පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත සංශෝධනය කිරීමේ කටයුතු ආරම්භකොට වසර 19ක් ගතවී ඇතත් පනතේ සංශෝධන කටයුතු තවමත් අවසන් වී නැහැ.

උපරිම සිල්ලර මිල සහතික කිරීම අනුගමනය නොකරන ආනයනකරුවන්ට, සමාගම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික අධිකාරියට බැරිවෙලා.

වැටලීම් 3715කින් වැටලීම් 3616 ක් සඳහා නඩු පැවරීමට වර්ෂ දෙකකට අධික කාලයක් ගතවෙලා.

අසාමාන්‍ය ලෙස ලාභ උපයමින් පාරිභෝගිකයින් සූරාකන අවස්ථා සහ වෙළඳුන් හඳුනාගැනීම, ඔවුන්ට එරෙහිව පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව වහාම කටයුතු කරන්න විගණනයෙන් නිර්දේශ.

පාරිභෝගික අධිකාරිය වු කලී මෙරට පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා පිහිටුවා ඇති රාජ්‍ය ආයතනයකි. 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත මගින් පාරිභෝගික අධිකාරිය පිහිටුවා ඇත්තේය. විශේෂයෙන් පාරිභෝගිකයින්ගේ ජීවිත හා දේපලවලට උපද්‍රව්‍යයක් සිදුවන භාණ්ඩ අලෙවි කිරීම හා සේවා සැපයීමට එරෙහිව පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම, පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, හැකි සැම විටම පාරිභෝගිකයින්ට තරගකාරී මිලට භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට අවශ්‍ය මැදිහත්වීම ලබාදීම, කුට වෙළඳුන් විසින් සිදු කරන පාරිභෝගික සූරාකෑම්වලට එරෙහිව කටයුතු කිරීම ආදී මෙකී අරමුණු ඇතිව පාරිභෝගික අධිකාරිය පිහිටුවා ඇත්තේය. පාරිභෝගික පනත ප්‍රකාරව පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා පාරිභෝගික අධිකාරියට කළ හැකි කාර්යභාර්ය අතිවිශාලය. එහෙත් පාරිභෝගික අධිකාරිය මගින් මෙරට පාරිභෝගිකයින් වෙනුවෙන් මෙකී අරමුණු ඉටුවෙනවාද යන්න ගැටලුවකි.

පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දායකත්වය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය මගින් සිදුකළ විගණනයෙන් එම අධිකාරියේ පවතින දුර්වලතා කිහිපයක් අනාවරණය කොට ඇත. එම විශේෂ විගණන වාර්තාවට අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත සංශෝධනය කිරීමේ කටයුතු ආරම්භකොට වසර 19ක් ගතවී ඇතත් පනතේ සංශෝධන කටයුතු තවමත් අවසන් වී නැත. මෙකී පනතේ සංශෝධන කටයුතු 2004 වර්ෂයේදී ආරම්භකොට තිබුණි. එමෙන්ම පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ හඳුන්වා තිබූ පොදු විධාන 62ක් වර්තමානයට ගැලපීම් කිරීම සඳහා පත්කළ කමිටුවේ යෝජනා පරිදි ගැලපීම් සිදුකර නොතිබූ බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි. එමෙන්ම ආනයනික භාණ්ඩ සම්බන්ධයෙන් උපරිම මිල සහතික නිකුත් කිරීමේදී උපරිම සිල්ලර මිල ලකුණු කළ තිබිය යුතු බවට භාණ්ඩ වර්ග 05ක් සම්බන්ධයෙන් පමණක් විධාන නිකුත්කොට තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. මෙරටට වාර්ෂිකව භාණ්ඩ වර්ග විශාල ප්‍රමාණයක් ආනයනය කළද එම භාණ්ඩවල මිල ලකුණු කිරීම සඳහා පාරිභෝගික අධිකාරියට නෛතික හැකියාවක් නොමැතිවීම, අධිකාරියේ දත්ත පද්ධතිය ප්‍රකාරව ආනයනකරුවන් විසින් භාණ්ඩ මත සලකුණු කරනු ලැබූ මිල ගණන්වලට වඩා වැඩි මිලකට එම භාණ්ඩ වෙළඳපොළේ විකිණීමට තබා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

විගණනය කියන විදිහට පාරිභෝගිකයාට අබ සරණයි!

එමෙන්ම සමාගම් විසින් ලකුණු කරන ලද ලේබල් ගලවා ඉවත් කර නැවතත් ලේබල් ගලවා ඇති අවස්ථාවන් නිරීක්ෂණය වී ඇති බවද විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වී තිබුණි.

මෙරටට ආනයනය කරනු ලබන රස කැවිලි (චුයින්ගම් ඇතුළුව) චොකලට්, බිස්කට්, කේක්, සුවඳ සබන් යන භාණ්ඩ වර්ග 05 දිවයිනට රැගෙන එන අවස්ථාවේ එකී භාණ්ඩවල උපරිම සිල්ලර මිල ලකුණු කළ යුතු බවට නව විධානයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් නිකුත්කොට තිබුණි. එහෙත් මෙකී භාණ්ඩ ආනයනය කරනු ලබන ඇතැම් ආනයනකරුවන් විසින් උපරිම සිල්ලර මිල සහතික කිරීමෙන් තොරව වෙනත් අයුරින් මෙරටට ආනයනය කොට තිබූ මෙකී භාණ්ඩ වෙළඳපොළේ විකිණීමට තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් කරනු ලැබූ අධ්‍යයනයකදී හඳුනාගෙන තිබුණි. උපරිම සිල්ලර මිල සහතික කිරීම අනුගමනය නොකරන ආනයනකරුවන්ට, සමාගම්වලට, එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික අධිකාරියට නොහැකිවී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සම්බන්ධයෙන් නිකුත්කොට ඇති මෙකී විගණන වාර්තාවේ සඳහන් වේ.

උපරිම සිල්ලර මිල පනවා ඇති මෙකී භාණ්ඩ වර්ග 05 ආනයනය කරනු ලබන්නේ ආනයනකරුවන් කිහිප දෙනෙකි.බොහෝ ආනයනය කරුවන් රටට ගෙන්වනු ලබන භාණ්ඩමත වන බදු ගෙවිම පැහැර හැරිමට උත්සාහ දරණ බවද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් කරණු ලැබු අධ්‍යයනයකදි අනාවරණය වී තිබුණි. එමෙන්ම වෙළඳපොළේ පවතින බෝහෝ ආනයනික භාණ්ඩ නියමිත ක්‍රමවේදයෙන් බැහැරව රේගුවෙන් නිදහස් කරන බව හෝ බෑග්වල අනායනය කරන බවට ද වාර්තා වී තිබේ. ඇතැම් භාණ්ඩ නියමිත ක්‍රමවේදයට ආනයනය කළ ද රේගුවෙන් නිදහස් කළ පසු වෙනස් කිරීම්වලට ලක් කරන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී ඇත.

එමෙන්ම ආනයනකරුවන් විසින් මෙකී භාණ්ඩ මත සලකුණු කරනු ලබන මිල ගණන්වලට වඩා වැඩි මිලකට වෙළඳපොළේ මෙම භාණ්ඩ අලෙවි කොට තිබුණි. සමාගම් විසින් ලකුණු කරනු ලබන ලේබල් ගලවා ඉවත් කර වෙනත් වෙනත් ලේබල් අලවා මෙකී භාණ්ඩ අලෙවිකොට තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ඒ විතරක් නොව ශ්‍රී ලංකා රේගුවේ දත්ත අනුව නුඩ්ලස්, පැස්ටා, චීස් වැනි භාණ්ඩ වාර්ෂිකව විශාල වශයෙන් මෙරටට ආනයනය කරනු ලැබේ. එහෙත් පාරිභෝගික අධිකාරිය විසින් 2022 වර්ෂයේ නොවැම්බර් මස 01 වැනි දින නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය මගින් එකී භාණ්ඩ ඇතුළත් කර නොතිබුණි. මේ නිසා මෙකී භාණ්ඩවල මිල ලකුණු කිරීම සඳහා අධිකාරියට හැකියාවක් නොතිබුණි. ඒ විතරක් නොව මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩ වර්ග සංඛ්‍යාව මේ වනවිට විශාල වශයෙන් වැඩි වී තිබේ. එහෙත් උපරිම සිල්ලර මිල ලකුණු කර තිබිය යුතු බවට නව විධානයක් නිකුත්කොට ඇතත් එකී ගැසට් නිවේදනයට ඇතුළත් කොට තිබුණේ භාණ්ඩ වර්ග 05ක් පමණි. කෙසේ වුවද මෙම වර්ෂයේ ජනවාරි මසයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සුදු සීනි,වියලි හාල්මැස්සන්, ලොකු ලූනු, අල, පරිප්පු යන අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා තොග සහ සිල්ලර මිල පනවමින් නිවේදනයක් නිකුත් කොට තිබුණි.

එමෙන්ම වෙළඳපොළේ පවතින විවිධ වූ භාණ්ඩ වර්ග සම්බන්ධයෙන් පවතින ප්‍රමිති අනිවාර්ය කරමින් ගැසට් පත්‍රයක් මගින් සඳහන් කොට ඇත්තේ භාණ්ඩ වර්ග 16ක් සඳහා පමණි. එමෙන්ම මෙරටට ආනයනය කරනු ලබන කිසිදු කෘෂි යන්ත්‍රෝපකරණයක් සඳහා තිබිය යුතු අවම ප්‍රමිති මොනවාද යන්න නියමයන් අනිවාර්ය කර නොතිබුණි. මෙම තත්ත්වය නිසා මෙරට භූමිය තුළ නිසිලෙස ක්‍රියාත්මක කළ නොහැකි යන්ත්‍ර සූත්‍ර ආනයනය කොට තිබුණි. මෙකී යන්ත්‍ර යල මහ කන්න දෙක තුළ පමණක් භාවිතා කරන ඒවා වුවත් වගකීම් කාලය ලබාදී ඇත්තේ වසරක් හෝ දෙකක් සඳහා පමණි. මෙකී යන්ත්‍රවලට අදාළ අමතර කොටස් දුලබ හා මිල අධිකවීම තවත් ගැටලුවකි. මෙකී යන්ත්‍රවල නඩත්තුව හා අලුත්වැඩියාවන් දුර්වල මට්ටමක පවතින අතර තත්ත්වයෙන් බාල පාවිච්චි කරනු ලැබූ යන්ත්‍ර අලුත් ඒවා ලෙස පාරිභෝගිකයා නොමග යවා විකුණා ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

වෙළඳ පොළ තත්ත්ව සහ පාරිභෝගික කටයුතුවලට අදාළව අධ්‍යයන කිරීම, වාර්තා පළ කිරීම සහ මහජනතාවට තොරතුරු සැපයීම පාරිභෝගික අධිකාරියේ එක් වගකීමකි. පාරිභෝගික අධිකාරිය විසින් කෘෂිකර්ම හා කාබනික නිෂ්පාදන සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය පිළිබඳ හා වෙළඳපොළෙහි අලෙවි වන විවිධ අත්සේදුම් දියර වර්ගවල අන්තර්ගත ඇල්කොහොල් ප්‍රතිශතය සම්බන්ධයෙන් වෙළඳපොළ අධ්‍යයන දෙකක් සිදු කරනු ලැබීය. ඒ 2021 වර්ෂයේ දීය. එහෙත් මෙකී අධ්‍යයනයේ දී අනාවරණය වූ කරුණු පිළිබඳ පාරිභෝගිකයා ආරක්ෂා කිරීම හා දැනුවත් කිරීම සඳහා පාරිභෝගික අධිකාරිය මගින් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

මෙකී අධ්‍යයනයට අනුව ව්‍යාජ කාබනික නිෂ්පාදන වෙළඳපොළ තුළ පැවතීම නිසා ඒ සඳහා පාරිභෝගිකයින් රැවටීම, කාබනික නිෂ්පාදන මිල ගණන් අනිකුත් සාමාන්‍ය නිෂ්පාදන මිල ගණන්වලට වඩා වැඩිවී ඇති බවට හඳුනාගෙන තිබුණි. අත්සේදුම් දියර නිෂ්පාදන බොහොමයක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොතිබුණි. ඇල්කොහොල් යොදාගනිමින් ගුණත්වයෙන් අඩු අත්සේදුම් දියර නිපදවා වෙළඳපොළට ඉදිරිපත් කොට තිබූ බවද මෙකී අධ්‍යයනයේ දී අනාවරණය වී ඇත. මෙකී ප්‍රමිතියෙන් තොර අත්සේදුම් දියර භාවිතා කිරීම තුළින් පාරිභෝගිකයින් රෝගාබාධ වලට ගොදුරුවීමේ අවදානමක් ඇති බවත් අනාවරණය වී තිබුණි. නියමිත ගුණත්වය සහ ප්‍රමිතිය පවත්වා ගැනීමට නොහැකි වන අත්සේදුම් දියර වර්ගවලට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවට විගණනය මගින් නිර්දේශකොට තිබුණි.

එමෙන්ම විවිධ මිල ගණන් යටතේ සේදුම් දියර වෙළඳපොළ තුළ අලෙවි වන බැවින් මිල පාලනය සඳහා පියවර ගත යුතු බවත් වර්තමානයේ වෙළඳපොළ තුළට නව අත්සේදුම් දියර වර්ග බොහොමයක් පැමිණෙන ඒවා අහඹු පරීක්ෂාවට ලක්කළ යුතු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

පාරිභෝගික අධිකාරිය විසින් සිදු කරනු ලැබූ වැටලීම් පිළිබඳ සලකා බැලීමේදී 2018 – 2022 දක්වා වූ කාලය තුළ සිදුකර තිබූ සත්‍ය වැටලීම් සංඛ්‍යාව ඉලක්කගත වැටලීම් සංඛ්‍යාවට වඩා අඩු අගයක පැවතුණි. එය සියයට 56 සිට 74 දක්වා වූ පරාසයක පැවතුණි. ඒ විතරක් නොව කොළඹ, ගම්පහ, මහනුවර, කළුතර, ගාල්ල, බදුල්ල, නුවරඑළිය, මොණරාගල යන දිස්ත්‍රික්ක අට තුළ වැටලීමේ ප්‍රගතිය සියයට 52කට වඩා අඩු අගයක පැවතුණි. පාරිභෝගික අධිකාරිය විසින් තම විමර්ශන නිලධාරින් එක් එක් දිස්ත්‍රික්ක සඳහා අනුයුක්ත කිරීමේ දී එම නිලධාරින් පලදායීව යොදා ගැනීමට කටයුතු කර නොතිබුණි. 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි දින වනවිට දිස්ත්‍රික්ක 09ක විමර්ශන නිලධාරීන් 23ක් අතිරික්තව සිටියදී දිස්ත්‍රික්ක 12ක විමර්ශන නිලධාරින් 47ක් අඩුවෙන් අනුයුක්ත කර තිබුණි.

ඒ විතරක් නොව 2018 වර්ෂයේ සිට 2021 දෙසැම්බර් මස දක්වා වු කාලය තුළ සිදු කරනු ලැබූ වැටලීම් 3715කින් වැටලීම් 3616 ක් සඳහා නඩු පැවරීමට වර්ෂ දෙකකට අධික කාලයක් ගතවී තිබුණි.

පාරිභෝගික අධිකාරිය විසින් රුපියල් අනූඑක්ලක්ෂ, අසූඅටදහස්, තුන්සියහැත්තෑවක (9,188,370) මුදලක් වියදම් කොට ආරම්භ කරනු ලැබූ 1977 පාරිභෝගික සේවා විමසුම් ව්‍යාපෘතිය තුළ පාරිභෝගික ජනතාව විසින් කරනු ලැබූ පැමිණිලි සම්බන්ධයෙන් පැමිණිලිකරු වෙත මාර්ගත පැමිණිල්ලේ අංකය හා විමර්ශනයේ ප්‍රගතිය දැනුම් දීමට ක්‍රමවේදයක් සකස් කර නොතිබුණි.. එමෙන්ම සියලුම දිස්ත්‍රික්ක කාර්යාල සමග සම්බන්ධ කිරීමෙන් දත්ත ඇතුළත් කිරීමට හැකිවන පරිදි ක්‍රමවේදයක් සකස් කර නොතිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. පාරිභෝගික ගැටලු ක්ෂණිකව ඉදිරිපත් කිරීම සහ පාරිභෝගිකයින්ට වෙළඳපොළ මිල ගණන් දැන ගැනීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ විය.

පාරිභෝගික විමසුම් ව්‍යාපෘතිය සඳහා පිරිවැය වශයෙන් රුපියල් 5,401,428ක මුදලක් සහ එය මහජනතාව අතර ප්‍රචාරණය කිරීමට රුපියල් 3,786,942ක මුදලක් වැයකොට තිබුණි. පාරිභෝගික අධිකාරිය සම්බන්ධයෙන් කරනු ලැබූ විගණනයේ දී විගණකාධිපතිවරයා විසින් නව නිර්දේශ කිහිපයක් නිකුත් කිරිමට පියවර ගෙන තිබුණි. ඒ අනුව ආනයනික භාණ්ඩ සම්බන්ධයෙන් තවදුරටත් උපරිම සිල්ලර මිල සහතික නිකුත් කිරීමට අවශ්‍ය භාණ්ඩ වර්ග හඳුනාගෙන වර්තමානයට ගැලපෙන ආකාරයට එම භාණ්ඩ වර්ගද ඇතුළත් කරමින් පුළුල් ආවරණයක් වන පරිදි නව විධාන පැනවීම සිදුකළ යුතුය. අසාමාන්‍ය ලෙස ලාභ උපයමින් පාරිභෝගිකයින් සූරාකන අවස්ථා සහ වෙළඳුන් හඳුනාගැනීම, ඔවුන්ට එරෙහිව පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව වහාම කටයුතු කළ යුතුය. එමෙන්ම පාලන මිලක් පැනවීම සඳහා නිර්දේශ කිරීමේ දී ඒ සඳහා වෙළඳපොළ මිල ගණන් සහ පිරිවැය සැලකිල්ලට ගෙන තාත්වික මිලක් නිර්දේශ කළ යුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත. එමෙන්ම පාලන මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවිකරණ වෙළෙඳුන් සම්බන්ධයෙන් වන වැටලීම් පුළුල් කළ යුතු අතර ආනයනකරුවන් හා තොග වෙළඳුන් සම්බන්දයෙන් සිදු කරන වැටලීම් පුළුල් කළ යුතුය.

උපරිම සිල්ලර මිල සහතික ලබාගැනීමට අධිකාරියට තොරතුරු ඉදිරිපත් නොකරන ආනයනකරුවන් සම්බන්ධයෙන් වෙළෙඳපොළ වැටලීම් කිරීම හා ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම විධිමත් කිරීම. ආනයනකරුවන් විසින් උපරිම සිල්ලර මිල සහතික ලබාගැනීමට ඉදිරිපත් කරන මිල ගණන් සඳහා අනුමැතිය ලබාදීමට පෙර අධිකාරිය එම මිල ගැන භෞතිකව පරීක්ෂා කිරීම ද අනිවාර්ය කිරීම. සාම්පල් පරීක්ෂාවේදී පරිභෝජනයට නුසුදුසු බවට හෝ නියමිත ප්‍රමිතිය නොමැති බවට තහවුරු වන සාම්පල් සම්බන්ධයෙන් එම වෙළෙඳුන්ට හා නිෂ්පාදකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද නොකළ යුතු බවට විගණනය මගින් නිර්දේශ කොට තිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment