වැස්සට පසු… ගං වතුරට ගසාගෙන ගිය පොත් මිටිය

771

මේ කතු වැකිය වැස්සට පසු යනුවෙන් නම් කළද ඔබ මේ කියවන ඕනෑම මොහොතක නැවත වතාවක් වැස්ස කඩා වැටීමට ඉඩ තිබේ. ශ‍්‍රී ලංකාව මෑතක සිට ඉතා තදින් වැසි වැටෙන භූමියක් බවට පත්ව ඇත. මිනිස්සු ඕනෑවට වඩා වැස්සොත් අහසටත් ආණ්ඩුවටත් දෙකටම හෙණ ඉල්ලති. ඕනෑවට වඩා පෑව්වොත් පෙර කී ආකාරයෙන්ම අහසටත් ආණ්ඩුවටත් හෙණ ඉල්ලති. එහෙත් මිනිසුන් විසින් දැනගනු ලැබිය යුතු වැදගත්ම කාරණයක් තිබේ. එනම් හෙණ වදින්නේ අහසට හෝ ආණ්ඩුවට නොව මිනිසුන්ට බවය. ගෙවල් වලට හෙණ වදින්නේ කලාතුරකිනි.

ඒ හරියාකාරව සවිකළ අකුණු සන්නායක සහ සක‍්‍රීය ටි‍්‍රප් ස්විච් ගෙදර සවි නොකළ අවස්ථාවේදීය. එය කුඩා අතුරු කතාවකි. ප‍්‍රධාන මාතෘකාවට යළි පිවිසෙමු. ලෝකයේ වැඩිම වර්ෂාපතනයක් ඇති ප‍්‍රදේශය වන්නේ ඉන්දියාවේ මෙගාලයා ප‍්‍රාන්තයේ පිහිටි චිරාපුන්ජි ප‍්‍රදේශයයි. අවුරුද්දේ දවස් 365 මත් ඒ හැම දවසකම පැය 24 මත් මේ ගම්මානයට වැසි වසී. මේ ගම්මානයේ වාර්ෂික වර්ෂාපතනයේ සාමන්‍ය මිලි මීටර් 9500 කි. ශ‍්‍රී ලංකාවේ මස්කෙළිය ප‍්‍රදේශයේ වැලිඔය එස්ටේට් නමැති ගම්මානයේ වාර්ෂික වර්ෂාපතන සාමාන්‍ය මිලි මීටර් 5081 කි. මේ අනුව ශ‍්‍රී ලංකාව චිරාපුන්ජි භාගයක් හා සමානය. ඝර්ම කලාපික රටක් වන මේ රටට තුන් ආකාරයකින් වැසි වසී. පළමුවැන්න මෝසම් සුළං නිසා උපදින මෝසම් වැසිය. දෙවැන්න ජලාශවල තිබෙන ජලය වාෂ්ප වී අහසට ගොස් වැසි වලාකුළු සැදී හටගන්නා වැස්සය. දවල්ට පෑව්වොත් රෑට වහිනවා යන කියමන අර්ථ නිරූපණය වන්නේ පෙර කී වැසි වර්ගයයි.

මෙය සංවහන වැසි ලෙස හඳුන්වයි. තුන්වැනි වැසි වර්ගය හටගන්නේ බෙංගාල බොක්කේ හටගන්නා පීඩන අවපාත හේතුවෙනි. මේ වැසි වර්ගය බෙංගාල බොක්ක මිහිපිට තිබෙන තුරු ඕනෑම අවස්ථාවක සක‍්‍රීය විය හැකිය. ඇතැම් විට මෝසම් වැස්සක් සක‍්‍රීයව තිබෙන විට බෙංගාල බොක්කේ හටගන්නා පීඩන කලාප නිසා එම මෝසම් වැස්ස ඩබල් වේ. මේ අතර පෙරේදා දවස පුරා මහා වැසි සහ තද සුළං ඇතිවීමට තුඩු දෙන අඩු පීඩන කලාපයක් බෙංගාල බොක්කේ වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා තිබිණ. එහෙත් ඒ කියපු තරම් වින්නැහියක් හෝ එවැනි ධාරානිපාත වැස්සක් එදා හට ගත්තේ නැත. මෙවැනි අවස්ථාවල මේ රටේ ජනයා කරන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැරදුනු අනාවැකි හෙවත් පෙර වැරදි සිහි කරමින් හිනා වීමය. එතරම් දුරදිග නොයන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලමු. මන්දයත් බෙංගාල බොක්ක මේ මොහොතේත් තිබුණු තැනම තිබේ. ඕනෑම අවස්ථාවක එම ප‍්‍රදේශයෙහි වාසුළි සහ අවපාත හටගැනීමට ඉඩ ඇත.

එබැවින් මීළඟ ලෝක විනාශයෙන් පසු නැවත වතාවක් සාගර සහ මහාද්වීප පහළවන අවස්ථාවේදී බෙංගාල බොක්ක පහළ නොවේවා යනුවෙන් අප ප‍්‍රාර්ථනා කළ යුතුය. හැබැයි මේ ප‍්‍රාර්ථනය තුළ තවත් වැදගත් සාධක කිහිපයක් ඉතිරි වේ. එනම්, ඒ ප‍්‍රාර්ථනාව හරි ගියොත් බෙංගාල බොක්කට යාබද ආසියා මහාද්වීපයම පහළවන්නේ නැත. එවිට ඉන්දියාවත් නැත. චීනයත් නැත. හැබැයි ඇමරිකාව තිබෙන නිසා අපේ ප‍්‍රශ්න කලින් තිබුණු පරිදි ඒ විදියටම යළි පටන් ගන්නවා ඇත.

මෙවර හටගත් මහා වර්ෂාව එක දිගටම දින කිහිපයක් පැවතින. මේ නිසා උඩහ පළාත් වැඩි හරියක් නාය ගිය අතර ඊයේ වනවිට කොළඹ නුවර පාරද වසා දමන ලදී. වැස්ස නිසා හටගත් ගංවතුරෙන් අඩුම ගණනේ 25 ක් වත් මිය ගියහ. උතුරු නැගෙනහිර වෙසෙන අපගේ සහෝදර ජනතාව ගංවතුර නිසා ඉමහත් පීඩාවට පත්ව සිටිති. මේ රටේ වැඩිම ජනගහනයක් වෙසෙන බස්නාහිර පළාතේ තිබෙන ෆන් ජීවිතය පිට පළාත්වල නැත. ගංවතුර නිසා ජන ජීවිතය කඩා වැටුණු විට යළි ගොඩගැනීම ඉතා දුෂ්කරය. මේ මොහොතේදී ගංවතුරට යට නොවූ මේ රටේ සියලූ ජනයා කළ යුත්තේ විපතට පත් සහෝදර ජනතාවට හැකි උපරිමයෙන් උදව් කිරීමය. ගංවතුර නිසා පාසල් දරුවකුගේ පොත් මිටිය ගසාගෙන ගියවිට ඒ ළමයාගේ මුළු අධ්‍යාපන අවුරුද්දම ඉවරය. ගංවතුරට මව හෝ පියා ගසාගෙන ගියවිට එම පවුලේ අනාගතය එහෙම පිටින්ම අඳුරුය. මේ රටේ ත්‍යාගශීලී මිනිස්සු ඕනෑ තරම් වෙති. මේ කතු වැකිය ඔවුන්ට කරන කාරුණික ආයාචනයකි.

advertistmentadvertistment
advertistmentadvertistment