වෑවල අවන්හලක් ළඟට කාර් එකෙන් ආ මැරයෝ අඹු සැමි යුවළක් කපා දමති

749

සැමියා මියයයි – බිරිඳ රෝහලේ

කළු පැහැති කාර් රථයකින් පැමිණි තිදෙනකු විසින් හික්කඩුව වෑවල ප්‍රදේශයේ පිහිටි අවන්හලක් ඉදිරිපිට අඹු සැමි යුවළක් තියුණු ආයුධවලින් පහර දී කපාකොටා ඇති අතර මින් සැමියා මිය ගොස් ඇත. බිරිඳ බරපතළ කැපුම් තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බැව් හික්කඩුව පොලිසිය පවසයි.

ඊයේ (30 දා) පස්වරුවේ දී වූ මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ එම්. ප්‍රසන්න නමැති හික්කඩුව, තිරාණගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු සංචාරක කර්මාන්තයේ නිරත අයෙකි. ඝාතනයට ලක්වූ පුද්ගලයා සිය බිරිඳ සමග මෙකී අවන්හල ඉදිරිපිට මාර්ගයේ ගමන් කරමින් සිටියදී කාර් රථයකින් පැමිණි තිදෙනකු විසින් තියුණු ආයුධවලින් මෙකී යුවළ කපා කොටා ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. කැපුම් තුවාල හේතුවෙන් බරපතල වූ බිරිඳ වන ඉරේෂා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. දෙපාර්ශ්වයක් අතර කලක පටන් පවතින ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය වී ඇති බැව් පොලිසිය පවසයි. ඝාතනයට ලක්වූ පුද්ගලයා විසින් මීට වසර 04කට පමණ ඉහත දී ඔහුගේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ අයකු කපාකොට බරපතළ තුවල සිදු කර තිබුණි. එයට පලිගැනීමක් වශයෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලිසිය විශ්වාස කරයි. ඝාතකයින් පැමිණි කාර් රථය මාර්ගයේ අතරමග දමාගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත. හික්කඩුව පොලිසිය මෙකී ඝාතනය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment