වැසි නැතිව පස ඉරිතලන  කුඹුරට ගැළපෙන්න – වී වර්ගයක් මෙන්න බී. ජී. 314

300

* තෝරාගත්තේ ජාත්‍යන්තර සාම්පල එකතුවකින්
 
 * නයිට‍්‍රජන් අඩු තත්ත්වයන් වුවත් දරා සිටිනවා
 
 * හොඳට සැලකුවොත් ලොකු අස්වැන්නකුත් දෙනවා

වැසි නැතිව පස ඉරිතලන  කුඹුරට ගැළපෙන්න - වී වර්ගයක් මෙන්න බී. ජී. 314

ශ‍්‍රී ලංකාව වනාහී ඉපැරණි වාරි ශිෂ්ටාචාරයකට උරුමකම් කියන දේශයකි. වියළි කලාපය පුරා ඉදිකෙරුණු මහ සයුර වැනි වැව් පද්ධතියකින් පෝෂණය වූ භූමියේ ප‍්‍රධාන වශයෙන් සිදුකර ඇත්තේ වී වගාවය. භෞමික බෝගයන්හි ජල අවශ්‍යතාව සලකා බලන කල වැඩියෙන්ම ජලය ඉල්ලා සිටින බෝග අතරින් ඉදිරියටම පැමිණෙන්නේ ගොයම් ශාකයයි. ඒ තරමටම ජලය හා ගොයම එකිනෙකට සමීපය. සෑම වගා කන්නයක් පාසාම ජලය නිසි පරිදි නොලැබීමෙන් විනාශ වී ගිය කුඹුරු ගැන අපට අසන්නට ලැබෙන අතර මේවා බොහොමයක් වාරි ජල පහසුකමක් නොමැතිව අහස්දිය මත විශ්වාසය තබා වගාකරන කුඹුරු බවද පෙනෙන්නට තිබේ. රෝග හා පළිබෝධ තත්ත්වයක් හෝ පෝෂණ ඌණතාවක් වැනි අහිතකර බලපෑමක් නම් මිනිසාගේ මැදිහත්වීමෙන් සැලකිය යුතු තරමකින් කළමනාකරණය කරගත හැකියාව තිබේ. නමුත් වර්ෂාපෝෂිත ගොවිතැනකට උදාවෙන ඉඩෝර තත්ත්වයකට පිළියමක් යෙදීමට නම් හුදකලා  ගොවියාට පුළුවන්කමක් නැත. එකම ප‍්‍රායෝගික විසඳුම වන්නේ කෘෂි විද්වතුන්ගේ සහායෙන් එවන් පාරිසරික තත්ත්වයන්ට ඔරොත්තු දෙන වී ප‍්‍රභේද සොයායෑමයි. මෙය මෙරට පමණක් නොව ලෝකය පුරාම දැනට අනුගමනය කරන සිරිත වේ. දේශගුණයේ බලපෑම කෙලෙස සිදුවීද යන්න සරල උදාහරණයකින් පෙන්වනවා නම් 2013 යල කන්නයේදී මෙම හේතුව නිසා 35% ක් පමණ වර්ෂාපෝෂිත වී ගොවීනට තම කුඹුරු අතරමගදී අතහැර දමන්නට වූ තත්ත්වය ගත හැකිය. 2014 වසරේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිකුත් කරනලද වාර්තාවකින් දැක්වෙන්නේ 2012/13 මහ කන්නයට සාපේක්ෂව ජලය හිඟකම නිසා වියළි හා අතරමැදි කලාපයන්හි වැසි ජලයෙන් වී වවන  ගොවීනට මෙම විපත සිදුවූ බවයි. 2014 යලෙහි තත්ත්වයද වැඩි වෙනසක් නැත. වී අස්වැන්න 27% කින් පහළ බැස ඇත්තේ ඉඩෝරය බලපෑ කුඹුරු වපසරිය හෙක්ටයාර් 11723 ක් තරම් ඉහළ අගයක් ගත් නිසාය (ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තා)

