විගණනයෙන් හෙළිවුණත් ගෑස් මගඩියේ ලොක්කෝ යහතින්

222

ගෑස් හා ඉන්ධන අර්බුදය නිසා රට්ටුන්ට තවමත් පෝලිම්වල ගතකිරීමට සිදුවී තිබේ. ගැස් ලබාගැනීමේ අපේක්ෂාවෙන් ජනතාව දහසකුත් වූ දුක්කරදරවලට ලක්වෙමින් දිවා රාත්‍රි නොබලා පෝලිම්වල රැඳී සිටිති. බලධාරීන් කුමන කථා කීවද තවමත් ගෑස් ලැබෙන බවක්නම් පෙනෙන්නට නැත. ගෑස් සහ ඉන්ධන නැව් එනතෙක් රට්ටුන් මහමුහුද දෙස බලාගෙන හූල්ලති. මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ ඉදිරි මාස හතරක කාලයක් සඳහා හිඟයකින් තොරව ජනතාවට ගෑස් ලබාදීමට තටයුතු කරන බවය. ඒ සඳහා අවශ්‍ය ගෑස් තොග නව වැනි දින මෙරටට පැමිණෙන අතර 11 වැනි දින සිට රට පුරා ගෑස් බෙදාහැරීම ආරම්භ කරන බවත් අගමැතිවරයා කිවේය. දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර 140,000ක් බෙදාහරින බවත් අගමැතිවරයා සඳහන් කළේය.

කෙසේවුවද මෙකී ගෑස් අර්බුදය අස්සේ සියාම් ගෑස් සමාගමෙන් ඇමරිකානු ඩොලර් 96ක අඩු මිලට ගෑස් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබූ වාර ටෙන්ඩරය (ඔැරප ඔැබාැර) අහෝසි කර ඇමරිකානු ඩොලර් 129 බැගින් වැඩි මිලට ගෑස් මෙ.ටො ලක්ෂයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී (කෝප්) ලිට්‍රෝ ගෑස් සමාගමේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරනු ලැබීය. ලිට්‍රෝ සමාගම විසින් ඕමාන් සමාගමකින් වැඩිමිලට මේ අයුරින් ගෑස් මිලදි ගැනීම නිසා රුපියල් බිලයන 1.2ක මුදලක් අවභාවිත වී ඇති බව කෝප් කමිටුවේ දී අනාවරණය විය. ලෝක බැංකුව මගින් ගෑස් මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 70ක් ලබා දී තිබුණි. එහෙත් ලිට්‍රෝ සමාගම විසින් එම මුදල් යොදා වැඩිම මිලකට ගෑස් මිලදී ගැනීමට කටයුතු කරණු ලැබීය.

ගෑස් මිලදී ගැනීම සඳහා තිබූ වාර ටෙන්ඩරය පසුගිය පෙබරවාරි මාසය වනවිට අවසන් වූ බැවින් ගෑස් මෙ.ටො 2,80,000 ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවනු ලැබීය. ඒ අනුව ගෑස් සැපයුම්කරුවන් තිදෙනකු ලංසු ඉදිරිපත් කර ඇති බව කෝප් කමිටුවේ දී තොරතුරු අනාවරණය විය.

මෙහිදි සියාම් ගෑස් සමාගම විසින් ඇමරිකානු ඩොලර් 96ක අවම මිලක් ඉදිරිපත්කොට තිබුණි. තවත් සමාගමක් විසින් ඇමරිකානු ඩොලර් 102ක මිලක් ඉදිරිපත්කොට තිබූ අතර ඕමාන් සමාගම විසින් ඇමරිකානු ඩොලර් 129ක වැඩිම මිලක් ඉදිරිපත් කොට තිබුණි. මෙහිදී සියාම් ගෑස් සමාගම විසින් ඇ.ඩො 96 බැවින් අවම මිලක් ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව ටෙන්ඩරය ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබුණි. කෙසේවුවද කැබිනට් අනුමැතිය ලැබී තිබූ එම ටෙන්ඩරය අහෝසිකොට වැඩිම මිලකට ගෑස් සැපයීමට ලංසු ඉදිරිපත් කළ ඕමාන් සමාගමකට ටෙන්ඩරය ලබාදීම ගැටලු සහගත ය. මෙය සැකසහිත ගනුදෙනුවකි. රට ම දැඩි ආර්ථික අර්බුදයට ලක්ව ඇති මේ මොහොතේ අඩුම ලංසුකරුට ටෙන්ඩරය ලබානොදී වැඩිම ලංසුකරුට ටෙන්ඩරය ලබාදීමට ලිට්‍රෝ ගෑස් සමාගම විසින් කටයුතු කරණු ලැබීය. රට ම දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇති මේ අවස්ථාවේ මෙකී අර්බුදය නියම අයුරින් කළමනාකරණය කරගැනීිමට ලිට්‍රෝ ගෑස් සමාගමේ නිලධාරීන්ට නොහැකිවී ඇත.

සරල උදාහරණයක් ගතහොත් පාරිභෝගිකයකු වෙළෙඳ සැලකට ගොස් අඩුමිලකට යම්කිසි භාණ්ඩයක් මිලදී ගැනීමට තිබියදී වැඩි මුදලක් දී භාණ්ඩයක් මිලදී ගන්නේ නැත. එසේ මිලදී ගන්නේ නම් විශේෂ හේතුවක් තිබිය යුතුය. අනික් කාරණය වන්නේ ගෑස් ටෙන්ඩරය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ අඩුම සහ වැඩිම සැපයුම්කරුවකු පිළිබඳ සඳහන්ව නොමැති බව කෝපා කමිටුවේ දී අනාවරණය විය. වැඩිම ලංසු මුදල ඉදිරිපත්කොට ඇති ඕමාන් ගෑස් සමාගමෙන් ගෑස් මිලදී ගැනීම සඳහා අනුමැතිය ලබාදෙන ලෙස පමණක් එහි සඳහන් වී ඇති බවද කෝප් කමිටුවේ දී අනාවරණය විය. මෙහිදී කැබිනට් මණ්ඩලය ද නොමඟයවා ඇති බව පැහැදිලිය. නිලධාරීන් විසින් මෙහිදී සිදුකොට ඇත්තේ තක්කඩි ක්‍රියාවකි. නැතහොත් කොලේ වහලා ගැසීමකි. පිඩාවට පත්ව ඇති ජනතාවට කඩිනමින් ගෑස් ලබාදිය යුතු බව සෑබැවකි. ඒ ගැන තර්කයක් නැත. එහෙත් වැඩිම මිලක් ඉදිරිපත්කොට ඇති සැපයුම්කරුගෙන් ගෑස් මිලදී ගැනීම තුළ රුපියල් මිලියන 1200ක පමණ මුදලක් වැඩිපුර ගෙවීමට සිදුවී ඇත. ලෙඩා මලත් බඩ සුද්දයි කියන්නාවාගේ කෙසේ හෝ කුමන මිලක් හෝ ගෙවා ගෑස් මිලදී ගෙන ජනතවාට ලබාදීම ලිට්‍රෝ ගෑස් සමාගමේ අරමුණ වී ඇති බව පැහැදිලිය.

මෙහිදී කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා මේ ගැන හරි අපූරු කථාවක් කිවේ ය. රෝගියාගේ අසාධ්‍ය තත්ත්වය ප්‍රයෝජනයට ගෙන බෙහෙත් මිල වැඩිකිරීමට කටයුතුකර ඇති වාගේ සිද්ධියක් මෙකී ටෙන්ඩර ගනුදෙනුව මත සිදුවී ඇති බව ඔහු සඳහන් කළේය.

මෙකී ටෙන්ඩර් මගඩිය පිළිබඳ විගණකාධිපති දෙපාර්තමේන්තුව මාර්ගයෙන් පරීක්ෂණයක් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා මෙහිදී නිර්දේශ කළේය. එමෙන්ම ඉන්දියානු ණය පහසුකම යටතේ ගෑස් මිලදී ගැනීමට වෙන් කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 160ක මුදලින් ගෑස් මිලදී ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙනන් ද වහාම සොයා බලන ලෙස කෝප් කමිටුව නිර්දේශ කර ඇත. කෝපා කමිටුව දුන් නියෝග ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගම සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යන ආයතන ක්‍රියාත්මක කළ ආකාරය සහ එම ආයතනවල කාර්ය සාධනය විමසීම සඳහා ඒවායේ ප්‍රධානීහු කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබ සිටි අතර මෙම නිර්දේශ එම රැස්වීමේ දී ලබාදෙනු ලැබීය.

මේ වනවිට පෝලිම්වල ගහමරා ගන්නා තත්ත්වයකට පත්ව ඇත. මාගාල්ල ඉන්ධන පිරවුම්හලේ දී තියුණු ආයුධවලින් පහරදීමෙන් එක් අයෙකු මියගොස් ඇති අතර තවත් තිදෙනකු තුවාල ලැබීය. එහෙත් මේ පිළිබඳ රටකරවන අයට වගේ වගක් නැත. අර්බුදකාරී අවස්ථාවේ දී ඇතැමුන් කටයුතු කරන්නේ තම මඩිතර කරගැනීම සඳහා ය. අනික් කාරණය වන්නේ ලිට්‍රෝ සමාගමේ සංගමික වි්‍යස්ථාවලිය අනුව සභාපතිවරයාට හා අධ්‍යක්ෂක මණ්ඩලයට ඕනෑම තීන්දුවක් ගතහැකිය. එහෙත් මෙකී සමාගමේ සභාපතිවරු හා අධ්‍යක්ෂක මණ්ඩලය ජනතාවට හිතකර තීන්දුනම් ගෙන නැත. තම ප්‍රසාද දීමනා සේවකයන්ගේ වැටුප් වැඩිකර ගැනීමට කටයුතු කර ඇති බව නම් පැහැදිලිය. පසුගිය කාලයේ ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ධුරය දැරූ කිහිපදෙනකුම සභාපති ධුරයෙන් ඉල්ලා අස්විය.

2019 වර්ෂයේ දී ලිට්‍රෝ සමාගමේ සභාපති ධුරය දැරූ සභාපතිවරයාට යහපාලනය සඳහා වූ රාජ්‍ය ව්‍යාපාර මාර්ගෝපදේශ චක්‍රලේඛයේ සඳහන් විධිවිධානවලට පටහැනිව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් රුපියල් 2,269,737 ක ප්‍රසාද මුදලක් ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති 2019 වර්ෂයට අදාළ වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ. ඒ විතරක් නොව, චක්‍රලේඛයේ සඳහන් විධිවිධානවලට පටහැනිව සමාගම විසින් සභාපතිවරයාට ගෙවන ලද දීමනා මත සේවක ආර්ථසාධක අරමුදල් හා සේවකභාරකාර අරමුදල් ගෙවා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එමෙන්ම ලිට්‍රෝ ගෑස් සමාගම විසින්

මාර්ගෝපදේශයේ සඳහන් විධිවිධානවලට පටහැනිව හා භාණ්ඩාගාර ලේකම්ගේ අනුමැතියකින් තොරව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් විධායක නිලධාරීන්ගේ වැටුප් ලේඛනයේ දළ වැටුප රුපියල් 38000 සිට රුපියල් 1,000,000 දක්වා පරාසයක පවතින බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ගෑස් අර්බුදයෙන් මිරිකී දහදුක් විඳින ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබානොදී කිසිදු හිරිකිතයකින් තොරව තම වැටුප් ප්‍රසාද දීමනා ලබාගැනීමට මෙකී නිලධාරීන් කටයුතු කර ඇත.

එමෙන්ම සමාගමේ සභාපතිවරයාගේ හා අධ්‍යක්ෂක මණ්ඩලයේ දීමනා තීරණය කිරීමට පෙර සමාගම විසින් රේඛීය අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්දේශ හා මුදල් ඇමතිවරයාගේ එකඟතාවය ලබාගෙන තිබේද යන්න තහවුරුකර ගැනීම සඳහා විගණනයට සාක්ෂි ලැබීනොමැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ එකඟතාවය මත අමාත්‍යාංශය හා අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අනුමත කරන ලද බඳවා ගැනීමේ හා උසස් කිරීමේ ක්‍රියාපටිපාටියක් සමාගම සතුව නොමැති බව විගණනය මගින් අනාවරණය කොට ඇත. අනුමත කාර්යමණ්ඩලයක් සහිතව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ සංවිධාන වි්‍යුහයක් සමාගම සතුව නොමැති අතර කෙසේවුව ද සමාගමේ කළමණාකාරීත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ සමාගමේ සංගමික වි්‍යවස්ථාවලියට අනුව සියලු කටයුතු කරඇති බවය.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් ආගමික ස්ථාන 100ක් සඳහා රුපියල් 8,070,000ක පිරිවැයක් දරා එල් . පී .ජී. නළ පද්ධති හා ගෑස් උදුන් නොමිලේ ප්‍රදානය කිරීමේ ව්‍යපෘතියක් ආරම්භ කරනු ලැබීය. මෙම ව්‍යාපෘතියේ සේවා සපයන්නන් ටෙන්ඩර් පටිපාටියක් මගින් තෝරාගෙන නොමැති බැව් විගණනයේ දී අනාවරණය වී ඇත. ඒවිතරක් නොව මෙකී සේවා සපයන්නන් සමග ගිවිසුම් අත්සන්කර තිබේද යන්න තහවුරුකර ගැනීමට විගණනයට නොහැකිවී ඇත. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර නිසි ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර නොතිබුණි. ආගමික ස්ථාන 82ක් සඳහා පමණක් මෙකී උපකරණ ස්ථාපනය කර තිබූ අතර මිලදී ගත් ගෘහස්ථ ර්බර් හෝස් සහිත ගෑස් උදුන් 317න් 192ක් සහ මනිපොල් අයිතම 89ක් 18ක් මාබිම ගබඩා පරිශ්‍රයේ දිගුකාලයක සිට විනාශවෙමින් පැවතුණි.

එමෙන්ම සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් නියමකර ඇති පරිදි ආගමික ස්ථාන තෝරාගෙන තිබේද යන්න හා බෙදාහරිනන් වෙත ලබාදුන් සියලුම උපකරණ එම ආගමික ස්ථානවල ස්ථාපනය කර තිබේද යන්න තහවුරුකර ගැනීම සඳහා සාක්ෂි විගණනයට ලැබී නොතිබුණි. ගෑස් අර්බුදය අස්සේ එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ලිට්‍රෝ ගැස් සමගමේ බලධාරින් තම මඩිතර කරගැනීිම සඳහා ගේම් ගසා ඇති බව නම් පැහැදිලිය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment