුව කඩිනමින් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රධාන ආයතනවල සංවිධාන ව්‍යුහ ප්‍රතිසංස්කරණය සිදුකළ යුතුව ඇත. එය ක්ෂේත්‍රයේ සංවර්ධන අවශ්‍යතා තම මෙහෙවර සහ වගකීම් සමග සමපාත වන ලෙස සකස් කිරීම ඉතා වැදගත් වේ.
වී නිෂ්පාදනය පිළිබඳව ජාතික ඉලක්ක ළඟාකර ගැනීමත් සමග කෘෂි පර්යේෂණ පද්ධතිය අරමුණු පිළිබඳව යම් නොපැහැදිලි බවක් ඇති වී තිබේ. කෘෂි බෝග පර්යේෂණ කටයුතු සඳහා අඩු අවධානයක් යොමු කර ඇති සේම මේ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම ද ඉතා අඩු මට්ටමක පවතී. මෙම තත්ත්වය හමුවේ බහුජාතික බීජ සමාගම් නිපදවන වැඩි අස්වනු ලබාදෙන දෙමුහුන් ප්‍රභේද වාණිජ බෝග හා එළවළු බීජවල සුලබතාවය නිසා මෙම තත්ත්වය තවත් සංකීර්ණ වේ. රාජ්‍ය අංශයේ පර්යේෂණ හා ව්‍යාප්ති සේවකයන්ගේ කාර්යභාරය මෙම තත්ත්වය යටතේ නොපැහැදිලි තැනකට පැමිණ ඇත.
- කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සිට සිදුවන ශ්‍රම සංක්‍රමණය සඳහා පහසුකම් සැපයීම
දළ දේශීය නිෂ්පාදිතයෙන් 7% ක් වැනි අඩු ප්‍රතිශතයක් කෘෂිකර්ම ක්ෂේත්‍රයෙන් දායක කිරීමෙන් ද 25% වූ ශ්‍රම බළකාය කෘෂි හා ඒ ආශ්‍රිත කටයුතුවල නිරත වීමෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සම්පත් බෙදී යෑමේ නොගැළපීමක් පෙන්නුම් කරයි. එබැවින් ශ්‍රම ඵලදායීතාව වැඩිකිරීමටත් නිෂ්පාදකයාගේ ආදායම් මට්ටම වැඩි කිරීමටත් කටයුතු කළ යුතුය. සංවර්ධිත ආර්ථිකවල කෘෂිකර්මය ආශ්‍රිත ශ්‍රම බළකායෙන් වැඩි ප්‍රමාණයක් ආහාර නිෂ්පාදන සහ ආහාර සේවා සම්බන්ධ කර්මාන්තවල නිරත වේ. ඒ අනුව ප්‍රාථමික කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අතිරික්ත ශ්‍රම බළකාය ආහාර සහ ආහාර නොවන ක්ෂේත්‍ර සඳහා සංක්‍රමණය වීම අත්‍යවශ්‍ය වේ. දුර්වල ආර්ථික මට්ටමත් සහ කෘෂි ක්ෂේත්‍රයේ මන්දගාමී පරිවර්තන මගින් ග්‍රාමීය කෘෂිකාර්මික නොවන ක්ෂේත්‍රවල වර්ධනය වළක්වා ඇත. එමඟින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අතිරික්ත ශ්‍රම බළකායට රැකියා අවස්ථා ඇති වීමද ඇහැරී යයි. ප්‍රමාණවත් නොවන ග්‍රාමීය යටිතල පහසුකම් දුර්වල ව්‍යවසායකත්වය, කුසලතාවල ඇති අසමතුලිතතා, දුර්වල මූල්‍ය පහසුකම්, තාක්ෂණික පරිවර්තන සඳහා ඇති බාධක ග්‍රාමීය කෘෂි නොවන ආර්ථිකයක දියුණුවට බාධා පමුණුවන සාධක ලෙස හඳුනාගෙන ඇත.
කෘෂිකර්මය වේගයෙන් දියුණු වන කර්මාන්ත ලෙස සංක්‍රමණය වීමට සුදුසු නව ආදායම් මාර්ග ලෙස හඳුනාගත් අවස්ථා බොහොමයක් පවතී. (i). සහල් ආශ්‍රිත නව ආහාර නිෂ්පාදන (ii). ශ්‍රේණිගත කිරීම, වියළීම, වර්ග කිරීම වැනි අස්වැන්න වෙත අගය එකතු කිරීමක් සිදුකිරීම (iii). සැහැල්ලු ආහාර සැකසුම් කර්මාන්ත උදා – යෝගට් සෑදීම, මීකිරි, ගෘහාශ්‍රිත චීස්, පළතුරු බීම (iv). බහුලව භාවිතයට නොගත් හා අමතර ආහාර උදා- ගොරකා තලප (පේස්ට්), සියඹලා තලප, දිවුල් පල්ප, බෙලි පේස්ට් (v). කර්මාන්ත සංවර්ධනයට ආශ්‍රිත බීම වර්ග නිෂ්පාදනය සහ ආහාර නිෂ්පාදනය උදා – තෙල් නිස්සාරණය, විජලනය (vi). විශේෂ දක්ෂතාවයන් සහ නව්‍යකරණය වූ ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිත කෘෂිකාර්මික කර්මාන්ත උදා – කුරුඳු සැකසීම, කිතුල් කර්මාන්තය, (vii). සංචාරකයන් සහ නාගරික පාරිභෝගිකයන් ඉලක්ක කරගත් සම්ප්‍රදායික ආහාර නිෂ්පාදනය.