වැවේ රොන් මඩ සම්පතත් චීනයට… චන්ද්‍රිකා වැව හැරීමේ උත්සවය චීන බසින්

645

සටහන හා සේයා රූ – මත්තල
දිලිප් එන්. ජයසේකර


අතීත හෙළ රජ දරුවන් සතුව පැවති තාක්ෂණික ශිල්ප ක‍්‍රම ලොවටම විදහා දැක්වූ අනගි අවස්ථාවක් ලෙස මෙරට වාරි තාක්ෂණය පෙන්වාදිය හැකිය. ඈත අතීතයේ සිටම කෘෂිකාර්මික දිවි පෙවෙතක් ගතකළ බතෙහි සැබෑ රසය හඳුනාගත් ශී‍්‍ර ලාංකිකයෝ වාරි තාක්ෂණය පිළිබඳ මනා දැනුමකින් සන්නද්ධව සිටි බව නොරහසකි. නිකරුණේ ගලා ගිය ස්වභාවික දිය පහරවල් උපයෝගී කරගනිමින් රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ අනුග‍්‍රහය ඇතිව ලොවම විස්මයට පත්වන අයුරින් ඉදිකර ඇති මෙම වාරි තාක්ෂණය එදා සිටි හෙළයන් අපට දායාද කලේ කෙසේද යන්න පිළිබඳව දෙස් විදෙස් විද්‍යාඥයින් අදට ද පර්යේෂණ පවත්වමින් තිබේ.

එදා ලංකාවේ සිටි වාරි තාක්ෂණික ශිල්පීන් ක‍්‍රි.ව.08 වන සියවසේදී ඉන්දියාවේ කාශ්මීරයට ගොස් ඇති බවත්, එහිදී එකල කාශ්මීරයේ රජු වැව් අමුණු ඉදිකිරීම් සම්බන්ධයෙන් ලංකාවේ ඉංජිනේරුවන්ගේ සහාය ලබාගෙන ඇති බවත් ලංකාවේ වාරි මාර්ග පද්ධතිය පිළිබඳව හසල දැනුමකින් සහ උද්යෝගයකින් කි‍්‍රයා කළ බි‍්‍රතාන්‍ය ඉංජිනේරුවකු වන හෙන්රි පාකර් මහතා දක්වා තිබේ. එදා හෙළයන් තුළ වාරි තාක්ෂණය පිළිබඳ කෙතරම් දැනුමක් තිබුණේද යන්න පිළිබඳ හෙන්රි පාකර් මහතාගේ මේ කරුණු දැක්වීම හොඳම සාක්ෂියකි.

වැවේ රොන් මඩ සම්පතත් චීනයට... චන්ද්‍රිකා වැව හැරීමේ උත්සවය චීන බසින්


එදා සිංහලයා සතුව තිබූ නිර්මාණාත්මක විශේෂ බුද්ධිය නිසා ජනාකීර්ණ නගරාසන්න ප‍්‍රදේශයන්හි මහ වැව් බැඳ වේලි තැනීමට ඔවුන් සමත් වී තිබේ. ලංකාව පිළිබඳ ගවේෂණය කළ බොහෝ විදෙස් ජාතික විද්වතුන්ගේ කරුණු දැක්වීම් වලට අනුව දැක්වෙන අන්දමට සිංහලයන් සතුව විශේෂ බුද්ධි ඥානයක් පැවති බවත් මේ හේතුවෙන් ඔවුන්ට විශාල වැව් ඉදිකිරීමට හැකියාව ලැබුණු බවත් එම විශාල වැව් තුළින් පිට කරන මහා ජල කඳ නියමාකාරයෙන් බෙදාහැරීම හැකි තාක්ෂණික ක‍්‍රමයක් යටතේ ඇළවේලි නිර්මාණය කිරීමටත් ලාංකිකයෝ සමත් වූ බව දක්වා තිබේ.

ඒ එදා අපේ රටේ පැවති වාරිතාක්ෂණයයි. එදා එලෙස පැවතියත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් වී ගොස් තිබේ. එදා රජුන් තැනූ වැව් ටික අද වන විට ගොඩ වෙමින් යටවෙමින් මෙන්ම විවිධ ආක‍්‍රමණියකයන්ට ගොදුරු වෙමින් පවතී. ගම් මට්ටමේ පවතින බොහෝ වැව්වලට අද වන විට කණකොකා හ`ඩා හමාරය. අද අප ඔබට ලියන්නට යන මේ කතාවද තිස්සමහාරාම ප‍්‍රදේශයෙන් වාර්තා වූවකි. පළමුවෙන්ම කිවයුතු කරුණක් තිබේ. මෙම අනාවරණය තුළ කිසිවෙකුටත් මඩ ගසන්නට හෝ වෙනත් කිසිවෙකුත් අපහසුතාවයට පත් කිරීමේ අරමුණක් නොමැති බව සඳහන් කළ යුතුය. දේශීය උගතුන් බුද්ධිමතුන් කොතෙකුත් හිටියත් පැවති වගේම පවතින සියලූ පාලකයන් විසින්ද ඔවුන්ව පසෙකට දමා තිබේ. ඒ වෙනුවට කොහෙන් හෝ රටකින් රැගෙන එන උගතුන් බුද්ධිමතුන් යැයි කියා ගන්නා පිරිසක් ලවා අපේ රටේ ඉදිකිරීම් ඇතුළු සියලූ දේ ඉටු කර ගැනීමට වගේම උපදෙස් ගැනීමටද පුරුදුව සිටිති. මේ හේතුව නිසාම ලංකාවේ බොහෝ උගතුන් බුද්ධිමතුන් සිය රට හැරදා ගොස් තිබේ.

වැවේ රොන් මඩ සම්පතත් චීනයට... චන්ද්‍රිකා වැව හැරීමේ උත්සවය චීන බසින්



පසුගිය දින තිස්සමහාරාම වැවෙහි රොන්මඩ ඉවත් කර වැව ප‍්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කෙරුණි. ඒ වර්ෂ 150කට පමණ පසුවය. නමුත් මේ පිළිබඳව බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයක් යොමු කෙරුණි. ඒ අන් කිසිවක් නිසා නොව මෙම වැවෙහි ප‍්‍රතිසංස්කරණ කටයුතු චීන සමාගමකට ලබා දී තිබීමත් හා එහි සේවය සඳහා යුධ හමුදා කැලෑ ඇඳුමකට සමාන පුද්ගලයන් පිරිසක් විසින් මෙම කටයුතු සිදු කිරීමත් නිසාය. මේ සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතා බහක් ඇතිවිය.”ඔන්න තිස්සමහාරාම වැව චීනෙට දීලා” ඇතමෙක් කියන්නට වූ අතර තවකෙක් කීවේ තිස්සමහාරාම වැවත් එක්ක චීන හමුදා පදිංචියට එන බවත්ය.

මේ එක එක කතා අතරේ අපද තිස්සමහාරාමයට ගියේ මේ පිළිබඳව සොයා බලන්නටය. අප එහි යනවිටත් හමුදා කැලෑ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු චීන ජාතිකයින් පිරිසක් එහි වැඩ කරමින් සිටියේය. තොරතුරු සොයා බැලීමේදී අනාවරණය වුයේ තිස්සමහාරාම වැවෙහි රොන්මඩ ඉවත් කර එහි ප‍්‍රතිසංස්කරණ කටයුතු චීන සමාගමකට ලබා දී ඇති බවයි.

දකුණු ලක පිහිටි විශාලතම ස්ථූපය ලෙසින් සැළකෙන ඓතිහාසික තිස්සමහාරාම වෙහෙර වහන්සේ ආසන්නයේ පිහිටා ඇති තිස්ස වැව 03 වැනි ශත වර්ෂයේ දී රුහුණේ රජකම් කළ මහානාග නම් රජතුමා විසින් ඉදිකරන ලදැයි සැළකේ. රුහුණේ කෙත්වතු රැසකට ජලය සපයන මෙම මහා වැව් ප‍්‍රදේශයේ ජනතාවට මහා සම්පතකි. තිස්සමහාරාම, කතරගම ඇතුළු දකුණේ සංචාරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේද මනස්කාන්ත දසුන් මවන ස්ථානයක් ලෙස තිස්ස වැව ඉතා ප‍්‍රකටය. වැව් බැම්ම දිගේ වර්තමානය විට පවතින මහා වෘක්ෂයන් බොහෝ දෙනෙකුගේ ගමන් විඩාව දුරු කිරීමට සමත්වී තිබේ.

මෙම වැව අවසන් වරට නියම ප‍්‍රමිතියෙන් යුතුව ප‍්‍රතිසංස්කරණය කළ බව සැළකෙන්නේ වර්ෂ 1871 දීය. අක්කර 652ක භූමි ප‍්‍රමාණයකින් යුක්ත තිස්සවැව මූලික කරගෙන කුඹුරු අක්කර 2000ක් පමණ යල මහ වගා කෙරෙති. තිස්සමහාරාම වැව අක්කර 652ක් පුරා විහිදී පැවතියත් අද වන විට එම ප‍්‍රමාණය බොහෝ අඩු වී ඇති බවයි ගොවි ජනතාව පෙන්වා දෙන්නේ. ඊට හේතුව 1871 පසුව වැවෙහි නියම ප‍්‍රතිසංස්කරණයක් සිදු නොවීම බවද ඔවුන් පෙන්වා දෙති.

වත්මන් රජයේ වැව් අමුණු හා වාරි කෘෂි ඇළ මාර්ග ප‍්‍රතිසංස්කරණය කිරීමේ වාරි සෞභාග්‍යා ජාතික වැඩසටහන යටතේ ඉහළ ජල ධාරිතාවයක් සහිත මහ වැව් ප‍්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධව වන නියමු ව්‍යාපෘතියක් ලෙස තිස්ස වැව ප‍්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුගිය දින ආරම්භ කෙරුණු අතර එය රාජ්‍ය මුදල් සැපයීමකින් තොරව සිදු කිරීම විශේෂත්වයකි. ඒ අනුව අදාළ ප‍්‍රතිසංස්කරණ කටයුතු චීන සමාගමක් වෙත භාර දී තිබේ. තිස්ස වැව නැවත ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වීම ඉතා හොඳ කටයුත්තක් වුවත් එය සිදුවෙන ආකාරය පිළිබඳව බොහෝ දෙනෙකු තුළ පවතින්නේ දැඩි කුකුසකි. අද වන විට එය මෙරට පමණක් නොව එරට ජනතාව තුළද කතාබහට ලක්ව තිබේ.

අදාළ චීන සමාගම විසින් වැවේ පිරී ඇති රොන්මඩ, වැලි සහ විවිධ අපද්‍රව්‍ය වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහ පාරිසරික නිර්දේශයන්ට යටත්ව ඉවත් කොට වැවේ ජල රැඳවුම් ධාරිතාවය ඉහළ නැංවීම මෙම නියමු ව්‍යාපෘතියේ මූලික අරමුණ වී තිබේ.

තිස්සමහාරාම වැව ප‍්‍රතිසංස්කරණය කිරීම හෝ එහි ඇති වැලි හෝ පස් විකිණීමද ජනතාවට ගැටලූවක් නොමැතිය. ගැටලූව වී ඇත්තේ මේ කටයුත්ත චීන සමාගමකට දීමත් හා එහි සේවය කරන චීන පිරිස් යුධ හමුදා කැලෑ ඇඳුමකට සමාන ඇඳුමකින් සැරසී සිටිමත්ය. ඈත අතීතයේ සිටම නවීන වාරි තාක්ෂණයකට හිමිකම් කියූ සිංහලයාට ගොඩ වී ඇති වැවක්වත් හදා ගැනීමට නොහැකි වී දැයි මෙය දකින අයෙකුට සිතෙන්නට හැකිය. ලංකාවේ අධ්‍යාපනය හරහා වසර පුරා බුරුතු පිටින් එළියට එන දේශීය ඉංජිනේරුවන්ට මෙය කිරීමට නොහැකිද. ඔවුන් සතුව මේ වැවෙහි පවතින රොන්මඩ ඉවත් කර වැව ප‍්‍රතිසංස්කරණය කිරීමට තරම් දැනුමක් නොපවතින්නේද යන්න ගැටලූවකි. එදා රාජ රාජ මහාමාත්‍යාදීන් විසින් දේශීය ඉංජිනේරුවන්ගෙන් යුක්තව ඉදිකළ මහ වැව් ප‍්‍රතිසංස්කරණය කිරීමට විදෙස් රටවලින් ගෙන්වා ප‍්‍රතිසංස්කරණය කළ යුතුමද යන්න කාගේත් මුවගට නැගෙන ප‍්‍රශ්නයකි.

මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන චීන ශ‍්‍රී ලංකා ඒකාබද්ධ සමාගමේ සාමාන්‍යාධිකාරී තුසිත බලල්ල මහතාද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙම ප‍්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව මෙරට අදාළ අංශ එම ස්ථානය පරීක්ෂා කර ඇති බවත් ඒ පිළිබඳව කිසිදු ගැටලූවක් නොමැති බවත්ය. එමෙන්ම මෙම ව්‍යාපෘතියෙන් අදාළ සමාගමට රජය පාර්ශවයෙන් කිසිදු ලාභයක් නොලැබෙන බවත් ලාභයක් ලබා ගත හැක්කේ වැවෙහි ප‍්‍රතිසංස්කරණ කටයුතු වලදී ලැබෙන මැටි, වැලි හා පස් විකිණීමෙන් පමණක් බවද ඔහු වැඩිදුරටත් පැහැදිලි කිරීමක් කර තිබේ. එමෙන්ම මෙම ව්‍යාපෘතියේ සේවයේ නියුතු චීන පිරිස් ඇඳ සිටින කැලෑ ඇඳුම පිළිබඳවද ඒ මහතා මෙලෙස පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. ‘‘ඒක සාමාන්‍යයෙන් ඒ කට්ටියගේ ඕවරෝල් කිට් එකක්. මම හිතන විදිහට මේ වෙච්ච දේත් එක්ක, බුද්ධි අංශ නිලධාරීන් පැමිණිලා කැමා කිට් එකත් එක්ක මෙය සසඳලා බලලා, කිව්වා මේක කිසිම දේක ප‍්‍රශ්නයක් කර ගන්න එපා. ප‍්‍රශ්නයක් නෑ. මේක වැඩ බිමක සාමාන්‍යයෙන් චීන කට්ටිය අඳින ඇඳුමක්. අපිත් ඒක ලොකුවට හිතුවේ නෑ. මොකද මේ කට්ටිය මෙහෙට ඇවිල්ලා මාස 06 ක් විතර වෙනවා. ඒ අය පාරේ සැරිසරනවා. දැන් මාසයක් මේ කට්ටිය තිස්සමහාරාමෙ ඉන්නවා. ඇත්තටම මම මේක එක හෙළාම කියනවා මේක කවදාවත්, චීන හමුදා ඇඳුමක් මොකවත් නෙවෙයි, ඇවිත් වුණත් බලන්න පුළුවන්. බුද්ධි අංශ නිලධාරීනුත් මේක අල්ලලා බලලා අපිට කිව්වා මේක ප‍්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා’’.

ඔවුන් එසේ පැවසුවත් වැඩබිමෙහි සේවයේ නිරත චීන ජාතිකයින් පිරිස ඇඳ සිටි කැලෑ ඇඳුම් වල හමුදා නිලධාරීන් පළඳන නිල ලාංඡන ආදිය රැඳවීමේ ස්ථානද දැකිය හැකි විය. මේ නිසා කවුරුන් විසින් මෙම සිදුවීම පිළිබඳව නැත්නම් මෙම පිරිස ඇඳ සිටින ඇඳුම පිළිබඳව එය සාමාන්‍ය දෙයක් බවට ඇ`ගවීමට උත්සාහ කළද මොළයක් ඇති බොහෝ දෙනෙකු මේ වන විටත් මෙහි ඇති බරපතළ කම පිළිබඳව වටහාගෙන හමාරය.

මෙලෙස විදෙස් ජාතිකයින් පිරිසක් මෙරට තුළ කැලෑ ඇඳුමකින් සැරසී කටයුතු කළ හැකිද යන්න පිළිබඳව එක්තරා විද්‍යුත් නාලිකාවක් විශ‍්‍රාමික ලූතිනන් කර්නල් චන්න කරුණාරත්න මහතාගෙන් විමසීමක් කර තිබූ අතර එහිදී ඒ මහතා මෙලෙස කරුණු පැහැදිලි කර තිබේ.

‘‘රටවල් දෙකක් අතර යුද සම්මුතියක් නැතුව කිසිම හේතුවක් නිසා හමුදා රෝල් එක ඇතුළේ වෙනත් රටක මෙහෙයුම් කිරීමේ බලයක් නෑ. ඒ අය නිල ඇඳුමෙන් නිල මෙහෙයුමක යෙදී සිටිනවා නම්, අපි මෙච්චර බට පිරිසක් මෙන්න මේ වැනි කටයුත්තක් සඳහා ගේනවා කියලා අපේ රටට දැනුම් දෙන්න ඕනේ. දැන් මෙතන වැව හාරන්න හමුදාව අවශ්‍යද? මේ ඇවිල්ලා තියෙන්නේ හමුදාවක්ද? රජය මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. චීනෙත් එක්ක සාකච්ඡා කරලා පැහැදිලි ප‍්‍රකාශයක් කරන්න ඕනේ”යැයිද පැවසීය.

ඈත අතීතයේ සිටම වැව් බැඳි රාජ්‍ය නම් විරුදාවලියට හිමිකම් කියූ අප අද වන විට පත්ව ඇති තත්ත්වය පිළිබඳව නම් කිසිසේත්ම සතුටු විය නොහැකිය. මෙරට බලයට පත් වු බොහෝ පාලකයින් ලංකාවේ කෘෂිකර්මාන්තය නගාසිටුවීම වෙනුවෙන් ඉටු කර ඇත්තේ ඉතා අල්ප වූ සේවාවක් බව කනගාටුවෙන් නමුත් කිව යුතුව තිබේ. ඊට හේතු සාධක මෙන්ම සාක්ෂිද ඕනෑ තරම්ය. එදා රජ දවස මෙරට ඉදිකර මහා වාරි ව්‍යාපෘතීන්ට අමතරව ඒ ඒ ප‍්‍රදේශ ඉලක්ක කරගෙන ඉදිකළ කුඩා කුඩා වැව් කොතරම්ද යන්න සංඛ්‍යාත්මකව කිව නොහැකි තරම්ය. ඒ තරමටම වැව් වලින් ජලයෙන් මේ රට ස්වයංපෝෂිතව පැවතුණි. එහෙත් අද වන විට යළි මහ කන්න දෙකට වගා කටයුතු කිරීමට තරම් ප‍්‍රමාණවත් ජලය රඳවා ගත හැකි වැව් පවතින්නේ කීයෙන් කීයක්ද යන්න සිතා බැලිය යුතුව තිබේ. ඇතැම් වැව් පැවතියත් ඒවායේ වගා කටයුතු කළ හැකිව ඇත්තේ එක කන්නයක් හෝ දෙකක් පමණකි. ගම් මට්ටමේ පැවති කුඩා කුඩා වැව් අද වන විට ඇත්තේ නමට පමණකි. ඒවායේ වතුර නොමැතිය. වැව් බොහොමයක් මේ වන විටත් ගොඩවී කැලෑවට යටවී හමාරය. මේ හේතූන් නිසා ගොවියෝද වතුර ඇත්නම් ගොවිතැන් කර නැත්නම් කුළියකට ගොස් කීයක් හරි සොයා ගැනීමට පුරුදුව ඇත්තේ වෙන විකල්පයක් නොමැති නිසා විය යුතුය.

රටින් හාල් ටික එළවළු ටික පලතුරු ටික ගෙන්වන්නට පාලකයන්ට ඇති උනන්දුව හා කැපවීම මේ රටේ වැව් ටික හදන්නට ගොවියා ගොවිතැනට යොමු තරන්නට පැවතියේ නම් අද වන විට මේ රට ස්වයංපෝෂිත ආර්ථිකයකට හිමිකම් කියනු ඇත. එපමණක් නොව මෙරට පරිභෝජනයට අමතරව විදෙස් රටවලටද යැවීමට තරම් ඵලදාවක් අප සතුව තිබිය හැකිය. එදා මෙරට ඵලදාව විදෙස් රටවලට යැවූ අප අද පිට රටින් කන්න ටික ලැබෙනකම් දත නියවා බලා සිටීමට සිදුව ඇත්තේ පාලකයන්ගේ වැරදි තීන්දු තීරණ හා බටහිර ගැතිවාදී වීම නිසාය.

තිස්සමහාරාම වැවෙහි සිදුවන මේ ප‍්‍රතිසංස්කරණ කටයුතු වල නිරත පිරිස හැඳ සිටින හමුදා ඇඳුමට සමාන ඇඳුම පිළිබඳ පැනනැගුණු ගැටලූව හමුවේ ඒ පිළිබඳව චීන තාතාපති කාර්යාලයද ට්විටර් පණිවිඩයක් මගින් කරුණු පැහැදිලි කිරීමක් කර තිබේ.

කෙසේ වෙතත් මේ වන විට මෙම ගැටලූව පිළිබඳව බොහෝ දෙනෙකු විවිධ අදහස් දැක්වීම සිදුකර මෙම ක‍්‍රියාවට විරෝධය දක්වා ඇති අතර ඇතමෙක් මෙය චීන ජාතිකයින් වැඩබිම් වල සේවය කිරීමේදී අඳින ඇඳුමක් බව පවසමින් එය සාමාන්‍ය දෙයක් බවට හැ`ගවීමට උත්සාහ කර තිබේ. මෙහිදී අප කිව යුතු කරුණ නම් රටත් තුළ යම් විනයක් නීතිියක් පැවතිය යුතුය. රටක පැවැත්මට එය මහත් රුකුලකි. එලෙස නොමැතිව පාලකයන් මාරුවෙන මාරුවෙන සැරයක් පාසා මේ රටේ නීතියට හානියක් සිදුවන දේ සිදුවන්නේ නම් එය බහුතරයක් දෙනාට නොඉවසුම් දෙන කරුණකි. ඒ අන් කිසිවක් නිසා නොව සිංහලයාට ඇති එකම රට මේක වීමය.

advertistmentadvertistment
advertistmentadvertistment