වැසි නැතිව පස ඉරිතලන  කුඹුරට ගැළපෙන්න - වී වර්ගයක් මෙන්න බී. ජී. 314

”මේ ආකාරයට වගා කළ ප‍්‍රමාණයෙන් කොටසක් හානිවී යෑම රටේ ආහාර සුරක්ෂිතතාවට බලපෑමක් ඇතිකරනවා. ඒ නිසා ජලය සීමිත තත්ත්වයට ඔරොත්තුදෙන වී ප‍්‍රභේද හඳුන්වාදීම, සකසුරුවම් ලෙස ජලය පරිහරණ ක‍්‍රමවේදයන් පිළිපැදීම සමග එකවර කළයුතු කාර්යයන් වෙනවා. මේ තත්ත්වයට ප‍්‍රතිකර්මයක් විධියට වියළි හා අතරමැදි කලාපයේ ගොවීන් මාස දෙක හමාර හෝ මාස තුන වයස් කාණ්ඩයේ වී ප‍්‍රභේද වගා කරන්නට පුරුදු වී සිටියත්, මාස දෙක හමාර වී ප‍්‍රභේදවල අස්වැනු විභවය අනුව ලාභදායී අස්වැන්නක් ගන්න අපහසුයි. මාස තුනේ ප‍්‍රභේද ජනප‍්‍රියව තිබුණත් දරුණු ඉඩෝර තත්ත්වයන් යටතේ ඒවායේ අස්වැන්නත් පහළ බහිනවා.”

වැසි නැතිව පස ඉරිතලන  කුඹුරට ගැළපෙන්න - වී වර්ගයක් මෙන්න බී. ජී. 314

මෙසේ පවසා සිටින්නේ බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ වැඩසටහන් සහකාර චම්පා පියසිරි මහත්මියයි. මෙම ගැටලූවට විසඳුමක් සොයමින් පිලිපීනයේ ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනයේ වැඩසටහනක් සමග එක්ව කටයුතු කරන්නට ඇය පියවර ගෙන තිබේ. එම ජාත්‍යන්තර ආයතනයේ තිබෙන එක වැඩසටහනක් යටතේ කෙරෙන කාර්යයක් වන්නේ ජල හිඟ තත්ත්වයන්ට ඔරොත්තු දෙන වී ප‍්‍රභේද හඳුනාගෙන ඒවාහි සාම්පල කට්ටලයක් බැගින් අවශ්‍ය රටවලට යැවීමයි. යම් දේශයක් විසින් එම කට්ටලයේ තිබෙන ප‍්‍රභේදයක් හෝ කීපයක් තමාට ගැළපෙන්නේ යැයි පරීක්ෂණාත්මකව තහවුරු කරගන්නේ නම්, අදාළ රටට අවශ්‍ය ආකාරයට එයට නමක් පවා ලබාදී නිල වශයෙන් දේශීය ප‍්‍රභේදයක් සේ සලකමින් ගුණනය කර, ගොවීන් වෙත නිදහස් කළ හැකිය.

 පිලිපීනයෙන් මේ ආකාරයට ලැබුණු කට්ටලයේ ක්ෂේත‍්‍ර අත්හදාබැලීම් සිදුකරන ලද්දේ චම්පා මහත්මිය විසිනි. ෂඍෘඔභ 07-11 යන නමින් එහි තිබූ ප‍්‍රභේදයක් ඇය විසින් තෝරාගනු ලැබිණ. මෙය සුදු නාඩු කාණ්ඩයේ සහල් සහිත දින 95-100 අතර කාලයේදී අස්වැන්න දෙන වී ප‍්‍රභේදයකි.

 ”2010 අවුරුද්දේ තමයි නිය`ගයට ඔරොත්තු දෙන හොඳ අස්වනු විභවයක් තිබෙන ප‍්‍රභේද කීපයක් තෝරාගෙන ගුණනය කිරීම හා පවිත‍්‍රීකරණය පටන් ගත්තේ. සම්මත ප‍්‍රභේදය හැටියට සංසන්දනය කිරීම සඳහා ගත්තේ බී. ජී. 300 නමැති ජනප‍්‍රිය වී ප‍්‍රභේදය. තෝරාගත් එකේ අස්වැන්නත් හොඳයි. පර්යේෂණ තත්ත්වයන් යටතේ වර්ෂාපෝෂිතව හෙක්ටයාරයකට මෙටි‍්‍රක් ටොන් 2.17 ක් (අක්කරයකට බුසල් 41.3* හා වාරි ජල සම්පාදනය යටතේ හෙක්ටයාරයකට මෙටි‍්‍රක් ටොන් 4.6 ක් (අක්කරයකට බුසල් 87.6* ක් ලැබුනා. මුරුක්කන් වී පර්යේෂණායතනයෙන් ලැබුණු අස්වැන්න වඩාත් ආකර්ෂණීයයි. ජල සම්පාදනය යටතේ ටොන් 6.19 ක් (අක්කරයකට බුසල් 117.9* වාර්තා වුණා. ගොවි ක්ෂේත‍්‍ර අත්හදාබැලීම් හරහා පෙනීගියේ ගොවීන් පවා මේ ප‍්‍රභේදයට කැමති බවයි. බී. ජී. 300 ට සාපේක්ෂව වර්ධක අවධියේදී මෙහි කොළ කහවීමේ තත්ත්වය අඩුයි. නයිට‍්‍රජන් පෝෂකය අඩු තත්ත්වය වුණත් දරා සිටීමේ හැකියාව ඉන් පෙනෙනවා. ගොවීන් නිරීක්ෂණය කළ තවත් ධනාත්මක ලක්ෂණ තමයි ඇදවැටීමේ තත්ත්වය අඩුබව, ඇට හැලීම අඩුවීම, වල්පැළ සමග සාර්ථකව තරග කරන බව යනාදිය. පිසූ බතෙහි අස්වැන්න, පෙනුම, රස ආදියත් ඔවුන්ගේ ඇගයීමට ලක්වූවා.”

 අදාළ තෝරාගැනීමේ ගතිගුණ හා හැඩරුව පිළිබඳව චම්පා මහත්මිය සඳහන් කර සිටියේ එවැනි තොරතුරකි.

 බතලගොඩින් මෙයට දුන් ප‍්‍රභේද නාමය වන්නේ බී. ජී. 314 ය. පසුගිය වසර මුලදී පැවැත්වූ ප‍්‍රභේද නිදහස් කිරීමේ රැුස්වීම වෙත ඉදිරිපත් කරන ලදුව වියළි හා අතරමැදි කලාපයන්හි වර්ෂාපෝෂිත කුඹුරු ඉඩම්වල වගාකිරීම උදෙසා ඉහත හැඳුනුම් අංකය යටතේ එය සඳහා නිල නිර්දේශය ලැබුණි. එයට වසරකට පමණ පසු

 පසුගියදා අවසන් වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික සමුළුව තුළදීද ඇය විසින් පර්යේෂණ පත‍්‍රිකාවක් ලෙස මෙය නැවතත් හඳුන්වා දුන්නාය. මෙවැනි ප‍්‍රභේදයක් අවශ්‍ය වන්නේ දැනට සාර්ථකව වගාබිම් පුරවා සිටින වැඩිදියුණු කළ වී ප‍්‍රභේදයන් විස්ථාපනය කිරීමටවත්, ඒ හා තරග කිරීමටවත් නොව විකල්ප ජල සම්පාදන ප‍්‍රභවයක් පවා නොමැතිව හුදකලාව කුඹුරු වවන ගොවි ජනතාවට, නියං සමයේදී යම්කිසි සහනයක් ලබාදීම සඳහායි. ඉදිරියේ ඇත්තේ තවත් යල කන්නයකි. එය ස්වාභාවිකවම ජලය හිඟ වකවානුවකි. මෙවැනි තොරතුරු කාලීනව වැදගත් වන්නේත්, වඩාත් පුළුල්ව ජනගත කළයුත්තේත් එබැවිනි.

 සනත් එම්. බණ්ඩාර
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment