වැවේ… ළිඳේ වතුරටත් බද්දක්…

187

ජල සම්පත මෙරට ජාතික උරුමයකි. පැරණි රජවරුන් විසින් මහා වැව් ඉදිකොට දී කුඩා වැව් ද පෝෂණය කරමින් රට සශ්‍රීක කරලීමට ඉඩ පහසුකම් සැලසූ අතර ජනතාව එම උරුමයන් තමන් ගේ පණ සේ ආරක්ෂා කළහ. වැව් නඩත්තු කරලීමට ගමේ පැවති එකමුතුවද වැව් ගැන දත් දැනුමැත්තන්ගේ අත්දැකුම්ද ඉතා වැදගත් විය. බ්‍රිතාන්‍ය පාලකයන් විසින් මෙම වැව් කඩා බිඳ දැමීමත් රාජකාරිය තහනම් කිරීම නිසා ඇතිවූ සෝදාපාළුව නිසාත් වැව් වල පාලනය මුළුමනින්ම බිඳ වැටුණි. එහි ප්‍රතිඵලය වූයේ මහා ජල ගැලුම් වලින් වැව් කැඩී බිඳී විනාශව යෑමයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පිහිටුවන ලද්දේ බ්‍රිතාන්‍යයන් විසින් කරන ලද ඒ වැරැද්ද නිවැරදි කිරීමටයි. නමුත් වැව් ගැන වැවේ සොරොව්ව ගැන නොදත් ඉංජිනේරුවන් නිසා වැවේ පුරාණ ස්වරූපයට වූ විනාශය අති මහත්ය. කෙසේ වෙතත් වර්තමානය වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව බල ගන්වන පනතට අමතරව මහවැලි අධිකාරි පනත ජල සම්පත් පනත ආදී පනත් වලින් ආවරණය වෙමින් මේ රටේ ජලය බෙදා හැරීම සහ නීතිරීති ක්‍රියාත්මක වෙයි.

රටේ දේශපාලන අධිකාරිය ක්‍රියාත්මක කරන රජයයන් අලුතින් පත් වූ සෑම අවස්ථාවකදීම ජලය පිළිබඳව ප්‍රතිපත්ති අලුත් වටයකින් ඉදිරිපත් කර තිබේ. මේ ප්‍රතිපත්ති සම්පාදනයේදී ලංකාවේ විද්‍යාඥයන් ගේ අදහස් සෘජුවම භාවිත කර නැත. ඒ වෙනුවට විදේශවල අත්දැකීම් සංවර්ධන ක්‍රියාදාමයන් ආදිය සැලකිල්ලට ගෙන සකස් කරන ලද සංකල්ප මත එම ප්‍රතිපත්ති සකස් කර තිබේ. ලංකාවේ රජය ආසියානු සංවර්ධන බැංකුව සමග 2000 වසරේ දී ලෝන් ශ්‍රී 1575 යනුවෙන් ගිවිසුමකට එළඹීම නිසා කැබිනට් අනුමැතිය සහිතව ජාතික ජල සම්පත් කවුන්සලයක් පිහිටුවීමට අනුමැතිය හිමි විය. මෙම යෝජනාවට අනුමැතිය හිමි වූයේ 2000 මාර්තු මාසයේදීය. මුල් වරට ජල හිමිකම් බලපත්‍ර සංකල්පය මෙහිදී ඉදිරිපත් විය. නමුත් ඇතිවූ මහජන විරෝධය හේතුවෙන් එය ක්‍රියාවට නැගීම අසීරු විය. පසුව ජලය විකිණීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟව විදේශ මුදල් ලබා ගත් නිලධාරීන් ගේ පෙළඹවීම මත 2004 වසරේදී ද මෙම ක්‍රියාවලිය නව මුහුණවරකින් එළියට පැමිණියේය. එවක ඉදිරිපත් වූ රට පෙරට ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නැති දෙයක් ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාත්මක සැලැස්ම නමින් වූ තවත් පත්‍රිකාවක් මුද්‍රණය විය. එහි සඳහන් වූයේ පොදු ජන එක්සත් පෙරමුණ ආණ්ඩුව ආරම්භ කරන ලද ජාතික ජල කළමනාකරණ වැඩපිළිවෙළ සම්පූර්ණ කර ක්‍රියාත්මක කෙරේ යන්නයි. අංක 1349/3 සහ 12.07.2004 දිනැති රට පෙරට ප්‍රතිපත්තිය අනුව අහෝසි කිරීමට පොරොන්දු වූ අන්තර්වාර ජල සම්පත් අධිකාරිය අහෝසි නොකර එවක තිබූ ගංගාධාර හා මහවැලි සංවර්ධන හා රජරට සංවර්ධන අමාත්‍යාංශය යටතේ පිහිටුවීමට යෝජනා කර ගන්නා ලදී. එහිදී බලාපොරොත්තු වූයේ ජල සම්පත් කළමනාකරණ සභාව හා ජාතික ජල සම්පත් කළමනාකරණ අධිකාරිය පිහිටුවීමයි. එවක සිටි නිලධාරීන් බොහොමයක්ම ජාත්‍යන්තර වාරි කළමනාකරණ ආයතනවලට සෘජුවම බැඳී සිටි හෙයින් මේ ප්‍රතිපත්ති සකස් කිරීමට විදේශගත ධනය කෙතරම් යොදවන්නට ඇත්දැයි සිතා ගත හැකිය. මෙහි අරමුණ වූයේ ජල දූෂණය කළමනාකරණය කර ගැනීම පිණිස සියලුම ගංගා ද්‍රෝණි ආවරණ කරමින් අධිකාරියක් පිහිටුවීමයි. නමුත් මේ ක්‍රමය යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව අහෝසි වී යෑමේ තර්ජනය මතුව ආ හෙයින් වෘත්තීය සමිති විසි නවයක් පෙරමුණු ගෙන ඉදිරිපත් වූ එම යෝජනාව පරාජය කරන ලදී. මෙවැනි ප්‍රතිපත්ති ගණනාවක්ම 2008 වසරේ 2014 වසරේ සහ 2019 වසරේ ඉදිරිපත් කර තිබේ. නමුත් ඒ අරමුණු පරාජයට පත් විය. එයට හේතුවූයේ මේ ප්‍රතිපත්තීන් තුළ පැහැදිලිව රටේ ජල අයිතිය අන්සතු කිරීමට දරන ලද වෑයමයි.

වාර ගණනාවකදී මෙලෙස පරාජයට පත් කරන ලද ජල සම්පත් අධිකාරිය පිහිටුවීමේ යෝජනාව දැන් නැවතත් කරළියට පැමිණ තිබේ. මේ සම්බන්ධව වන ජල සම්පත් ප්‍රතිපත්තිමය කොටුම්පතක් සකස් කර 2021 සැප්තැම්බර් මාසයේ දී ඉදිරිපත් කර තිබෙන්නේ රටේ වාරිමාර්ග ක්ෂේත්‍රයන්හි සිටි දැනට විශ්‍රාම ගැන්වී සිටින විද්වතුන්ගේ සහභාගිත්වයෙනි. මෙයට සෘජුව සම්බන්ධීකරණය ලබා දෙන්නේ ලංකා ජලනී නම් රාජ්‍ය නොවන සංවිධානය බව ආරංචි මාර්ග දක්වයි. මෙහි නිරතව සිටින බොහෝ ඉංජිනේරුවන් ජාත්‍යන්තර වාරි කළමනාකරණ ආයතනය සමග කාලයක් තිස්සේ බැඳී සිටින රටේ ජල සම්පත් විකිණීම සඳහා සෑම විටම මැදිහත් වූ පිරිසකි. එහි සිටින ඇතැමුන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ වරුන්ය. ඔවුන් විසින් සකස් කරන ලද මේ නව ප්‍රතිපත්ති කෙටුම්පත රනිල් වික්‍රමසිංහ රජය යටතේ කැබිනට්ටුවට ඉදිරිපත් කරලීමට දැන් සියලුම කටයුතු සූදානම් කර තිබේ යැයි දැන ගන්නට තිබේ. මෙම කෙටුම්පතේ තිබෙන භයානක ප්‍රවේශයන් දෙක මෙයින් හැඟවෙන්නේ විශාල සමාගම්වලට පවරන්නට නියමිත ජල කළමනාකරණය පිළිබඳ පණිවුඩයයි. අනෙක් භයානක කරුණ නම් ගංගා ද්‍රෝණියක තිබෙන ජල හිමිකම් සම්බන්ධ යම් ගැටුමක් නිරාකරණය කිරීමට ගැටුම් නිරාකරණ ආයතනයක් පිහිටුවීමට යෝජනා කිරීමයි. මේ කියන්නේ මහවැලි ගඟට බව පැහැදිලිය. එය ආරම්භ වනුයේ මධ්‍යම කඳුකරයෙනි. එහි දැන් ඉන්දීය බෙදුම්වාදී වුවමනාව මත වතු දෙමළ දේශපාලන නායකයන් ගේ කඳවුරක් බවට පත්ව තිබේ. මහවැලි ගඟ අවසාන වශයෙන් මුහුදට එක්වන්නේ ත්‍රිකුණාමලයෙනි. එහිද ඩයස්පෝරා බලය ස්ථාපිත කරන්නට වත්මන් ආණ්ඩුව කැස කවමින් ඇත. අතරමගදී ජලය පරිහරණය කරනු ලබන්නේ මෙරට පාරම්පරික ගොවි ජනතාවයි. මේ පාර්ශ්වයන් අතර ගැටුම්කාරී වාතාවරණයක් ඇති කරනුයේ බෙදුම්වාදී වුවමනාවන් සඳහාය. එවිට ජල හිමිකම් සම්බන්ධව ගැටුම් ඇති වීම සුලභ දෙයක් වනු ඇත. ලංකා ජලනී නම් සංවිධානය මේ ඩයස්පෝරාවේ බළල් අතක්ද යන පැනය මතුවන්නේ මේ කරුණු නිසාය.

ජල පරිහරණය සහ කළමනාකරණය උදෙසා සිය ඉතිහාසයේ යුග ගණනාවකම අත්දැකීම් හිමි රටක් වශයෙන් ලෝකයේ කීර්තියක් දිනා සිටියද වර්තමානය වන විට මෙම දැනුම යොදා නොගැනෙන තරම්ය.

ඒ වෙනුවට විදේශ ආධාර මුදල් මත යැපෙන නිලධාරීන් සහ දේශපාලනඥයන් විදේශ රටක ක්‍රියාත්මක කරන ලද ජල කළමනාකරණ මූලධර්ම ලංකාවට ආදේශ කරයි. 1985 වැනි ඈත කාලයකදී පිහිටු වූ ජාත්‍යන්තර වාරි කළමනාකරණ ආයතනය මත යැපීම ආරම්භ වූ දා පටන්ම එය එසේ වෙයි. දැනට රටේ වාරි ජලය සහ පානීය ජලය පාලනය කරන ආයතන වසා දමා එක් ආයතනයක් තුළටද ඒ ආයතන තුළ තවත් අනු ආයතන බිහි කිරීමට කරනු ලබන තැත අපි දකින්නේ විශ්‍රාම ගොස් සිටින විශ්‍රාම යන්නට සිටින නිලධාරීන්ට තවත් රැකියාවකට යෑමට මග පාදා දීමකි. එසේම එක් ආයනයකින් සියල්ල හසුරුවන කල්හි ගෙඩිය පිටින් විකිණීමට තිබෙන වුවමනාව ප්‍රබලව මතුවන බවද මෙහිදී සඳහන් කළ යුතුය.

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment