වෑල්ඩින් ආණ්ඩුවේ බයින්ඩින් 21

321

ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික අර්බුද කෙතරම් උග්‍ර වුව ද මේ දිනවල ආණ්ඩුවේත් වෙනත් සංවාද මණ්ඩපවලත් ප්‍රමුඛ අවධානය යොමුව ඇත්තේ දේශපාලන තේමාව හා බැඳුණු ප්‍රශ්න දෙකක් කෙරෙහිය. පළමුවැන්න 21 වැනි සංශෝධනයයි. දෙවැන්න විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ සංවාදය අලුත් එකක් නොවන්නාසේම එය මෙරටේ දේශපාලන නායකයන්ගේ මෙන්ම පක්ෂවල වංක භාවය හා ප්‍රෝඩාකාරී දේශපාලන නග්නත්වය විදහාපාන්නක් ලෙස හැඳින්වීම ද වැරදි නැත. ජයවර්ධනගෙන් පසු විධායක ජනාධිපති ධුරය ලබාගත් චන්ද්‍රිකා හා මහින්ද යන දෙදෙනාම ඒ ක්‍රමය වෙනස් කිරීමට පොරොන්දු දුන්හ. එහෙත් ඒ වෙනුවෙන් අවංක උත්සාහයක් ගත් බවක් කිව නොහැක. මෙයින් මහින්ද ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු 2010 දී එයට තවත් සංශෝධනයක් එකතු කළේය. 18 වැනි සංශෝධනය ලෙස ව්‍යවස්ථාවට එකතු වූ එහි අරමුණ වූයේ මහින්දට නැවත එම ධුරය හෙබවීමට වුවමනා ඉඩ ප්‍රස්තාව ලබා ගැනීමය. එහෙත් 2015 දී ජනාධිපතිවරණයෙන් ඔහුට අත්වූයේ පරාජයකි. එහිදී ජනාධිපති ධුරයට පත්වූ මෛත්‍රිපාල නායකත්වය දුන් යහපාලන ආණ්ඩුව විධායක ජනාධිපති ක්‍රමයට අභිනව සංශෝධන සිදු කිරීමට පියවර ගත්තේය. එහෙත් එවක අගමැතිව සිටි රනිල් හා ජනාධිපති මෛත්‍රී අතර උද්ගත වූ දේශපාලන ගැටුම් නිසා ඒ සංශෝධන ක්‍රියාවලිය සාර්ථක වූයේ නැත. එසේ වුව ද එයින් හඳුන්වා දුන් සාධනීය සංශෝධන ගණනාවක්ම විය. 2020 දී මහින්දගේ සොයුරු ගෝඨාභය ජනාධිපති ධුරයට පත්ව සම්මත කර ගත් 20 වැනි සංශෝධනය යළිත් ජයවර්ධන ක්‍රමයටත් එහා ගිය සුපිරි ජනාධිපතිවරයකු බිහි කිරීමට සමත්වූවකි.

වෑල්ඩින් ආණ්ඩුවේ බයින්ඩින් 21

ඉකුත් මැයි 29 වැනිදා අගමැති රනිල් විසින් කරන ලද විශේෂ ප්‍රකාශය ද මෙම 21 වැනි සංශෝධනය විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ සංවාදයට නිමිත්තක් විය. ඇත්ත වශයෙන් අගමැති රනිල් ඒ පිළිබඳ කළ විග්‍රහයේදී පෙන්වා දුන්නේ රට දේශපාලන වශයෙන් ස්ථාවර කිරීමට එබඳු ප්‍රතිසංස්කරණයක් අප්‍රමාදව කළ යුතු බවය. උද්ගතව තිබෙන ගැටලු ලිහා ගැනීමට පාර්ලිමේන්තුවට මූල්‍ය බලය ඇතුළු නීතිමය රාමුවක් අවශ්‍ය බව ඔහුගේ තර්කය විය. එහෙත් ඔහුට ප්‍රතිචාර දැක්වූ සමහරුන් කියා සිටියේ ද අද රටේ මූලික අවධානය යොමු විය යුත්තේ මේ ආර්ථික ව්‍යසනයෙන් ගොඩ එන මාර්ගයක් කෙරෙහි බවය. ජනතා ප්‍රශ්න පිළිබඳ අසංවේදී මන්ත්‍රීවරුන් වැඩිදෙනෙක් සහිත පාර්ලිමේන්තුවකට මේ හදිසියේ බලය පැවරීම අර්ථවත් ක්‍රියාවක් විය හැකි ද යන ප්‍රශ්නය සමහරු නැඟූහ. අගමැති රනිල්ගේ අදහස අනුමත කළ අධිකරණ ඇමැති විජයදාසට ආණමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනුනාහිමියන් පවසා සිටියේ ද මෙම අවස්ථාවේදී මුල්තැන හිමි විය යුත්තේ ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා බවයි. එසේම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට තමන් වහන්සේ එකඟ නොවන බව ද අනුනාහිමියෝ පැවසූහ. විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන ස. ජ. බ මෙම 21 වැනි සංශෝධනය දුර්වල එකක් ලෙස හඳුන්වා තිබේ. විශේෂයෙන් ඔවුන් මතු කරන කරුණක් වූයේ 19 වැනි සංශෝධනයෙහි අඩංගු වූ ප්‍රතිපාදන ඒ ආකාරයෙන්ම 21 ට ඇතුළත් විය යුතු බවය. ජනාධිපතිවරයාට අමාත්‍යාංශ පැවරීම ද ස. ජ. බ. අනුමත නොකරයි. ඇත්ත වශයෙන්ම ආණ්ඩුව යෝජනා කරන දේශපාලන ප්‍රතිසංස්කරණ නොමැනවැයි කිව නොහැක. එහෙත් එමගින් ජනතාවට මෙන්ම අලුත් සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින ගාලුමුවදොර විරෝධතාකරුවන්ට ලැබෙන පණිවුඩය කුමක්ද යන්නත් විමසා බැලිය යුතුය. මෙහිදී අපගේ ස්ථාවරය වන්නේ ද දේශපාලන ස්ථාවරත්වය අත්‍යවශ්‍ය කරුණක් වුවත් දවසින් දවස උග්‍ර වන ආර්ථික සමාජ අර්බුද කෙරෙහි ද දැඩි අවධානයක් යොමු විය යුතු බවය. අද මේ රටේ ජනතාවගෙන් බහුතර කොටසක් නින්දට යන්නේ (නොනිදා පෝලිම්වල විඳවන අය ද සිටිති) හෙට පිළිබඳ අවිනිශ්චිත හැඟිමෙන්ය. ඒ අවිනිශ්චිත ව්‍යාකූලත්වයට ජනතාව කිසිසේත් වගකිව යුතු ද නැත. මේ ආණ්ඩුවේ මූලික දුර්ගුණය ලෙස බොහෝ දෙනෙක් දක්වන පාලකයන්ගේ උද්ධච්චකම, අධිපතිවාදී මානසිකත්වය මේ ආර්ථික ව්‍යසනයට ප්‍රධාන හේතුවක් ලෙස අපට ද දැක්විය හැකිය.

රටක දියුණුව යනු ඒ රටේ ජනතාවට මූලික අවශ්‍යතාවන් කීපය හෝ ඉටු කර ගත හැකි වීමය. ආහාර පාන, නිවාස, ඇඳුම් යනු ඒ මූලික අවශ්‍යතාවන්ය. ඊට අමතරව සෞඛ්‍ය පහසුකම් ද අනිවාර්ය වේ. එසේ නොමැතිව හැම්, බේකන්, මස්, මාංශ, කේජු, බටර් යනාදී කිසිවක් ජනතාව නොඉල්ලති. මේ කිසිම පහසුකමක් නොමැති ජනතාව පෝලිම්වල වේළෙන, තෙමෙන, පිනිබාන රටකට මොන දේශපාලන ප්‍රතිසංස්කරණදැයි කෙනෙක් අසත් නම් එයට දීමට අපට පිළිතුරක් නැත. ශ්‍රී ලංකාව ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් ලෙස හඳුන්වා තිබුණත් ඒ ලක්ෂණ අද කොපමණ දුරකට ආරක්ෂා වී තිබේ ද යන්නත් ප්‍රශ්නයකි. 1970 දී බලයට පත් වූ සමගි පෙරමුණු ආණ්ඩුව (ශ්‍රී ල. නි. ප., සමසමාජ, කොමියුනිස්ට් හවුල) 1972 ව්‍යවස්ථාවෙන් මේ රට ජනරජයක් ලෙස හැඳින්වීය. 1972 මැයි 22 වැනිදා සිට බලාත්මක වූ ජනරජ ව්‍යවස්ථාවෙන් අහෝසි කරන ලද්දේ 1948 සිට ක්‍රියාත්මක වූ ඉංග්‍රීසීන් විසින් හඳුන්වා දෙන ලද ව්‍යවස්ථාවය. නිසැකයෙන්ම ඒ 72 ව්‍යවස්ථාව අගනා දේශපාලන පරිවර්තනයක ඓතිහාසික පියවරකි. පසුගිය මැයි 22 වැනිදා ඒ ජනරජ ව්‍යවස්ථාවට වසර පනහක් ද සම්පූර්ණ විය. අප ශ්‍රී ලංකාව ලෙස හැඳින්වීමත් සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයටක් බවට පත්වීමත් එයින් සිදු වුව ද එහි දේශපාලන අර්ථය සම්පූර්ණ වූ බවක් නම් කිව නොහැක. 1978 දී ජේ. ආර්. ජයවර්ධන නිර්මාණය කළ ජනරජ ව්‍යවස්ථාව රටේ පාලකයාට සුවිශේෂ අධිකාරි බලයක් ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදී ආවරණයක් සහිත ඒකාධිපති පාලකයකු බිහිකර ඇත. 72 ව්‍යවස්ථාව වසර හයකින් විසිකර දැමීමට කිසිදු අවශ්‍යතාවක් ද නොවීය. ඇත්ත වශයෙන්ම ජයවර්ධන පාලනය කළ යුතුව තිබුණේ එම ව්‍යවස්ථාවේ දුබලතා සංශෝධනය කිරීමය. 77 දී ජනතාව දුන් වරම ප්‍රයෝජනයට ගනිමින් කඩිමුඩියේ සම්මත කරගත් 1978 ව්‍යවස්ථාව, ජනතා පරමාධිපත්‍ය පිළිබඳ අලංකාර වර්ණනා නඟමින් මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ සියල්ලටම හරස් වන ඒකාධිපති පාලකයකු බිහි කළ ආකාරය මේ වනවිට අප්‍රමාණව පෙන්වාදී තිබේ. එය දේශපාලන පක්ෂයක් බලගැන්වීමටත් එහි නායකයා සක්විති රජකු සේ ඔසවා තැබීමටත් කළ ව්‍යාජ වෙස් බැන්දුමකි. ජයවර්ධන විධායක බලයෙන් ව්‍යවස්ථාදායකය පමණක් නොව අධිකරණය ද ආණ්ඩු මට්ටු කරන මානසිකත්වයකින් ක්‍රියා කළ බව රහසක් නොවේ.

2015 දී පසුබැස ගිය රාජපක්ෂවරුන් යළිත් 2020 දී බලය ලබා ගනිමින් ක්‍රියා කළේ ද ජයවර්ධන ආදර්ශය අනුව යැයි සිතේ. ඔවුන්ට හිමි වූ 69 ලක්ෂයේ ජනවරමට අමතරව යළිත් ජනාධිපතිට සුපිරි බලයක් ලබාදීම සඳහා 20 වැනි සංශෝධනය සම්මත කර ගත් ආකාරය කවුරුත් දනිති. මේ රටේ උත්තරීතර ආයතනයට ද්විත්ව පුරවැසියන් නුවුවමනා බව අධිකරණයකදී සාකච්ඡාවට ලක් විය. එදා ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධුරය අහිමි වූයේ ද ඒ අනුවය. එහෙත් රාජපක්ෂවරු තම සහෝදරයා වෙනුවෙන්ම 20 වැනි සංශෝධනය සම්මත කළ බව අද පිළිගනු ලැබ ඇත. එපමණක් නොව ඒ අවසරයෙන් ආණ්ඩුවට එක්කර ගත් බැසිල් රාජපක්ෂට එරෙහිව කෙරෙන විවේචන කෙතරම් දැඩිද? මේ රට විනාශ කළ දුෂ්ටයකු ලෙස බැසිල්ට එල්ල වන නිර්දය විවේචනවලට ජනාධිපති හෝ හිටපු අගමැති හෝ හ්ම් හඬක් නොනඟති. මහින්ද අගමැති ධුරයෙන් ඉවත් කිරිම තමන් ජීවිතයේදී ගත් දුෂ්කරම තීන්දුවක් බව කියන ජනාධිපතිවරයා බැසිල් ගැන තබා චමල් ගැනවත් විශේෂත්වයකින් අදහස් දක්වා නැත. කුමක් වුවත් අද පාලනයේ ක්‍රියාකාරී භූමිකාවක ජනාධිපතිවරයා හැර වෙනත් රාජපක්ෂවරයෙක් ද නැත.

අද ගෝඨාභය ජනාධිපතිවරයාට තමන් හා තම පවුල වෙනුවෙන්ම සම්මත කරගත් 20 වැනි සංශෝධනය පසෙක දමා 21 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට සිදුවීම ද දෛවයේ සරදමක් වැන්න. එයට හේතු වූයේ ගාලුමුවදොර අරගල භූමියෙන් එල්ල වන පීඩනයත්, විරෝධයත් බව නිසැකය. ඒ පීඩනයට, විරෝධයට නිර්භයව මුහුණ දීමට තරම් ශක්තිමත් ආර්ථික හා දේශපාලන ජයග්‍රහණ කිසිවක් රාජපක්ෂ පාලනය රටට ලබා නොදීම ඔවුන්ගේ ඇදවැටීමට හේතු විය. අද රට මුහුණ දී සිටින බිහිසුණු ආර්ථික ව්‍යසනය රාජපක්ෂ පාලනයේ අදූරදර්ශී හා හිතුවක්කාර ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් බව පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේදී හා ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදීත් තහවුරු වී තිබේ. මහ බැංකුව දේශපාලන ගොහොරුවක් කළ මුදල් ඇමැතිවරුන්ට මෙන්ම ජනාධිපතිවරයාට ද එල්ල වී තිබෙන විවේචන බැහැර කළ නොහැකිය. ඒ සමගම කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ පරිහානියට ද මේ පාලනය වගකිව යුතුව තිබේ. සැකෙවින් කිවහොත් ආර්ථික හා කෘෂිකාර්මික ඝාතකයන් සමග ආණ්ඩුව ගෙනගිය ක්‍රියාකාකරම් වෙනුවෙන් අද මුළුමහත් ජනතාවගෙන් බහුතරයකට ආසාධාරණ වන්දියක් ගෙවීමට සිදුව තිබේ. ජයවර්ධන ඇරඹූ දේශපාලන ක්‍රීඩාව ඉදිරියට ගෙන යෑමට රාජපක්ෂ පාලනය කිසිදු පැකිළීමක් නොදැක්වූ බව කිව යුතුය. අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා නීතිය මත පාලනය නැතහොත් යුක්තිය හා සාධාරණ සමාජයක් පිළිබඳ සංකල්පය මතුපිටින් පමණක් පෙනෙන්නකි. ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ගිලිහී යන සමාජයක අසරණ වූ පුරවැසියන්ට අද සාධාරණය ඉටු වන්නේ අධිකරණයෙන් පමණි. අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශංසනීය වාර්තා ලැබෙමින් පවතී. ජනාධිපතිවරයකුගේ ක්‍රියාකාරකම් විමර්ශනය කිරීමට අද ශ්‍රේෂ්ඨාධිකරණය දක්වන එඩිතර භාවයට ජනතාව හිස නමා ආචාර කරති. ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් පද්ධතිය ප්‍රංශ විප්ලවයෙන් පටන්ගෙන බටහිර හා ඇමරිකාව දක්වා පැතිර ගිය බව සැබෑවකි. එහෙත් මේ සංකල්ප අපට හිමි වූයේ අශෝක රජු විසින් තිළිණ කරන ලද බුදු දහමත් ඒ සමග වැඩුණු සදාචාර පද්ධතියත් නිසා බව සමහරු අමතක කරති. රාජ්‍ය පාලනය භාරකාරත්වයක් බව ධර්මාශෝක ප්‍රතිපත්තියයි.

ජයවර්ධනත් ඔහු අනුව ගිය රාජපක්ෂවරුත් පාර්ලිමේන්තුවේ තමන් සතු වැඩි ඡන්දවලින් අමන්දානන්දයට පත්ව ක්‍රියා කළ ආකාරය දශක කීපයක අතීතය තුළින් වුව ද දැක ගත හැකිය. අපේ ව්‍යවස්ථාව මේ ප්‍රජාතන්ත්‍රවාදී හර පද්ධතිය සමච්චලයට ලක් කර නැතැයි කිව හැකිද? දේශපාලන නොමග යැවීම් විසින් හා බලයෙන් අන්ධ වූ අනුගාමිකයන් ද මේ රටට කළ විනාශය අප්‍රමාණය. අද නීතියේ කඩාවැටීමක් ගැන චෝදනා නැඟෙයි. පසුගිය දිනෙක පොලිස්පතිවරයා පවසා සිටියේ මෙරටේ පොලිසිය දේශපාලනය විසින් ගිල ගන්නා ලද බවය. ජයවර්ධනගේ හා මහින්දගේ චින්තනය ඔස්සේ දෝංකාර දෙන්නේ පෙරදිග සංස්කෘතිය අපට දුන් වටිනාකම් පද්ධතියේ පරිහානියේ හංස ගීතයයි. 1972 හා 1978 යන ව්‍යවස්ථා දෙකම මේ සම්ප්‍රදායයන් බැහැර කළ බවට තිබෙන චෝදනාව නිෂ්ප්‍රභ කළ නොහැක. එහෙත් 72 ට යම් ජාතික, සංස්කෘතික හර පද්ධතියක් තිබුණු බව ද කිව යුතුය. ඒ අහිමි වී ගිය ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයන් නීතියේ අභිමානය මත ස්ථාපිත කිරීම අද අත්‍යවශ්‍ය වී තිබේ. ලංකාවේ නීතිඥ ප්‍රජාව ඒ සමාජ වගකීම පසක් කර ගත් බව ද අද පැහැදිලි වන සාධනීය වෙනසකි. විධායකයට මෙන්ම ව්‍යවස්ථාදායකයට සෙලවීමට නොහැකි ගාම්භීර අධිකරණ පද්ධතියක සංඥා අද අපට දැක ගත හැකි වී තිබේ.

වසර 2500කට අධික කාලයක් රැක ගත් සමාජ වටිනාකම් සියල්ල විනාශ වී නැත. එහෙත් එදා රාජ්‍ය පාලනය වර්තමානයේ දේශපාලනය බවට පත් වීමෙන් අනතුරුව සිදු වූ පාරිහානිය අද ජනතාව ද වටහා ගනිමින් සිටිති. මහාවංශයත්, රාජාවලියත් අපට තහවුරු කරන පාලන ක්‍රමවේදය ඉතා පැහැදිලිය. එය නීතිය – සාධාරණත්වය මත පදනම්වූවකි. ස්වාර්ථය වෙනුවට පරාර්ථය එහි විශිෂ්ට ගුණය විය. වැව්, දාගැබ්, වෙහෙර විහාර මිනිස් ශ්‍රමයෙන් නිමවා රට ස්වයංපෝෂණය කළ ඒ රාජ්‍ය පාලකයෝ කිසි විටෙක කිසි තැනක තම නාම මාත්‍රයක් හෝ එබීමට නොරිසි වූහ. එහෙත් අද මහජන මුදල් වැය කෙරෙන රාජ්‍ය ණය වශයෙන් ලැබෙන හැම ව්‍යාපෘතියකම පාලකයන්ගේ වග වාසගම් එල්ලා තැබීමේ නිර්ලජ්ජී සිරිතක් ද තිබේ. මේ නරක සිරිත අද ප්‍රාදේශීයව ඉදිකරන කුඩා පාරක් වෙනුවෙන් ද සිදු වේ. එදා රජවරුන්ගේ සේවාවන් ගැන ලියැවුණු සෙල්ලිපි මෙන්ම ජනප්‍රවාද තිබුණත් ඒවා ඉතා නිහතමානී නිවේදන බව ද පැහැදිලිය. මේ විකෘති මානසිකත්වය අද නිවැරදි කර ගත යුතුමය. ශිෂ්ටාචාරයක් ගොඩනැඟෙන්නේ ශිෂ්ට හා යහපත් ධර්මතා මත පදනම්ව පමණි. එසේ නොවන ශිෂ්ටාචාර නූතන සමාජය ප්‍රතික්ෂේප කරයි. ගාලුමුවදොර තරුණ අරගලය ඒ අභිනව ශිෂ්ටාචාරයක අලුත් වැස්සක් ඉල්ලයි.

මේ අනුව අපේ ජනතාවට හරවත් හා ගාම්භීර දේශපාලන ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍යය. ලාංකික මනස තුළ රඳවා තිබෙන නොයෙක් විෂබීජ දුරලීමට ද එබඳු සාධනීය දේශපාලන පරිවර්තනයක් වුවමනාය. තාවකාලිකව බලය ලබා ගන්නා නායකයකුට ඕනෑම දෙයක් කළ හැකිය යන මනෝරාජික විශ්වාසය දැන් බිඳවැටී ඇත. අද ජනතාවගේ ඉරණම භාරව සිටින ජනාධිපතිවරයා හැටනව ලක්ෂයක ජනතාවක් අනුමත කළ අයෙකි. ඔහුගේ අගමැතිවරයා කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව විසින් ද ප්‍රතික්ෂේප කරන ලද ජනවරමක් අහිමි අයෙකි. එහෙත් 1978 ව්‍යවස්ථාව ඔහුගේ තත්ත්වය අනුමත කරන්නකි. අද මේ දෙදෙනා එක්ව දේශපාලන ප්‍රතිසංස්කරණයකට ඉවහල් වන ප්‍රවේශයක් ගෙන තිබේ. මෙය අපේ පාර්ලිමේන්තු දේශපාලනයේ විකෘති ලක්ෂණයක් බවට තර්ක කළ හැකිය. බුද්ධිමය හා තරුණ සමාජ දේශපාලන කව මෙය ප්‍රතික්ෂේප කරන බව ද සැබෑය. 21 වැනි සංශෝධනය සමග ගෝඨාභය – රනිල් මෙහෙයුම් මැදිරිය ද අර්බුදයකට යා හැකිය. දැනටමත් පොහොට්ටුවෙන් 21 වැනි සංශෝධනයට විරෝධයක් නැගි තිබේ. පොහොට්ටුවේ හිටපු ඇමැතිවරු ද එහි සිටිති. එහි තේරුම පොහොට්ටුවෙහි අපේක්ෂාව යළිත් පැරණි වැඩපිළිවෙළම පවත්වාගෙන යෑම බවය. මේ විරෝධතාකාරයන්ට රාජපක්ෂ පාලනයේ හෙංචයියන් විසින් රටට ගිනි තැබූ ආකාරය ඉක්මනින්ම අමතක වී ඇති සෙයකි. ඒ වෙනුවෙන් ගමින් ආ අහිංසක මන්ත්‍රීවරයකු ද ජීවිතයෙන් වන්දි ගෙවූ බව ඔවූහු අමතක කරති. ඔවුන්ට වුවමනා රනිල් හෝ මොන ඉත්තෙක් හෝ දමාගෙන තම දූෂිත, නාස්තිවාදී ක්‍රියාන්විතය දියත් කිරීමය.

ශ්‍රී ල. නි. ප. මහලේකම් දයාසිරි සෘජුව පවසන්නේ ද මෙය එක එක පක්ෂවලින් බිලිබා ගෙන ඇමතිකම් දී හැදූ වැල්ඩින් ආණ්ඩුවක් බවය.

21 වැනි සංශෝධනය රාජපක්ෂවරුන්ගේ ද අනුමැතිය ඇතිව මාට්ටු කළ ප්‍රෝඩාවක් ලෙස ද සමහරු හඳුන්වති. රාජපක්ෂ පවුල වෙනුවෙන් සැකසුණු ව්‍යාජ සැලැස්මක් බවට ද විවේචනයක් ඇත. ඇමැති විජයදාස පෙන්වන ව්‍යවස්ථාමය සීමා අප තේරුම් ගත යුතුය. එහෙත් ජනාධිපතිවරයාගේ බලය හා මැදිහත්වීම්වල පැහැදිලි කප්පාදුවක් හෝ සීමාවක් සිදු කර නැත. හෙට අනිද්දා තවත් පොහොට්ටුවේ නඩයක් රාජ්‍ය ඇමැති ධුරවලට පත්වීම ද සිදු විය හැකිය. එවිට සිදුවන්නේ වටයක් ගොස් හිටපු තැනටම පැමිණීම නොවේද? ජනමත විචාරණයකට හෝ මහමැතිවරණයකට ද මේ කිසිසේත් සුදුසු වෙලාවක් ද නොවේ. එහෙත් යෝජිත 21 න් ඒ සඳහා කාලරාමුවක් සකසා ගැනීමට බාධාවක් නැත. 21 සංශෝධනය බැලූ බැල්මට පෙනී යන්නේ ඉහත දැක්වූ පරිදිම රාජපක්ෂවරුන්ට ද එකඟ විය හැකි ක්‍රියාන්විතයක් ලෙසයි. 20 න් ජනාධිපතිට හිමි වූ බලය යම් ප්‍රමාණයකට සීමා කිරීමට හා විගණන හා ප්‍රසම්පාදන කොමිෂන් පත් කිරීමට කළ යෝජනා ද අගය කළ යුතු වේ. එහෙත් ඒ සමගම ජනතාව පීඩා විඳින ඉන්ධන, ගෑස්, බෙහෙත් හා ආහාර හිඟයට ද වහාම පිළියම් යෙදිය යුතුය. ආර්ථිකය හා කෘෂිකර්මය, විශේෂයෙන් මෙම යල කන්නය සඳහාවත් පහසුකම් ලබාදිය යුතුය. බලය ජනාධිපතිට හෝ පාර්ලිමේන්තුවට ද යන්න මෙවේලේ ජනතාවට නම් වැදගත් නැත. ඔවුන් ඉල්ලා සිටින්නේ කුසගින්නට හා ලෙඩ දුක්වලටත් පිහිටකි. එය ආයාචනයක් නොව, මේ දේශපාලන නඩය ඇතුළු නිලධාරිවාදයත් පෙරළා දමන මහා ජනතා හඬක් බවට පත්ව තිබේ. දේශපාලන ස්ථාවරත්වය යනු කැබිනට් මණ්ඩලය හා රාජ්‍ය ඇමැතිවරුන් ගොන්නක් පත් කිරීමෙන් ලබාගත හැකි තත්ත්වයක් ද නොවේ. ඒ කිසිවක් ගැන ජනතාවට විශ්වාසයක් ද නැත. ආණ්ඩුව යොමු විය යුත්තේ ජාත්‍යන්තරය මෙන්ම මේ රටේ ජනතාව ද පිළිගන්නා ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාන්විතයක් කෙරෙහිය.

ගාමිණී සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment