වික්ටෝරියා ජලාශයත් අනතුරේ: පොලිතින් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය මහවැලි ගඟට දැමීමෙන් විශාල පරිසර හානියක්!

53

මහවැලි ගංගාවේ ජල මට්ටම මේ දිනවල ශීඝ්‍රයෙන් පහළ යෑම හේතුවෙන් මහවැලි අධිකාරියට අයත් පොල්ගොල්ල මහවැලි වේල්ලෙන් පහළ ප්‍රදේශවල නොදිරන අපද්‍රව්‍ය විශාල ලෙස ගොඩගැසී ඇත.

මේ අතර වැඩිපුරම දක්නට ලැබෙන්නේ ප්ලාස්ටික් හා පොලිතින් වැනි නොදිරන ඝන අපද්‍රව්‍ය බවත්, ජනතාව විසින් මහවැලි ගඟට හා ඒ ආශ්‍රිත ප්‍රදේශවලට විශාල වශයෙන් ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති. පොල්ගොල්ල ජලාශය නැවත සක්‍රීය වී ජල මට්ටම වැඩිවීමෙන් පසු වේල්ලෙන් පහළ තිබෙන පොලිතින් හා ප්ලාස්ටික් වැනි ඝන අපද්‍රව්‍ය තොග වික්ටෝරියා ජලාශයට එකතුවීමෙන් විශාල පරිසර හානියක් සිදුවන බවත්, ඒ නිසාම පාරිසරික ගැටලු රැසක් ඇතිවන බවත් පරිසරවේදීහු වැඩිදුරටත් පෙන්වා දෙති. වික්ටෝරියා අභයභුමියේ පිහිටි වික්ටෝරියා ජලාශයේ මිරිදිය මත්ස්‍ය කාර්මාන්තයට හා මහවැලි ගඟේ පෝෂිත ප්‍රදේශවල සිදු කරන මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට මෙය මරු පහරක් බවද ඔවුහු කියති. පිඟාඔය, රවන් ඔය, හුළු ගඟ ආදියෙන් මහවැලි ගඟට ජලය එකතුවන අතරම මේවායින් එකතුවන අපද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ ගොස් ඇත.
ගඟේ ජල මට්ටම අඩුවීමත් සමග වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව ඒකරාශී වී රැදී තිබෙන ඝන අපද්‍රව්‍ය, පොලිතින් හා ප්ලාස්ටික් ද්‍රව්‍යවල ජලය රැඳීමෙන් ඩෙංගු මදුරුවන් බෝවීමේ ප්‍රවණතාව වැඩි වීමට හා සෞබ්‍ය ගැටලු රැසකටද මේ තත්ත්වය බලපා ඇත. පරිසරවේදීහු වැඩිදුරටත් පවසන්නේ මෙම පාරිසරික හානිය නතර කිරීම සඳහා බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමුකළ යුතු බවයි.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment